වාහන 400 ක් හොරෙන් ලියාපදිංචි කරලා

වාහන 400 ක් හොරෙන් ලියාපදිංචි කරලා


වාහන 400 ක් හොරෙන් ලියාපදිංචි කරලා

(11.02.2024 – 17:35 +0530 – hirunews.lk/sinhala)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 5 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නීතිමය පියවර ගෙන තිබෙනවා.

ඒ රේගුව විසින් නිෂ්කාශනය නොකළ වාහන, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ.

වාහන 400 ක් පමණ මෙසේ ලියාපදිංචි කර ඇති බවද සඳහන්.

කෙසේ වෙතත් අදාළ වාහනවලින් බොහෝමයක් සුඛෝපභෝගී වාහන කාණ්ඩයට අයත් වන බවයි වාර්තා වී ඇත්තේ ෴


ජනාධිපති අරමුදලේ සේවාව තවදුරටත් පුළුල් කෙරේ

(11.02.2024 – 16:49 +0530 – hirunews.lk/sinhala)

කුඩා දරුවන්ගේ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම සහ කර්ණශංක බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා.

ඒ අනුව, රාගම ශික්ෂණ රෝහලේදී කුඩා දරුවන්ගේ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා සහ ජයවර්ධනපුර මහ රෝහලේ දරුවන් වෙත සිදු කරන කර්ණශංක බද්ධ කිරීම් සඳහා මෙම මූල්‍යාධාර ලබා දෙනු ඇති.

ජනාධිපති අරමුදලින් වෛද්‍යාධාර ඉල්ලුම් කිරීමේදී සම්පූර්ණ කර ගත යුතු කොන්දේසී සම්පූර්ණ වන්නේනම් අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මය වෙනුවෙන් රුපියල් මිලියනයක (10,00,000) මුදලක් ජනාධිපති අරමුදලින් ලබා දීම සිදු කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එමෙන්ම කර්ණශංක බද්ධ කිරීමේ ශල්‍ය කර්ම සඳහාද රුපියල් ලක්ෂ 6 ක මුදලක් ජනාධිපති අරමුදලින් ලබා දීම සිදු කෙරෙනවා ෴


හෙට (12) සිට ලංකාවට ඉන්දියාවේ UPI මුදල් ගනුදෙනු ක්‍රමය

(11.02.2024 – 17:47 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියානු ඒකාබද්ධ ගෙවීම් ක්‍රමවේදය හෙවත් UPI ක්‍රමවේදය හෙට (12) සිට ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි පවසනවා.

UPI යනු ඉන්දියානු ජාතික ගෙවීමේ සංස්ථාව විසින් හඳුන්වා දී ඇති ඩිජිටල් මූල්‍ය ගෙවීමේ ක්‍රමවේදයක්.

එම ක්‍රමවේදය යටතේ ලියාපදිංචි වී ඇති ඕනෑම බැංකුවක් හරහා ක්ෂණිකව ගෙවීම් කටයුතු කිරීමට පුද්ගලයෙකුට හෝ වෙළඳ ආයතනයකට අවස්ථාව හිමි වනවා.

එය ජංගම දුරකථන අංකය මත පදනම්ව ලියාපදිංචි විය හැකි යෙදුමක් වන අතර සරල පියවර කිහිපයක් මගින් ඕනෑම බැංකුවක් හරහාද ගනුදෙනු කිරීමට හැකියාව පවතින බව සඳහන්.

පසුගිය වසරේ UPI ගෙවීම් පද්ධතිය හරහා ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.7 ක ගනුදෙනු සිදු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

+


සෙල්ලම් කරමින් සිටි දොළොස් (12) හැවිරිදි දරුවෙකු රෙදි පටියකට ගෙළ සිරවී මරුට

(11.02.2024 – 20:02 +0530 – hirunews.lk/sinhala)

ගසක රෙදි කැබැල්ලක් බැඳ සෙල්ලම් කරමින් සිටියදී එම රෙදි කැබැල්ලට ගෙල සිරවීමේන් දරුවෙකු ජීවිතක්ෂයට පත්වීමේ අවාසනාවන්ත පුවතක් නුවරඑළිය මාගස්තොට කටුමානේ ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වී ඇත්තේ 12 හැවිරිදි පාසල් සිසුවෙක්.

දරුවන් තිදෙනකු (3) ගෙන් යුතු පවුලේ මෙම දරුවා අද (11) උදෑසන නිවස ආසන්නයේ සෙල්ලම් කර සිට තිබෙනවා.

එහෙත් දරුවා සෙල්ලම් කිරීමට ගොස් යළි නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් මව කළ සොයා බැලීමකදීයි දරුවා එම අනතුරට මුහුණ පා ඇති බවට අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් පොලිසිය මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ දරුවා අතින් රෙදි කැබැල්ලට ගෙළ සිරවීමෙන් ජීවිතක්ෂයට පත් වූයේද නැතිනම් වෙනත් ආකාරයකින් මෙම මරණය සිසු වූයේද යන්න පිළිබඳව සොයා බැලීම සඳහායි ෴


රෝහල් රැසක පරීක්ෂණ යන්ත්‍ර සූත්‍ර යළි අඩපණ වෙයි

(11.02.2024 – 20:24 +0530 – hirunews.lk/sinhala)

කාර්ය මණ්ඩලය උපරිම දායකත්වය දක්වමින් රෝගී සත්කාරක සේවාවන් පවත්වා ගෙන යාමට උත්සහ දැරුවත් රෝහල් රැසකම පරීක්ෂණ සිදු කරන යන්ත්‍ර සුත්‍ර බිඳ වැටීම හේතුවෙන් දෛනික සේවා කටයුතු අඩාල වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.

පෙට් ස්කෑන් යන්ත්‍ර, සී ටී ස්කෑන් යන්ත්‍ර, දැඩි සත්කාරක ඒකකවල විකිරණ පරීක්ෂණ සිදු කරන ජංගම විකිරණ යන්ත්‍ර ඇතුලු තවත් අත්‍යවශ්‍ය පරීක්ෂණ සිදු කරන යන්ත්‍ර රැසක් අක්‍රිය වී ඇති බවටයි එම සංගමය පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් රෝගී ජනතාවට පෞද්ගලික රෝහල්වලින් එම පරීක්ෂණ සිදු කිරීමට සිදු වීම හේතුවෙන් දැඩි ආර්ථික අපහසුතාවයට පත්ව ඇති බවටයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කළේ ෴


පුතු මැරූ පියාගෙන් අමුතු පාපොච්චාරණයක්

(11.02.2024 – 21:05 +0530 – hirunews.lk/sinhala)

අඹතලේ වෑකන්ද පාරේ නිවසකදී පියෙකු විසින් තියුණු ආයුධයකින් ගෙළ කපා සිය පුතු ඝාතනය කළ සිදුවීමක් ඊයේ (10) වාර්තා වුණා.

එම ඝාතනය සිදුකර තිබුණේ නිවසේ පැවති මත්පැන් සාදයක් අතරතුරයි.

සැකකාර පියාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදි ඝාතනය සම්බන්ධයෙන් කරුණු රැසක් ඔහු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා.

“මම මගේ පුතාගේ බිරිඳ සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගියා. ඇයත් සමඟ මම ලිංගිකව එකතුවෙනවා මගේ පුතා දැක්කා. පසුව මම පුතාගේ බිරිඳත් එක්ක නුගේගොඩ කන්දේවත්ත ප්‍රදේශයේ නිවසක පදිංචියට ගියා. අවුරුදු 10 ක විතර කාලයක් අපි එකට පවුල් කනවා. මගේ පුතාගෙන් එයාට දරුවෙකුත් ඉන්නවා. මගෙනුත් එයාට දරුවෙක් ඉන්නවා.

මේ අතර, මගේ පුතා වෙනත් කාන්තාවක් සමඟ විවාහ වෙලා තිබුණා. ඒත් එයත් එක්ක ප්‍රශ්න ඇතිකරගෙන දැන් ඒ බිරිඳ විදේශගත වෙලා. පස්සේ පුතා එයාගේ පළමු බිරිඳ වන දැන් මගේ බිරිඳට ඇමතුමක් දීලා කියලා තියෙනවා ‘මම අලුතින් ගෙයක් හැදුවා, ඒකට ලබන 14 වැනිදා පදිංචියට යනවා, පවුල් ප්‍රශ්න අමතක කරලා එන්න. අපි එකට ජීවත්වෙමු’ කියලා. මගේ බිරිඳත් ඒකට කැමති වෙලා. ඒක මට දරාගන්න බැරි වුණා.

මම මෝදර කෝවිලට ගිහින් දෙවියන්ට කන්නලව් කරලා පොල් ගැහුවා ‘මගේ පුතාගේ දෙවැනි බිරිඳ ලංකාවට ගෙනත් දෙන්න’ කියලා. පස්සේ මම එන ගමන් අරක්කු බෝතලයකුත් අරගෙන ගෙදර ආවා. එතකොට මගේ පුතා යහළුවෙක් එක්ක මත්පැන් බොනවා. මමත් ඒ අයත් එක්ක බිව්වා. පුතාට වැඩි වුණා. පස්සේ අලුත් නිවසේම පැදුරක් දාලා එයා නිදිකෙරෙව්වා. එයාගේ පළමු බිරිඳ වන මගේ වත්මන් බිරිඳ එක්ක යළිත් පවුල් කන්න යන එක ගැන මට ක්‍රෝධයක් ඇති වුණා. මම එයාම ගෙනත් තිබුණ අලුත් මන්නයකින් එයාගේ බෙල්ල වෙන්වෙන්නම කැපුවා “

සැකකාර පියා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

+


එළවළු හා පළතුරු ආනයනය සඳහා රුපියල් කෝටි 13,000 ක් වැය වෙලා

(11.02.2024 – 22:25 +0530 – hirunews.lk/sinhala)

2023 වසරේදී මෙරටට එළවළු හා පළතුරු ආනයනය සඳහා රුපියල් කෝටි 13,000 කට ආසන්න ප්‍රමාණයක් වැය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවල දැක්වෙනවා.

එම වසරේ වැඩිම ආනයනය වියදම දරා ඇත්තේ පිරිපහදු කළ ඉන්ධන සහ බොරතෙල් ආනයනය සඳහා වන අතර එය රුපියල් කෝටි 153,000 කට අධික බවයි වාර්තා වන්නේ.

2023 වසරේදී මෙරටට එළවළු ආනයනය සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 11,658 ක් බව ශ්‍රී ලංකා මහබැංකුවේ නවතම වාර්තාවල දැක්වෙනවා.

එමෙන්ම පසුගිය වසරේදී පළතුරු මෙරටට ආනයනය සඳහා රුපියල් කෝටි 1,308 ක මුදලක් වැය කර ඇති අතර සීනි සහ රස කැවිලි වර්ග ආනයනයට වැය කර ඇති මුදල් රුපියල් කෝටි 14,255 ක්.

වෛද්‍ය සහ ඖෂධ වර්ග ආනයනය සඳහා සඳහා රුපියල් කෝටි 21,778 ක මුදලක් වැය කර තිබෙනවා.

+


තරුණ පොලිස් කොස්තාපල්වරයකුට දිවි අහිමි කළ අනතුර

(11.02.2024 – 23:09 +0530 – hirunews.lk/sinhala)

පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරු පැදිය පාලනය කර ගත නොහැකිව පල්ලම නගරයේ දී බෝක්කුවක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අදාළ පොලිස් කොස්තාපල්වරයා එම අවස්ථාවේදීම රෝහල් ගත කර ඇති අතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 23 ක් වන තරුණ පොලිස් කොස්තාපල්වරයකු වන අතර ඔහු හලාවත පොලිස් කොට්ඨාශයේ පොලිස් රථවාහන ඒකකයේ රාජකාරි කළ වාරියපොල ඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පල්ලම නගරයේ යාළුවකුගේ උපන් දින සාදයකට සහභාගී වී ආපසු හලාවත රාජකාරි ස්ථානයට යතුරු පැදියෙන් යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවද සඳහන්.

කෙසේ වෙතත් අප වාර්තාකරු පැවසුවේ මෙම කොස්තාපල්වරයා මාදම්පේ පොලිසියට පළමු පත්විම ලබා ඇති බවත් පසුව හලාවත රථවාහන කොට්ඨාශයට රාජකාරි සඳහා අනුයුක්ත වී ඇති බවත් ය ෴


මෝටර් රථයක් යතුරුපැදි තුනක (3) ගැටී බිහිසුණු අනතුරක්

(11.02.2024 – 23:21 +0530 – hirunews.lk/sinhala)

කුරුවිට සිට රත්නපුර දෙසට අධික වේගයෙන් ගමන් කරමින් තිබූ මෝටර් රථයක් වේගය පාලනය කරගත නොහැකිව රත්නපුර නව නගරයේදී ඉදිරියෙන් පැමිණි යතුරුපැදි තුනක (3) මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවුණා.

අනතුරෙන් යතුරුපැදිවල ගමන් ගත් පුද්ගලයින් පස්දෙනෙකු (5) බරපතල තුවාල ලබා රත්නපුර මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා ෴


එයා AMUL බලන්න යනකොට ගෝලයෝ MILCO ඉස්සරහ පෙත්සම් අත්සන් කරනවා – විමල් වීරවංශ (11.02.2024)

+


ප්‍රබල ඝාතන රැසක ලයිස්තුවේ මගෙ නමත් තියෙනවා. ඒ නිසා පවුල පිටින් දැන් මම ඉන්නෙ රට – ANURA HORATIOUS (12.02.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *