හිටපු සෞඛ්‍ය අමාත්‍ය (වත්මන් පරිසර අමාත්‍ය) කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට

හිටපු සෞඛ්‍ය අමාත්‍ය (වත්මන් පරිසර අමාත්‍ය) කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට


හිටපු සෞඛ්‍ය අමාත්‍ය (වත්මන් පරිසර අමාත්‍ය) කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට

(02.02.2024 – 19:47 +0530 – sinhala.adaderana.lk)

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ආනයනය කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය (වත්මන් පරිසර අමාත්‍ය) කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පැය 10 කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි ෴

++++++++++

+++++++++

+


කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සඳහා ඇණවුම් කළ පළමු ගැන්ට්‍රි දොඹකර ත්‍රිත්වය (3) දිවයිනට

(02.02.2024 – 21:52 +0530 – sinhala.adaderana.lk)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සඳහා ඇණවුම් කළ ගැන්ට්‍රි දොඹකර 12 න් පළමු දොඹකර ත්‍රිත්වය (3) දිවයිනට අද (02) ගෙන එනු ලැබිණි.

එම දොඹකර භාරගනු ලැබුවේ වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසිනි.

චීනයේ ෂැන්ග්හයි නුවර සිට ‘ෂෙන්හුවා-24’ නෞකාව මගින් මෙම දොඹකර ශ්‍රී ලංකාව වෙත ගෙන ආ බව සඳහන්ය.

නැගෙනහිර පර්යන්තයේ ග්‍රැන්ටි දොඹකර 12 ක් සහ පර්යන්ත දොඹකර 40 ක් සවි කිරීමට නියමිත අතර, එහි සමස්ත වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 282 ක් බව වාර්තා වේ.

මෙම ගැන්ට්‍රි දොඹකරයක් මීටර් 72 ක දිගින් යුතු වන අතර හරස් අතට බහාලුම් 26 කින් යුත් නෞකාවක් එකවර මෙහෙයවීමේ හැකියාව ලැබේ.

+


ඔන්ලයින් පනත සංශෝධනය කිරීම පිළිබඳ ඉල්ලීමක්

(02.02.2024 – 21:07 +0530 – sinhala.adaderana.lk)

සම්මත වූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇතුළු මානව හිමිකම් සඳහා සෘණාත්මක බලපෑමක් එල්ල කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසයි.

එම කවුන්සිලය පෙන්වා දෙන්නේ, සිවිල් සමාජයට සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමේ දී මානව හිමිකම් බැඳීම්වලට අනුකූල වන බව සහතික කිරීම සඳහා එම නීතිය සංශෝධනය කිරීම සලකා බලන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.

+++++++++

‘ඔන්ලයින් පනත’ ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ප්‍රකාශයක්

(03.02.2024 – 07:59 +0530 – hirunews.lk/sinhala)

සම්මත වූ ‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇතුළු මානව හිමිකම් සඳහා සෘණාත්මක බලපෑමක් එල්ල කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ප්‍රකාශ කළා.

එම කවුන්සිලය පෙන්වා දෙන්නේ, සිවිල් සමාජයට සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ගැටලු‍ විසඳීමේ දී මානව හිමිකම් බැඳීම්වලට අනුකූල වන බව සහතික කිරීම සඳහා එම නීතිය සංශෝධනය කිරීම සලකා බලන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවටයි.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයට අනුව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ මුල් පනතේ තිබූ වගන්ති රැසක් කථානායකවරයා විසින් අත්සන් තබන ලද පනතින් ඉවත් කර තිබෙනවා.

එම පනත මේ වනවිට ගැසට් මගින් ප්‍රකාශයට පත් කරද අවසන්.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාවට සාමාජිකයින් පත්කිරීමේදී ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි සාමාජිකයින් පස් දෙනෙකු (5) ගෙන් යුත් කමිටුවක් පත් කළ හැකි බවයි මුල් කෙටුම්පතේ සඳහන් වුණේ.

එහෙත් සංශෝධිත පනතේ දැක්වෙන්නේ කොමිෂන් සභාවේ සාමාජිකයින් ලෙස පත් කරන තැනැත්තන් පස්දෙනෙකුගේ (5) නම් අනුමැතිය සදහා ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කළ යුතු අතර ඒ සඳහා අනුමැතිය ලැබීමෙන් පසු දින 14 ක කාලසීමාවක් තුළ ඔවුන් කොමිෂන් සභාවේ සාමාජිකයින් ලෙස පත් කළ යුතු බවයි.

යම් නමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් ප්‍රතික්ෂේප කළහොත් එවැනි අවස්ථාවක ජනාධිපතිවරයා විසින් අලු‍ත් නාමයෝජනාවක් ඉදිරිපත් කළ යුතු අතර එයද පෙර පරිදිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත යුතු බව පනතේ සඳහන්.

මීට අමතරව සන්නිවේදනයට අදාළ සේවා සපයන්නන්ගේ වගකීම් යටතේ සංශෝධිත පනත මගින් ඇතැම් තත්ත්වයන් තුළදී අන්තර්ජාල සේවා සපයන්නන් වගකීමෙන් නිදහස් කර තිබෙනවා ෴


නාරම්මල ලොරි රථ රියැදුරුට වෙඩි තැබීමේ සිදුවීම පිළිබඳ නව හෙළිදරව්වක්

(03.02.2024 – 07:12 +0530 – hirunews.lk/sinhala)

නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ උප පොලිස් පරීක්ෂකවරයා පැමිණි යතුරුපැදිය ව්‍යාජ අංක තහඩු සහිත එකක් බවට ඊයේ (02) නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණයේදී කරුණු අනාවරණ වී තිබෙනවා.

ඒ, වෙඩි තැබීමේ සිද්ධියට අදාළව උප පොලිස් පරීක්ෂකවරයා නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේදී මාර්ගයේ ධාවනය වෙමින් තිබූකුඩා ලොරි රථයක් නතර කරන ලෙස සිවිල් ඇඳුමින් සැරසී සිටි උප පොලිස් පරීක්ෂකරවයෙකු සහ ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු අණ කර තිබුණා.

නමුත් එම අණ නොතකා ධාවනය කළ ලොරි රථය පසුපස හඹා ගිය පොලිස් නිලධාරීන් දෙදෙනා (2) නාරම්මල වලේකඩේ ප්‍රදේශයේදී ලොරි රථය නවතා රියැදුරුගේ හිසට ගිනි අවිය තැබීමත් සමඟ එය ක්‍රියාත්මක වී ලොරි රථයේ ගමන් කළ රියැදුරු ජීවිතක්ෂයට පත්වුණේ පසුගිය 18 වැනිදායි.

සිද්ධියට අදාළව උප පොලිස් පරීක්ෂකරයා සහ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් අතර උප පොලිස් පරීක්ෂකවරයා පමණක් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව සිව්වැනි (4) දිනට ඊයේ (02) යළිත් ඔහු අධිකරණය හමුවට රැගෙන එනු ලැබුවා.

සිද්ධියෙන් මියගිය ව්‍යපාරිකයාගේ පාර්ශ්වයේ තිදෙනෙකු (3) ඊයේ (02) සාක්ෂි ලබා දුන් අතර ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් විමසා සිටියේ වෙඩි තැබීම සිදුකළ යතුරු පැදියේ පසුපස පැමිණි පොලිස් කොස්තාපල්වරයා විත්තිකරුවෙකු ලෙස අධිකරණයට මෙතෙක් ඉදිරිපත් නොකරන්නේ කුමන හේතුවක් නිසාද යන්නයි.

එහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ ඔහු පිළිබඳව වෙනම විමර්ශනයක් සිදුවන බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් තරම් සාක්ෂි නොමැති බවත් පොලිසිය අධිකරණයට දන්වා ඇති බවයි.

කෙසේ වෙතත් එම පොලිස් කොස්තාපල්වරයාට විදෙස් ගමන් තහනමක් පනවා ඇති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය අවශ්‍ය වුවහොත් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙසද පොලිසියට නියෝග කළා.

මෙහිදී කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සිදුවීමට අදාළ බී වාර්තාවක් ඉදිරිත් කරමින් අධිකරණයට දැනුම් දුන්නේ වෙඩි තැබීම සිදුවූ දින උප පොලිස් පරීක්ෂකවරයා ලොරි රථය ලුහුබැඳ පැමිණි යතුරුපැදියේ සවිකර තිබී ඇත්තේ ව්‍යාජ අංක තහඩු බවයි.

එම යතුරුපැදිය 2007 වසරේ ජුලි 20 වැනි දින පෞද්ගලික වෙළෙඳසැලකින් මිලදී ගෙන ඇති අතර එය මෙතෙක් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොමැති බවද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළා.

කරුණු සලකා බැලූ නාරම්මල මහේස්ත්‍රාත්වරිය සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා ලබන 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

++++++++

නාරම්මල වෙඩිතැබීම ගැන අලුත් කතාවක් : ‘2007 එකක්, රෙජිස්ටර් කරලා නෑ, බොරු නම්බර්…’ (02.02.2024)

https://www.youtube.com/watch?v=BTrBn5mF7Sc

+


රුපියල් කෝටි 10 කට අධික වටිනාකමින් යුත් මත් කරල් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

(03.02.2024 – 08:59 +0530 – hirunews.lk/sinhala)

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (02) වත්තල සිදු කළ විශේෂ වැටලීමකදී නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව මත්ද්‍රව්‍ය වශයෙන් භාවිතා කරනු ලබන ‘ප්‍රීගැබ්’ (PREGAB) 150 mg වර්ගයේ මත් කරල් 192,000 ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 40 ක් වන බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලිස් භාරයට ගත් මෙම මත් කරල්වල මුළු වටිනාකම රුපියල් කෝටි 10 කට අධික බවයි වාර්තා වන්නේ ෴


‘යුක්තියෙන්’ අපරාධකරුවන් 770 ක් අත්අඩංගුවට

(03.02.2024 – 08:11 +0530 – hirunews.lk/sinhala)

ගත වූ පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම්වලින් අපරාධකරුවන් 770 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 567 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 203 ක් සමගින් මුළු සැකකරුවන් 770 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 567 දෙනා අතරින් සැකකරුවන් 06 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 02 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇති බවද සඳහන්.

අත්අඩංගුවට ගත් අය අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 05 ක්ද වනවා.

එසේම, අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 203 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 21 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 160 ක්ද සිටිනවා.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 11 ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 11 ක්ද මෙම මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මෙම මෙහෙයුමේ දී පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහතින් :

  • හෙරොයින් 132 g
  • අයිස් 121 g
  • ගංජා 15 kg 900 g
  • ගංජා පැල 5,416
  • ඈෂ් 16 g
  • මාවා 209 g
  • මදන මෝදක 128 g
  • තුල් ග්‍රෑම් 45 g

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *