ඉරණමඩු විරෝධතාවය අතරතුර කළහකාරී ලෙස හැසිරුණු යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 4 දෙනෙකු අත්අඩංගුවට

ඉරණමඩු විරෝධතාවය අතරතුර කළහකාරී ලෙස හැසිරුණු යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 4 දෙනෙකු අත්අඩංගුවට


ඉරණමඩු විරෝධතාවය අතරතුර කළහකාරී ලෙස හැසිරුණු යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 4 දෙනෙකු අත්අඩංගුවට

(04.02.2024 – 18:24 +0530 – hirunews.lk/sinhala)

නිදහස් උත්සවයට සමගාමීව කිලිනොච්චි – ඉරණමඩු මංසන්ධියේ පැවති උත්සවයකට විරෝධය පළ කිරීමේ සිද්ධියට අදාළව යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය විශ්වවිද්‍යාලයේ ඇතුලු සිවිල් සංවිධාන කිහිපයක් අද (04) දහවල් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ, උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටළු වෙනුවෙන් ස්ථිර විසඳුමක් නොලැබීම, මාධ්‍ය නිදහසට බාධා කිරීම ආදී තවත් කරුණු මුල්කරගනිමින්.

කෙසේ වෙතත් විරෝධතා නිසා මාර්ගය අවහිර වී තිබීම හේතුවෙන් ඔවුන් විසුරුවා හැරීමට පොලිසිය ජල සහ කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කළා.

එහි දී කළහකාරී ලෙස හැසිරුණු සරසවි සිසුන් 4 දෙනෙකුයි පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එමෙන්ම මඩකළපුව – කල්අඩි ප්‍රදේශයේ ද විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණේ, නිදහස් උත්සවයට සමගාමීව සහ විරෝධතාවයේ නිරත වූ පිරිස් හට ජල හා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන්.

++++++++

නිදහසට එරෙහිව යාපනය සරසවියේ කළු කොඩි එසවෙයි

(04.02.2024 – 15:44 +0530 – hirunews.lk/sinhala)

ජාතික නිදහස් දිනයට විරෝධය පළකරමින් යාපනය විශ්වවිද්‍යාලය පුරා අද (04) කළු කොඩි ඔසවා තිබූ බවයි අප වාර්තාකරු පවසන්නේ.

එහිදී අප වාර්තාකරු සඳහන් කළේ උතුරේ දෙමළ ජනතාවට කිසිදු නිදහසක් නොමැති බව කියමින් මෙම කොඩි ඔසවා තිබූ බවත්, යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය හා උතුරේ දෙමළ දේශපාලනඥයින් හා ස්වේච්ඡා සංවිධාන මෙවර ජාතික නිදහස් දිනය වර්ජනය කොට කළු කොඩි ඔසවන ලෙස උතුරේ ජනතවගෙන් ඉල්ලීමක් කොට තිබූ බවයි.

යාපනය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන කොඩි ගස ඇතුලු ස්ථාන කීපයක දමා තිබූ කළු කොඩි කිසිවෙකුත් විසින් ඉවත් කොට නොතිබූ බවයි වාර්තාකරු සඳහන් කළේ.

++++++++++

+

+


‘ආවා’ කල්ලි නායකයා ගල්කිස්සේදී අත්අඩංගුවට

(04.02.2024 – 17:59 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ කප්පම් ගැනීම් ඇතුළු විවිධ අපරාධ සිදුකළ ‘ආවා’ කල්ලියේ නායකයා ගල්කිස්ස, යශෝරාපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ එම ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක උඩුමහලේ රැඳීසිටිමින් විදේශගතවීමට සූදානම්ව සිටියදීයි.

‘ප්‍රභාක‍රන් කෞසිකන්’ නොහොත් ‘ප්‍රභා’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වමු ලබන මොහු ආවා කල්ලිය තුල KOINSI THAMPA යන අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සැකකරු ‘අයිස්’ මත්ද්‍රව්‍යයට තදින්ම ඇබ්බැහි වූවෙකු වන අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදීද සැකකරු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 01 මිලිග්‍රෑම් 300 ක් සොයාගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි ෴

+++++++++

+


මහනුවර පෞද්ගලික රෝහලක සිදුවූ බව කියන අසාධාරණයක් සමාජ මාධ්‍යය කළඹයි

(04.02.2024 – 17:32 +0530 – hirunews.lk/sinhala)

තම දරුවාට වැරදි එන්නතක් එන්නත්කළ බවට චෝදනා එල්ලකරනු ලබන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයෙහි හුවමාරු වෙමින් පවතිනවා.

එහිදී එම දරුවාගේ පියා විසින් වීඩියෝ පටයක් හරහා මහනුවර ප්‍රදෙශයේ පිහිටි පෞද්ගලික රෝහලක පාලනාධිකාරිය වෙත චෝදනා කරමින් සඳහන් කරනු ලබන්නේ තම දරුවාට ‘පැපොල’ සඳහා ලබාදෙන එන්නත වෙනුවට ‘රුබෙල්ලා (MMR)’ එන්නතක් ලබා දී ඇති බවයි.

එහිදී රෝහල් පාර්ශ්වය විසින් වැරදීමක් සිදුවූ බවට ප්‍රකාශ කරන බවත්, පියා විසින් එම සම්බන්ධයෙන් ලිඛිතව තමාට ලිපියක් ලබා දෙන ලෙස ඉල්ලීමක් සිදුකළ අවස්ථාවේදී පාලනාධිකාරිය විසින් තමන්හට බලපෑම් සිදුකරන බවත් ඔහු එම වීඩියෝවේ සඳහන් කරනු ලබනවා.

එම සිදුවීමට සම්බන්ධ වීඩියෝව පහතින් :

+


ෆේස්බුක් 20 වන සංවත්සරය සමරයි

(04.02.2024 – 16:48 +0530 – hirunews.lk/sinhala)

ෆේස්බුක් සමාජ මාධ්‍ය යෙදවුමට අදට (04) වසර 20 ක් සපිරෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ලොව විශාලතම සමාජ මාධ්‍යජාලය වන ෆේස්බුක්හි බිලියන තුනකට (3) අධික පරිශීලකයින් පිරිසක් සක්‍රීයව තම ෆේස්බුක් පිටු පවත්වාගෙන යන අතර අද වන විට ෆේස්බුක් ඩිජිටල් කෞතුකාගාරයක් බවටද පත්ව ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් ෆේස්බුක් අද (04) සිය 20 වන සංවත්සරය සමරනු ලබන්නේ, එහි නිර්මාතෘ වන ‘මාර්ක් සකර්බග්’ සමාජ මාධ්‍ය හරහා දරුවන්ට සිදුවූ හානි පිළිබඳ ඇමරිකාවේ සෙනෙට් සභාව හමුවේ විභාග වූ නඩුවක දී සමාව අයැද ඇති පසුබිමක් තුළයි ෴


කොල්ලු‍පිටියේ සහ කොම්පඤ්ඤවීදියේ මාර්ග කිහිපයක් තාවකාලිකව වසා දැමේ

(04.02.2024 – 16:06 +0530 – hirunews.lk/sinhala)

කොල්ලු‍පිටිය සහ කොම්පඤ්ඤවීදිය යන පොලිස් බල ප්‍රදේශවල මාර්ග කිහිපයක් ජල නල එළීමක් හේතුවෙන් හෙට (05) සිට තාවකාලිකව වසා දමා තිබෙනවා.

උත්තරානන්ද මාවත, පෙරහර මාවත සහ නවම් මාවත යන මාර්ග අදියර 3 ක් යටතේ තාවකාලිකව වසා තැබෙන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ.

ඒ අනුව උත්තරාන්නද මාවත, නවම් මාවත සිට දුම්රිය හරස් මාර්ගය දක්වා කොටස හෙට (05) සිට 19 දින දක්වාත්, උත්තරානන්ද මාවත, පෙරහර මාවත සිට නවම් මාවත දක්වා කොටස ලබන 20 සිට මාර්තු 04 දක්වාත් වසා තැබෙනවා.

එමෙන්ම උත්තරාන්නද මාවත, පෙරහර මාවත, රොටුන්ඩාගාඩන් හන්දිය දක්වා කොටස ද මාර්තු 05 සිට මාර්තු 11 දක්වාත් තාවකාලිකව වසා තැබෙන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

අපජලය මුදාහැරෙන නළ මාර්ගයක් කොළඹ වරාය නගරය දක්වා සම්බන්ධ කිරීම හේතුවෙන් මෙලෙස තාවකාලිකව මාර්ග වසා දමා තිබෙනවා.

එම නිවේදනය පහතින් :


හුංගම රිය අනතුරකින් 6 දෙනෙකුට තුවාල

(04.02.2024 – 15:54 +0530 – hirunews.lk/sinhala)

තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ හුංගම – කිවුල ප්‍රදේශයේ දී අද (04) සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් හය (6) දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අම්බලන්තොට දෙස සිට තංගල්ල බලා ධාවනය වෙමින් තිබූ කුඩා මෝටර් රථයක් හා හුංගම දෙස සිට අම්බලන්තොට දෙසට ධාවන වෙමින් තිබූ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ.

අනතුරින් තුවාල ලැබුවන් තංගල්ල සහ හම්බන්තොට යන රෝහල්වලට ඇතුලත් කර තිබෙනවා.

++++++++++

+


ජනවාරි මාසයේ සංචාරක පැමිණීම දෙලක්ෂය ඉක්මවයි

(04.02.2024 – 14:52 +0530 – hirunews.lk/sinhala)

ජනවාරි මාසය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව දෙලක්ෂය ඉක්මවා තිබෙනවා.

ඒ අනුව එම මාසය තුළ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව දෙලක්ෂ අටදහස් දෙසිය පනස් තුනක් (208,253)ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කළේ.

එය පසුගිය වසරට සාපේක්ෂව 103% ක වැඩිවීමක්.

ජනවාරි මාසය තුළ වැඩිම සංචාරකයන් පිරිසක් ඉන්දියාවේ සිට පැමිණ ඇති අතර, එම සංඛ්‍යාව 34,399 ක්.

රුසියාවේ සිට 31,159 දෙනෙකු පැමිණ තිබූ අතර, බ්‍රිත්‍යානයේ සංචාරකයින් 16,665 දෙනෙකු එම මාසය තුළ පැමිණ තිබුණා.

එමෙන්ම ජර්මනිය, චීනය, ප්‍රංශය, පෝලන්තය, ඕස්ට්‍රේලියාව, ඇමරිකාව සහ නෙදර්ලන්තය යන රටවලින් ද සංචාරකයින් විශාල පිරිසක් පැමිණ තිබූ බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ෴


‘යුක්තිය’ ඔස්සේ තවත් 660 ක් අත්අඩංගුවට

(04.02.2024 – 09:29 +0530 – hirunews.lk/sinhala)

ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම් වලින් අපරාධකරුවන් 660 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 552 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 108 ක් සමගින් මුළු සැකකරුවන් 660 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 552 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 01 ක් පුනරුත්තාපනය සදහා යොමු කර තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 03 ක්ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

එසේම, අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 108 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 08 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 95 ක්ද සිටින බවයි වාර්තා වෙන්නේ.

ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 02 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 03 ක්ද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහත පරිදි වේ :

  • හෙරොයින් 152 g
  • අයිස් 134 g
  • ගංජා 04 kg 150 g
  • ගංජා පැල 775
  • මාවා 07 kg 700 g
  • මදන මෝදක 162 g
  • මත්පෙති 192,826

ඇඹිලිපිටියේ දී තරුණයෙකු පැහැරගැනීමේ සිද්ධියට අදාළව තවත් අයෙකු (1) අත්අඩංගුවට

(04.02.2024 – 18:56 +0530 – hirunews.lk/sinhala)

ඇඹිලිපිටිය – කිරලවැල්කටුව කාර්මික විදුහල ආසන්න ප්‍රදේශයේ දී තරුණයෙක් පැහැරගෙන ගොස් කැලෑබද ප්‍රදේශයක රඳවාගෙන තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු (1) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම පැහර ගැනීමට යොදා ගත් වෑන් රථයට ද ඇඹිලිපිටිය – පදලංගල ප්‍රදේශයේ දී සොයා ගත් බවයි පොලිසිය සදහන් කළේ.

මීට පෙර ද සිද්ධියට අදාළව එක් (1) සැකකරුවෙකු අත්අඩංගුවට ගත අතර ඔවුන් ඇඹිලිපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ඉනෝකා නයෝමි හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 14 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *