සෞඛ්‍ය වෘත්තීය සමිති 72 කේ වර්ජනය හෙට (02) දිනයටත්

සෞඛ්‍ය වෘත්තීය සමිති 72 කේ වර්ජනය හෙට (02) දිනයටත්


සෞඛ්‍ය වෘත්තීය සමිති 72 කේ වර්ජනය හෙට (02) දිනයටත්

(01.02.2024 – 17:37 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් අද (01) උදෑසන ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය හෙට (02) දිනයේද ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළේ රුපියල් 35,000 කින් ඉහළ දැමුණු වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, ‘පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනා’ හෙවත් ‘ඩැට්’ දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින්.

ඔවුන් මෙම දීමනාව ලබාදෙන ලෙස ඉල්ලා මීට පෙරද වර්ජනයක නිරත වුණා.

කෙසේ වෙතත් එම ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබාදෙන බවට පොරොන්දු වීමත් සමඟයි එම වර්ජනය තාවකාලිකව අවසන් කෙරුණේ.

එම සාකච්ඡාව ලබා නොදීම හේතුවෙනුයි සෞඛ්‍ය වෘත්තිය සමිති 72 ක් මෙලෙස ඒකාබද්ධව වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බවට සඳහන් වන්නේ ෴

සෞඛ්‍ය වෘත්තීය සමිති ක්‍රියාත්මක කරන වැඩවර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල් 22 ක සේවා පවත්වාගෙන යාම සඳහා හමුදා සාමාජිකයන් 600 කට අධික පිරිසක් අද (01) යොදවා ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන්කර සිටියා ෴

+


උසස් පෙළ උත්තර පත්‍ර සමීක්ෂණ ඇරඹෙයි

(01.02.2024 – 16:05 +0530 – hirunews.lk/sinhala)

අ.පො.ස උසස් පෙළ උත්තර පත්‍ර සමීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

පසුගිය වසරේ (2023) ගෙවන ලද ගාස්තු ප්‍රමාණය ඒ ආකාරයටම උත්තර පත්‍ර පරීක්ෂා කරන ප්‍රධාන පරීක්ෂකවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට ගෙවීමට කටයුතු කරන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

2023 උසස් පෙළ විභාගය ජනවාරි මස 04 වනදා සිට 31 වනදා දක්වා ක්‍රියාත්මක වුණා.

එම විභාගයේ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍යයට මුදා හැරීම හේතුවෙන් අවලංගු කෙරුණු අතර එය අද (01) පැවැත්වුණා ෴


දිවයිනේ සියලු පාසල්වල 1 සිට 5 ශ්‍රේණිවල දරුවන්ට දිවා ආහාරය නොමිලේ

(01.02.2024 – 15:29 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ සියලු පාසල්වල 1 සිට 5 ශ්‍රේණිය දක්වා දරුවන්ට දිවා ආහාරය නොමිලේ ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඒ අනුව මාර්තු මස මුල සිට පාසල් දරුවන් සඳහා මෙම දිවා ආහාරය ලබා දෙන බව සඳහන් ෴


ලොව ප්‍රථමවරට අපේ රටෙන් තැඹිලි කෝම්බෙන් ස්වභාවික වර්ණක

(01.02.2024 – 15:24 +0530 – hirunews.lk/sinhala)

යුරෝපය ඇතුළු බටහිර රටවල් වාර්ෂිකව සිය ඇඟලුම් නිෂ්පාදන සඳහා භාවිත කරන කෘත්‍රිම වර්ණක ප්‍රමාණය ටොන් ලක්ෂ 2 කට ආසන්නයි.

එලෙස භාවිත කෙරෙන කෘත්‍රිම වර්ණක මිනිස් සිරුරට මෙන්ම පරිසරයටද අහිතකර බව විද්‍යාත්මකව තහවුරු කර ගැනීමත් සමඟ ඔවුන් ස්වාභාවික වර්ණක සඳහා නැඹුරු වී තිබෙනවා.

එලෙස ලෝකයේ දැඩි ඉල්ලුමක් පවතින ස්වාභාවික වර්ණක භාවිතයට කදිම විසඳුමක් ලබාදීමට මෙරට විද්‍යාඥයින් පිරිසක් සමත් වුණා.

ඒ, ලොව ප්‍රථම වරට ඉවතලන තැඹිලි කෝම්බ ආශ්‍රයෙන් ඇඟලුම් සඳහා යොදාගත හැකි ස්වාභාවික වර්ණක නිපදවීම මගින්.

වසරකට ලෝකය පුරා ඇඟලුම් වර්ණ ගැන්වීම සඳහා කෘත්‍රිම වර්ණක ටොන් ලක්ෂ 2 කට අධික ප්‍රමාණයක් භාවිතයට ගැනෙනවා.

එලෙස භාවිතයට ගැනෙන වර්ණක ජලයට එක්වීමෙන් සහ හිරු කිරණට නිරාවරණය වීමෙන් පරිසරයට එල්ල වන්නේ දැඩි බලපෑමක්.

මේ ගැටලුවට යුරෝපය ඇතුළු බටහිර රටවල් ලෝකයෙන් විසඳුමක් ඉල්ලා සිටියා.

මෙරට ඇති පාරිසරික ගැටලුවකට මනා විසඳුමක් ගෙන දෙමින් ජාත්‍යන්තරයට අවශ්‍යව ඇති ඉල්ලුමක් සැපයීමට ජ්‍යේෂ්ඨ විද්‍යාඥයින් 14 කින් සහ පර්යේෂණ විද්‍යාඥයින් 80 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) කළ මේ සොයාගැනීම ශ්‍රී ලංකා නාමය තව තවත් ඉහළට ඔසවා තැබීමක්.

+++++++++

Sri Lanka Institute of Nanotechnology (SLINTEC)


ගමේ මරණාධාර සමිතියේ භාණ්ඩාගාරික සුසාන භූමියේ අන්නාසි වගා කරලා

(01.02.2024 – 14:18 +0530 – hirunews.lk/sinhala)

මරණාධාර සමිතියක නිලධාරියෙකු විසින් අත්තනෝමතික ලෙස සුසාන භූමියක් තුළ අන්නාසි වගා කිරීම හේතුවෙන් ප්‍රදේශවාසීන් පීඩාවට පත්වූ පුවතන් මීරිගම හේනේගම ප්‍රදේශයෙන් අපට වාර්තා වී තිබෙනවා.

එම ප්‍රදේශයේ මරණාධාර සමිතියේ අනුමැතියෙන් එහි භාණ්ඩාගාරිකවරයා විසින් කරගෙන යන අන්නාසි වගාවක් හේතුවෙන් මෘත ශරීර මිහිදන් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

ඔවුන් පවසන්නේ වසර 15 කට පමණ පෙර මෙම අන්නාසි වගාව ආරම්භ කළ අවස්ථාවේ ගම්වාසීන්ද විරෝධතාවක් මතු කර නොමැති බවයි.

නමුත් අන්නාසි වගාව ව්‍යාප්‍ත කිරීම හේතුවෙන් අක්කර දෙකක (2) පමණ භූමි ප්‍රමාණයකින් සමන්විත සුසාන භූමියේ මේ වන විට භූමදාන කටයුතු සඳහා ඉතිරිව අත්තේ පර්චස් 5 ක වපසරියක් පමණක් බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.

මේ පිළිබඳව ග්‍රාම නිලධාරීවරයා ඇතුළු වගකිවයුතු නිලධාරීන් දැනුවත් කළද ඊට නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ.

+


අන්තර්ජාලය ඔස්සේ මත්ද්‍රව්‍ය ඡාවාරමේ නිරත වූ 316 ක් අත්අඩංගුවට

(01.02.2024 – 14:27 +0530 – hirunews.lk/sinhala)

අන්තර්ජාලය සහ ජංගම දුරකථන ඔස්සේ මත්ද්‍රව්‍ය ඡාවාරමේ නිරත වූ පුද්ගලයින් 316 දෙනෙකු දිවයින පුරා සිදු කරන ලද වැටලීම්වලින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මුදල් ගෙවීමේ ක්‍රමවේදයක් ලෙස ඡාවාරමිකරුවන් විසින් අන්තර්ඡාලය සහ ජංගම දුරකථන වැඩි වශයෙන් යොදා ගන්නා බවට ලද තොරතුරකට අනුවයි ඊයේ (31) දිනයේ දී දිවයින පුරා විශේෂ මෙහෙයුම දියත් කරනු ලැබුවේ.

එහිදී ඡංගම දුරකථන ආශ්‍රිත වාණිජ මධ්‍යස්ථාන 1964 ක් අවසර ලත් පුද්ගලික සන්නිවේදන මධ්‍යස්ථාන 2131 ක් සහ හඳුනාගත් වාණිජ බැංකු සහිත ස්ථාන 1202 ක් ආශ්‍රිතව මෙහෙයුම දියත් කර තිබෙනවා ෴


පිළිකා රෝගී තත්ත්වය 30% ත් 50% ත් අතර වළක්වා ගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

(01.02.2024 – 13:54 +0530 – hirunews.lk/sinhala)

පිළිකා රෝගී තත්ත්වයන් 30% ත් 50% ත් අතර වළක්වා ගැනීමට හැකියාව පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනාවරණය කර ගෙන ඇතැයි බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු පවසනවා.

ඇය මේ බව කියා සිටියේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ ඊයේ (31) පැවති වැඩමුළුවකට එක්වෙමින්.

ලබන 04 වනදාට යෙදෙන ලෝක පිළිකා දිනයට සමගාමීව මෙම වැඩමුළුව පවත්වා ඇති බවයි සඳහන් වන්නේ.

+


විදුලිබිල යළි වැඩිවීමක් ගැන ඉංජිනේරුවන් අනතුරු අඟවයි

(01.02.2024 – 12:56 +0530 – hirunews.lk/sinhala)

නව විදුලි බල පනතෙහි වගන්ති කිහිපයක් වෙනස් නොකළහොත් විදුලි ගාස්තුව තවත් ඉහළ යා හැකි බව‍ට ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය අනතුරු අගවනවා.

එහි සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ කොළඹ ඊයේ (31) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ, පවතින තත්ත්වය හමුවේ විදුලි බිල අඩුවේ යැයි විශ්වාස කළ නොහැකි බවයි.

මේ අතර සේවය අත්හිටවූ විදුලි සේවකයින් නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිත සන්ධානය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් සංදේශයක් රැගෙන ඊයේ (31) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වෙත ගොස් තිබුණා.

එහෙත් ඔවුන්ගේ සංදේශය භාර ගැනීම සදහා එහි කිසිවෙකු පැමිණ සිටියේ නැහැ.

එමෙන්ම පාරිභෝගික ජනතාවට පීඩාවක් වන ලෙස වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම වලක්වමින් ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති වෙත නිකුත් කළ වාරණ නියෝගය මේ මස 15 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ ලංකා විදුලිබල මණ්ඩලය කළ පැමිණිල්ල කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සදුන් විතාන හමුවේ අද (01) සලකා බැලූ අවස්ථාවේදීයි මෙම වාරණ නියෝගය අද (01) දක්වායි පනවා තිබුණේ.

මේ අතර, වසර 08 කට පසු විදුලි ගාස්තු ඉහළ දැමීමට සිදු වීමේදී එයට දේශපාලන කාරණා ද හේතු වූ බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ, රජය සතු ව්‍යවසායවල කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම යන තේමාව යටතේ කොළඹ ඊයේ (31) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *