ගම්පොළ පෙර පාසලේ ගසක් කඩා වැටීමෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුංචි පුතා ජීවිතක්ෂයට
ගම්පොළ පෙර පාසලේ ගසක් කඩා වැටීමෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුංචි පුතා ජීවිතක්ෂයට
(10.02.2024 – 14:23 +0530 – hirunews.lk/sinhala)
පසුගිය සතියේ ගම්පොළ ජාත්‍යන්තර පාසලක ගසක් කඩා වැටීම නිසා බරපතළ තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ දරුවාද දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගොස් තිබෙනවා.
ගම්පොළ නගරයේ පිහිටි ජාත්‍යන්තර පාසලකට අනුබද්ධ පෙර පාසලක දරුවන් පිරිසක් සෙල්ලම් කරමින් සිටියදී ගසක අත්තක් කඩා වැටීමෙන් සිසුවෙකු පසුගියදා ජීවිතක්ෂයට පත් වුණා.
අදාළ පාසලට යාබඳව පිහිටි ඉඩමේ තිබූ ගසක අත්තක් මෙලෙස කඩා වැටී තිබූ අතර පෙර පාසලේ දරුවන් 4 දෙනෙකු ඊට යට වීමෙන් තුවාල ලැබුවා.
ඔවුන් කඩිනමින් ගම්පොළ මූලික රෝහලට ඇතුළත් කළ අතර එහිදී ගම්පොළ – ඉල්ලවතුර ප්‍රදේශයේ පදිංචි පස් (5) හැවිරිදි ‘මොහොමඩ් සෙයම් අස්වී’ නමැති 5 හැවිරිදි දරුවා මියගියා.
එමෙන්ම තවත් දෙදෙනෙකු (2) ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
+
දැන් ‘ලීස්’ දාලා ගත්ත වාහන ‘ඇරියස්’ වුණු පළියට උස්සන්න බෑ
(10.02.2024 – 14:20 +0530 – hirunews.lk/sinhala)
මින් ඉදිරියට ලිසිං සමාගම්වලට මැරබලය යොදා ගනිමින් වාහන රැගෙන යා නොහැකි බව ‘ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය’ පවසනවා.
එම සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය ප්‍රකාශ කළේ නව චක්‍රලේඛයක් හේතුවෙන් ලීසිං පදනම මත වාහන ලබා ගත් ජනතාවගේ අයිතීන් මෙලෙස සුරැකෙන බවයි.
+
මුදල් එකතු කර ගුරුවරුන්ට තෑගි බෝග ලබාදීම තහනම්
(10.02.2024 – 14:08 +0530 – hirunews.lk/sinhala)
මුදල් එකතු කර ගුරුවරුන්ට තෑගි බෝග ලබා දෙන්නන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත් පවසනවා.
ගුරුවරුන්ට තෑගි බෝග ලබාදීම තහනම් කරමින් චක්‍රලේඛ නිකුත් කර තිබියදී එවැනි කටයුතු දිගින් දිගටම සිදුවන බවට තොරතුරු ලැබී තිබෙන බවයි අමාත්‍යාංශය පවසන්නේ.
ගුරුවරුන් එවැනි තෑගි බෝග ලබා ගැනීමද වරදක් බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ ෴
ගම්පොළදී විදුලි සැර වැදී දෙදරු පියෙක් මියයයි
(10.02.2024 – 14:01 +0530 – hirunews.lk/sinhala)
ගම්පොළ ප්‍රදේශයේ දෙදරු පියෙකුට අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුව ඇත්තේ ද තම නිවසේ විදුලි බිල ගෙවාගැනීමට නොහැකි වු තත්ත්වයක් හමුවේයි.
විදුලි බිල නොගෙවීමෙන් තම නිවසේ විදුලිය විසන්ධි කර තිබූ බැවින් අසල නිවසකින් විදුලිය ලබා ගැනීමට යාමේදී ඔහු මේ ඉරණමට ගොදුරු වී තිබුණා.
විදුලි සැර වැදීමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගම්පොළ පුපුරැස්ස ප්‍රදේශයේ දෙදරු පියෙක්.
විදුලි බිල ගෙවාගැනීමට නොහැකිවීම හේතුවෙන් මීට මාසයකට පමණ ඉහතදී මෙම නිවසේ විදුලිය විසන්ධි කර තිබුණා.
ඒ අනුව ඔහු ඊයේ (09) පෙරවරුවේ අසල්වැසි නිවසකින් අනවසරයෙන් විදුලිය ලබා ගැනීමට උත්සාහ කර තිබුණේ පළමු වසරේ ඉගෙනුම ලබන තම කුඩා දියණියගෙත්, 6 වැනි වසරේ ඉගෙනුම ලබන තම පුත්‍රයාගේ අධ්‍යාපන කටයුතු සිදු කරගැනීමේ අපහසුතාව මතයි.
එම අවස්ථාවේ විදුලි සැර වැදී ඔහු තම නිවසේදීම මියගොස් තිබෙනවා.
පවුලේ දැඩි ආර්ථික අපහසුතා මත ඔහුගේ බිරිඳ ද මීට සතියකට පමණ ඉහතදී ගෘහ සේවය සඳහා විදෙස්ගතව ඇති අතර දරුවන් දෙදෙනා (2) මේ පේලි නිවසේ ජීවත් වුණේ පියාගේ ආරක්ෂාව යටතේයි.
මව් සෙනෙහස ද අහිමි වූ තම දරුවන්ගේ එකම ආරක්ෂකයා බවට පත්වූ පියා ද එලෙස එම දරුවන්ට අහිමි වූයේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන පැවරුණු වගකීම ඉටු කිරීමට යාමේදී යි.
+
Online පනතට එරෙහිව මාධ්‍ය සංවිධාන පෙරට එයි
(10.02.2024 – 13:52 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් කතානායකවරයා වෙත විශේෂ ලිපියක් යවා තිබෙනවා.
මාධ්‍යයවේදින්ට එරෙහිව පාර්ලිමෙන්තු බලතල හා වරප්‍රසාද නීතිය භාවිත කරමින් ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වය මර්දනය කිරීමට දරන උත්සාහය පිළිබඳව සඳහන් කරමින් අදාළ ලිපිය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ලිපියට අත්සන් තබන, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය සංවිධාන වශයෙන් ඔවුන් සඳහන් කරන්නේ ජන මාධ්‍ය මර්දනය කිරීම සඳහා පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද නීතිය යොදා ගැනීමට, ආණ්ඩුව දරමින් සිටින උත්සාහයන් පිළිබඳව දැඩි අවධානයකින් පසුවන බවයි.
එමෙන්ම ජනමාධ්‍යවේදීන් බිය ගැන්වීම මගින් මහජනතාවට සත්‍යය දැන ගැනීමට ඇති අයිතිය අවහිර කිරීමට දරමින් සිටින සියලුම උත්සාහයන් පිළිකුළින් යුතුව හෙළා දකින බවද එම ලිපියේ සඳහන්.
ප්‍රසිද්ධ පුවත්පතක පල වූ වාර්තාවක් පිළිබඳව අදහස් දක්වමින් එම සංවිධාන පෙන්වා දෙන්නේ එම පුවත අසත්‍ය තොරතුරු මත පදනම්ව ලියා ඇති ප්රවෘත්ති වාර්තාවක් නොවන අතර එම වාර්තාව මගින් උත්සාහ දරා ඇත්තේ ‘ඔන්ලයින්’ හෙවත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කර ගැනීමේ ක්‍රියාවලියේදී සිදු වී ඇති අඩුපාඩු රටේ පුරවැසියන්ගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධ කිරීම බවයි.
එමෙන්ම එය ජනමාධ්‍යයට පැවැරෙන සමාජ වගකීම ඉටුකිරීමක් වන බවයි මාධ්‍ය සංවිධාන පවසන්නේ.
පනත් කෙටුම්පතේ පැවති දුර්වලතා නිසා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙස ජනමාධ්‍ය, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සහ විපක්ෂය ආරම්භයේදීම කථානායකවරයාගෙන් ඉල්ලා සිටි බවද එම ලියුමේ සඳහන්.
මෙම පනත සම්බන්ධයෙන් හෝ වෙනත් පනතක් සම්බන්ධයෙන් විපක්ෂය විසින් කරන ලද ඉල්ලීමක් මාධ්‍ය මගින් වාර්තා කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ කිරීමක් වන්නේ කෙසේද? යන්න පිළිබඳව ද මෙම ලිපිය ඔස්සේ ඔවුන් ප්‍රශ්න කරනවා.
මෙහිදී ජනමාධ්‍ය උත්සාහ දරා ඇත්තේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධයෙන් වාර්තා කරමින් එම ක්‍රියාවලිය නිවැරදි කිරීමට මිස කවර ආකාරයකින් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාදවලට බලපෑමක් කිරීමට නොවන බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.
මෙම තත්ත්වය ජනමාධ්‍යවේදීන්ට නිදහසේ වාර්තා කිරීමට ඇති අයිතියට බාධා කිරීමක් වන අතර එය මහජනතාවට සත්‍ය හා නිවැරදි තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය ද අවහිර කිරීමක් බවයි මෙම ලිපියේ දැක්වෙන්නේ.
එම නිසා මෙම මාධ්‍ය සංවිධාන කතානායකවරයාගෙන් ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුවේ බලතල හා වරප්‍රසාදවලට මුවා වී මාධ්‍ය මර්ධනය කිරීමට ආණ්ඩුව දරමින් සිටින උත්සාහයට දායකත්වය ලබා නොදෙන ලෙසයි.
මීට පෙරත් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද කමිටුව හමුවට ජනමාධ්‍යවේදීන් කැඳවූ අවස්ථා මෙන්ම කැඳවීමට උත්සාහ ගත් අවස්ථා තිබු අතර ඒ සෑම අවස්ථාවකම ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධය හා පිළිකුල පළ කළ බවද, තවදුරටත් එම ස්ථාවරයේම සිටින බව ද ලිපිය ඔස්සේ මාධ්‍ය සංගම් අවධාරණය කර සිටිනවා ෴
කැලි කසළ හේතුවෙන් අනුරාධපුර පූජා නගරය ආශ්‍රිතව දැඩි පරිසර ගැටලුවක්
(10.02.2024 – 13:20 +0530 – hirunews.lk/sinhala)
අනුරාධපුර පූජා නගරයේ ඇති හෝටල්වලින් සහ විවිධ පුද්ගලයින් විසින් බැහැර කරන කැලි කසළ හේතුවෙන් විශාල පරිසර ගැලුවක් මතුව තිබෙනවා.
මේ හේතුවෙන්, ප්‍රදේශවාසීන් මෙන්ම මෙරට සුන්දරත්වය විඳගැනීමට පැමිණෙන විදේශිකයින්ද පත්ව ඇත්තේ දැඩි අපහසුතාවකටයි.
අනුරාධපුර පූජා නගරයේ අභයගිරිය Y හංදියේ සිට කුට්ටම්පොකුණ දක්වා දිවෙන කෙටි මාර්ගය දෙපස අද (10) වන විට දක්නට ලැබෙන අපිරිසිදු තත්ත්වයකයි.
ප්‍රදේශය අවට හෝටල්වලින් සහ විවිධ පුද්ගලයින් විසින් ගෙනැවිත් දමන මෙම කැලි කසළ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව සහ මෙරට සුන්දරත්වය විඳගැනීමට පැමිණෙන විදේශිකයින්ද පත්ව ඇත්තේ දැඩි අපහසුතාවකට.
රිලවුන් විසින් මෙම කැලි කසළ ආහාරයට ගැනීම සඳහා ඒවා ප්‍රදේශය පුරා ගෙන ගොස් දමා ඇති අයුරුද දක්නට තිබෙනවා.
පූජා නගරය තුළ සිදුවන මෙම පරිසර හානිය නතර කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසයි ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ.
මේ අතර, පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයද කැලි කසළ නිසා විනාශයට යන තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.
සවස් කාලයේ එහි පැමිණෙන දේශීය සංචාරකයින් එහි සුන්දරත්වයට එල්ල කර ඇත්තේ විශාල බලපෑමක්.
ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ මෙම නොමනා හැසිරීම් නතර කර එම ස්ථානය පිරිසිදු කර දෙන ලෙසයි.
+
පොහොර වංචාවට අත්අඩංගුවට ගැනීමට පෙර අධ්‍යක්ෂකවරු දෙදෙනෙකු (2) කළ ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි
(10.02.2024 – 12:32 +0530 – hirunews.lk/sinhala)
පොහොර සහනාධාරය ගොවි ජනතාවට ලබාදීමේදී රජයේ මුදල් කෝටි ගණනින් වංචා කිරීමට එරෙහිව සිදු කරන විමර්ශනවලට අදාළව පොලිස් අත්අඩංගුවට පත්වීමේ අවදානමක් ඇති හෙයින් ඇප නියම කරන්නැයි පොහොර සමාගමක අධ්‍යක්ෂකවරුන් දෙදෙනකු (2) කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (09) ප්‍රතික්ෂේප කළා.
ගොවීන්ට ලබාදීමට නියමිතව තිබූ රජයේ පොහොර සහනාධාරය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයන්ට සහාය දක්වන ලෙසයි මහේස්ත්‍රාත්වරයා පැමිණිලිකරුවන්ට නියෝග කළේ.
ජාතික පොහොර ලේකම් කාර්යාලය 2018 වසරේ දියත් කළ පොහොර සහනාධාර වැඩපිළිවෙළේදී රුපියල් 2,500ට ආනයනය කළ පොහොර මිටිය රුපියල් 1,100කට ගොවි ජනතාවට ලබා දිය යුතුව තිබියදී රුපියල් 3,500කට අලෙවි කර රජයේ මුදල් අවභාවිතා කිරීමට එරෙහිවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශනය ආරම්භ කර තිබුණේ ෴
පන්නිපිටියේ නිවසක ගින්නක්
(10.02.2024 – 11:50 +0530 – hirunews.lk/sinhala)
පන්නිපිටිය – පැලන්වත්ත ප්‍රදේශයේ නිවසක අද (10) ගින්නක් හටගෙන තිබෙනවා.
ඒ සඳහා පාලනය කිරීමට ගිනි නිවීම් රථ 02 ක් යෙදවා ඇති බවයි සඳහන් වන්නේ ෴
ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම්වලින් අපරාධකරුවන් 663 ක් අල්ලයි
(10.02.2024 – 10:52 +0530 – hirunews.lk/sinhala)
දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 547 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 116 ක් සමගින් මුළු සැකකරුවන් 663 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රැදවුම් නියෝග මත විමර්ශන සිදුකරන සැකකරුවන් 02 සිටින අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 02 ක් පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙතද යොමු කර ඇති බවයි සඳහන් වන්නේ.
එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 116 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 14 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 95 ක්ද සිටින බවයි සඳහන්.
ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන සැකකරුවන් 03 ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 4 ක්ද මෙහෙයුම්වල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴
+
මීරිගම රෝහලේ ළමා වාට්ටුවට නිරුවතින් පුද්ගලයෙක් ඇවිත්
(10.02.2024 – 09:10 +0530 – hirunews.lk/sinhala)
මීරිගම මූලික රෝහලේ ළමා වාට්ටුවට පෙරේදා (08) අලුයම නිරුවතින් පැමිණි පුද්ගලයෙකු නිසා එම වාට්ටුව තුළ නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබෙනවා.
නිරුවතින් ළමා වාට්ටුවට ඇතුළු වූ එම පුද්ගලයා අදාළ වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 13 හැවිරිදි දැරියක නිදාගෙන සිටි ඇඳ මත වාඩි වී සිට ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.
එම දැරිය අලුයම අවදි වන විට තමා නිදා සිටි ඇඳ මත නිරුවතින් පුද්ගලයකු වාඩි වී සිටින අයුරු දැක බිය වී කෑ ගසා ඇති බවයි වාර්තා වන්නේ.
අප වාර්තාකරු පැවසුවේ දැරියගේ කෑ ගැසීම නිසා නිරුවත් පුද්ගලයා වාට්ටුවෙන් පලා ගොස් ඇති අතර රෝහල මගින් මේ බව මිරිගම පොලිසියට දන්වා ඇති බවයි.
පොලිස් නිලධාරීන් එහි පැමිණ පරීක්ෂණ ආරම්භ කර සිද්ධියට මුහුණ පෑ දැරියගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴