ආදුරුප්පු වීදිය පොලිස් සිර මැදිරියේ සිටි දෙදෙනාට (2) ලබාදුන් කිරිවල සයනයිඩ් ඇති බවට සැකයක්

ආදුරුප්පු වීදිය පොලිස් සිර මැදිරියේ සිටි දෙදෙනාට (2) ලබාදුන් කිරිවල සයනයිඩ් ඇති බවට සැකයක්


ආදුරුප්පු වීදිය පොලිස් සිර මැදිරියේ සිටි දෙදෙනාට (2) ලබාදුන් කිරිවල සයනයිඩ් ඇති බවට සැකයක්

(08.02.2024 – 13:06 +0530 – hirunews.lk/sinhala)

ආදුරුප්පුවීදිය පොලිසියේ සිරමැදිරියේ රඳවා සිටියදී හදිසියේ රෝගී වී රෝහල් ගත කළ සැකකරුවන් දෙදෙනාට (2) කිසියම් පුද්ගලයෙකු ලබාදී ඇත්තේ ‘සයනයිඩ් මිශ්‍ර කිරි වර්ගයක්’ බවට පොලීසිය සැක පළ කරනවා.

කෙසේ වෙතත්, ඔවුන් දෙදෙනා (2) අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා.

මේ අතර සැකකරුවන් දෙදෙනාට (2) විෂ සහිත කිරිපැකට් ලබාදුන් පුද්ගලයා සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු අනාවරණ වෙමින් පවතිනවා.

මොහු ආදුරුප්පුවීදිය පොලිසිය ආසන්නයේ වෙළදසැලකට ගොස් රුපියල් 5000 මුදල් නෝට්ටුවක් මාරු කර ගන්නා ආකාරය CCTV දර්ශනවල සටහන් වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර සිද්ධියට අදාළව එම අවස්ථාවේ පොලිස් ස්ථානයේ වැඩබැලූ පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයාගේ සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ (2) වැඩ තහනම් කර තිබෙනවා.

පසුගිය ජනවාරි මස 23 වනදා ජින්තුපිටිය ප්‍රදේශයේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනා (2) ආදුරුප්පුවීදීය පොලිස් සිර මැදිරිය තුළ රඳවා සිටියා.

මොවුන් බැලීම සඳහා ඊයේ (07) දහවල් එක් (1) සැකකරුවෙකුගේ බිරිඳක් සහ තවත් පුද්ගලයෙකු (1) පොලිස් ස්ථානයට පැමිණ ඇති බවට අනාවරණය වී තිබුණා.

එම පුද්ගලයා විසින් කිරි වර්ගයක් ඔවුන්ට ලබාදී ඇති අතර එය පානය කිරීමෙන් පසුවයි මොවුන් සිහිසුන්ව ඇද වැටී රෝහල්ගත කර ඇත්තේ.

++++++++

https://www.youtube.com/watch?v=YTom3m9O0KM

+


අසූචි පොහොර ගැටලුව ගැන යළි සාකච්ඡා

(08.02.2024 – 13:44 +0530 – hirunews.lk/sinhala)

2021 වසරේදී චීනයේ පෞද්ගලික සමාගමකින් මෙරටට ගෙන්වූ අසූචි මිශ්‍ර පොහොර ගැටලුව දෙරට අතර, සුහදතාව ආරක්ෂා වන පරිදි සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මෙම පොහොර නැව යළි හරවා යැවීමෙන් අදාළ සමාගමේ කීර්ති නාමය හානිවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 6.9 ක වන්දියක් ගෙවීමට සිදුවුණා.

ඊට අදාළව වෙනත් පොහොර සහ කෘෂි උපකරණ ලබා ගැනීමට තීරණය කළ ද, මෙම සමාගම මෙරටට ලබාදුන් කාබනික පොහොර වර්ගයම නිපදවන බැවින් එම උත්සාහ අසාර්ථක වූ බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

කෙසේ වෙතත්, ලබන 19 වනදා සිට 22 වනදා දක්වා මෙරට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුලුවට එක්වන චීනයේ කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු පිළිබඳ උප අමාත්‍යවරයා ඇතුළු නියෝජිතයින් සමඟ කාබනික පොහොර ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබෙනවා.

එම සාකච්ඡාව සඳහා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි ඇතුළු බලධාරින්ට ද ආරාධනා කිරීමට පියවර ගන්නා බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර, ‘සමස්ත ලංකා ගොවිජන සම්මේලනය’ අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (08) විරෝධතාවක නිරත වූයේ පොහොර සහනාධාරය නොලැබීම සහ වී වලට සාධාරණ මිලක් නොදෙන බවට පවසමින්.

එමෙන්ම, වසර ගණනාවක් තිස්සේ බඩඉරිඟු වගාවේ නිරත වුව ද, නිසි මිලක් නොමැති වීමෙන් තමන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව බඩඉරිඟු ගොවින් පවසනවා ෴


ගෝන මස් 50 kg සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

(08.02.2024 – 13:03 +0530 – hirunews.lk/sinhala)

අම්පාර මුවංගල ප්‍රදේශයේ නිවසක තිබී ගෝන මස් 50 kg සමඟ සැකකරුවෙකු අම්පාර අඩවි වන කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර ජාවාරම සඳහා යොදාගත් මෝටර් රථයක්, ශීතකරණයක් ඇතුළු උපකරණ කිහිපයක් සහ පිසින ලද ගෝන මස් ව්‍යාංජනයක්ද වන ජීවී නිලධාරීන් විසින් සොයා ගත්තා ෴


පිහිතලයක් ආධාරයෙන් ගෙල කපා ගත් පුද්ගලයෙක් රෝහල්ගත කෙරේ

(08.02.2024 – 12:12 +0530 – hirunews.lk/sinhala)

පිහිතලයක් ආධාරයෙන් සිය ගෙල කපා ගත් පුද්ගලයෙකු පිළිබඳව තොරතුරු කුරුණෑගල බස් නැවතුම්පොළින් වාර්තා වෙනවා.

මෙම පුද්ගලයා අධික ලෙස මත්ද්‍රව්‍ය වලට හුරුව ඇති අතර මත්ද්‍රව්‍ය නොමැති නිසා මෙසේ සිදුකර ඇති බව සඳහන්.

දරුණු කැපුම් තුවාල සහිතව බස් නැවතුම්පොළේ වැටී සිටි මෙම පුද්ගලයා ඒ මොහොතේම කුරුණෑගල රෝහලට ඇතුළත්කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙලෙස රෝහල්ගතකර ඇත්තේ අවුරුදු 50 ක පමණ පුද්ගලයෙක්.

ඔහුට මීට පෙර විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා 13 කට ආසන්න ප්‍රමාණයක් එල්ලවී ඇති බවයි ‘හිරු’ කළ විමසීමකදී පොලීසිය සඳහන්කර සිටියේ ෴


රුපියල් කෝටි 37 කට අලෙවි කිරීමට සුදානම් කර තිබූ මැණික් ගල් 2 ක් පොලිස් භාරයට

(08.02.2024 – 11:42 +0530 – hirunews.lk/sinhala)

නීති විරෝධි අයුරින් විකිණීමට උත්සහ කරන ලද ‘කාක නිල් මැණික්’ (Sapphire Blue Stone) 2 ක් යුද්ධ හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරක් මත කොස්ලන්ද පොලිසිය විසින් සිදු කරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් මැණික් ගල් රුපියල් කෝටි 37 කට අලෙවි කිරීමට සුදානම් කර තිබූ අතර, මෙම සිදුවීමට සම්බන්ධව වැලිවේරිය ප්‍රදේශයේ හිමි නමක් ඇතුළුව සැකකරුවන් දෙදෙනෙකු (2) කොස්ලන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් භරයට පත් වූ මැණික් ගල් චෛත්‍යක හැඩයකින් යුක්ත වන අතර, එම මැණික් ගල් නිධන් වස්තු විනාශ කිරීම මගින් ලබා ගෙන ඇති බවට සැක පලකරනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කොස්ලන්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

+


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස ජගත් ප්‍රියංකර දිවුරුම් දෙයි

(08.02.2024 – 09:39 +0530 – hirunews.lk/sinhala)

රිය අනතුරකින් පසුගිය දා මියගිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගෙන් හිස් වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සදහා ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ එල්.කේ. ජගත් ප්‍රියංකර අද (08) පාර්ලිමේන්තුවේදී කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

‘ජාතික නිදහස් පෙරමුණ’ නියෝජනය කරන ජගත් ප්‍රියංකර 2015 පාර්ලිමේන්තු මහමැතිවරණයේදී පුත්තලම දිස්ත්‍රික්යෙන් ඉදිරිපත්ව මනාප 40,527 ක් ලබා ගත්තා.

+


හිරිපිටියේ භික්ෂුවට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවෙක් (1) අත්අඩංගුවට

(08.02.2024 – 09:29 +0530 – hirunews.lk/sinhala)

පසුගිය ජනවාරි මස 23 වනදා ගම්පහ මල්වතුහිරිපිටිය කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේ වැඩ විසූ පූජ්‍ය කලපළුවාවේ ධම්මරතන හිමියන් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු (1) ඊට යොදා ගත් ගිනි අවිය ද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෝමාගම ප්‍රදේශයේ නිවසක සිටිය දී 29 හැවිරිදි සැකකරු ඊයේ (07) අත්අඩංගුවට ගෙන ඇත්තේ, පෑලියගොඩ අපරාධ කොට්ඨාසය විසින්. හිමි නම ඝාතනයට ගිනි අවිය ලබා දී ඇත්තේ මොහු වන අතර එම ගිනි අවිය සහ තවත් ගිනි අවියක් පොලිසිය මෙහිදී සොයා ගෙන තිබෙනවා.

මීට අමතරව සැකකරුවන් පැමිණි මෝටර් රථය ද මොහු විසින් ගිනි තබා පුලු‍ස්සා ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

ඝාතනය සදහා මෝටර් රථයෙන් සැකකරුවන් 04 දෙනෙකු පැමිණ තිබුණා.

+


‘යුක්තිය’ ඔස්සේ තවත් 728 ක් අත්අඩංගුවට

(08.02.2024 – 09:03 +0530 – hirunews.lk/sinhala)

ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම් වලින් අපරාධකරුවන් 728 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා..

දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 558 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 170 ක් සමගින් මුළු සැකකරුවන් 728 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 558 දෙනා අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 14 ක් සිටින බව සඳහන්.

එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 170 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 18 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 145 ක්ද සිටිනවා.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගත් සැකකරුවන් 04 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 03 ක්ද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහත පරිදි වේ :

  • හෙරොයින් 122 g
  • අයිස් 101 g
  • ගංජා 05 kg 217 g
  • ගංජා පැල 23,521
  • මාවා 404 g
  • මත්පෙති 1,852
  • මදන මෝදක 171 g

+++++++++

+

+


“සෑම ලාංකිකයෙකුම රුපියල් ලක්ෂ 12 කට වැඩි මුදලක් විදේශ රටවලට ණයයි” මහාචාර්ය වසන්ත අතුකෝරල කියයි

(08.02.2024 – 20:35 +0530 – hirunews.lk/sinhala)

සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුම රුපියල් ලක්ෂ 12 කට වැඩි මුදලක් විදේශ රටවලට ණය වී ඇති බව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල ප්‍රකාශ කළා.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය වසරේ (2023) ඔක්තෝම්බර් මාසය අවසන් වනවිට ශ්‍රි ලංකා රජය, රුපියල් බිලියන 28,095 ක් විදේශ රටවලට ණය වී ඇති බවයි.

මේ අතර, බදු ප්‍රතිපත්තිය නිසා රටේ ආර්ථිකය කඩා වැටී ඇති බවට ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ටානියා අබේසුන්දර මේ බව කියා සිටියේ ව්‍යාපාරික හා සේවා සංගම් කිහිපයක් කොළඹ අද (08) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

+


කලාවැවේ රංචු ලෙස පිහිනා යන අලි රෑනේ දුර්ලභ දර්ශනක්

(08.02.2024 – 20:38 +0530 – hirunews.lk/sinhala)

වතුරේ පිහිනා යන අලින්ගේ අපූරු දසුන් පෙළක් මෙරට සංචාරක ආකර්ෂණයත් ඉහළ නැංවීමට සමත් ව තිබෙනවා.

මෙලෙස අලි රංචුව පීනාගෙන යන දර්ශනය අපට හමුවන්නේ කැකිරාව කලා වැව ප්‍රදේශයෙන්.

අලියා උපතින්ම පිහිනීමට හැකියාවක් ඇති සත්ව විශේෂයක් බව සත්ව විශේෂඥයින් පෙන්වා දෙනවා.

ඕනෑම ජල ස්ථරයකදී පාද ගසා ජලයේ රැඳී සිටීමට ඇති හැකියාව නිසාම වන අලියෙකුට ඕනෑම දුරක් පිහිනා යා හැකියි.

කෙසේ නමුත් අපේ රට තුළ වන අලි රංචු පිටින් පිහිනා යන ආකාරයේ දසුනක් දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකින්.

දැවැන්ත ශරීරයක් තිබුණද ඔවුන් ගැඹුරු දියේදී තම සොඬය ‘ස්නොකල්’ ලෙස භාවිතා කරමින් සහ කකුල් පදවමින් පිහිනා යනවා.

රටවල් 25 ක් පුරා විවිධ මව් භාෂාවලින් පරිවර්ථනය වෙමින් ප්‍රචාරය වන මෙම දර්ශනය හරහා ශ්‍රී ලංකාවට ඉහළ සංචාරක ආකර්ශනයක්ද ලැබෙමින් පවතිනවා.

මේ දුලභ දසුන කැමරාවේ සටහන් කර ගත්තේ හබරන හිරු ප්‍රාදේශීය මාධ්‍යෙව්දී සංජය මධුශාන් වික්‍රමසිරි.

කලාවැව හරහා පීනා යන වන අලි රෑන වැව් ඉස්මත්තෙදි කෙලිදෙලෙන් පසුවන්නත් අමතක කරන්නේ නැහැ.

මෙවැනි දුලභ දසුන් ලොව පුරා ප්‍රචාරය වීමෙන් අපේ රටේ සංචාරක කර්මාන්තයටද ලැබෙන්නේ යහපත් ප්‍රතිචාර.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *