ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සහ රියදුරාගේ දෑත් සපා කෑ බීමත් රියැදුරු රිමාන්ඩ්

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සහ රියදුරාගේ දෑත් සපා කෑ බීමත් රියැදුරු රිමාන්ඩ්


ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සහ රියදුරාගේ දෑත් සපා කෑ බීමත් රියැදුරු රිමාන්ඩ්

(09.02.2024 – 07:18 +0530 – hirunews.lk/sinhala)

ඇඹිලිපිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට සහ ඔහුගේ පොලිස් රියැදුරුට පරුෂ වචනයෙන් බැණ වැදී පහරදීමට තැත් කර ඔවුන් දෙදෙනාගේ (2) අත් සපාකෑ බීමත් ත්‍රිරෝද රථ රියැදුරකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු මිනීමැරුම් චෝදනාවකට බන්ධනාගාරතව සිට ඇප මත නිදහස් වී සිටින හිටපු හමුදා සෙබලෙක් බවයි.

ඇඹිලිපිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඔහුගේ රියැදුරා සමඟ ඇඹිලිපිටියේ පිහිටි සුපිරි වෙළෙඳසලකට අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් මිල දී ගැනීමට ගොස් තිබෙන අතර, සුපිරි වෙළෙඳසලෙන් අවශ්‍ය භාණ්ඩ මිලදී ගෙන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මෝටර් රථයට නැගී පිටත්ව යන අවස්ථාවේදී ඉහත බීමත් රියැදුරා ත්‍රිරෝද රථය එකවරම මඟ හරස් වන ලෙස මෝටර් රථය ඉදිරිපිට නතර කර තිබෙනවා.

එහිදී පොලිස් රියැදුරු ලෙස කටයුතු කළ කොස්තාපල්වරයා මෝටර් රථයේ සිට ත්‍රිරෝද රථයේ රියැදුරුට ත්‍රිරෝද රථය අයින් කර ගන්නා ලෙස දැනුම් දී ඇති අවස්ථාවේදී ත්‍රිරෝද රථයේ රියැදුරු මෝටර් රථය අසලට පැමිණ පොලිස් රියැදුරාට පහරවල් කිහිපයක් එල්ල කර තිබෙන බවයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කළේ.

එම අවස්ථාවේදී වහාම රථයෙන් බැස පැමිණි පොලිස් අධිකාරීවරයා ගැටුමට මැදිහත් වී රථය අවහිර වූ මාර්ගයෙන් ඉවත් කරගන්නා ලෙස දැනුම් දීමත් සමඟ මෙම පුද්ගලයා පොලිස් අධිකාරීවරයාට පරුෂ වචනයෙන් බැණ වදිමින් පහර දීමට උත්සාහ කර තිබෙනවා.

එය ව්‍යර්ථ කිරීමට පොලිස් රියැදුරු සූදානම් වීමේදී ඔහුගේ දෑතම සහ පොලිස් අධිකාරීවරයාගේ එක් අතක් මෙම පුද්ගලයා සපාකා තුවාල කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ හෝ රථවාහන අංශයේ පොලිස් නිලධාරීන්ගේ ද සහාය ඇතිව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට රැගෙන විත් තිබෙනවා.

අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරු ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 21 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට නියෝගකර තිබෙනවා ෴


මිරිහානේ නිවසක අබිරහස් ලෙස මියගිය අඹුසැමි යුවලකගේ දේහයන් හමුවේ

(09.02.2024 – 06:40 +0530 – hirunews.lk/sinhala)

මිරිහාන ප්‍රදේශයේ නිවසකින් දින කිහිපයකට පෙර මිය ගිය බවට සැලකෙන වයෝවෘද්ධ අඹුසැමි යුවළකගේ සිරුරු සොයා ගත් බව පොලිසිය පවසනවා.

ජුබිලි මාවත, මිරිහාන ප්‍රදේශයේ දින කිහිපයක සිට දුගඳක් හමන බව අසල්වැසියන් විසින් සිදුකල පැමිණිල්ලක් මත මිරිහාන පොලිසිය විසින් එම නිවෙසට ගොස් පරීක්ෂා කිරීමේදී නිවෙසෙහි තිබූ ඇඳක් මත දින කිහිපයකට පෙර මියගිය වයෝවෘද්ධ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගැනීමට සමත්ව තිබෙනවා.

එමෙන්ම වැඩිදුර පරීක්ෂා කිරීමේදී එම නිවසේ මුළුතැන්ගෙයි තිබී නිරුවත් කාන්තා මළ සිරුරක්ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය සඳහන් කළේ මෙලෙස මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 80 ක් වන අයෙක්ද, කාන්තාව වයස අවුරුදු 96 ක් වන ඉහත නිවසේ වාසයකළ අඹුසැමි යුවලක් බවයි.

මෙය ඝාතනයක්ද, නැතහොත් ස්වාභාවික මරණයක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවයි මිරිහාන පොලිසිය සඳහන් කළේ ෴


රෝබෝ තාක්ෂණය රබර් කිරි කැපීමට

(08.02.2024 – 20:11 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රමික හිඟයට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට රෝබෝ තාක්ෂණය හරහා රබර් කිරි කැපීමේ යන්ත්‍රයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය හා මෙරට පෞද්ගලික සමාගමක් එක්වයි.

මෙරට තුළ රබර් ගස් මිලියන 37 ක් පමණ පවතින අතර සේවකයින් නොමැතිකම හේතුවෙන් ඉන් 50% ක පමණ රබර් කිරි කැපිම සිදු වන්නේ නැහැ.

මෙම රොබෝ යන්ත්‍රය පරිඝණක පද්ධතියක් හරහා ක්‍රියාත්මක වන අතර, කිලෝමිටරයක වපසරියක් තුළ පවතින රොබෝ යන්ත්‍ර සහිත රබර් ශාක 20,000 ක් එකවර ස්වයංක්‍රියව පාලනය කිරිමටද හැකියාව පවතිනවා ෴


කිලිනොච්චියේ කොහු කර්මාන්තශාලාවක ගින්නක්

(08.02.2024 – 20:16 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චිය කෝනාවිල් ප්‍රදේශයේ පිහිටි පොල් කොහු කර්මාන්ත ශාලවක ඊයේ (07) සවස ගින්නක් හටගෙන තිබෙනවා.

ඇති වූ ගින්න හේතුවෙන් කොහු කර්මාන්ත ශාලාවට හා එහි උපකරණවලට දැඩි හානි සිදුව ඇතැයි කිලිනොච්චිය පොලිසිය වාර්තා කළ සිටියේ.

එම කර්මාන්ත ශාලාවට සම්බන්ධ විදුලි කාන්දුවක් නිසා පළමුව ගිනි ගැනීම ආරම්භ වී ඇති බවයි සඳහන් වන්නේ.

ගින්න ඇති වූ අවස්ථාවේදී කොහු කර්මාන්ත ශාලව තුළ සිටි පිරිස් වහා එම ස්ථානයෙන් ඉවත්ව ආරක්ෂාකාරි ස්ථානයන් වෙත ගොස්, ගින්න නිවා දැමීමට උත්සහ දැරුවද එය අසාර්ථක වී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ඉන්පසුව එහි සේවකයින් විසින් මේ පිළිබඳ පොලිසියට හා ගිනි නිවන අංශයන් වෙත දැනුම් දී තිබෙනවා.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගිනි නිවන රථය ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව ගින්න පාලනය කිරීමට පියවර ගෙන තිබෙන බවයි පවසන්නේ.

ගිනි ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණයක් කිලිනොච්චිය පොලිසිය විසින් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ ෴


ස්ථාන මාරුවීමකින් උණුසුම් වුණු විරෝධය (08.02.2024)

+


චීන නෞකාවට ඉඩ නොදී ඉන්දීය නාවික සබ්මැරීනයට ඉඩදීමෙන් බරපතළ රාජ්‍යතාන්ත්‍රික වියවුලකට…

(09.02.2024 – 00:02 +0530 – lankacnews.com)

විදේශ කටයුතු අමාත්‍යාංශය සම්මත මෙහෙයුම් පටිපාටියකට(SOP) අනුකූලව Xiang Yang Hong 3 චීන විද්‍යාත්මක පර්යේෂණ නෞකාවට ශ්‍රී ලංකාවේ ගැඹුරු මුහුදෙහි පර්යේෂණ කටයුතු සඳහා 2024 ජනවාරි 05 වැනිදා සිට 2024 මැයි මාසය දක්වා ලබා දුන් අවසරය අත්හිටුවා ඇති පසුබිමක, එකී විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරය හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අනුදැනුම මත ඉන්දීය නාවික හමුදාවට අයත් INS Karanj සබ්මැරීනයට පසුගිය පෙබරවාරි 03 වැනි දින මෙරටට පැමිණීමට ඉඩකඩ සැලසීම, ඉදිරියේදී බරපතළ රාජ්‍යතාන්ත්‍රික වියවුලකට මුල පිරිය හැකි බවට ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අනතුරු අඟවයි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ඒ මහතා මෙසේ අනතුරු ඇඟවීය.

චීන පර්යේෂණ නෞකාවට ජාත්‍යන්තර පටිපාටියකට අනුකූලව ලබාදී තිබූ අවසරය, ඉන්දියාවේ රාජ්‍යතාන්ත්‍රික අධිපතීත්වය හමුවේ හකුළා ගත් ‘රනිල් රාජපක්ෂ පාලනය’ ඉන්දීය යුද සබ්මැරීනයකට මෙරටට ඇතුළු වීමට ඉඩදී නිහඩව බලා සිටීම පිළිබිඹු කරන්නේ මෙම පාලනය වේගවත්ව යමින් සිටින ‘ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත් කිරීමේ ගමන’ මිස අන් කිසිවක් නොවන බව ද ජයන්ත සමරවීර මහතා පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර සමුද්‍ර නීතිය අනුව, මේ ආකාරයට තම අසල්වැසියාට රාජතාන්ත්‍රික ත්‍රස්තවාදියෙකු ලෙස බලපෑම් කිරීමට ඉන්දියාවට නොහැකි බවත් එසේම ඉන්දියාවේ බලපෑමට යටත් වී ඉන්දියාවට ‘එක් හැන්දකින්’ සහ චීනයට ‘තවත් හැන්දකින්’ බෙදීමට ‘රනිල් රාජපක්ෂ පාලනයට’ නොහැකි බවත් ඒ මහතා අවධාරණය කළේය.

‘රනිල් රාජපක්ෂ පාලනය’ යමින් සිටින්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත් කිරීමේ වේගවත් ගමනක් බවට වන ප්‍රධානතම පිළිබිඹුව වන්නේ ‘ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එට්කා ගිවිසුම අත්සන් කිරීම’ බව කී සමරවීර මහතා, එමඟින් ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළ සහ සාමාන්‍ය වෙළඳපොළ තුළ ඉන්දියානුවන්ට සමාන අවස්ථා ලැබෙනු ඇති බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ විදුලි බල පද්ධතිය සහ ඉන්දියාවේ විදුලි බල පද්ධතිය ඒකාබද්ධ කිරීමට යෝජිත ව්‍යාපෘතිය මෙන්ම ඉන්දියාවේ දනුස්කොඩි සිට ශ්‍රී ලංකාවේ තලෛමන්නාරම අතර ඉදිකිරීමට යෝජිත පාලම් හා උමංමාවත් යන කාරණා පිළිබිඹු කරන්නේ ද ‘රනිල් රාජපක්ෂ පාලනය’ මේ වන විට ශ්‍රී ලංකාව, ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත් කිරීමට යන ගමන බව ද ජානිපෙ ජාතික සංවිධායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඉන්දියාවෙන් විදුලි බලය සපයාගන්නා ‘සිකීමය’ අද ඉන්දීය ප්‍රාන්තයක් බවත් වරායවල් නොමැති නේපාලය, අද ඉන්දියාවේ බරපතළ ග්‍රහණයට නතු වී ඇති බවත් පෙන්වා දුන් ඒ මහතා එම තත්ත්වයන් තේරුම් ගනිමින්, මෙම අර්බුදකාරී මොහොතේ සියලු ලෝක මිතුරන්ගේ උදව්වෙන් නැගී සිටීම ‘රනිල් රාජපක්ෂ පාලනයෙන්’ බලාපොරොත්තු විය නොහැකි බව ද කීය.

ඉන්දු – ලංකා ගිවිසුමට අත්සන් තබා, පළාත් සභා පිහිටුවා ශ්‍රී ලංකාව තුළ ඉමහත් ඉන්දීය ආධිපත්‍යයකට පාර කැපූ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ බෑණා, අද තම මාමාට නොහැකි වූ සියල්ල ඉටු කර දීමේ කොන්ත්‍රාත්තුව ඉන්දියාවෙන් ලබාගෙන ඇති බවත් එම කොන්ත්‍රාත්තුව ජනතාවගෙන් නොසඟවා, ඊට එරෙහිව ජනතාව පෙළගැස්වීම මේ මොහොතේ කර හැරිය නොහැකි වගකීමක් බවත් සමරවීර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ


මිත්තණියගේ රුපියල් ලක්ෂ 15 ක් සොරකම් කල සැකකාර මුනුබුරා අත්අඩංගුවට

(08.02.2024 – 22:11 +0530 – sinhala.adaderana.lk)

මිත්තණියගේ රුපියල් ලක්ෂ 15 ක මුදල් සොරකම් කළ 14 හැවිරිදි මුනුබුරාව දොඩංගොඩ පොලීසිය විසින් අද (08) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන පාසල් සිසුවෙකි.

පසුගිය 31 වනදා දහවල් කාලයේ දොඩංගොඩ පොලිස් වසමේ මිනුවන්දෙනිය නිවසක කාන්තාවකගේ රුපියල් ලක්ෂ 15 ක මුදලක් කිසියම් පුද්ගලයෙකු සොරකම් කර ඇති බවට දොඩංගොඩ පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

මිත්තණිය දහවල් කාලයේ නිවසින් බැහැරව ගොස් සිටියදී හොර රහසේ ඉනිමඟක් ආධාරයෙන් වහලයෙන් නිවසට ඇතුළුවී සොරකම සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය විය.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අනුව 08 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අදාළ සිසුවාව සැකපිට අත්අඩංගුවට ගැනුණි.

මෙම සොරකම සම්බන්ධයෙන් ප්‍රදේශයේ විවිධ පුද්ගලයන්ගෙන් සැකපිට ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව දොඩංගොඩ පොලීසියේ නිලධාරීන් මෙම බාලවයස්කරුගේ හැසිරීම් රටාව දැඩි ලෙස නිරීක්ෂණය කර තිබුණි.

ඉන් අනතුරුව අද (08) දහවල් ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම සොරකමේ සුලමුල හෙළිවී ඇති බව අප වාර්තාකරු පවසයි.

එම පාසල් සිසුවා පාසල් යාම සඳහා පයාගල පොතුවිල ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසකට ඔහුගේ පියා දිනපතාම රැගෙන යන බව වාර්තා වෙයි.

නමුත් මෙම සොරකම සිදුවන දිනයේ මෙම සිසුවා පාසල් නොගොස් පයාගල පොතුවිල ප්‍රදේශයේ සිට පාගමනින් මිනුවන්දෙණිය මෙම නිවසට පැමිණ තිබෙන බව පැවසෙයි.

එහිදී මිත්තණිය නිවසේ නොමැති බව පෙනී ගිය නිසා සිසුවා වහලින් නිවසට ඇතුළුවී මිත්තණියගේ කාමරය තුළට ගොස් ඇත.

කාමරයේ ඇඳ මත තිබූ මෙට්ටය යට සඟවා තිබූ රුපියල් ලක්ෂ 15 ක මුදල සහ ඇයට අයත් ලැප්ටොප් පරිගණකය ද සොරකම් කොට ඇති බව පොලීසිය පවසයි.

සැකකාර සිසුවාගෙන් ප්‍රශ්න කිරීමේදී පොලීසිය නොමඟ යැවීම සඳහා විවිධ කාරණා පවසා තිබුණත් පොලීසියේ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ සොරකම පිළිබඳව පවසා ඇති බවද පැවසෙයි.

මෙසේ සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 15 ක මුදල පයාගල පොතුවිල ප්‍රදේශයේ ඥාතී නිවසේ පිටුපස කෙසෙල් පඳුරක් ආසන්නේ වළදමා තිබියදී පොලීසිය සොයාගෙන තිබේ.

ලැප්ටොප් පරිගණකය එම නිවසේම ළිඳ තුළට දමා තිබියදී පොලීසියට හමුවී ඇත.

අදාළ මුදලින් රුපියල් ලක්ෂයක් විවිධ පුද්ගලයින් සමග එකතුවී වියදම් කර තිබෙන බවද හෙළිවී ඇත.

මෙතරම් මුදලක් සොරා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය පිළිබඳ ඉදිරි විමර්ශන ක්‍රියාත්මකය ෴


TIN තොරතුරු සොයන මුවාවෙන් බැංකු ගිණුම්වලට රිංගන හැකර් කල්ලියක්

(08.02.2024 – 11:05 +0530 – sinhala.adaderana.lk)

බදු ගෙවන්නන් හඳුනාගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති TIN අංකයට අදාළ බැංකු කටයුතු සඳහා බව පවසමින් බැංකුවෙන් කතා කරන ආකාරයට කතා කර ජනතාව රවටා සූක්ෂම ආකාරයට පෞද්ගලික බැංකු ගිණුම්වලින් මුදල් වංචා කරන හැකර් කල්ලියක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

මේ වනවිට එම වංචනික කල්ලිය හමුවේ රුපියල් ලක්ෂ ගණනින් මුදල් අහිමි කරගත් පිරිස පිළිබඳව තොරතුරු ලැබී ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

රාජ්‍ය බැංකුවක කාර්ය මණ්ඩල සාමාජිකයන් ලෙස දුරකථනයෙන් අමතා TIN අංකයට අදාළව බැංකුවේ ගිණුමක් පවත්වාගෙන යායුතු ආකාරය පිළිබඳව දැනුවත් කරන ජාවාරම්කරුවන් ඉන් පසුව එම ගිණුම සකස් කිරීමට අවශ්‍ය වන බැංකු ගනුදෙනුකරුගේ මුදල් හුවමාරු රහස් අංකය (OPT) ඉල්ලා සිටී.

තමන් හසුවී සිටින්නේ වංචනිකයෙකුට බව නොදැන ඇතැම් පිරිස් මෙම රහස් අංකය වැඩිදුර සොයා බැලීමකින් තොරව ඔවුන්ට ලබාදීමට කටයුතු කර ඇත.

එම රහස් අංකය ලබාගන්නා වංචනික කල්ලිය තමන් සමග සම්බන්ධ වූ පුද්ගලයාට අයත් බැංකු ගිණුමට ඇතුළත් වී එහි ඇති මුදල් ලක්ෂ ගණනින් ලබාගන්නා බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතා සඳහන් කළේය.

මේ ආකාරයට තම ගනුදෙනුකරුවන් රවටන මෙම වංචනික කල්ලිය මේ වනවිට කුරුණෑගල නගරයේ ප්‍රධාන පිරිවෙන් අධ්‍යාපන ආයතනයක සේවය කරන හිමිනමකගේ ගිණුමකින් ඊයේ (07) රුපියල් 208,000 ක මුදලක් ලබාගෙන ඇති අතර, උන්වහන්සේ කුරුණෑගල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.

පසුගිය සතියේ තවත් අයෙකුගේ ගිණුමකින් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ද වංචනිකව ලබාගෙන ඇති බව රාජ්‍ය බැංකුවක අභන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙවැනි ආකාරයට දුරකථන මඟින් කතා කර පෞද්ගලික තොරතුරු විමසන වංචනිකයන්ට හසු නොවන ලෙස ජනතාවට දැනුම් දෙන නියෝජ්‍ය පොලිස්පතිවරයා, මේ සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලුම පොලිස් ස්ථාන හරහා ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද පැවසීය.

මේ අතර මහජන බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මහජන බැංකුවේ විවිධ බැංකුකරණ සේවාවන් ලබාදෙන බව පවසමින් සංවිධානය වූ කිසියම් වංචාකාරී කණ්ඩායමක් ගිණුම්හිමියන්ගේ රහස්‍ය තොරතුරු ලබාගැනීමේ උත්සාහ කරමින් සිටින බවට වාර්තා වී ඇති බවය.

මහජන බැංකුව විසින් කිසිවිටකත් බැංකු ගිණුම් විවෘත කිරීමට හෝ බැංකුකරණ කටයුතු සිදුකිරීමට බැංකුව වෙනුවෙන් තෙවැනි පාර්ශවයක් යොදවන්නේ නැති බව ද එම නිවේදනයෙන් දැනුම් දී තිබේ.

ගිණුම් අංක, ජාතික හැඳුනුම්පත් අංක, මුරපද, පරිශීලක නාම සහ OPT අංක වැනි පෞද්ගලික තොරතුරු වෙනත් තෙවැනි පාර්ශවයක් වෙත අනාවරණය නොකරන ලෙස ද මහජන බැංකුව ජනතාවට දැනුම් දෙයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *