රුසියාවේ යුද රැකියා පෙන්නා ආරක්ෂක අංශ සාමාජිකයින් රවටලා

රුසියාවේ යුද රැකියා පෙන්නා ආරක්ෂක අංශ සාමාජිකයින් රවටලා


රුසියාවේ යුද රැකියා පෙන්නා ආරක්ෂක අංශ සාමාජිකයින් රවටලා

(04.02.2024 – 20:18 +0530 – hirunews.lk/sinhala)

රුසියාව සහ යුක්රේනය අතර යුද ගැටුම් ආරම්භ වී මේ වනවිට වසරකටත් අධික කාලයක් ගතව තිබෙන අතර එය තවමත් ඔඩු දුවමින් පවතින අර්බුදයක්.

එවන් පසුබිමක මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් සහ සිවිල් වැසියන් රුසියානු යුද හමුදාවේ රැකියා සඳහා යොමු කරවන කණ්ඩායමක් පිළිබඳව කුරුණෑගල ප්‍රදේශයෙන් ‘හිරු CIA’ වෙත වාර්තා වුණා.

ෆේස්බුක් මිතුරු සමූහ හරහා ඉතා රහසිගතව දැන්වීම් පළ කරන එම ජාවාරම්කරුවන් කුඩා පුද්ගල කණ්ඩායම් හෝටලයකට කැඳවා රහසිගත සම්මුඛ පරීක්ෂණ පවත්වමින් මෙම ජාවාරම සිදුකරගෙන යන බව ‘හිරු CIA’ තහවුරු කර ගත්තා.

හමුදා සේවයේ රැකියා සඳහා රටකින් තවත් රටකට මෙලෙස පුරවැසියන් යොමු කළ හැකිද යන ප්‍රශ්නය පැන නැගීමත් සමග ‘හිරු CIA’ මේ සම්බන්ධයෙන් වයඹ පළාත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම්වත් කළා.

ඒ අනුව පැමිණි එම කාර්යාංශයේ නිලධාරීන් එම ස්ථානයේ පරීක්ෂණයක් ආරම්භ කළා.

කෙසේවෙතත් මෙලෙස අනීතික රැකියා ලබාදීම සම්බන්ධයෙන් එම කාර්යාංශය පසුගිය 31 වැනිදා යළි විමර්ශනයක් කරන බව පැවසුවද එම පරීක්ෂණය මෙතෙක් සිදුවී නොමැති බව ‘හිරු CIA’ තහවුරු කරගත්තා.

කිසිදු රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමකින් තොරව විදෙස් රටක හමුදා සේවය වැනි සන්නද්ධ රැකියාවකට මෙරට පුරවැසියන් යොමු කිරීම හරහා ඔවුන්ගේ ජීවිත අවදානමකට ලක්වුවහොත් එහි වගකීම ආරක්ෂක අමාත්‍යාංශය හෝ විදේශ කටයුතු අමාත්‍යාංශය භාරගන්නේ ද?

පවතින ආර්ථික අර්බුදය හමුවේ ජීවනෝපායක් සොයාගැනීමට පොරබදන මිනිසුන්ව දඩමීමා කරගනිමින් සිදුකෙරෙන මෙවැනි මිනිස් ජාවාරම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනතුරු ‘හිරු CIA’ අවධානයෙන්.

+


පාසල්වල තුන්වන (3) වාරයේ දෙවන (2) අදියර අදින් (05) ඇරඹේ

(05.02.2024 – 06:50 +0530 – hirunews.lk/sinhala)

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන (3) වාරයේ දෙවන (2) අදියර අද (05) ආරම්භ වෙනවා.

උසස් පෙළ විභාගය හේතුවෙන් පසුගිය දෙසැම්බර් 23 වනදා පාසල් නිවාඩුව ආරම්භ වූණා.

උසස් පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය වෙත පිටවීම හේතුවෙන් එම ප්‍රශ්න පත්‍රය අවලංගු කර, යළි පෙබරවාරි 01 වනදා විභාගය පැවැත්වීමටයි විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණේ.

ඒ අනුව, පෙබරවාරි 01 වනදා ආරම්භවීමට නියමිතව තිබූ මීළඟ පාසල් වාරය අද (05) දක්වා කල් දැමුණා ෴


ගම්පහ හිමිනම ඝාතනයට සැක 04 ක් අත්අඩංගුවට

(05.02.2024 – 07:00 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ, කෙහෙල්කන්ද, කහටාන ශ්‍රී ගණාරාම විහාරස්ථානයේදී පූජ්‍ය කලපලුවාවේ ධම්මරතන හිමියන්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් සිව්දෙනකු (4) සැකපිට අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර, ගොඩගම පාර, අතුරුගිරිය පදිංචි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘අසංක කුමාර හේරත්’ නොහොත් ‘ලැටා’ සහ ‘පොඩි බූට්’, ‘ඊසා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයන් වන බවයි පොලිසිය සඳහන් කළේ.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා (4) වැඩිදුර පරීක්ෂණ සඳහා පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා ෴


අධිවේගී මාර්ගවල අඩු වේගයකින් යන රියැදුරන්ට නීති ක්‍රියාමාර්ග

(05.02.2024 – 07:25 +0530 – hirunews.lk/sinhala)

අවම වේගයට වඩා අඩු වේගයකින් අධිවේගී මාර්ගවල රිය ධාවන‍ය කරන රියැදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන හා මහාමර්ග අමාත්‍යාංශය පවසනවා.

මේ දක්වා සිදු වී ඇති අධිවේගී මාර්ගවල සිදුවුණු අනතුරුවලට මුලික හේතුව වී ඇත්තේ නියමිත වේගයට වඩා අඩු වේගයකින් ගමන් කිරීම බව වාර්තා වී තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂකවරයා පවසන්නේ මේ සම්බන්ධව උපදෙස් මාලාවක් මේ සතිය ඇතුළත නිකුත් කරන බවයි ෴


‘ආවා’ කල්ලි නායකයා අත්අඩංගුවට ගැනීමෙන් පසු කුලී නිවාස හිමිකරුවන්ට පොලිසියෙන් දැනුම්දීමක්

(05.02.2024 – 07:36 +0530 – hirunews.lk/sinhala)

යාපනය ප්‍රදේශයේ දරුණු අපරාධ රැසක් සිදුකළ ‘ආවා’ නැමති කප්පම් කල්ලියේ නායකයා බවට සැළකෙන පුද්ගලයා ගල්කිස්ස – යශෝරාපුර ප්‍රදේශයේ දෙමහල් නිවසක රැදී සිටියදී අත්අඩංගුවට ගැනීමේ සිද්ධියත් සමග පොලිසිය කුලී පදනම මත නිවාස ලබාදෙන්නන්ට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව කුලී පදනම මත නිවසක් ලබාදෙන්නේ නම් එම නිවස කුලියට ලබාගන්නා පුද්ගලයින් සම්බන්ධයෙන් සහ ඔවුන් සිදුකරන දෑ සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදුකරන ලෙසයි පොලිසිය දැනුම් දෙන්නේ.

එම පුද්ගලයින් සම්බන්ධයෙන් සැකසහිත තත්ත්වයක් පවතින්නේ නම් ඒ පිළිබඳව පොලිසිය දැනුම්වත් කරන ලෙසද මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

25 හැවිරිදි ‘ප්‍රභාකරන් කෞසිකන්’ නැමති මෙම පුද්ගලයා ඊයේ (04) උදෑසන වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබුවේ ගල්කිස්ස යශෝරාපුර ප්‍රදේශයේ දෙමහල් නිවසක රැඳී සිටියදියි.

මොහු ‘ප්‍රභා’ නැමති අන්වර්ථ නාමයෙන් හදුන්වන අතර, ‘ආවා’ කල්ලිය තුළ මොහු හඳුන්වන්නේ ‘කොයින්සි තම්පා’ ලෙසයි.

ඔහුගේ සංකේත අංකය 001 වනවා.

සැකකරුට යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ සහ මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයේ විවෘත වරෙන්තු දෙක (2) බැගින් පවතිනවා.

සැකකරු ‘අයිස්’ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙක් බවත් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් එකයි (1) මිලිග්‍රෑම් 300 ක්ද, සංවිධානාත්මක අපරාධකල්ලි ලාංඡන යැයි සැළකිය හැකි පත්‍රිකාවක් මෙන්ම එම ලාංඡනය සඳහන් කරන ලද රුපියල් 100 ක මුදල් නෝට්ටුවක්ද හමුව තිබුණා.

මොහුට එරෙහිව තෙලිප්පලෙයි – චුන්නාගම් මනිප්පායි – යාපනය සහ කිලිනොච්චි පොලිස් ස්ථානවලට පුද්ගල ඝාතන, ඝාතනවලට තැත් කිරීම්, අයුතු ජනරාශියක සාමාජිකයින් වීම, වාහනවලට අලාභහානි සිදුකිරීම, පොලිස් නිලධාරීන්ට රාජකාරිවලට බාධා කිරීමේ සිද්ධි වාර්තාවී තිබුණා.

මෙම ක්‍රියාකාරකම් සිදුකිරීම සඳහා මොහු විදෙස් රටවල් සමග සබඳතා පවත්වා ඇති බවටද හෙළිව තිබෙනවා.

මෙම සැකකරු යශෝරාපුර නිවසේ කොටසක් දැනට මාස කිහිපයකට පෙර මාසිකව රුපියල් විසිපන්දහසක (25,000) මුදලකට ලබාගෙන ඇති අතර, සැලසුම් සහගත ලෙස අපරාධ සිදුකිරීම සඳහා පිටතට ගොස් නැවත මෙම ස්ථානයට පැමිණ සැඟව සිටින බවද වාර්තාවුණා ෴


ගෙවුණු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම්වලින් අපරාධකරුවන් 667 ක් අත්අඩංගුවට

(05.02.2024 – 07:41 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 559 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 108 ක් සමඟින් මුළු සැකකරුවන් 667 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 559 දෙනා අතරින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 03 ක් පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති බවයි සඳහන් වන්නේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 07 ක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 108 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 09 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 97 ක්ද ඇති බව සඳහන්.

අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 02 ක්ද මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ගැටුමට 34 ක් අත්අඩංගුවේ

(05.02.2024 – 07:52 +0530 – hirunews.lk/sinhala)

වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කළක සිට කළහකාරී ලෙස හැසිරෙන 34 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මෙම පිරිස මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන පුද්ගලයින් බවට හඳුනාගෙන ඇති බවයි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඊයේ (04) පස්වරුවේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවූ අතර, ඉන් තුවාල ලැබූ යුද හමුදා සෙබලෙකු ඇතුලු 10 දෙනෙකු වැලිකන්ද මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

ඊයේ (04) ඇතිවූ ගැටුමේදී පලාගිය රැඳවියන් 14 දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති අතර, ඔවුන් පහරදීම සඳහා යොදාගත් යකඩ මුගුරු කිහිපයක් සහ කතුරු ද සොයාගෙන තිබෙනවා.

ගැටුමට සම්බන්ධ පිරිසක් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මුළුතැන්ගෙට සහ තවත් ස්ථාන කිහිපයකට ද අලාභහානි කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පළාගිය රැඳවියන්ගෙන් පිරිසක් සෝමාවතිය පුදබිමේ නවතා තිබූ බස් රථයක් පැහැරගැනීමට උත්සහ කර තිබෙනවා.

ආරක්ෂක අංශ නිලධාරියෙකු ඔවුන් වැළැක්වීමට උත්සහ ගත් අවස්ථාවේදී ඔවුන් පැන ගොස් ඇති අතර, එම ස්ථානයේ සිටි පුද්ගලයෙකුට මෙම පිරිස තියුණු ආයුධයකින් පහරදී ඇති බවද වාර්තාවනවා.

පහරකෑමට ලක්වූ පුද්ගලයා පොළොන්නරුව මහ රෝහලට පසුව ඇතුළත් කෙරුණා.

මීට පෙර ද අවස්ථා දෙකක (2) දී කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ගැටුම් ඇති කරගනිමින් රැඳවියන් පළා ගොස් තිබුණා ෴


පානදුර වෙරළ තීරයේ දියේ ගිලෙමින් සිටි 6 දෙනෙකු බේරාගනී

(05.02.2024 – 07:55 +0530 – sinhala.adaderana.lk)

පානදුර වෙරළ තීරයේ දියනාමින් සිටි පිරිසක් අතරින් 6 දෙනෙකු දිය වැලකට හසු වී ගසාගෙන යමින් සිටියදී පානදුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් දෙදෙනෙකු (2) විසින් බේරාගෙන ඇත.

මෙලෙස දිවිබේරාගෙන ඇත්තේ අවුරුදු 16 ත් 21 ත් අතර වයසැති පිරිමි ළමුන් තිදෙනෙකු (3) සහ ගැහැණු ළමුන් තිදෙනෙකු‍ (3) ය.

මෙම දරුවන්ගේ දිවි බේරාගැනීමට සමත්ව ඇත්තේ පානදුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ පොලිස් කොස්තාපල්වරුන් වන 69951 පුෂ්පකුමාර හා 93731 දේශාන් යන නිලධාරින් දෙදෙනා (2) විසිනි.

ඊයේ (04) සවස් කාලයේ මෙම දරුවන් දියවැලට හසු වූ අවස්ථාවේ මෙම නිලධාරින් දෙදෙනා (2) එකතුව මෙම දරුවන් වෙරළට රැගෙනවිත් වාහාම මූලික ප්‍රථමාධාර ලබා දී දරුවන්ව ඥාතීන් වෙත භාර දී ඇත.

මෙලෙස අනතුර මුහුණ දී ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචි පිරිසක් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය ෴


ඇඹිලිපිටියේ පාලමක් කඩාවැටී රථවාහන ධාවනයට බාධා

(05.02.2024 – 09:04 +0530 – hirunews.lk/sinhala)

ඇඹිලිපිටිය නගරයේ සිට තෝරකොළයාය හරහා මිද්දෙණිය දෙසට ඇති ප්‍රධාන මාර්ගයේ හුලංදා ඔය පාලම කැඩීයාම හේතුවෙන් රථවාහන ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

ලී කොට රැගත් ලොරි රථයක් පාලම හරහා ධාවනය කරමින් තිබියදියි අද (05) පෙරවරුවේ මෙලෙස පාලම කඩාවැටී ඇත්තේ.

පාලම කඩාවැටීමත් සමඟ ලොරි රථය ඔයට වැටී ඇති අතර, එහි සිටි කිසිවෙකුටත් අනතුරක් සිදුව වී නොමැත.

පාලම කඩාවැටීමෙන් ඇඹිලිපිටියේ සිට මාතර, බෙලිඅත්ත, තංගල්ල දෙසට රථවාහනවලට ගමන් කිරීමට නොහැකි අතර, විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

++++++++

+


කෙහෙළියගේ තවත් සෙල්ලම් එළියට | මිනිස්සුගේ ජිවිත ගැන මායිම් කරලම නෑ |කෙහෙළිය දාලා තියෙන සෙල්ලම් ටික (04.02.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *