සෞඛ්‍ය වෘත්තිය සමිති 72 ක් හෙට (13) සිට අඛණ්ඩ වර්ජනයේ

සෞඛ්‍ය වෘත්තිය සමිති 72 ක් හෙට (13) සිට අඛණ්ඩ වර්ජනයේ


සෞඛ්‍ය වෘත්තිය සමිති 72 ක් හෙට (13) සිට අඛණ්ඩ වර්ජනයේ

(12.02.2024 – 15:40 +0530 – hirunews.lk/sinhala)

මුදල් අමාත්‍යාංශය සමග අද (12) පෙරවරුවේ පැවැති සාකච්ඡාව අසාර්ථක වූ බැවින් හෙට (13) උදෑසන 06:30 සිට අඛණ්ඩ වර්ජනයකට අවතීර්ණ වීමට සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පරිපූරක, අතුරු වෛද්‍ය ඇතුලු වෛද්‍ය වෘත්තීය සමිති 72 ක් නියෝජනය කරන සෞඛ්‍ය වෘත්තිකයින් ඊට එක්වන බවයි එහි සම කැඳවුම්කරු රවී කුමුදේශ් සඳහන් කළේ ෴

+++++++++

+

+


පාතාල ඝාතනවලට යතුරුපැදි කුලියට දුන් හමුදා බුද්ධි අංශයේ දෙකක් (2) අල්ලති

(12.02.2024 – mawbima.lk)

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය කිරීමේ නිරත අපරාධකරුවන්ට එම ඝාතන සිදුකිරීම සඳහා අවශ්‍ය යතුරුපැදි ලබාදීමේ නිරත යුද හමුදා බුද්ධි හා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කළ පුද්ගලයන් දෙදෙනකු (2) පොලිස් විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධකරුවන් වෙඩි තැබීමක් සිදුකිරීම සඳහා විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු ගෙන් යතුරුපැදියක් ඉල්ලූ විට ඔහුගේ උපදෙස් මත මොවුන් දෙදෙනා (2) කුමන ප්‍රදේශයකින් හෝ යතුරුපැදි සොරකම්කොට ඒවාට ව්‍යාජ අංක සවිකර ඉතා විශාල මුදලකට එම යතුරුපැදි ලබාදෙන බව විමර්ශනයේදී හෙළි වී තිබේ.

අත්අඩංගුවට ගත් මෙම දෙදෙනා (2) භාරයේ තිබී අනන්‍යතාව තහවුරු කරගත නොහැකි යතුරුපැදි දෙකක් (2) එම නිලධාරීන් සිය භාරයට ගෙන ඇති අතර ඉන් එක් (1) යතුරුපැදියක ඒ වනවිටත් ව්‍යාජ අංක තහඩු සකස් කර තිබූ බවත් එම බළකාය පවසයි.

එමෙන්ම මොවුන් රැඳී සිටි ස්ථානයේ තිබී වෙනත් යතුරුපැදියක අංක තහඩු දෙකක් (2) ද බළකා භටයන් සොයාගෙන තිබේ.

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘දියගලවත්ත චුට්ටේ’ යන අය සමඟ මොවුන් සමීප ඇසුරු කර ඇති බවත් විමර්ශන නිලධාරීහු කියති.

‘යුක්තිය මෙහෙයුම’ට සමගාමීව මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඬලීම සඳහා දියත් කළ මෙම මෙහෙයුමට මොවුන් කොටු වී ඇත.

හංවැල්ල සහ අතුරුගිරිය පොලිස් වසම් තුළ සිදුකළ වැටලීම් දෙකකදී (2) මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරු එරට සිට මෙහෙයවන ලද මෙරට අපරාධවලට ද අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයන් දෙදෙනා (2) සම්බන්ධකම් ඇති බවට සැකයක් නිලධාරීන්ට ඇති වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් පැවැත්වීම සඳහා සැකකරුවන් දෙදෙනා (2) අතුරුගිරිය පොලිසියට භාරදී ඇත.

මින් එක් (1) සැකකරුවකු යුද හමුදා බුද්ධි බළකායේ සේවය කර දැනට හමුදා සේවයෙන් ඉවත්ව පනාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන බවත් අනෙක් තැනැත්තා කොමාන්ඩෝ රෙජිමේන්තු සේවයෙන් ඉවත්ව හංවැල්ලේ පදිංචි අවු: 24 ක පුද්ගලයකු බවත් බළකා තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අණදෙන නිලධාරි නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග මත බුද්ධි අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මඟ පෙන්වීම යටතේ සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම් මත්ද්‍රව්‍ය නාශක සහ සංවිධානාත්මක අපරාධ මර්දන) සාගර කුලසේකර මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් ඒකකයේ පොලිස් පරීක්ෂක බී.එස්.ඩබ්. පීරිස් ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර තිබේ ෴


කොත්මලේ ඔයේ තිබී කාන්තා මල සිරුරක් සොයා ගැනේ

(12.02.2024 – 15:46 +0530 – hirunews.lk/sinhala)

ඉහළ කොත්මලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කොත්මලේ ඔයේ තිබී හඳුනා නොගත් කාන්තා මළ සිරුරක් අද (12) දින හමු වු බව ලිදුල පොලිසිය පවසනවා.

කොත්මලේ ඔයේ නාඳුනන කාන්තා මළ සිරුරක් පාවෙමින් තිබෙන බවට ප්‍රදේශවාසින් විසින් ලබාදුන් තොරතුරක් මත සිරුර සොයාගත් බවයි ලිදුල පොලිසිය සඳහන් කළේ.

අප වාර්තාකරු පැවසුවේ මිය ගොස් සිටි කාන්තාව අවුරුදු 45 ක් පමණ වයසැති කාන්තාවක් වන අතර ඇය රතු පාට හැට්ටයක් සහ කළු පාට සායක් ඇඳ සිට ඇති බවයි.

සිරුර සම්බන්ධයෙන් නුවරඑළිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.


පොලිස් කොස්තාපල්වරයෙකු දියේ ගිලී ජිවිතක්ෂයට

(12.02.2024 – 15:21 +0530 – hirunews.lk/sinhala)

ග්‍රෑන්ඩ්පාස් පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු දියේ ගිලී ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.

ඔහු ඇතුලු තවත් පොලිස් නිලධාරීන් පිරිසක් රාජකාරි කටයුත්තක් සඳහා පිටව යන බවට පවසමින් ජාඇළ පමුණුගම ප්‍රදේශයට ගොස් මුහුදේ දිය නෑමට ගිය අවස්ථාවේදී ඊයේ (11) මෙම අනතුරට මුහුණ පා ඇති බවටයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 24 හැවිරිදි බදුල්ල ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයෙක් ෴


ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ අතින් සම්මානය එපා කියපු ධාවකයා

(12.02.2024 – 14:57 +0530 – hirunews.lk/sinhala)

පොතුවිල් ප්‍රදේශයේදී පසුගිය 10 වැනිදා පාපැදි තරගයක ජයග්‍රහකයින් වෙත කුසලාන ප්‍රදානය ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

එම තරගයේ අනුශූරතාවය දිනාගත් ක්‍රීඩකයා අජිත් රෝහණගේ අතින් කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වෙත සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුව කෙරෙහි ඇති සිය අප්‍රසාදය පෙන්වීම සඳහා මෙම ක්‍රියාව කළ බවයි.

+


ඖෂධ බහලුම් ගැන ‘හිරු’ අනාවරණය පළ දරයි

(12.02.2024 – 13:55 +0530 – hirunews.lk/sinhala)

රට තුළ ඖෂධ හිඟයක් පවතින පසුබිමක ඩොලර් මිලියන ගණනක් වැය කරමින් ඉන්දියාවෙන් ආනයනය කළ අත්‍යවශ්‍ය එන්නත් ඇතුළු ඖෂධ රැසක් බහාලු‍ම් මාස 04 ක් ඉක්මවා යනතුරුත් පර්යන්තවල අනාරක්ෂිතව තබා ඇති බව ‘හිරු ප්‍රවෘත්ති’ ඊයේ (11) අනාවරණ කළා.

මෙම අනවරණයෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය භාර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය සඳහන් කළේ එලෙස ඖෂධ සහිත බහාලු‍ම් නිසි ක්‍රමවේදයකින් තොරව ගබඩා කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවයි.

වත්තල, වැලිසර සහ කැලණිය යන ප්‍රදේශවල පිහිටි බහාලු‍ම් පර්යන්ත තුළ ඖෂධ තොග රැසක් බහාලු‍ම් අනාරක්ෂිතව ගබඩා කර ඇති බවයි ‘හිරු ප්‍රවෘත්ති’ අනාවරණය කළේ.

කැලණිය ප්‍රදේශයේ පිහිටි එම ස්ථානය වෙත ගිය හිරු ප්‍රවෘත්ති කණ්ඩායමට හෙළිකර ගත හැකිවූයේ එක් බහාලු‍මක් තුළ අමෙරිකානු ඩොලර් මිලියනයක පමණ වටිනාකමින් යුත් ඖෂධ අඩංගු බවයි.

නිෂ්පාදනයේ සිට භාවිතාව දක්වා නිවැරදි උෂ්ණත්වයේ තැබිය යුතු මෙරපනම් නමැති ප්‍රබල ප්‍රතිජීවක එන්නත් කුප්පි 4,50,000 ක් පමණ එක් (1) බහාලු‍මක් තුළ ඇති අතර නියුමෝනියාව, මොළේ උණ, ශ්වසනාබාධ සහ දැඩි සත්කාර ඒකකවල සිටින රෝගීන්ට ලබාදිය යුතු අත්‍යවශ්‍ය එන්නත් වර්ගද මෙම බහාලු‍ම් තුළ අඩංගු බවටයි තොරතුරු අනාවරණ වුණේ.

කැලණියේ පිහිටි මෙම පර්යන්තයේ මෙවැනි බහාලු‍ම් 20 කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කර තිබුණා.

රට තුළ අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් දැඩිව පවතින පසුබිමක රටේ මුදල්වලින් ගෙන්වූ ඖෂධ මෙලෙස අනාරක්ෂිතව ගබඩාකර තැබීම කොතෙක් දුරට අනුමත කළ හැකිද යන්න ප්‍රශ්නාර්ථයක්.

මේ අතර එම ඖෂධ සහිත බහාලු‍ම් නිසි ක්‍රමවේදයකින් තොරව ගබඩා කිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන්ට එරෙහිව නිසි විමර්ශනයක් සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය භාර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් කඩිනමින් මෙම ඖෂධ නිසි පරික්ෂාවට ලක්කර රෝගී සත්කාර සඳහා යොමු කිරීම සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමක් බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසන්නේ ෴

+

+


යාපනයේ එළවළු දඹුල්ලට – මිලත් අඩුවෙයි

(12.02.2024 – 13:39 +0530 – hirunews.lk/sinhala)

යාපනය අර්ධද්වීපයේ වගා කෙරුණු එළවළු අස්වැන්න මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීමත් සමඟ සීග්‍රයෙන් ඉහළ ගොස් තිබූ සෑම එළවළු වර්ගයකම මිල ගණන් සියයට හැට පහත්, හැත්තෑවත් (65%-70%) අතර අගයකින් අඩු වී ඇතැයි එහි වෙළඳුන් පවසනවා.

යාපනය – චුන්නාකම් ප්‍රදේශයේ සාර්ථකව වගා කරන ලද කැරට්, මාළු මිරිස් සහ බීට් අස්වනු වැඩි වශයෙන් වෙළඳපොළට ලැබීමත් සමඟ රුපියල් දහසත් – දෙදහසත් අතර (1000-2000) තොග මිලකට අලෙවි වූ කැරට් කිලෝවක් අද (12) උදෑසන වන විට රුපියල් 500 ත් – 600 ත් අතර මිලක් දක්වා අඩු වී තිබෙනවා.

මේ අතර අද (12) සිට බිත්තර මිල යළි ඉහළ දැමීමට සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව බිත්තරයක තොග මිල රුපියල් 58 ක් දක්වා ඉහළ යන අතර බිත්තරයක සිල්ලර මිල දැක්වෙන්නේ රුපියල් 63 ක් ලෙසයි ෴


අධික උණුසුම මාර්තු තෙක්

(12.02.2024 – 13:35 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක පෙර දින දෙකෙහි පහළ ගොස් තිබූ වායූ ගුණාත්මකභාවය අද (12) දිනය තුළ පහව යනු ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ පරිසර අංශය පවසනවා.

එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි සඳහන් කළේ අද (12) උදෑසන වන විටද ශ්‍රී ලංකාවේ වායු තත්ත්ව දර්ශකය ඒකක සියයත්, එකසිය පනහත් අතර (100-150) අගයක පැවති බවයි.

කොළඹ නගරයේ වායු තත්ත්ව දර්ශකය ඒකක 120 ක් දක්වා ඉහළ මට්ටමක අද (12) උදෑසනද පැවති බව ඔහු කියා සිටියා.

මේ දිනවල පවතින සුළං රටාවේ වෙනසත් සමඟ විදේශයන්හි වායු ගුණාත්මකතාවන් මෙරට වායු තත්වයන් සමඟ මිශ්‍ර වීම නිසා ශ්‍රී ලංකාවේ වායු තත්ත්ව දර්ශකයේ ඒකක මෙලෙස ඉහළ යාමට බලපා ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ පරිසර අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි සඳහන් කළා.

මේ අතර, පසුගිය දිනවල පැවති වැසි සහිත කාළගුණ තත්ත්වය අවසන්ව මේ වනවිට වැසි රහිත කාලගුණික තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතිනවා.

මෙම කාලගුණ තත්ත්වය මත කුඩා දරුවන් සහ පාසල් දරුවන් එළිමහන් ක්‍රීඩාවල නිරතවීමේදී ඇතිවිය හැකි සංකූලතා සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බවයි බොරැල්ල රිඡ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වසන රෝග පිළිබඳ ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා ප්‍රකාශ කළේ.

මේ අතර, මිනිස් සිරුරට අහිතකර කාලගුණික වෙනස්කම් හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සියලු සේවකයින්ට අද (12) සිට නිවසේ සිට මාර්ගගත ක්‍රමයට රාජකාරී කිරිමට අවසර ලබා දෙන ලෙස අදාළ රැකියා ස්ථාන වෙත එරට රජය දැනුම්දීමක් කර තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාළගුණික දෙපාර්තමේන්තුව සිදු කළ අනතුරු ඇඟවීමක් මත අදාළ නිවේදනය නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

එළිමහන් කටයුතුවල නිරත වෘත්තීන්හි සේවකයන් අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව ඒ සඳහා යොදවන ලෙසද රැකියා ආයතන වෙත එරට රජය දැනුම් දී තිබෙනවා.

ඊට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාසල් හා විශ්වවිද්‍යාල සිසුන්ටද දුරස්ථව අධ්‍යයන කටයුතු කිරීමටයි උපදෙස් දී ඇත්තේ.

+


ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල්වලට ඇතුළත් වීමේ අභියාචනා අයඳුම්පත් කැඳවීම හෙට (13) සිට

(12.02.2024 – 13:08 +0530 – hirunews.lk/sinhala)

2023 වර්ෂයේ 5 ශිෂ්‍යත්ව අභියාචනා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට දැන් යොමු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

පසුගිය 2023 වර්ෂයේ පැවති 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත සිසුන්ට 2024 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා අදාළ අභියාචනා හෙට (13) සිට ලබන (29) දක්වා මාර්ගගත ක්‍රමයට (Online) යොමු කිරීමට හැකියාව පවතිනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන https://moe.gov.lk/ වෙත පිවිස උපරිම වශයෙන් පාසල් තුනක් සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර http://g6application.moe.gov.lk/#/ දිගුව ඔස්සේ සෘජුවම අභියාචනා යොමු කිරීමේ හැකියාව ද පවතිනවා ෴


Ma Nowana Mama (මා නොවන මම) with Aksha Chamudi | 09 th February 2024 | TV Derana

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *