රුපියල් කෝටි 500 වංචා කළ බස්නායකයා සහ උගේ හොර ගෑණි රිමාන්ඩ්

රුපියල් කෝටි 500 වංචා කළ බස්නායකයා සහ උගේ හොර ගෑණි රිමාන්ඩ්


රුපියල් කෝටි 500 වංචා කළ බස්නායකයා සහ උගේ හොර ගෑණි රිමාන්ඩ්

(28.01.2024 – 17:50 +0530 – sinhala.adaderana.lk)

= මූල්‍ය වංචාවට අත්අඩංගුවට ගත් යුවළ රිමාන්ඩ් =

ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ ජනතාවගෙන් රුපියල් කෝටි 500 ක් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුවළ රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ.

සැකකරු සහ සැකකාරිය අද (28) කහටගස්දිගිලිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර ඇත.

එහිදී නියෝග කර ඇත්තේ ඔවුන් එළැඹෙන 05 වනදා දක්වා රක්ෂිත බණ්ධනාගාරගත කිරීමටය.

වැඩි පොලියක් ලබාදෙන බව පවසා ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ ජනතාවගෙන් රුපියල් කෝටි 500 ක් වංචා කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු හා ඔහුගේ අනියම් බිරිඳ ‘නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය’ මගින් අත්අඩංගුවට ගත්තේය.

එම පුද්ගලයා මුදල් වංචා කර ඇත්තේ ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ ‘ට්‍රෙඩ්වින් ෂෙයාර්’ නම් පීරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමිනි.

මුදල් වංචා කිරීමෙන් පසු මහනුවර පිළිමතලාව ප්‍රදේශයේ සිය අනියම් බිරිඳ සමග රැඳී සිට ඇති ඔහු ජනතාවගෙන් වංචා කළ මුදලින් ඉඩකඩම්, වාහන මිලදීගෙන අධි සුඛෝපභෝගි ජීවිතයක් ගත කර ඇති බව වාර්තා වෙයි.

එසේම අනියම් බිරිඳගේ නමින් රුපියල් ලක්ෂ 80 ක් ස්ථිර තැන්පතුවක්ද පවත්වාගෙන ගොස් තිබේ.

ඒ අනුව ඔහුගේ අනියම් බිරිඳ අත්අඩංගුවට ගැනුණේ වංචා කළ මුදල් ආයෝජනය කිරීමේ චෝදනාව මතය.

+++++++

(hirunews.lk/sinhala)

ඔහු එම මුදල් අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපයීමේ ක්‍රමයක ද තැම්පත් කර ඇති බවයි වාර්තා වුණේ.

ඔහුගේ ආයතනයේ මුදල් ආයෝජනය කළ පුද්ගලයින් පසුගිය ජූලි 11 වනදා ගලෙන්බිදුණු වැව නගරයේ උද්ඝෝෂණයක ද නිරත වුණා.

දහසකට අධික පිරිසකගේ මුදල් ලබා ගෙන මාස ගණනාවක් පුරා අදාළ මූල්‍ය ආයතනය වසා දමා තිබූ අතර ගලෙන්බිදුණු වැව – අස්සයාබැදි වැව ප්‍රදේශයේ පදිංචිව සිටි ‘බස්නායක නිලමේ’ නැමති අදාළ සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් සිටියා.

මාතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ විහාරස්ථානයක ‘බස්නායක නිලමේ’ තනතුරක් දැරූ බවද සැකකරු ප්‍රදේශවාසීන්ට පවසා ඇති අතර ඒ හේතුවෙනුයි ඔහු ‘බස්නායක නිලමේ’ ලෙසින් හදුන්වා ඇත්තේ.

++++++++

ලොකු පොලී පෙන්නා රුපියල් කෝටි 500 ගැරූ බස්නායක නිලමේ සහ නිලිය රිමාන්ඩ්

(28.01.2024 – lankadeepa.lk)

වැඩි පොලියක් ලබා දෙන බවට පවසමින් රජරට හුරුළු ව්‍යාපාරය ගොවි ජනතාව රවටා ‘ට්‍රෙරෙඩ්වින්’ නමින් පිරමීඩ මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් රුපියල් කෝටි පන්සීයකට (500) අධික මුදලක් ජාවාරම් කළේ යැයි කියන උපාධිධාරී බස්නායක නිලමේවරයා සහ ඔහු විසින් පිළිමතලාව ප්‍රදේශයේ සඟවාගෙන සිටිනු ලැබුවේ යැයි කියනු ලැබූ ටෙලි නිලියක ලබන 05 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කහටගස්දිගිලිය වැඩ බලන මහේස්ත්‍රාත් නීතිඥ දිමුතු මහතා නියෝග කළේය.

අත්අඩංගුවට ගත් ‘වීරසේකර මුදියන්සේලාගේ තරිඳු ඉරෝස් වීරසේකර’ නමැති සැකකරු සහ චිත්‍රපට හා රූපවාහිනී ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක වූ ‘එගොඩගෙදර චමිලා ප්‍රියදර්ශනී රාජරත්න’ නමැති සැකකාරිය ද එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

පෙරේදා (26) දින අත්අඩංගුවට ගත් සැකකරුවන් ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාලගත විමර්ශන ඒකකය’ මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

එම ඒකකයේ උප පොලිස් පරීක්ෂක තිවංක දසානායක සහ පොලිස් කොස්තාපල් ජයරත්න මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව වැඩ බලන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ සැකකරු වසර දෙකක් (2) තිස්සේ පොලිස් විමර්ශන වලට සහාය නොදී සැඟව සිටි පුද්ගලයෙකු බවය. සැකකරු උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි දේපළ රැසක් මිලදී ගෙන ඇති පුද්ගලයෙකු බවද, විමර්ශන රැසක් සිදු කරන බැවින් එම දේපළ පිළිබඳ කරුණු මෙම අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දසනායක මහතා සඳහන් කර සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් ගොවීන් 180 කට අධික පිරිසක් මේ වන විට පැමිණිලි කර ඇති බවත්, පසුගිය ජූලි මාසයේදී කහටගස්දිගිලිය ප්‍රදේශයේ විරෝධතා ව්‍යාපාරයක් ඔවුන් සංවිධානය කර තිබූ බවත් සඳහන් කළ පොලිස් නිලධාරියා මොහුට ඇප ලබා දුනහොත් මහජන කැළඹීමක් ඇතිවිය හැකි බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ඉල්ලා සිටියේය.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥ සුරාජ් වල්ගම හා ඉන්දික විජයවර්ධන යන මහත්වරුන් පෙනී සිටියේය.

මිනිසුන් බෝඩ් ලෑල්ලක් අල්ලා සිටි පමණින් එය මහජන කැළඹීමක් නොවන බැවින් සැකකරුට ඇප ලබා දෙන්නැයි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. නඩු කටයුතු වලට ඕනෑම අවස්ථාවක සහය දීමට අධිකරණයට ඉදිරිපත් වන බවත් ඇප ලබා දෙන ලෙසත් ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය ෴

++++++++

‘හොර බස්සෙක්’ (dasathalankanews.com)

ව්‍යාජ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි 500 කට අධික මුදලක් වංචා කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ තරිඳු වීරසේකර නැමැති පුද්ගලයා බස්නායක නිලමේවරයෙකු නොවන බව බස්නායක නිලමේවරුන්ගේ සංගම පවසනවා.

බස්නායක නිලමේවරුන්ගේ සංගමයේ සභාපති ලෙස කටයුතු කරන මහනුවර ශ්‍රී පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර හේරත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද (28) මේ බව සඳහන් කළා ෴


තෙවැනි ඇසට හසුවූ මුදල් සොරකම (28.01.2024)

+


සැකසහිත බිළිඳු මරණයක් – මව රටින් පළායයි

(28.01.2024 – 15:29 +0530 – hirunews.lk/sinhala)

තම කුසින් බිහිකළ බිලිඳා නොමේරූ ළදරු ඒකකයේ ජීවිතයත් මරණයත් අතර සිටින මොහොතක, බිලිඳා අතහැර දමා විදෙස් රටකට පළාගිය මවක් පිළිබඳ පුවතක් පොල්ගහවෙල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

පොලිසිය සඳහන් කළේ එම බිලිඳා දින 8 ක් ජීවත්ව සිට පසුව මියගොස් ඇති බවයි.

මෙලෙස මියගිය බිලිඳගේ මව මල්බෙරි වත්ත, කෙහෙල් වතුගොඩ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවක්.

ඇය පසුගිය වසරේ (2023) නොවැම්බර් මස පොල්ගහවෙල ගොඩකවෙල උසාවිය පාරේ පිහිටි නිවසක කුලීපදනම මත ගත් කාමරයක පදිංචිව සිට තිබෙනවා.

ඇය එම ප්‍රදේශයේම පිහිටි හෝටලයක සේවය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පොලීසිය සඳහන් කළේ පසුගිය වසරේ (2023) දෙසැම්බර් 18 වැනිදා දරු ප්‍රසූතියක් සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ 72 වැනි වාට්ටුවට ඇතුළු වී ඇති බවයි.

ඇය එදින රාත්‍රියේ පිරිමි දරුවෙකු ප්‍රසූත කර ඇති අතර, අඩු බර දරු උපතක් හේතුවෙන් බිලිඳා රෝහලේම නොමේරූ ළදරු ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ බිලිඳා එහි ප්‍රතිකාර ලබන අතරතුර දෙසැම්බර් 22 වැනිදා මව රෝහලෙන් පළාගොස් එදිනම සවස ඩුබායි රාජ්‍යයට ගොස් ඇති බවයි.

ඇයව රෝහලට ඇතුළත් කළ පුද්ගලයා ඇය සේවය කළ හෝටලයේ හිමිකරු බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පොලිසියට පැමිණෙන ලෙසට ඔහුට දන්වා සිටියදීත් ඔහු ද ජනවාරි 17 වැනිදා ඩුබායි රාජ්‍යයට පිටව ගොස් අති බව විමර්ශනවලදී හෙළිවුණා.

ඒ අතරතුර රෝහලේ සිටි බිලිඳා උපතින් දින 8 කට පසු එනම් දෙසැම්බර් 27 වැනිදා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙම කාන්තාව සහ දරුවාගේ පියා ලෙස සැක කෙරෙන අදාළ පුද්ගලයා එක්ව යම් ආකාරයක ගබ්සාවක් කිරිමට උත්සාහ කර ඇති බවට කරුණු අනාවරණය වෙමින් පවතින බවයි.

වීසා ලබා ගැනීම සහ විදෙස්ගත වීම පෙර සූදානමක් ඇතිව සැලසුම් කර ඇති බව ද එහිදී හෙළි වී තිබෙනවා.

බිලිඳාගේ මරණයේ මහේස්ත්‍රත් පරීක්ෂණය ඊයේ (27) සිදුකර ඇති අතර ලබන 30 වැනිදා අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.

+


මහා මාර්ගයක බිම ඇද වැටී මුලතිව් තරුණයෙක් මියයයි

(28.01.2024 – 14:47 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් පුදුකුඩීරිප්පු වොඩියාර්කට්ටු ප්‍රදේශයේ වයස අවුරුදු 19 ක තරුණයෙකු යාපනයේ මහා මාර්ගයක සිහිසුන්ව ඇද ඇටීමෙන් ඊයේ (27) එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

තනබාලසිංහම් සින්ධුජන් නැමති මෙම තරුණයා සිහිසුන් වීමට පෙර වරක් වමනය කොට ඇති අතර පසුව බිම අද වැටුණු බවයි සිද්ධිය සියැසින් දුටු පුද්ගලයින් පොලිසියට පවසා ඇත්තේ.

පුදුකුඩීඉරිප්පු ප්‍රදේශයේ පදිංචි මොහු යාපනයේ කීරිමලේ ප්‍රදේශයේ කම්කරුවකු ලෙස සේවය කිරීමට පැමිණ ඇති අතර ඔහු පාරේ ගමන් කරමින් සිටියදී මේ ඉරණමට ගොදුරු වී ඇති බවයි සඳහන් වන්නේ.

මහා මාර්ගයේ සිටි පිරිසක් වහාම ඔහුව තෙලිප්පලෙයි රෝහල වෙත රැගෙන ගොස් අතර ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව‍යි වෛද්‍යවරු පැවසුවේ.

මියගිය තරුණයා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය තෙලිප්පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් සිදු කළ අතර තරුණයා මියයාමට හේතුව පැහැදිලිව නිගමනය කිරීමට නොහැකි නිසා ඔහුගේ ශරීරයේ අභ්‍යන්තර කොටස් කිහිපයක් වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා කොළඹට යවා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන ලද පොලිසිය තරුණයාගේ මළ සිරුර අවසන් කටයුතු සිදු කිරීම සදහා ඥාතීන් වෙත බාර දී ඇති අතර යාපනයේ මල්ලාකම් අධිකරණය නියෝග කොට ඇත්තේ මළ සිරුර ආදාහනය නොකොට භූමදානය කරන ලෙසයි ෴


වර්ෂාවේ බලපෑමෙන් එළවළු අස්වැන්න අඩු වෙලා

(28.01.2024 – 14:19 +0530 – hirunews.lk/sinhala)

වර්ෂාවේ බලපෑමෙන් තම එළවළු අස්වැන්න අඩු වී ඇති බවට මාතලේ ගොවීන් මැසිවිලි නගනවා.

ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ සඳහා කඩිනමින් මැදිහත්වී තමන්ට සහන සලසන ලෙසයි.

මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල, දඹුල්ල, ලග්ගල, පල්ලේගම, මාතලේ, නාවුල, යටවත්ත ආදී ප්‍රදේශවල බොහෝ පිරිසක් සිය ජීවනෝපාය සරි කරගනු ලබන්නේ එළවළු වගාවෙන් තක්කාලි, අමුමිරිස්, ගෝවා, පතෝල, වැටකුළු, ආදී එළවළු වර්ග රැසක් ඔවුන් වගා කරන අතර පසුගිය දිනවල පැවති වර්ෂාව නිසා ගොවීන්ගේ එළවළු කොටු රැසක්ම විනාශ වී තිබෙනවා.

මාස ගණනක් තිස්සේ වෙහෙස වුවද අස්වැන්න ප්‍රමාණවත් නොවීම නිසා ඔවුන් පත්ව ඇත්තේ දැඩි දුෂ්කරතාවකටයි.

ඇතැම් වගාවන් කෘමි උවදුර හා බීජවල පවතින ගැටලු හේතුවෙන් විනාශ වී තිබෙනවා.

ගොවීන් පෙන්වා දෙන්නේ අස්වැන්න ද අවම වී ඇති බැවින් ඒ සඳහා ලැබෙන මුදල තමන්ට ජීවත්වීමටද ප්‍රමාණවත් නොවන බවයි.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන විශ්වාස කර වගා කටයුතු ආරම්භ කළ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සියලු ගොවීන්ගේ වගා මේ වනවිට වර්ෂාවෙන් හානි වී ඇති බවට ගොවි සංවිධාන චෝදනා කරනවා.

(ඒ.එම්. ගුණරත්න – කමිටු සභාපති – වාන්ඇල ගොවි ව්‍යාපාරය
පී.ජී. පද්මසිරි – ලේකම් – හුණුගම්පොල ගොවි සංවිධානය)

මේ අතර වී සඳහා අවම වශයෙන් රුපියල් 120 ක සහතික මිලක් ලබා දෙන ලෙසද ගොවීන් රජයෙන් ඉල්ලා සිටිනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *