Facebook, Youtube, Google ඇතුළු සමාගම් රැසක් ශ්‍රී ලංකා රජයට අනතුරු අඟවයි

Facebook, Youtube, Google ඇතුළු සමාගම් රැසක් ශ්‍රී ලංකා රජයට අනතුරු අඟවයි


Facebook, Youtube, Google ඇතුළු සමාගම් රැසක් ශ්‍රී ලංකා රජයට අනතුරු අඟවයි

(24.01.2024 – 10:06 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ පරිගණක ආයතනය සහ විදුලි සංදේශන නියාමන කොමිසම සමග Facebook, Youtube, Google ඇතුළු සමාගම් කිහිපයක් දැනට පවත්වාගෙන යන සම්බන්ධතා සිට බිඳ වට්ටන බව එම සමාගම් විසින් රජයට දැනුම් දී තිබෙනවා.

දැනටමත් ‘විදුලි සංදේශන නියාමන කොමිසමේ’ ෆේස්බුක් සබඳතාව ක්‍රියා විරහත වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ online ආරක්ෂක පනත සම්මත වීමෙන් පසු මෙම නිල සම්බන්ධතාවල අවශ්‍යතාවක් නැතැයි එම සමාගම් රජයට දැනුම් දී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම සමාගම් ආණ්ඩුවේ මෙම පනතට සිය විරෝධය දෙවරක්ම (2) ප්‍රකාශ කර තිබුණා.

++++++++

++++++++

++++++++

++++++++

සමාජ මාධ්‍ය නියාමන පනත ගැන ඩලස් කියපු කතාව (24.01.2024)

+


යාපනය මහනුවර A-9 මාර්ගයේ මාරක අනතුරක්

(24.01.2024 – 10:22 +0530 – hirunews.lk/sinhala)

යාපනය මහනුවර A-9 මාර්ගයේ කිළිනොච්චිය අලිමංකඩ ප්‍රදේශයේදී අද (24) ලංගම බස් රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් (1) අයෙකු මියගොස් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අනතුරෙන් තුවාල ලැබූවන් කිළිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් මියගොස් ඇත්තේ වෑන් රථයේ රියදුරා වන අතර තුවාල ලබා ඇත්තේ ද වෑන් රථයේ ගමන් කළ පිරිස බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.

බස් රථයේ ගමන් කළ පිරිස තුවාල ලබා නොමැති අතර මෙම අනතුර හේතුවෙන් බස් රථයට හා වෑන් රථයට දැඩි අලාභහානි සිදුව තිබෙනවා.

පාරේ සිටි ගව රැලක් කුලප්පු වී බස් රථය ඉදිරියට පැනීම නිසා මෙම අනතුර සිදුව ඇති අතර අනතුර හේතුවෙන් ගවයින් 8 දෙනෙකු මියගොස් තවත් හතර (4) දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය පැවසුවේ මහා මාර්ගයේ ගවයින් නිදැල්ලේ යාම නිසා මේ දිනවල උතුරේ සෑම පළාතකම ඉතා බහුලව රිය අනතුරු සිදුවන බවයි.

+


‘අවලෝකිතේශ්වර’ට මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට නියම කරයි

(24.01.2024 – 14:54 +0530 – sinhala.adaderana.lk)

‘අවලෝකිතේශ්වර බෝධිසත්ව’ නමින් පෙනී සිටි ‘මහින්ද කොඩිතුවක්කු’ නම් පුද්ගලයාට මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව අධිකරණ මනෝ වෛද්‍යවරයා විසින් අධිකරණයට වාර්තා කර තිබේ.

එහිදී මෙම සැකකරු ලබන 07 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (24) නියම කළේය.

මෙම පැමිණිල්ල අද (24) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

ඒ අනුව සැකකරුට බන්ධනාගාරය මාර්ගයෙන් මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා යොමු කරන ලෙසත් අධිකරණය නියම කළේය ෴


සීනි බදු වංචාවේ පරීක්ෂණ ගැන අලුත්ම තත්ත්වය

(24.01.2024 – 12:33 +0530 – sinhala.adaderana.lk)

සීනි බදු වංචාවක් සිදුවූ බවට වූ චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ නිමකර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

එම පරීක්ෂණයේ ලිපි ගොනු උපදෙස් ලබාගැනීම සඳහා නීතිපතිවරයාට යොමු කර ඇති බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඊට අදාළ පිළිතුරුද මේ වනවිට ලැබී ඇතැයි ඔහු පැවසීය.

එසේ කර ඇත්තේ එම වංචාවට නඩු දැමීම සඳහා උපදෙස් ලබාගැනීමට බව ඔහු කීය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආයතන 12 ක් සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් කර ඇති බවත් එමගින් ආයතන 6 කින් ඔවුන් ලැබූ ලාබයෙන් රුපියල් කෝටි 31 ක් අයකර ගෙන ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා හෙළිකළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සීනි බදු වංචාව සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සියඹලාපිටිය මහතා ඒ බව හෙළිකළේය.

+


වී කන්න ආ රිළා රංචුව මිදුලේ සිටි දැරියව සපා කයි

(24.01.2024 – 11:46 +0530 – sinhala.adaderana.lk)

අලි මදිවට රිළවුන්ගෙන් සිදුවන කරදර වින්නැහි නම් දැන් එමටය. ගෙදරක වගාවක් වාගේම වත්ත පිටියක දෙයක් හරිහැටි පරිස්සම් කරගන්නට නොහැකි වී ඇත්තේ කැලෑවල්වලට වඩා රිළවුන් දැන් ජීවත් වන්නේ ගම්මානවල නිසාය.

නිවෙසේ මිදුලක සිටි නව (9) හැවිරිදි දැරියකගේ ඇඟට රිළව් රංචුවක් පැන සපාකෑමේ සිද්ධියක් මාවනැල්ල ප්‍රදේශයෙන් ඊයේ (23) වාර්තා වන්නේ ඔය අතරතුරදීය.

මෙම සිදුවීම වී තිබුණේ මාවනැල්ල, වේරකේ ප්‍රදේශයේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් දියණියගේ මව මෙසේ කීවාය :

“මම ඒ මොහොතේ වී තම්බලා මිදුලේ වේළමින් සිටියා. පාසල් යන මාගේ පුතා වී කන්න රිළව් පනින නිසා එළවමින් හිටියේ. ඒ වෙලාවේ දුව මිදුලේ හිටියේ. දුව ඉන්න තැනට රිළව් හතර දෙනෙක් (4) ඇවිත් මෙයාගේ ඇඟට පැනපු ගමන් මෙයා දුවන්න ලැස්ති වෙනකොට මිදුලේ ඇද වැටුණා. එතකොට කකුලේ කලවා ප්‍රදේශයේ රිළව් සපා කළා තිබුණා.

උන් මිනිසුන්ටත් බය නැහැ. පුතා තමයි ගෙදර තිබුණු රෙක්කේ ගෙනත් රිළවුන්ට ගහලා එළවා ගත්තේ. සිද්ධියෙන් පස්සේ අපි ඉක්මනින් දුවව මාවනැල්ල රජයේ රෝහලට අරන් ගියා. දොස්තර මහත්තයා අපිට කිව්වා රිළවුන්ට ලේ රස වැටුනොත් දිගින් දිගටම දරුවන් වගේම වැඩිහිටි මිනිස්සු සපා කන්න බැරි නැහැ කියලා”

දැනට වැඩි වශයෙන් රිළව් ගහණය වැඩි වී ඇති කෑගල්ල දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල ජනතාව රිළව් නිසා දැඩි පීඩාවකට පත්ව සිටිති.

බලධාරීන්ට මේ සම්බන්ධයෙන් කොතෙක් දැනුවත් කර තිබුණත් මේ දක්වාම විසදුම් ලැබී නැති බවත් ඔවුහු පවසති.

කෑගල්ල දිස්ත්‍රික්කයේ පමණක් රිළා ගහණය ලක්ෂය ඉක්මවා ගොස් ඇති‍ බව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පසුගියදා අනාවරණය කළේ මේ අතරේදීය.

+


වෙඩි වැදීමෙන් අපවත් වූ හිමි නම ගැන අලුත් කතාවක් එළියට

(24.01.2024 – 19:43 +0530 – sinhala.adaderana.lk)

ගම්පහ – මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක් තුළ දී ඊයේ (23) භික්ෂුවක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන නව මානයකට යොමු ව ඇති අතර, ඒ අනුව කඩුවෙල ප්‍රදේශයේ දී සැකකරුවන් පැමිණි මෝටර් රථය ගිනි තබා එම ස්ථානයෙන් ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙකු (2) පිළිබඳ විමර්ශකයන්ගේ අවධානය යොමු ව තිබේ.

මෙම සැකකරුවන් දෙදෙනා (2) සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් වෙතොත් ළඟම ඇති පොලීසියට දැනුම්දෙන ලෙස පොලීසිය ඉල්ලීමක් කර ඇත.

රජයේ රස පරීක්ෂකවරයා අද (24) සිදු කළ පරීක්ෂාවේ දී අනාවරණ වී ඇත්තේ, අදාළ මෝටර් රථය කොටස් එකලස් කර සැකසූ එකක් බවටයි.

මේ අතර, ඝාතනයට ලක් වූ භික්ෂුව ගුරුකම් සඳහා නම් දැරූ භික්ෂුවක් වන අතර, පාතාල කල්ලියක් හා එක් ව සිදුකළ යම්කිසි ගනුදෙනුවක දී ඇති වූ ආරවුලක් මත ඝාතනය සිදු ව ඇතැයි සැක කරන බව පොලීසිය පවසයි.

පොලීසිය සිදු කළ විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ, භික්ෂුවගේ අවාතේව සිදු කරමින් සිටි තරුණයාගේ නමින් භික්ෂුව නිවාස කිහිපයක්ම මිල දී ගෙන ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

https://www.youtube.com/watch?v=tnj6aFdNC2o

+


කොටහේනේ වෙඩි තැබීමක්

(24.01.2024 – 22:08 +0530 – hirunews.lk/sinhala)

කොටහේන – ජින්තුපිටිය ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කර ඇති බවයි වාර්තා වෙන්නේ.

වෙඩිතැබීමට සම්බන්ධ එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන්කර සිටියේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *