ඔන්ලයින් පනතට එරෙහිව පොල්දූව වටරවුමේ විරෝධතා
(24.01.2024 – mawbima.lk)
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ගැන පාර්ලිමේන්තු විවාදය පැවැති ඊයේ (23) දිනයේදී එම පනත් කෙටුම්පත ඉවත් කර ගන්නා ලෙසට බල කරමින් සිවිල් සංවිධාන කිහිපයක් පොල්දූව පාර්ලිමේන්තු වට රවුමේදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.
ජාතික සිවිල් සංවිධාන පෙරමුණ, යූත් ෆෝ චේන්ජ් ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් සහ සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් පිරිසක් එක්වී ‘සමාජය ගොළුවන් කරන සමාජ ජාලා පනත අකුළමු’ මැයෙන් මෙම විරෝධතාව පැවැත්වීය.
“සමාජ මාධ්‍ය පනත හකුළා ගනු” , “ජනමතයට බයවෙලා පිස්සු කෙළී රොක්වෙලා” , “පනත් ගෙනෙයි on line ප්‍රජාතන්ත්‍රවාදය off line” , “social media is our voice” , “නිදහස් අදහස් වාරණ පනත ඉරා දමනු” ආදී වශයෙන් උද්ඝෝෂකයෝ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කළහ.
මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තු විවාදයට සහභාගිවීමට ගමන් කළ අවස්ථාවේ මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබූ බැවින් පොලිසිය, කැරලි මර්දන නිලධාරීන් හා ජල ප්‍රහාරක රථ සහිතව ඒ අවට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබිණ.
මෙහිදී අදහස් දැක්වූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරික අනුරුද්ධ බණ්ඩාර සඳහන් කළේ, ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය භාවිත කරන ව්‍යවසායකයන් සියලු දෙනාට මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත මඟින් බලපෑමක් එල්ලවෙන බවයි.
මේ වනවිට නව පනත මඟින් ඔවුන්ගේ ජීවිකාවට බලපෑමක් එල්ලවී තිබෙන බවත්, අනාගතයේදී ඔවුන්ගේ ආදායම් මාර්ග ඇනහිටිනු ඇති බවත් ඔහු කීවේය.
ජනතාවගේ ගැටලු සමාජයට ඉදිරිපත් කිරීමට තිබෙන අවස්ථාව වැළැක්වීමටත්, ජනතාව ඔවුන් බියට පත්කිරීමටත් මෙම පනත ගෙනවිත් තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
එසේම මෙහිදී අදහස් දැක්වූ ජාතික සිවිල් සංවිධාන පෙරමුණේ සභාපති ප්‍රියන්ත තිලකරත්න සඳහන් කළේ, දේශපාලනඥයන් සිදුකරන දූෂණ වංචා, අනෙකුත් සමාජ විරෝධී ක්‍රියා සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව අතරට ළඟාවෙන බවත්, ඉදිරි මැතිවරණවලදී ඔවුන්ට එය අවාසිදායක වන බැවින් ඔන්ලයින් පනත ගෙනවිත් තිබෙන බවත්ය.
ජනතාවගේ පරමාධිපත්‍යයෙන් පාර්ලිමේන්තුවට ගිය පුද්ගලයන් ජනතාවට සීමා පනවමින් සිටින බව පැවැසූ තිලකරත්න මහතා, මෙවැනි පනත් සම්මත වුවහොත් අනාගතයේදී ජනතාව ඇඳිය යුතු ඇඳුම් මොනවාදැයි පාර්ලිමේන්තුව තීරණය කිරීමට ඉඩ තිබෙන බවද කීවේය.
මෙහිදී අදහස් දැක්වූ ජාතික සිවිල් සංවිධාන පෙරමුණේ ප්‍රධාන ලේකම් සංජීව ධම්මික සඳහන් කළේ, සමාජ ජාලා භාවිත කරන සියලු දෙනා සංවිධානගතව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට විරෝධය පළ කළ යුතු බවයි.
+++++++++
+++++++++
+++++++++
Online පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 46 සම්මතයි
(24.01.2024 – 17:18 +0530 – hirunews.lk/sinhala)
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවන (2) වර කියවීම වැඩි ඡන්ද 46 කින් සම්මත වී තිබෙනවා.
මේ සඳහා පක්ෂව ඡන්ද 108 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 62 ක් පමණි.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත 2 වර කියවීමේ විවාදය අද (24) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.
මෙම කෙටුම්පත විවාද කර සම්මත කරගැනීම සම්බන්ධයෙන් ඊයේ (23) පාර්ලිමේන්තුව ආරම්භයේදී විපක්ෂයෙන් දැඩි විරෝධයක් ද එල්ල වුණා.
පසුව පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර, පසුව එය විවාදයට ගන්නේද නැද්ද යන්න පිළිබද ඡන්ද විමසීමක් පැවැත්වීමටයි කථානායකවරයා කටයුතු කළේ.
ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පත විවාදයට ගැනීමට පක්ෂව ඡන්ද 83 ක් සහ විපක්ෂව ඡන්ද 50 ක් හිමි වුණා ෴
ඩිෆෙන්ඩරයේ හප්පලා නවත්තපු ජීප් එකෙන් බැහැපු දෙන්නෙක් (2) වෙඩි තියාගෙනම කඩේට ආවා
(23.01.2024 – mawbima.lk)
“ඩිෆෙන්ඩරයේ හප්පලාම නවත්තපු ජීප් එකෙන් බැහැපු දෙන්නෙක් (2) වෙඩි තියාගෙනම කඩේට ඇවිත් කැෂියර් එකේ හිටි අම්මා කැෂියර් එක අස්සට එබුවා. මට බිම ඉඳගන්න කියල එතැන හිටපු අයට වෙඩි තිබ්බා” යැයි බෙලිඅත්තේදී ඊයේ (22) පංච (5) පුද්ගල ඝාතනය සිදුවූ ආපන ශාලාවේ අයිතිකරු වන ඩග්ලස් රාමසිංහ ‘මව්බිම’ට පැවැසීය.
ඊයේ (22) එම ඝාතනය සිදුවූ ස්ථානයට ගිය ‘මව්බිම’ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ආපනශාලා හිමිකරු මෙසේ කීවේය :
“මම වැඩට යන්න ඇඳුම් අඳිමින් සිටියා. අම්මා කැෂියර් එක ළඟ සිටියා. මා අම්මා ළඟට එන විට සුදු පාට ඩිෆෙන්ඩර් රථයක් කඩය ඉදිරිපස නැවැත්තුවා. ඉන් බැසගත් තුන්දෙනෙක් (3) කඩය ඇතුළට ඇවිත් කෑමට යමක් ගේන්න කිව්වා. එවිටම ඩබල් කැබ් රථයක් වේගයෙන් පැමිණ නවත්තල තිබුණ ඩිෆෙන්ඩරයේ හැපී නැවැත්තුවා. ඉන් බැසගත් දෙදෙනෙක් (2) තුවක්කු අරන් වෙඩි තියාගෙන කඩේ පැත්තට ආවා. ඉදිරිපිට සිටි අය වෙඩි වැදී බිම වැටුණා. ඔහුගේ ඇඟ උඩ තවත් අයෙක් වෙඩි වැදී වැටුණා. කඩය තුළ සිටි දෙදෙනාටත් (2) වෙඩි තැබුවා. ඔවුන් අම්මා කැෂියර් මේසේ යටට එබුවා. මට බිම ඉඳ ගන්න කීවා. විනාඩියක් ගියේ නෑ; ඒ අය පිටව ගියා. අවට අය එකතු වුණාට පස්සේ මාත් අම්මාත් නැඟිටලා බැලුවම කඩේ ඇතුළේ සහ ඉදිරිපස ලේ විලක් මැද මිනිසුන් මැරී සිටිනවා දැක්කා. කඩය තුළ දෙන්නෙක් (2) වෙඩි වැදී සිටියා. එතැනට අවට අය එකතු වුණා. ඒ අය පොලිසියට කතා කළා. පොලිසිය ආවා. මැතිවරණ ප්‍රචාරක කාඩ්පතක් බිම වැටී තිබී එතැනට පැමිණි කෙනෙක් ඇහිඳගත්තා. ඩිෆෙන්ඩර් රථයේ රියදුරුද වෙඩි වැදී මියගොස් ඇති බව පසුව දැනගත්තා.”
සිද්ධිය දුටු තරුණයකු කියා සිටියේ, “වෙඩි වරුසාවක් නැහැ. හරියටම ඉලක්කය අරන් එක්කෙනාට එක්කෙනාට වෙන්න වෙන-වෙනම වෙඩි තියාගෙන තියාගෙන ගියා. උණ්ඩ අපතෙ නොයන්න ඉලක්කගතව ‘ස්මාට්’ විධියට වැඩේ කළා” යනුවෙනි.
දකුණේ හමා යන ඝාතන රැල්ලේ තවත් බිහිසුණු සිදුවීමක් සටහන් කරමින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේදී කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙසේ ජීවිත පහක් (5) බිලිගෙන තිබිණි.
ඊයේ (22) පෙරවරු 08:30 ත් 08:40 ත් අතර කාලයේදී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් ‘අපේ ජනබල පක්ෂය’ නමැති දේශපාලන පක්ෂයේ සභාපතිවරයා වන ‘වැලිසරගේ සමන් ප්‍රසන්න පෙරේරා’ නමැත්තාටද ඔහු සමඟ එකම රථයේ ගමන්ගත් තවත් සිවුදෙනකුට (4) ද දිවි අහිමිවිය.
තංගල්ල උසාවියේ පවතින ඝාතන නඩුවක පාර්ශ්වකරුවකු වූ ‘සමන් පෙරේරා’ ඊට පෙනී සිටීම සඳහා පැමිණ ඇති අතර ඔවුන් පැමිණි සුදු පැහැති ඩිෆෙන්ඩර් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් බෙලිඅත්ත පිවිසුමෙන් එළියට පැමිණ උදෑසන ආහාර ගැනීම සඳහා කඩයක් ආසන්නයේ නැවතූ අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුව තිබේ. එම අවස්ථාවේදී කොළ පැහැති ජීප් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම කර පලාගොස් ඇති බවත්, වෙඩි තැබීමෙන් ‘සමන් පෙරේරා’ ඇතුළු සිවුදෙනකු (4) එම ස්ථානයේදීම මියගොස් ඇති අතර තුවාල ලැබූ එක් (1) අයකු රෝහල් ගත කිරීමෙන් පසු මියගිය බවත් පොලිසිය කියයි.
මෙම වෙඩි තැබීම සඳහා ටී.56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
මෙම සිද්ධියෙන් දිවි අහිමි වූ අනෙක් සිවුදෙනා (4) වන්නේ :
බෙන්තොට, වරාහේන පදිංචි 33 හැවිරිදි ඉලේකුට්ටිගේ සමීර මදුශංක,
ඉඳුරුව, ගල්බඩ පදිංචි 40 හැවිරිදි කුමාර විදානලාගේ හසිත චින්සුක,
කුරුණෑගල, ගැට්ටුවාන පාර පදිංචි 36 හැවිරිදි බයියාදුරයලාගේ බුද්ධික රාජපක්ෂ හා
දෙමටගොඩ පදිංචි 43 හැවිරිදි කන්නන්ගර කෝරාලලාගේ නලීන් චම්පික ජයතිලක යන පිරිසය.
මෙම පිරිස අතරින් ‘බයියාදුරලාගේ බුද්ධික රාජපක්ෂ’ නමැත්තා කුරුණෑගල නගර සභා සේවකයකු බව පැවැසේ.
ඝාතනය වූ පිරිස අතර සිටින ‘අපේ ජනබල පක්ෂයේ’ නායක 48 හැවිරිදි ‘වැලිසරගේ සමන් ප්‍රසන්න පෙරේරා’ අම්බලන්ගොඩ පිහිටි පෞද්ගලික හෝටලයක හිමිකරුවෙක්ද වෙයි. අම්බලන්ගොඩ පිහිටි ‘රෝයල් බීච් හෝටලයේ’ හිමිකරු වන ඔහු වඩාත් ප්‍රසිද්ධ ‘රෝයල් බීච් සමන්’ යන අන්වර්ථ නාමයෙනි. පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත්ව හෙතෙම ජන්ද 67,758 ක්ද ලබාගෙන තිබේ. දකුණේ ඉඳුරුව ප්‍රදේශයේ උපන් ඔහු කුරුණෑගල, වැල්ලව පදිංචිකරුවෙකි. මෙම ඝාතන සිදුව ඉතා කෙටි වේලාවකින් කුරුණෑගල පොලිසියේ කණඩායමක් ‘සමන් පෙරේරා’ගේ නිවෙසට ගොස් එම නිවෙස පරික්ෂා කළ අතර එහිදී සැකකටයුතු කිසිවක් හමු නොවූ බව පොලිසිය පවසා තිබේ.
‘අපේ ජනබල පක්ෂය’ වඩාත් කතාබහට ලක් වූයේ 2020 අගෝස්තු මාසයේ 05 වැනිදා පැවැති මහ මැතිවරණයේදී එම පක්ෂයෙන් මන්ත්‍රිවරයකු නම් කිරීමේ සිද්ධියේදීය. එහිදී අපේ ජනබල පක්ෂයට හිමි වූ අසුන පිළිබඳ අර්බුදයක් නිර්මාණය විය. එම අවස්ථාවේ ‘බොදුබල සේනා සංවිධානයේ’ ‘ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්’ හා ‘අතුරලියේ රතන හිමියන්’ තරග කළේ එම පක්ෂයෙනි. එහිදී පක්ෂ ලේකම් ‘වේදිනිගම විමලතිස්ස හිමියන්’ තමාගේ නම එම මන්ත්‍රි ආසනයට සුදුසු බව දන්වමින් මැතිවරණ කොමිසමට ලිපියක් යවා තිබූ අතර එතැන් පටන් උන්වහන්සේ අස්ථානගතව සිටියහ. මේ අවස්ථාවේදී මන්ත්‍රි ධුරය සඳහා පක්ෂ සභාපති වන, ඊයේ (22) ඝාතනයට ලක්වූ ‘සමන් පෙරේරා’ විසින් ‘අතුරලියේ රතන හිමියන්’ නම් කරනු ලැබීය. අපේ ජනබල පක්ෂය මේ අවස්ථාවේදී වඩාත් කතාබහට ලක්විය.
නම් හෙළි කිරීමට අකැමැති තවත් අයෙක්, “මේව කියන්න බයයි. හුළඟටත් කන් තියෙනවා” යනුවෙන් සිය අත්දැකීම විස්තර කිරීම ආරම්භ කළේය.
“එයාල ඇවිත් ඩිෆෙන්ඩරේ නවත්වලා එළියට බැහැල කඩේට ගියා විතරයි. ඩ්‍රයිවර්ට බහින්න වුණෙත් නෑ. එක්කෙනකුට තියනකොට අනෙක් අය දිව්වා. ඒත් පන්නලා හැමෝටම වෙඩි තිබ්බා. එක්කෙනෙක් වැටුණේ තවත් කෙනකුගේ ඇඟ උඩ. ඒ යටවෙලා හිටි එක්කෙනාට ගෙනියනකොටත් පණ තිබුණා. අනෙක් අය එතැනම ඉවරයි. ඩ්‍රයිවර්ට ඩිෆෙන්ඩරේ ඉද්දීම වෙඩි තිබ්බා” යනුවෙන් හෙතෙම පැවැසීය.
සිද්ධිය දුටුවන් බොහෝ දෙනෙක් එහි සිටි නමුත් කිසිවකු මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට අදිමදි කරන බවක් පෙනී ගියේය.
(විනීතා එම්. ගමගේ, මත්තල – ඩී.එන්. ජයසේකර, කහවත්ත – ආනන්ද රාමනායක)
+++++++
++++++++
බෙලිඅත්තේ ඝාතකයන් ගැන පොලීසිය දැන් කියන කතාව (24.01.2024)
+
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කෙරේ
(24.01.2024 – 16:13 +0530 – hirunews.lk/sinhala)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව නියෝජ්‍ය පොලිස්පති (D.I.G.) තනතුරට උසස් කර තිබෙනවා.
නිහාල් තල්දූව 1992 වර්ෂයේ පොලිස් සේවයට බැදී ඇති අතර 1999 වර්ෂයේ දී පොලිස් පරීක්ෂක ධුරයට උසස් වීම් ලබා තිබෙනවා.
ප්‍රධාන පොලිස් පරීක්ෂක ලෙස 2006 වර්ෂයේ උසස්වීම් ලද මොහු සහකාර පොලිස් අධිකාරී නිලයට 2008 වර්ෂයේ උසස්වීම් ලබා ඇති බවද සඳහන්.
එමෙන්ම 2016 වර්ෂයේ දී පොලිස් අධිකාරී නිලයට උසස් වීම් ලද නිහාල් තල්දූව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ලෙස 2018 වර්ෂයේ උසස්වීම් ලබනවා.
මීට අමතරව මොහු බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය, ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශය, අපරාධ කොට්ඨාශය, පොලිස් මාධ්‍ය කොට්ඨාශය යන කොට්ඨාශයන්හි අධ්‍යක්ෂ ලෙසද කටයුතු කර තිබෙනවා.
නිහාල් තල්දූව 2021.08.16 වන දින පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙසද පත්වීම් ලබනවා.
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති මොහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් වාණිජ විශේෂවේදී උපාධියක් හදාරා ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මොහු ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් ව ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකු ලෙස දිව්රුම් දී තිබෙනවා ෴
‘යුක්තිය මෙහෙයුමේ’දී තවත් 930 ක් අත්අඩංගුවට
(24.01.2024 – 10:58 +0530 – hirunews.lk/sinhala)
ගතවූ පැය 24 තුළ ‘යුක්තිය මෙහෙයුමේ’දී තවත් සැකකරුවන් 930 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ඒ අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 664 දෙනෙකු සිටින බවයි.
එමෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්යාංශයේ ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි 17 දෙනෙකු ඊයේ (23) අලුයම සිට අද (24) අලුයම දක්වා සිදුකළ මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගනු ලැබුවා.
අපරාධ අංශ වෙත යොමුකළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 266 අතර විවෘත වරෙන්තු නිකුත් කළ 41 දෙනෙකු සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධයෙන් 207 දෙනෙකු ද සිටින බව සඳහන් ෴
+
මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන පාසලක රගර් පුහුණුකරුවෙකු ලෙස සිටි අයෙකු හෙරොයින් 02g ක් සහ මත්පෙති 4,100 ක් සමග මහනුවර අඹතැන්න ප්‍රදේශයේදී අලවතුගොඩ පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර ගුරුවරයා අඹතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මීට මාස 06 කට පමණ පෙර මෙම පාසලට බාහිර පුහුණුකරුවෙකු ලෙස එක්ව ඇති බවයි වාර්තා වන්නේ.
මොහු යුධ හමුදා සේවා බලකායට අනුයුක්තව පනාගොඩ කදවුරේ සේවය කර මේ වන විට යුධ හමුදා සේවයෙන් පලා ආ අයෙකු බවටයි වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.
+
අපරාධයක් සිදුකර නැවත පැමිණෙමින් සිටි බවට සැකකෙරෙන පුද්ගලයින් 6 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මුල්ලේරියාව කැලණි නදී මාවත ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔවුන් සතුව තියුණු ආයුධ සහ අත්බෝම්බ දෙකක් (2) තිබූ බවයි පොලිසිය සඳහන්කර සිටියේ ෴
TIN ලබාදීමේදී ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කිරීමට තීරණයක්
(24.01.2024 – 10:44 +0530 – hirunews.lk/sinhala)
‘ටින්’ අංකය හෙවත් පුද්ගලයන්ගේ බදු ලියාපදිංචි අංකය, ජාතික හැදුනුම්පතේ අංකයට අනුව ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ (23) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එමෙන්ම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සමූහ වශයෙන් TIN ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
අද (24) උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴