රුපියල් කෝටි 500 ක මුදලක් වංචාකළ අයෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි 500 ක මුදලක් වංචාකළ අයෙක් අත්අඩංගුවට


රුපියල් කෝටි 500 ක මුදලක් වංචාකළ අයෙක් අත්අඩංගුවට

(27.01.2024 – 15:17 +0530 – hirunews.lk/sinhala)

‘ට්‍රෙරෙඩ්වින්’ නමින් පිරමීඩ ආකාරයේ මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් මුදල් තැන්පත්කරුවන්ගෙන් රුපියල් කෝටි 500 කට අධික මුදලක් ජාවාරම්කර ජනතා මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ සැකයට පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත විමර්ශන ඒකකය මගින් අද (27) අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙසේ අත්අඩංගුවට පත් වූයේ වසර 03 ක පමණ කාලයක සිට සැඟව සිටි ගලෙන්බිඳුණුවැව පදිංචි ‘වීරසේකර මුදියන්සේලාගේ තරිඳු ඉරෝස් වීරසේකර’ නමැති සැකකරුයි.

සැකකරු පිළිමතලාව ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බවයි ජාලගත විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ.

එමෙන්ම, සැකකරු ටෙලි නාට්‍ය හා රූපවාහිනි රංගන ශිල්පිනියක සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන යමින් මෙම වංචාව දිගින් දිගටම කරගෙන ගොස් ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

++++++++

මුදල් වංචාවකට හිටපු නිලමේ අනියම් බිරිඳ සමග අත්අඩංගුවට

(27.01.2024 – 20:07 +0530 – sinhala.adaderana.lk)

වැඩි පොලියක් ලබාදෙන බව පවසා ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ ජනතාවගෙන් රුපියල් කෝටි 500 ක් වංචා කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු හා ඔහුගේ අනියම් බිරිඳ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

2021 වසරේදී වෙහෙරහේන විහාරයේ බස්නායක නිලමේවරයා ලෙස කටයුතු කර ඇති එම පුද්ගලයා මුදල් වංචා කර ඇත්තේ ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ ‘ට්‍රෙඩ්වින් ෂෙයාර්’ නම් පීරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමිනි.

මුදල් වංචා කිරීමෙන් පසු මහනුවර පිළිමතලාව ප්‍රදේශයේ සිය අනියම් බිරිඳ සමග රැඳී සිට ඇති ඔහු ජනතාවගෙන් වංචා කළ මුදලින් ඉඩකඩම්, වාහන මිලදීගෙන අධි සුඛෝපභෝගි ජීවිතයක් ගත කර ඇති බව වාර්තා වෙයි.

එසේම අනියම් බිරිඳගේ නමින් රුපියල් ලක්ෂ 80 ක් ස්ථිර තැන්පතුවක්ද පවත්වාගෙන ගොස් තිබේ.

ඒ අනුව ඔහුගේ අනියම් බිරිඳ අත්අඩංගුවට ගැනුණේ වංචා කළ මුදල් ආයෝජනය කිරීමේ චෝදනාව මතය.

අත්අඩංගුවට ගත් 39 හැවිරිදි පුද්ගලයා සහ ඔහුගේ අනියම් බිරිඳ නාරාහේන්පිට පිහිටි නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය වෙත අද (27) පස්වරුවේ රැගෙන ආවේය.

+


වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවෙකු අසපුවක හිමිනමක් ලෙස පෙනී සිටියදී අත්අඩංගුවට

(27.01.2024 – 09:34 +0530 – hirunews.lk/sinhala)

මහාධිකරණ නඩු 12 කට හා මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු 7 කට අවශ්‍ය වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවෙකු භාවනා අසපුවක හිමිනමක් ලෙස පෙනී සිටියදී CID අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුට එරෙහිව මෙලෙස මුදල් වංචා කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් 2003 වර්ෂයේ සිට පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති අතර, එම දෙපාර්තමේන්තුව විසින් සැකකරුට එරෙහිව විමර්ශන සිදුකර අධිකරණයේ නඩු 19 ක් පවරා ඇති බවයි සඳහන් වන්නේ.

මෙම සැකකරු ‘ජයම්පති අලුවිහාරේ’ (අවු. 49) ලෙස සිටියදී මෙම චංචා සිදුකර ඇති අතර, එම නඩු සදහා සැකකරු මුලික අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිට ඇති බවද සඳහන්.

මෙම සිදුවීම්වලින් අනතුරුව මොහු අතුරුදන් වී ඇති අතර පසුව පොල්ගහවෙල ප්‍රදේශයේ භාවනා අසපුවක හිමිනමක් ලෙස පෙනී සිටියදීයි මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

++++++

+


රුපියල් කෝටියකට අධික ස්වර්ණාභරණ තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

(27.01.2024 – 08:54 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස ඩුබායි සිට මෙරටට රැගෙන ආ රුපියල් එක් කෝටි තිස් හත් ලක්ෂයක් (1,37,00,000) වටිනා ස්වර්ණාභරණ තොගයක් සමග ව්‍යාපාරික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍යනාශක අංශයේ නිලධාරීන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 46 ක් වයසැති මරදාන ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

මෙම කාන්තාව නිරන්තරයෙන් ව්‍යාපාරික කටයුතු සඳහා විදෙස්ගත වන බවද විමර්ශනවලින් අනාවරණ වී තිබෙනවා ෴


යුක්තියෙන් අපරාධකරුවන් 818 ක් අත්අඩංගුවට

(27.01.2024 – 08:29 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම්වලින් අපරාධකරුවන් 818 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 554 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 264 ක් සමගින් මුළු සැකකරුවන් 818 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 554 දෙනා අතරින් සැකකරුවන් 01 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 08 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇති බවද සඳහන්.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 10 ක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එසේම, අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 264 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 25 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 231 ක්ද සිටිනවා.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 05 ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 03 ක්ද මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් බවයි සඳහන් වන්නේ.

මෙහෙයුම්වලදී පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහතින් :

  • හෙරොයින් 159 g
  • අයිස් 112 g
  • ගංජා 08 kg
  • ගංජා පැල 4,933
  • මාවා 235 g
  • මදනමෝදක 88 g
  • මත්පෙති 329

+

+

+


නරක් වූ මාලු බහාලුම් 98 ක් මෙරට ගොඩබෑම ගැන තොරතුරු රැසක් හෙළි වේ

(27.01.2024 – 07:51 +0530 – hirunews.lk/sinhala)

කාබනික පොහොර නිෂ්පාදන සමාගමකට නරක්වූ මාළු බහාලු‍ම් 98 ක් මෙරටට ගොඩබෑම සඳහා රේගුවේ ඉල්ලීම පරිදි ආනයන හා අපනයන පාලක ජනරාල් විසින් බලපත්‍රයක් නිකුත් කර ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වුණා.

ඒ, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදියි.

මෙහිදී කාරක සභාව හමුවට 2021 සහ 2022 මූල්‍ය වර්ෂය සඳහා වූ විගණකාධිපති වාර්තා සහ කාර්ය සාධනය පරික්ෂාව සඳහා ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව කැඳවා තිබුණා.

බහාලු‍ම් රැගත් නෞකාවක් කොළඹ වරායට ආසන්න මුහුදු ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වී විදුලි සැපයුම නතර වීම හේතුවෙන් එම මත්ස්‍යයින් නරක්වී ඇති බව තහවුරු කරගත් පසු තායිලන්තය එම නෞකාව තම රටට ඇතුළු කරගැනීම ප්‍රතික්ෂේප කර තිබූ බවයි විගණන නිලධාරීන් එහිදී සඳහන් කර ඇත්තේ.

පසුව එම නරක්වූ මත්ස්‍යයින් මෙරට කාබනික පොහොර නිෂ්පාදනය කරණු ලබන සමාගමක් වෙත ලබා ගැනීම සඳහා රේගුව මගින් කළ ඉල්ලීමට, ආනයන හා අපනයන පාලක ජනරාල් විසින් බලපත්‍රයක් නිකුත් කර ඇති බවයි එම නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ.

එහිදී එම බලපත්‍රය ලබාගැනීමට අදාළ ආනයනකරු විසින් ඉල්ලීම් සිදුකළ යුතු වූවත් එයට පටහැනිව බලපත්‍රය ලබාගැනීමට ඉල්ලු‍ම් කර ඇත්තේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව බවද මෙහිදී අනාවරණය වුණා.

+


මත්ද්‍රව්‍ය වෙනුවෙන් තම වකුගඩුව අලෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

(27.01.2024 – 07:28 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය මිලට ගැනීම සඳහා තමාගේ වකුගඩුවක් අලෙවි කළ පුද්ගලයෙකු කාත්තන්කුඩි පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

32 හැවිරිදි සැකකරු ළඟ තිබී ‘අයිස්’ මත්ද්‍රව්‍යද සොයා ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

අදාළ සැකකරු කොළඹදී වකුගඩුව ඉවත් කර ගෙන ඇති අතර ඒ සඳහා ලබාගත් මුදල කොතෙක්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

සැකකරු ඊයේ (26) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

මේ අතර මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවූවන් හා මත්ද්‍රව්‍ය චෝදනාවලට ලක් වූ පිරිස් පුනරුත්ථාපනය කිරීමෙන් පසු සමාජගත කිරීමේ වැඩසටහනක් ඊයේ (26) අම්පාර මහාවාපි විහාරස්ථානයේ දී පැවැත්වුණා. ඒ, නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ ප්‍රධානත්වයෙන් ෴


රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනගඟක්

(27.01.2024 – 07:24 +0530 – hirunews.lk/sinhala)

හදිසි අනතුරකින් මරණයට පත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ දේහය කොළඹ පුද්ගලික මල් ශාලවක සිට ආරච්චිකට්ටුව නිවස පිහිටි ස්ථානයට ඊයේ (26) සවස රැගෙන ගියා.

ඒ පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට අවසන් ගෞරව දැක්විම සදහායි.

අමාත්‍යවරයාගේ දේහය කොළඹ සිට ආරච්චිකට්ටුව දක්වා රැගෙන එන අවස්ථාවේදී අතර මඟ රැස්ව සිටි විශාල පිරිසක් ඔහුට අවසන් ගෞවරය දක්වා තිබෙනවා.

එම දේහය කොළඹ මල් ශාලවක සිට පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයෙ රිය පෙරහැරකින් රැගෙන විත් ඉන් අනතුරුව නැවත තෝප්පුව පාලම ආසන්නයෙදී පුත්තලම දිස්ත්‍රික් ජනතාව විසින් භාර ගෙන ආරච්චිකට්ටුව නිවෙස පිහිටි ස්ථානයකට රැගෙන ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

අප වාර්තාකරු පැවසුවේ ආරච්චිකට්ටුව නිවෙස වෙත රැගෙන ගිය අමාත්‍යවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහ සෙනඟක් එම ස්ථානයට එක් වී සිටි බවයි.

ඔහුගේ නිවෙස අරගලය සමයේ ගිනි තබා විනාශ කිරීම නිසා දේහය මේ වන විට තාවකාලික කුඩාරමක තැම්පත් කර තිබෙනවා.

+


විසල් මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත ව්‍යාපෘතියේ ඉදිකිරීම් ඇරඹේ

(27.01.2024 – 19:55 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි 3000 ක ලෝක බැංකු ණය ආධාර මත ක්‍රියාත්මක විසල් මහනුවර සංවර්ධන වැඩසටහන යටතේ මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් අද (27) ආරම්භ කෙරුණා.

මහනුවර නගරයේ ස්ථාන කිහිපයක ස්ථාපිත කර ඇති තාවකාලික බස් රථ පර්යන්ත සියල්ලම මහනුවර දුම්රිය ස්ථානයට යාබදව පිහිටා ඇති පැරණි ගුඩ්ෂෙඩ් බස් රථ පර්යන්තයට ගෙන එමින් පොදු ප්‍රවාහන සේවාවන් ලබාදීම මෙහි අරමුණයි ෴


පොලීසිය බව හඟවා රථයක් කොල්ලකයි

(27.01.2024 – 15:12 +0530 – sinhala.adaderana.lk)

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පුද්ගලයින් පිරිසක් කොල්ලකෑමක් සිදුකර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

බිංගිරිය පඩිවෙල ප්‍රදේශයේදී රුපියල් 930,000 ක් පමණ වටිනා ත්‍රීරෝද රථයක් මෙලෙස කොල්ලකා ඇති බවට ඊයේ (26) දහවල් බිංගිරිය පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.

ඉකුත් 25 වනදා රාත්‍රී 10 ට පමණ මෙම කොල්ලය සිදුවී තිබේ.

පඩිවෙල ප්‍රදේශයේදී මාර්ගයේ වම්පස සිවිල් ඇඳුමින් සැරසී සිටි පුද්ගලයින් දෙදෙනෙකු (2) ගෙන් එක් (1) අයෙකු අදාළ ත්‍රීරෝද රථය නවතා ඔවුන් කුලියාපිටිය පොලීසියේ බව පවසා රියදුරු බලපත්‍රය ඉල්ලා සිටි බව පැමිණිලිකරු පොලීසියට පවසා ඇත.

පසුව රියදුරු ත්‍රීරෝද රථයෙන් බැස රියදුරු බලපත්‍රය ලබාදී ඇති අතර එහිදී එම රියදුරු බලපත්‍රය ත්‍රීරෝද රථය පැදවීම සඳහා වලංගු නොවන බවත් පොලීසියට යායුතු බවත් සැකකරුවන් පවසා තිබේ.‍

ඒ අනුව පොලිස් ස්ථානයට යෑම සඳහා රියදුරුව සැකකරුවන් පැමිණි යතුරුපැදියකට නංවාගෙන ඇති අතර ත්‍රීරෝද රථය අනෙක් සැකකරු පදවාගෙන ගොස් ඇත.

පසුව සැකකරුවන් විසින් කදුරුගස් හන්දිය ප්‍රදේශයේදී රියදුරුව අතහැර දමා ත්‍රීරෝද රථය කොල්ලකා තිබේ.

පොලීසිය සඳහන් කළේ සිවිල් ඇඳුමින් සැරසී සිටි සැකකරුවන් දෙදෙනා (2) පොලිස් නිලධාරීන් නොවන බවට අනාවරණය වී ඇති බවය.

ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බිංගිරිය පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ පොලිස් නිලධාරීන් වාහන පරීක්ෂා කිරීමට සංඥා කරන විට එසේ සංඥා කරන නිලධාරියා පොලිස් නිල ඇඳුමින් සැරසී සිටීම අනිවාර්යය බවය.

ඇතැම් අවස්ථාවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් විසින් සිදුකරනු ලබන විමර්ශනවලදී සිවිල් ඇඳුමින් සැරසී රථ වාහන නැවැත්වීමට සංඥා කරන අවස්ථා තිබිය හැකි බවත් පොලීසිය සඳහන් කරයි.

එසේ නොවන අවස්ථාවලදී අවස්ථාවට උචිත ලෙස බුද්ධිමත්ව කටයුතු කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *