රෝහල් ගණනාවක අත්‍යවශ්‍ය ඖෂධ රැසක හිඟයක්

රෝහල් ගණනාවක අත්‍යවශ්‍ය ඖෂධ රැසක හිඟයක්


රෝහල් ගණනාවක අත්‍යවශ්‍ය ඖෂධ රැසක හිඟයක්

(28.01.2024 – 13:43 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් ගණනාවක අත්‍යවශ්‍ය ඖෂධ රැසක හිඟයක් පවතින බව සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්.එම්.එස්. මැදිවත්ත පවසනවා.

අද (28) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු පැවසුවේ මේ හේතුවෙන් කල් ඉකුත් වූ ඖෂධ වර්ග ද ඇතැම් රෝහල්වල භාවිතයට ගෙන ඇති බවයි.

එච්.එම්.එස්. මැදිවත්ත – ප්‍රධාන ලේකම් -සමස්ත ලංකා හෙද සංගමය :

  • ජීවිතාරක්ෂක අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක්, සර්ජිකල් ස්ප්‍රිට්, අත් සෝදන ද්‍රව්‍ය, සිරින්ජර්වල මාස ගණනාවක සිට හිඟයක්
  • රෝහල්වල භාවිතයට කල් ඉකුත් වූ ප්‍රතිජීවක ඖෂධ
  • දැඩි සත්කාර ඒකකයේ ඖෂධ විෂ වීමෙන් විවිධ ආසාත්මිකතා සහ මරණ ඇතිවීමේ අවදානමක්.

+

+


රට තුළ පවතින්නේ දූෂණයට පක්ෂ සහ දූෂණයට විරුද්ධ යන කණ්ඩායම් දෙක (2) පමණයි

(28.01.2024 – 13:56 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින්නේ දූෂණයට පක්ෂ සහ දූෂණයට විරුද්ධ යන කණ්ඩායම් දෙක පමණක් බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ අම්පාර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

ජාතික ප්‍රජාතාන්තවාදී පෙරමුණේ අම්පාර ආසන සමුළුව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

+


බෙලිඅත්තේදී රන් මාලය කඩා මිත්තණිය ඝාතනය කළ මුනුබුරාගෙන් පාපොච්චාරණයක්

(28.01.2024 – 13:11 +0530 – hirunews.lk/sinhala)

ජංගම දුරකථනයක් මිලදී ගැනීම සඳහා සිය මිත්තණිය ඝාතනය කර ඇගේ රන් මාලය උකස් කළ 15 හැවිරිදි පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

බෙලිඅත්ත ප්‍රදේශයෙන් මෙම සිද්ධිය වාර්තාවූයේ මීට දින කිහිපයකට පමණ ඉහතදියි. මෙම සැකකරු මිත්තනිය ඝාතනය කර එම තොරතුරු වසන් කර තිබූ අතර, පසුව ඔහු තවත් අපරාධ ක්‍රියා ගණනාවකට සම්බන්ධ වී තිබුණා.

වෙනත් කොල්ලකෑමක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබූ අතර, එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මොහු මිත්තණිය ඝාතනය කළ ආකාරය පිළිබඳවද පාපොච්ඡාරණය කර තිබුණා.

බෙලිඅත්ත – නිහිලු‍ව ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් හාරලක්ෂ තිස් දහසක් (4,30,000) වටිනා රන්භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධියකට අදාළවයි 15 හැවිරිදි පාසල් සිසුවා අත්අඩංගුවට ගෙන තිබුණේ.

පසුව මියගිය 70 හැවිරිදි මිත්තනියගේ සිරුර මිහිදන් කර තිබුණේ පශ්චාත් මරණ පරීක්ෂණයක් ද නොපවත්වායි.

කෙසේවෙතත් නිවසක් බිඳ රන් ආභරණ කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුවාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදි අනාවරණ වී ඇත්තේ ජංගම දුරකථනයක් මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සොයාගැනීම සඳහා මිත්තනියගේ රන් මාලය කොල්ලකෑමේ අරමුණින් ඝාතනය සිදුකළ බවටයි.

පසුව එම රන් මාලය මිතුරෙක් ලවා උකස්කර ඇති අතර, එම මිතුරා ධීවර රැකියාව සඳහා මේ වන විට මුහුදු ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාසල් සිසුවා සහ ඊට සම්බන්ධ බව පැවසෙන ඔහුගේ තවත් මිතුරෙක් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණා.

මිත්තණියගේ මෘත දේහය පරීක්ෂණ සඳහා හෙට (29) යළි ගොඩගැනීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ.

+


හඳුනා නොගත් ගම්මිරිස් රෝගයක් මාතලෙන්

(28.01.2024 – 12:48 +0530 – hirunews.lk/sinhala)

ගම්මිරිස් වගාවට හඳුනා නොගත් රෝග දෙකක් බෝවීම හේතුවෙන් වගාවේ අස්වැන්න දැඩි ලෙස විනාශ වෙමින් පවතින බව මාතලේ දිස්ත්‍රිකයේ ගම්මිරිස් ගොවීන් පවසනවා.

මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල, පල්ලෙපොළ, යටවත්ත, රත්තොට, උකුවෙල, ලග්ගල පල්ලේගම ආදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මහ පරිමාණයෙන් ගම්මිරිස් වගා කරනු ලබනවා ෴

+


මම ජාත්‍යන්තරයට ඕන විදිහට වැඩ කරන්න සුදානම් නෑ – ටිරාන් අලස්

(28.01.2024 – 11:06 +0530 – hirunews.lk/sinhala)

යුක්තිය මෙහෙයුමට ජාත්‍යන්තරය බලපෑම් කළත් එය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ ජාත්‍යන්තරය මෙය නතර කිරීමට බලපෑම් කළද මෙරට මත් ද්‍රව්‍ය සහ පාතාලය මැඩලීමේ ‘යුක්තිය මෙහෙයුම’ කිසිසේත් නතර නොකරන බවයි ඔහු සඳහන් කරන්නේ.

මීගමුව කොට්ඨාස ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

ලබන ජූනි 30 වෙනි දින වනවිට මෙම මෙහෙයුම හේතුවෙන් රටේ විශාල වෙනසක් සිදුවන බවයි ඔහු සඳහන් කළේ ෴


මේ වසරේ (2024) ගත වූ දින 28 ට 20 වන වන අලියාත් විදුලි සැර වැදී මියයයි

(28.01.2024 – 10:48 +0530 – hirunews.lk/sinhala)

මැදවච්චිය මහදිවුල්වැව වෙල් යායේදී වන අලියෙකු අනවසර විදුලි රැහැනක ගැටී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

වයස අවුරුදු 8 ක් පමණ වන මෙම වන අලියා කුඹුර මැදින් ගමන් කරමින් සිටියදී ගොවියෙකු විසින් ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් එම ස්ථානයේම මියගොස් ඇති බවයි අනුරාධපුර වනජීවී නිලධාරීන් සදහන් කර සිටියේ.

සිද්ධිය සැල වූ වහාම වන ජීවී නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.

වනජීවී නිලධාරීන් හා මැදවච්චිය පොලිසිය කුඹුරට අනවසරයෙන් විදුලිය ලබා ගෙන වන අලියෙකු මියයාමට සැලැස්වූ පුද්ගලයා සොයා පරීක්ෂණ ආරම්භ කොට ඇති බවයි වාර්තා වෙන්නේ.

2024 ගත වූ දින කීපය ඇතුළත හදිසි අනතුරු හා මෙවැනි විදුලි රැහැන්වල පැටලීම නිසා මිය ගිය 20 වන අලියා මෙම අලියා බවයි රජරට පාරිසරික සංවිධාන පෙන්වා දෙන්නේ ෴


පැහැරගෙන ගිය බහුදින ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

(28.01.2024 – 09:24 +0530 – hirunews.lk/sinhala)

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පැහැරගෙන ගිය ‘ලොරෙන්සෝ පුතා – 4’ බහුදින ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් සොයාබැලීමක් කරන ලෙස නාවික හමුදාව විසින් ඒකාබද්ධ සමුද්‍රීය බලකායට දැනුම්දීමක් කර තිබෙනවා.

අදාළ බහුදින යාත්‍රාව පැහැරගෙන ගොස් ඇති බවට ධීවර දෙපාර්තමේන්තුව විසින් සිදුකළ දැනුම්දීමට අනුව මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය සඳහන් කළේ.

ශ්‍රී ලංකාවද රටවල් 39 කින් සැදුම්ලත් මෙම සංවිධානයේ සාමාජිකත්වය දරණ අතර, එහි මූලස්ථානය පිහිටා ඇත්තේ බහරේනයේයි.

පසුගිය 12 වැනිදා දික්ඕවිට ධීවර වරායෙන් මෙම බහුදින ධීවර යාත්‍රාව අරාබි මුහුදේ යාත්‍රා කරමින් තිබියදී ආයුධ සන්නද්ධ සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බවටයි ඊයේ (27) වාර්තාවුණේ ෴

+


‘යුක්තිය’ යටතේ තවත් 803 ක් අත්අඩංගුවට

(28.01.2024 – 08:31 +0530 – hirunews.lk/sinhala)

‘යුක්තිය මෙහෙයුම’ යටතේ ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම්වලින් අපරාධකරුවන් 803 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 562 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 241 ක් සමගින් මුළු සැකකරුවන් 803 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 562 දෙනා අතරින් සැකකරුවන් 05 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 01 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 10 ක්ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

එසේම, අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 241 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 11 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 214 ක් සිටින බවයි වාර්තා වෙන්නේ.

ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 07 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 09 ක්ද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහතින් :

හෙරොයින් 212 g
අයිස් 101 g
ගංජා 01 kg 852 g
ගංජා පැල 443
මාවා 02 kg 117 g
මත්පෙති 169


බිල්ලන්ගේ බැල්ම වැටුණු නිවෙස් ගැන පොලිසිය කියයි

(28.01.2024 – 07:02 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල විශාල මුදලක් ගෙවා නිවෙස් කුලියට ගැනීමට පැමිණෙන පුද්ගලයන් පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වන ලෙස අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව නිවෙස් අයිතිකරුවන් ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මේ හැර නිවෙස් කුලියට ගෙන සිටින පුද්ගලයන්ගේ ක්‍රියාකලාප පිළිබඳවද ප්‍රදේශවාසීන් සැලකිලිමත් විය යුතුව ඇති බවයි නිහාල් තල්දූව පැවසුවේ.

මේ දිනවල පැවැත්වෙන යුක්තියේ මෙහෙයුම නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් වැඩි දෙනකු ආගිය අතක් නැතැයිද සමහරු පවුල් පිටින් අතුරුදන්වී ඇතැයිද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළා ෴


“කෝටිපතියන් 1,212 ක් බදු ගෙවලා නෑ” – විපක්ෂ නායක

(28.01.2024 – 22:33 +0530 – hirunews.lk/sinhala)

රටේ සුපිරි ධනවතුන් කෝටිපතියන් 1,212 ක් කෝටියකට වඩා බදු පැහැර හැර ඇති මුත් සාමාන්‍ය ජනතාව වැට් බදු වැඩි කිරීම නිසා 30,000 කට වැඩි බදු මාසිකව ගෙවන බවත් මහජන සහ ලංකා බැංකුවෙන් ඇප නොමැතිව ණය ගත් සුපිරි කෝටිපති ආයතන ණය නොගෙවා රටට විශාල පාඩුවක් කර ගජමිතුර දේශපාලනඥයන් හරහා රටට වාසිදායක ගිවිසුම් සකස් කරමින් ණය පැහැර හරිමින් සිටින බව විපක්ෂ නායකවරයා පවසනවා.

එහෙත් පරාටේ නීතිය ගෙනවිත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ පුද්ගලික දේපල වෙන්දේසි කරන බවත් මේ තත්ත්වය නතර කළ යුතු බවයි ඔහු පැවසුවේ.

රටේ ජනතාව මිනිමරු ත්‍රස්තවාදයෙන් මුදවා ඇස් ඉස් මස් ලේ රට දැය වෙනුවෙන් පූජා කර ත්‍රස්තවාදය මුලින් උපුටා දැමීමට ඉටුකළ දැවැන්ත අමරණීය සේවාව සමගි ජන බලවේගය කිසිදා අමතක නොකරන බවත් එසේ මුදවා ගත් රටේ නායකයෝ ක්‍රියාත්මක කළ ආර්ථික ත්‍රස්තවාදයෙන් මහබැංකු අරමුදල්වලට පික්-පොකට් ගැසු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

එමෙන්ම විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ ත්‍රස්තවාදයෙන් මුදවා ගත් රට දේශපාලන නායකයන්ගෙන් ආර්ථික ත්‍රස්තවාදය ට යටවී ඇති බවත් දූෂිත විනාශකාරී අල්ලස හොරකම ක්‍රියාත්මක කරමින් යන මේ ආර්ථික ත්‍රස්තවාදය මුලින් උපුටා දමන්න සුවිශේෂී කාර්යභාරයක් රණවිරුවන්ට ඇති බවයි.

නැවතත් වරක් රටට මානුෂීය මෙහෙයුමක් අවශ්‍ය බවත් ඒ තුළින් හොරකම වංචාව තුරන් කර රටේ සම්පත් රටේ දියුණුවට යොදා ගෙන සෞභාග්‍යය සම්පන්න රටක් නිර්මාණය කිරීමට එක්වන ලෙසත් ඔහු වැඩිදු‍රටත් පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (28) කැගල්ලේ පැවැති රණවිරු සමුළුව අමතමින්.

මහ පාරට බැස අයිතිය වෙනුවෙන් කතා කිරිම මුලික අයිතියක් බවත් එය නැති කරන්න ජනපතිවරයාට පවා නොහැකි බැවින් 30 වැනි දා සමගි ජන බලවේගය මහපාට බසින බවත් කුමන බාධක පැමිණියත් එය සිදු කරන බවත් එම අයිතිය උල්ලංඝනය කලහොත් සමගි ජනබලවේග රජයක් තුළ නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත් විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් පවසා තිබෙනවා.

ඔහු සඳහන් කළේ ‘වැල් පාලමෙන්’ ජනතාව සහ රට ගොඩ ගන්නවා වෙනුවට තමන්ගේ හිතමිතුරන් ‘වැල් පාලමෙන්’ ගොඩ දමා ඇති බවත් සිංගප්පූරුවක් කරන බව පැවසුවත් එය ජනතාවට නොව ආණ්ඩුවට පමණක් සීමා වී ඇති බවත් වරායේ ඇති රාජ්‍ය නාවුක යාත්‍රා උපයෝගී කර ගෙන මුහුද මැදට ගොස් සාද පවත්වමින් ජනතාව හොරු රකිමින් සිටින බවත් ය.

මෙවැනි හොරුන් සමග සමගි ජන බලවේගයට සම්බන්ධතා නොමැති නිසා අගමැතිකම් ජනපතිකම් බාර නොගත් බවත් ජනතා වරමින් පමණක් එම තනතුරු බාර ගන්නා බවයි විපක්ෂ නායකවරයා පැවසුවේ.

+


ICCයෙන් පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවතට

(28.01.2024 – 18:53 +0530 – hirunews.lk/sinhala)

ICC විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ ක්‍රිකට් තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබෙනවා.

මේ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිල වෙබ් අඩවිය හරහා නිවේදනය කර ඇති බවද සඳහන්.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙරටට පනවා ඇති ක්‍රිකට් තහනම ඉදිරි දින කිහිපය තුළදී ඉවත්කරනු ඇති බවට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මීට පෙර අවස්ථාවකදී සඳහන් කර සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන මැදිහත්වීම් සිදුවන බව පවසමින් පසුගිය වසරේ නොවැම්බර් මස 11 වැනිදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගත්තා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *