ආහාර විෂ වීමකින් මාතර අකුරැස්ස නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ගුරු සිසුවියන් 41 ක් රෝහලට

ආහාර විෂ වීමකින් මාතර අකුරැස්ස නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ගුරු සිසුවියන් 41 ක් රෝහලට


ආහාර විෂ වීමකින් මාතර අකුරැස්ස නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ගුරු සිසුවියන් 41 ක් රෝහලට

(08.02.2024 – 15:40 +0530 – hirunews.lk/sinhala)

ආහාර විෂ වීමක් හේතුවෙන් මාතර අකුරැස්ස නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ගුරු සිසුවියන් 41 දෙනෙක් රෝහල් ගත කෙරුණා.

එම ගුරු සිසුවියන්ගේ මව්පියන් චෝදනා කරන්නේ දරුවන්ගේ ආහාරවේලක් සඳහා රජය විසින් ලබා දෙන මුදල් නිලධාරීන් විසින් ගසාකන බවයි.

මාතර අකුරැස්ස නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ගුරු සිසුවියන් පිරිසක් රෝගී වී ඇත්තේ ඊයේ (07) රාත්‍රී ආහාර වේල ලබාගැනීමෙන් පසුවයි.

එහිදී ආසාත්මිකතාවක් හටගැනීම නිසා ගුරු සිසුවියන් 41 දෙනෙක් කඹුරුපිටිය මූලික රෝහලට ඇතුලත් කිරීමට පියවරගෙන තිබුණා.

කෙසේවෙතත් අතුරලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අනුදැනුම මත එම ගුරු සිසුවියන් නැවතත් නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයට ගෙන්වා ගෙන තිබෙනවා.

අදාළ ගුරු සිසුවියන්ට අවශ්‍ය ඖෂධ කඹුරුපිටිය මූලික රෝහල අසල ඇති ඔසු සැල්වලින් ණයට ලබා දුන් බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු සඳහන් කළේ බරපතල තත්ත්වයේ පසුවන ඇතැම් ගුරු සිසුවියන් ද මේ වන විට නිවෙස් වෙත යවා ඇති බවයි.

එම ගුරු සිසුවියන්ගේ මව්පියන් චෝදනා කරන්නේ තම දරුවන්ගේ ආහාරවේල් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය එක් ගුරු සිසුවෙක්ට දිනකට වෙන් කරන්නේ රුපියල් 166 ක් වැනි සොච්චම් මුදලක් බවයි.

ඉන් කොටසක්ද නිලධාරීන් විසින් ගසා කන බවට ඔවුන් චෝදනා කරනවා.

+


සැමියාගේ මන්නා පහරින් බිරිඳ රෝහලේ

(08.02.2024 – 17:45 +0530 – hirunews.lk/sinhala)

සැමියා විසින් බිරිඳෙගේ හිසට මන්නා පහරක් එල්ල කර බිරිඳ රෝහල් ගත කර ඇති පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

ඒ පානදුර, දකුණ පොලිස් වසමේ උයන්කැලේ පාර, දොඹගහවත්ත ප්‍රදේශයෙන්.

මෙසේ රෝහල් ගතකර ඇත්තේ 47 හැවිරිදි දෙදරු මවක් බවයි සඳහන් වන්නේ.

ස්වාමියා නිවසේ ඉදිරිපස ආලින්ද කොටසේ සිට ඇති අතර, ඔහුගේ බිරිඳ යාබඳ කාමරයේ සිට තිබෙනවා.

එම අවස්ථාවේදී සැමියා එක්වරම කාමරයට පැමිණෙන අවස්ථාවේදී ඔහු දැක ඇත්තේ දුරකථන ඇමතුම සිට ඇති බිරිඳ එකවරම එය විසන්ධි කරන ආකාරයයි.

එයට කෝපයට පත් වී ඇති සැමියා එකවරම මුළුතැන්ගෙට ගොස් මන්නය රැගෙන විත් ඇඳ මත වාඩි වී සිටි බිරිඳට මන්නා පහරක් එල්ල කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ පහර දී ඇති මන්නා පිහිය ද සමඟ සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන බවයි ෴


හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්

(08.02.2024 – 16:32 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 කට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් එම තීන්දුව ලබා දී තිබෙනවා.

අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ මෙසේ දඩුවම් නියම වූයේ සුදත් ප්‍රසන්න නමැති විත්තිකරුවෙකුට බවයි.

2018 වසරේ ග්‍රෑන්ඩ්පාස් , ඛෙත්තාරාම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 5.9 ක් සමග පොලීසිය විසින් මෙම විත්තිකරු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව මොහුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා සඳහන් කළේ මෙම විත්තිකරුට එරෙහිව පැමිණිල්ලෙහි එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවයි.

ඒ අනුව ඔහුට මෙම දඩුවම් නියම කරන බවත් විනිසුරුවරයා සඳහන් කළා ෴


ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා ඉහළට

(08.02.2024 – 16:06 +0530 – hirunews.lk/sinhala)

පසුගිය මාසයේ සිට බලපැවැත්වෙන පරිදි ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව රුපියල් 5000 ක්ව පැවති ආබාධිත සහ වකුගඩු දීමනාව රුපියල් 7,500 දක්වා ද, රුපියල් 2,000 ක්ව පැවති වැඩිහිටි දීමනාව රුපියල් 3,000 ක් දක්වාද ඉහළ නංවන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ කියා සිටියේ.

මෙම දීමනා සඳහා සුදුසුකම් ලත් ප්‍රතිලාභීන් මෙම වසරේ (2024) පළමු (1) කාර්තුව තුළ හදුනා ගැනීමට නියමිත අතර වැඩිකළ දීමනාව අප්‍රේල් මස පළමු වනදා (01) සිට ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

මේ අතර, මාර්තු මස 31 වනදායින් අවසන් වීමට නියමිතව තිබූ ‘අස්වැසුම’ ප්‍රතිලාභ යටතේ අවධානමට ලක්වූ සහ සංක්‍රාන්තික කාණ්ඩයේ ගෙවීම්, දෙසැම්බර් 31 වනදා දක්වා සිදු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා ෴


බෙලිඅත්තේ වෙඩි තැබීමේ තුවක්කුකරුගේ බිරිඳ සහ පියා යළි රිමාන්ඩ්

(08.02.2024 – 15:56 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවුම ආසන්නයේදී ‘අපේ ජනබල පක්ෂයේ’ නායක ‘සමන් පෙරේරා’ ඇතුළු 5 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රඳවා සිටි ප්‍රධාන වෙඩික්කරු වන විශ්‍රාමික නාවික හමුදා සෙබළාගේ බිරිඳ සහ ඇගේ පියා ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඔවුන් අත්තනගල්ල මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න හමුවට අද (08) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ප්‍රධාන වෙඩික්කරු ලෙස කටයුකතු කර ඇති විශ්‍රාමික නාවික හමුදා සෙබලා ඝාතනය සිදු කර දින 07 කට පසුව ඩුබායි රාජ්‍ය වෙත පලාගොස් ඇති බවයි අනාවරණය වුණේ.

තංගල්ල අධිකරණයේ පැවැති නඩු කටයුත්තක් සඳහා ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරමින් සිටි ‘අපේ ජනබල පක්ෂයේ’ නායක ‘සමන් පෙරේරා’ ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු ජීප් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ පසුගිය මස 22 වැනිදායි ෴


Online පනත සංශෝධනයට සූදානම් බව අධිකරණ ඇමති කියයි

(08.02.2024 – 15:51 +0530 – hirunews.lk/sinhala)

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතේ අඩුපාඩු පවතින්නේ නම් අවශ්‍ය එය සංශෝධනය කිරීමට සූදානම් බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී නැගූ චෝදනාවකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර, රිය අනතුරකින් පසුගිය දා මියගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගෙන් හිස් වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා එල්.කේ. ජගත් ප්‍රියංකර අද (08) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

‘ජාතික නිදහස් පෙරමුණ’ නියෝජනය කරන ජගත් ප්‍රියංකර 2015 පාර්ලිමේන්තු මහමැතිවරණයේදී පුත්තලම දිස්ත්‍රික්යෙන් ඉදිරිපත්ව මනාප 40,527 ක් ලබා ගත්තා.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඊයේ (07) ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබද සභාව කල් තැබීමේ විවාදය මේ වනවිට පැවැත්වෙනවා ෴


උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ටත් රුපියල් 2000 ක දීමනාව

(08.02.2024 – 15:44 +0530 – hirunews.lk/sinhala)

නිමාවූ උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන් සඳහා රුපියල් 2000 ක දීමනාව ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, 2022 උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් සිදුකළ පරීක්ෂකවරුන් වෙත රුපියල් 1450 සිට වැඩිකරන ලද රුපියල් 2000 ක් දක්වා දීමනාව ද හිමිවනු ඇති.

එමෙන්ම, මෙවර ඇගයීම් කාර්ය සඳහා සහභාගි වන සියලුම කාර්ය මණ්ඩල පරීක්ෂකවරුන් සදහා සමස්ත කාර්ය වෙනුවෙන් පසුගිය වසරේ (2023) උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා සංශෝධනය කරන ලද ගෙවීම් සිදුකරන බව සඳහන් වෙනවා ෴


සමන් දේවාලයේ නිලවරණය නිසා ප්‍රාදේශිය ලේකම්වරු දෙදෙනෙකු (2) මාරු කෙරේ

(08.02.2024 – 14:22 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගම ප්‍රාදේශිය ලේකම් සහ එම දිස්ත්‍රික්කයේම ඕපනායක ප්‍රාදේශිය ලේකම් යන නිලධාරින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සංචිතයට කැඳවා තිබෙනවා.

මෙම ස්ථානමාරු ඉදිරියේදී පැවැත්වීමට නියමිත රත්නපුර මහා සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීමේ නිලවරණය හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, ප්‍රාදේශීය ලේකම් අනුරාධ ජයකොඩි පෙබරවාරි 07 වැනි දින රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ සේවයට වාර්තා කිරීමට හැකිවන පරිදි කටයුතු කර ඇති බව සඳහන්.

එමෙන්ම, පෙබරවාරි 06 වැනි දින සේවයෙන් පසු වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරිවලින් නිදහස් කරන බව දක්වමින් රත්නපුර පරිපාලන දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න විසින් ලිපියක් නිකුත් කර තිබෙනවා ෴


බදුල්ලේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයෙක් සහ මාතර ව්‍යාපාරිකයෙකු පැහැර ගනී

(08.02.2024 – 14:07 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ හතළිහක (40) කප්පම් මුදලක් ලබා ගැනීම සඳහා බදුල්ල ප්‍රදේශයේ රෝහලක සේවය කළ විශේෂඥ වෛද්‍යවරයකු මීටියාගොඩ ප්‍රදේශයේ නිවසක සිරකර ගෙන සිටියදී පොලීසිය විසින් මුදා ගෙන තිබෙනවා.

විශේෂඥ වෛද්‍යවරයා පැහැර ගෙන කප්පම් මුදල් ඉල්ලා ඇත්තේ ඔහුගේම මිතුරෙකු වූ උපකාර පන්ති ගුරුවරයෙකු බවටයි පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. 28 හැවිරිදි මෙම උපකාරක පන්ති ගුරුවරයා සහ විශේෂඥ වෛද්‍යවරයා කළකට පෙර එකට උපකාරක පන්ති පවත්වන ආයතනයක් ද පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු හෙළිව තිබෙනවා.

කෙසේ වෙතත්, අත්අඩංගුවට ගත් උපකාරක පන්ති ගුරුවරයා විශේෂඥ වෛද්‍යවරයාට දුරකථනයෙන් ඇමතුමක් ලබා දී පසුගිය දිනෙක ඔහුව හික්කඩුව මීටියාගොඩ ප්‍රදේශයට ගෙන්වා ගෙන තිබෙනවා.

එලෙස පැමිණි මෙම වෛද්‍යවරයා උපකාර පන්ති ගුරුවරයා විසින් මෝටර් රථයක නංවාගෙන මීටියාගොඩ ප්‍රදේශයේ නිවසකට කැඳවාගෙන ගොස් බලහත්කාරයෙන් රඳවාගෙන දින දෙකහමාරක (2½) කාලයක් සිරකරගෙන සිට ඇති බවයි වාර්තා වුණේ.

එහිදී ඔහු වෛද්‍යවරයාට මරණ තර්ජන සිදු කරමින් රුපියල් ලක්ෂ 40 ක මුදලක් කප්පම් ඉල්ලා තිබෙනවා.

කෙසේ වෙතත් හික්කඩුව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව අදාළ නිවස පරික්ෂා කළ අවස්ථාවේදී සිර කර ගෙන සිටි විශේෂඥ වෛද්‍යවරයා මුදා ගැනීමට හැකිවූ අතර, දෙදෙනා අතර පවතින මුදල් ආරවුලක් මත මෙම පැහැර ගැනීමට හේතුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

+

එමෙන්ම මුදල් ආරවුලක් මත මාතර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුද පැහැරගෙන ගොස් තිබෙනවා.

ඊයේ (07) මොහුගේ ව්‍යාපාරික ආයතනයේ නව ශාඛාවක් විවෘත කිරිමේ අවස්ථාවේදි මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් පස් දෙනෙකු විසින් ඔහුව පැහර ගෙන ගොස් තිබුණා. පසුව ඒ පිළිබදව මාතර පොලිසිය විසින් සිදු කළ විමර්ශනයකදී අනාවරණය වී තිබුණේ අදාළ ව්‍යාපාරිකයා මාලිම්බඩ ප්‍රදේශයේ රඳවා ගෙන සිටින බවටයි.

ඒ අනුව, පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර ව්‍යාපාරිකයාද නිරුපද්‍රිතව පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා අවුරුදු 28 ත්, 53 ත් අතර වයසේ පසුවන මාතර ප්‍රදේශයේ පදිංචිකරුවන්.

+

මේ අතර, සුඛෝපභෝගී මෝටර් රථයක් පැහැරගෙන යමින් සිටි 08 දෙනෙකුගෙන් සමන්විත කොල්ල කල්ලියක් මීරිගමදී ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට භාර දී තිබෙනවා.

අදාළ මෝටර් රථයේ හිමිකරු යක්කල ප්‍රදේශයේදී වෙළඳසැලක් වෙත ගිය අවස්ථාවේදී වෑන් රථයකින් පැමිණි මෙම පිරිස තියුණු ආයුධ පෙන්වා මෝටර් රථය පැහැරගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පසුව පොලිසිය මෝටර් රථයේ සවි කර තිබු ජී.පී.එස්. යන්ත්‍රය ඔස්සේ එය මීරිගම ප්‍රදේශයේ පවතින බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව පොලිසිය එම ස්ථානයට යනවිටත් ප්‍රදේශවාසීන් විසින් මෝටර් රථය පිළිබදව සැක සිතී ඔවුන් අල්ලාගෙන පොලිසියට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

+


කථානායකගේ විශ්වාසය කඩ වී ඇති බවට සජිත්ගෙන් ප්‍රකාශයක්

(08.02.2024 – 13:45 +0530 – hirunews.lk/sinhala)

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිලිබඳ පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ කටයුතු කළ ආකාරයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ විශ්වාසය කඩ වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද (08) පැවති පාර්ලිමේන්තු සැසිය අතරතුරයි.

මේ හේතුවෙන් ‘ඔන්ලයින් පනත’ සම්බන්ධයෙන් අදත් (08) පාර්ලිමේන්තුවේ උණුසුම් වාද විවාද ඇති වුණා.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල් තැබීමේ දෙදින විවාදයද අද (08) අරම්භ වුණා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *