වැලිකන්ද කන්දකාඩු ගැටුමට ඇල්ලූ 34 ම රිමාන්ඩ්

වැලිකන්ද කන්දකාඩු ගැටුමට ඇල්ලූ 34 ම රිමාන්ඩ්


වැලිකන්ද කන්දකාඩු ගැටුමට ඇල්ලූ 34 ම රිමාන්ඩ්

(05.02.2024 – 19:31 +0530 – hirunews.lk/sinhala)

වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ ගැටුමට අදාළව අත්අඩංගුවට ගත් රැඳවියන් 34 දෙනාම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය අද (05) නියෝග කළා.

එහිදී රැඳවියන් 20 දෙනෙකු පුලස්තිපුර පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ඔවුන් ලබන 16 වනදා දක්වා සහ වැලිකන්ද පොලිසිය ඉදිරිපත් කළ රැඳවියන් 14 දෙනා ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මහේස්ත්‍රාත් ජී.පී.ඩී. සඳරේකා නියෝග කළේ.

මේ අතර පුනරුත්ථාපන මධ්‍යස්ථානවල සිටින රැඳවියන් මින් ඉදිරියට කලහකාරී ලෙස හැසිරුණහොත් ඔවුන් පුනරුත්ථාපන ක්‍රියාවලියෙන් ඉවත් කර රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගන්නා බවයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළේ.

වැලිකන්ද – කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් පිරිසක් පෙරේදා (03) රාත්‍රියේ පළාගොස් තිබූ අතර ඔවුන් සෝමාවතිය පුදබිමට පිවිසෙන මාර්ගයේ පිහිටි මහ බැංකුවට අයත් සංචාරක බංගලාවක නවාතැන් ගැනීමට පැමිණ සිටි පිරිසකට පහරදී තිබුණා.

පහරකෑමට ලක්වූ පුද්ගලයෙකු බරපතල තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කෙරුනු අතර රැඳවියන් එම ස්ථානයේ තිබූ බස් රථයක් ද පැහැර ගැනීමටයි තැත් කර තිබුණේ.

කෙසේ වෙතත් රැඳවියන් පහරදෙන අවස්ථාවේ වන්දනා නඩයේ පොලිස් පරීක්ෂකවරයෙකු ද සිට ඇති අතර ඔහු සිය රාජකාරි ගිනි අවියෙන් අහසට වෙඩි තැබීමත් සමඟ ප්‍රචණ්ඩකාරීව හැසිරුණු රැඳවියන් පළා ගියා.

මේ අතර ඊයේ (04) පස්වරුවේ ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් හටගත් අතර එහිදී තුවාල ලැබූ යුද හමුදා සෙබළෙකු සහ රැඳවියන් 08 දෙනෙකු ඇතුළත් කෙරුණේ වැලිකන්ද මූලික රෝහලටයි.

ටී 56 වර්ගයේ ගිනි අවිය රැඳවියන් පැහැරගැනීමට තැත් කළ අවස්ථාවේදී සෙබලා තුවාල ලබා තිබුණා.

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ද සිද්ධිය සම්බන්දයෙන් පැහැදිලි කළා.

මෙලෙස ගැටුම් හට ගැනීමත් සමග කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය අසළින් සෝමාවතිය පුදබිම දක්වා දිවෙන මාර්ගයේ බාධකයක් ද ස්ථාපිත කිරීමටයි යුද හමුදාව මේ වන විට පියවර ගෙන ඇත්තේ.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් අතර මීට පෙර ද අවස්ථා ගණනාවකදී ගැටුම් හට ගත්තා. ඒ පිළිබඳ අවධානය යොමුකරමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ වාර්තාවක් ද කැඳවීමට පියවර ගෙන තිබුණා.

+


මරදානේ ‘කුණුගෙදර’ නගර සභාවෙන් පිරිසිදු කරයි

(05.02.2024 – 20:34 +0530 – hirunews.lk/sinhala)

මරදාන මව්ලානාවත්ත මහල් නිවාස සංකීර්ණයේ නිවසක කාන්තාවන් දෙදෙනෙකු (2) විසින් මහා පරිමාණයෙන් එක් රැස් කළ කසළ, ඉවත් කිරීමට කොළඹ මහ නගර සභාව පියවර ගෙන තිබෙනවා.

ඒ, මෙම කසළ ගැටලුව පිළිබඳව ‘හිරු ප්‍රවෘත්ති’ පසුගියදා කළ අනාවරණයත් සමගයි.

මෙම කසළ රැස් කළ කාන්තාවන් දෙදෙනාට (2) අවශ්‍ය ආහාර හා ඇඳුම් පැළඳුම් ඇතුළු ආධාර ලබාදීමටත් මහ නගර සභාව මෙහිදී පියවර ගත්තා.

ඔවුන් නිවෙස තුළ එම කසළ ගොඩගසා ගෙන තිබුණේ ඒ අතර ඇති විවිධ ද්‍රව්‍ය වෙන්කරගෙන විකුණා යම්කිසි මුදලක් උපයාගැනීමේ අරමුණින්.

එවැනි පසුබිමක කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන ඇතුළු නිලධාරීන් රැසක් එම නිවස නිරීක්ෂණයට ඊයේ (04) පස්වරුවේ පැමිණ තිබුණා.

අනතුරුව නිවස තුළ තිබූ කසළ ඉවත් කිරීම ඇරඹුණු අතර නගර සභාවේ කසළ රථ සහ ගිනි නිවීමේ රථ ද ඊට යොදා ගැනුණා.

+


‘කංසා’ වගා කිරීමට කැබිනට් අනුමැතිය

(05.02.2024 – 20:57 +0530 – hirunews.lk/sinhala)

අපනයන අවශ්‍යතා සඳහා ගංජා හෙවත් කංසා වගා කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එම කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ විසින්.

මෙම තීරණය සම්බන්ධව තමන් ඉතා සතුටට පත්වන බවයි අමාත්‍යවරිය සඳහන්කර සිටියේ.

ඒ අනුව විදෙස් ආයෝජකයින් කැඳවීමේ කටයුතු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා ඉදිරියේදී සිදුකරන බවයි අමාත්‍යවරිය සඳහන්කර සිටියේ ෴

++++++++

“කංසා ගැන යෝජනාවක් ආවේ නෑ” – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන

(06.02.2024 – 13:04 +0530 – sinhala.adaderana.lk)

ඖෂධීය කංසා මෙරට වගාකර අපනයනය කිරීමට අදාළව කිසිදු යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් නොවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

කෙසේ වෙතත් සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ඊයේ (05) පැවසුවේ ඖෂධීය කංසා මෙරට වගාකර අපනයනය කිරීමට අදාළව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බවය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන එහිදී වැඩිදුරටත් සඳහන් කළේ රාජ්‍ය අමාත්‍යවරිය කැබිනට් ඇමතිවරියක් නොවන බවත් ඇයගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් වගකීමක් බාරගනොනන්නා බවය.

+


කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව මහජන පෙත්සමක්

(05.02.2024 – 22:04 +0530 – hirunews.lk/sinhala)

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල දැනට දරන පරිසර අමාත්‍ය ධුරයෙන් ද වහාම ඉවත් කරන ලෙසට බල කරමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී මහජන පෙත්සමක් අත්සන් කරනු ලැබුවා.

ඒ, සිවිල් සංවිධාන කිහිපයක් ඒකාබද්ධවයි.

මේ අතර දැනට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන කෙහෙළිය රඹුක්වැල්ල බන්ධනාගාර රෝහලෙන් ලබා දෙන ඖෂධ ප්‍රතික්ෂේප කරන බව රජයේ වෛද්‍ය නිලධාරී සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ වංචාවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය පසුගියදා නියෝග කළා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අමාත්‍යවරයා අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයී.

මේ වනවිට කෙහෙළිය රඹුක්වැල්ල කොළඹ මැගසින් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර කෙහෙළිය රඹුක්වැල්ල දැනට දරන පරිසර අමාත්‍ය ධුරයෙන් ද වහාම ඉවත් කරන ලෙසට බල කරමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී මහජන පෙත්සමක් අත්සන් කරනු ලැබුවා.

ඒ, සිවිල් සංවිධාන කිහිපයක් ඒකාබද්ධවයි.

අනතුරුව ඔවුන් එම ස්ථානයේ විරෝධතාවයක ද නිරත වුණා.

+++++++++

මෙන්න තවත් ඖෂධ වංචාවක් ගැන හෙළිදරව්වක් – සංජය මහවත්ත ගෙන් (06.02.2024)

+


විධායක ජනපතිත් ජනතාවට වගකිව යුතුයි

(05.02.2024 – 22:10 +0530 – sinhala.adaderana.lk)

පාර්ලිමේන්තුව පමණක් නොව විධායක ජනාධිපතිවරයාද ජනතාවට වගකිවයුතු බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර තිබේ.

පාර්ලිමේන්තු ව්‍යස්ථා සභාව සහ ජනාධිපතිවරයා අතර ගොඩනැගෙමින් පවතින ගැටළුකාරීත්වය පිළිබඳව වාර්තා වූ කරුණු පදනම් කරමින් එම ලිපිය ජනපති වෙත යොමුකර ඇත.


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය ගැන කිසිවෙක් නොසිතූ තොරතුරක් එළියට

(05.02.2024 – 16:29 +0530 – sinhala.adaderana.lk)

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු හෙට (06) දක්වා රඳවා ගෙන ප්‍රශ්න කිරීමට තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරින් විසින් මෙම සැකකරුව ඊයේ (05) හබරාදුවේදී අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්ගම කටුදම්පේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකි.

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයෙන් පසු වෙඩික්කරුවන් සතුව තිබූ ගිනි අවි අකුරැස්සේ සිට ගාල්ල කරාපිටිය දක්වා සැකකරුවන් දෙදෙනකු (2) විසින් යතුරුපැදියකින් ගෙන ගොස් තිබූ අතර එම යතුරුපැදිකරුවන්ට ආරක්ෂාව දී ඇත්තේ මෙම සැකකරු බව හඳුනාගෙන ඇත.

යතුරුපැදිකරුවන් ගිනිඅවි සමග පසුපසින් ගමන් කරද්දි ඊට ඉදිරියෙන් මෙම සැකකරු පොලීසිය සිටින්නේදැයි ඔත්තු බලමින් පසුපස යතුරුපැදිය සමග දුරකතනය ඔස්සේ සම්බන්ධතාව පවත්වාගනිමින් ගොස් ඇතැයි හඳුනාගෙන තිබේ.

ගිනිඅවි ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනා (2) ද පොලිසිය මීට ඉහතදී අත්අඩංගුවට ගෙන තිබූ අතර ඉන් එක් (1) සැකකරුවෙක් සහ ඔත්තු බැලූ සැකකරු ඥාතී සහෝදරයන් වන බවට හඳුනාගෙන ඇත ෴


කොස්තාපල්වරියට නොහොබිනා වැඩක් කළ OIC ආගිය අතක් නෑ

(05.02.2024 – 09:58 +0530 – sinhala.adaderana.lk)

ආධුනික පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර සිදුකළ බව කියන කල්පිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝග පරිදි එම විමර්ශන කටයුතු කටුපොත පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් සිදුකෙරේ.

කල්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන පොලිස් පරීක්ෂකවරයාට මීට පෙර අවස්ථා කිහිපයකදී ලිංගික හිරිහැර සහ මූල්‍ය ගැටලු සම්බන්ධයෙන් චෝදනාවන් එල්ල වී තිබූ බව පැවසේ.

ඒ අනුව එම පොලිස් පරීක්ෂකවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි උතුරු මැද පළාතට ස්ථාන මාරු කිරීමට හිටපු පොලිස්පතිවරයා කටයුතු කර තිබුණද දේශපාලන බලපෑම් මත එම ස්ථානමාරුව අවංලගු කර ගැනීමට එම පොලිස් පරීක්ෂකවරයා පියවර ගෙන තිබිණි.

මේ අතර පසුගිය දිනක තම පොලිස් ස්ථානය තුළදී ආධුනික පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කිරීමට කල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා උත්සාහ කර ඇත.

සිද්ධියට මුහුණ දුන් ආධුනික පොලිස් කොස්තාපල්වරිය මේ බව ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයකුට පැවසීමත් සමග මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.

මේ අතර ඉකුත් 29 වැනිදා කටුපොත පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය භාර පොලිස් පරීක්ෂකවරියක් සිද්ධියට සම්බන්ධ පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කල්පිටිය පොලිසියට පැමිණියද ඒ වන විට පොලිස් ස්ථානාධිපතිවරයා අසනීප නිවාඩු වාර්තා කර පොලිස් ස්ථානයෙන් පිටතට ගොස් සිට ඇත.

අසනීප නිවාඩු වාර්තා කර සිටින පොලිස් ස්ථානාධිපතිවරයා කුමන ස්ථානයක රැඳී සිටිනවාද යන්න සොයා ගැනීමට විමර්ශන කටයුතු සිදුකරන නිලධාරින්ට මේ වන තුරු හැකියාවක් ලැබී නොමැත ෴


ගසක අත්තක් හිසට කඩා වැටී පාරේ ගිය සිසුවෙකු මිය යයි

(06.02.2024 – 08:02 +0530 – lankacnews.com)

නොර්වුඩ් පොලිස් වසමේ මාර්ගයේ ගමන් කරමින් සිටි පාසල් සිසුවකුගේ හිස මතට, එම මාර්ගයේ තිබූ ගසක් කපමින් සිටියදි කපන ලද එම ගස වැදි එයට යාබද ගසක අත්තක් කඩා වැටිමෙන් බරපතල තුවාල ලැබු එම සිසුවා නාවලපිටිය රෝහලට ගෙන යාමෙන් පසු මියගොස් ඇත.

නොර්වුඩ් විදුහලේ 09 වන වසර ඉගෙනුම ලබන වයස අවුරුදු 14 ක ‘මුරුගන් ආසන්ත්’ නැමති මෙම පාසල් සිසුවා තම නිවසේ සිට කොන්ඩය කැපිම සදහා නගරයට යමින් සිටියදි 03 වන දින මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණදි ඇත.

මේ පිළිබඳව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නොර්වුඩ් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ නොර්වුඩ් නිවුටන් වතුයායේ පිරිසක් එම මාර්ගයේ ගසක් කපමින් සිටියදි කපන ලද එම ගස වැදි එයට යාබද ගසක අත්තක් හදිසියේ කඩා වැටි එම මාර්ගයේ ගමන් කරමින් සිටි පාසල් සිසුවාගේ ඇග මතට වැටි එම සිසුවා බරපතල තුවාල ලබා ඇති බවත්ය.

මෙසේ බරපතල තුවාල ලැබු සිසුවා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහලට ඇතුලත් කිරිමෙන් පසු ඔහුගේ තත්වය බරපතල විමෙන් එම සිසුවා වැඩි දුර ප්‍රතිකාර සදහා නාවලපිටිය මුලීක රෝහලට මාරු කර යැවු බවත් එහිදි එම සිසුවා මිය ගොස් ඇති බවත්ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම මාර්ගයේ ගස කපමින් සිටි පුද්ගලයන් පස් දෙනකු (5) සැක පිට අත් අඩංගුවට ගෙන ඇති බවත් එම සැකකරුවන් හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

(මනුර සුදත් සෙල්ලහේවා)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *