බෙලිඅත්තේ සැකකරුවන් ආ ගිය තැන්වල CCTV එළියට
(23.01.2024 – 19:33 +0530 – sinhala.adaderana.lk)
බෙලිඅත්තේ පංච (5) පුද්ගල ඝාතනය සිදුවී පැය 24 කට අධික කාලයක් ගත වූවද මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවී නොමැත.
කෙසේවෙතත් වෙඩික්කරුවන් පැමිණි ජීප් රථය හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
මේ අතර එම සිද්ධියෙන් මිනිත්තු 40 කට පමණ පසුව මාතර – කඹුරුපිටිය ප්‍රධාන මාර්ගයේ කඹුරුපිටිය වටරවුම අසලදී වෙඩි තැබීමට පැමිණි ජීප් රථයේ සිටි වෙඩික්කරුවකු බවට සැකකෙරන පුද්ගලයෙක් ඉන් බැසයන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණි.
මදක් ඉදිරියට යන ඔහු නැවතත් කඹුරුපිටිය බස් නැවතුම්පොළ දෙසට ගමන්කරන අයුරු දැකගත හැකිවිය.
අනතුරුව ඔහු මාතර දෙසට ධාවනය වන බස් රථයකට නැග එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව වාර්තාවෙයි.
කෙසේවෙතත් අදාළ පුද්ගලයාගේ අනන්‍යතාව සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණ වී නොමැත.
මේ අතර බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය විමසා බැලීම සඳහා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) උදෑසන මර්ගගත ක්‍රමවේදය ඔස්සේ උසස් පොලිස් නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් යුතුව සාකච්ඡාවක් පවත්වා තිබේ.
එහිදී වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ, CCTV දත්තවල සටහන්ව ඇති මෙම සැකකරුගේ ඡායාරූප ගුවන්තොටුපල ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ පද්ධතිය වෙත යොමුකරන ලෙසටය.
එමෙන්ම කොස්ගොඩ සුජීගේ සියලුම සහායකයින්ගේ ජාලගත විස්තර වාර්තාවක් ලබාදෙන ලෙසට අපරාධ වාර්තා කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත උපදෙස් මෙහිදී උපදෙස් ලබාදී තිබේ.
වෙඩි ප්‍රහාරය සඳහා වෙඩික්කරුවන් පැමිණි ජීප් රථයද මේ දක්වා සොයාගැනීමට පොලිසිය අසමත් වුවද, ඒ සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය කරගෙන තිබේ.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලිසිය පවසන්නේ, ‘කොස්ගොඩ සුජී’ නැමැති පාතාල කල්ලි නායකයා විසින් මෙම වෙඩිතැබීම මෙහෙයවා ඇතැයි සැකකරන බවය.
මත්ද්‍රව්‍ය ජාවාරම මුල්කරගෙන කලක සිට දෙපාර්ශවය අතර පැවති ගැටුම්වල ප්‍රතිඵලයක් වශයෙන් මෙම වෙඩිතැබීම සිදු කර ඇති බවටද පොලිසිය සැක පලකරයි.
එළෙස පැවති ගැටුම් හේතුවෙන් කොස්ගොඩ සුජී විසින් ඉකුත් 2018 වසරේ ඉඳුරුව ප්‍රදේශයේදී සමන්ට වෙඩිතබා ඝාතනය කිරීමට උත්සාහ දරා තිබුණද එම උත්සාහය ව්‍යාර්ථ වී තිබුණි.
ඊයේ (22) සිදුවූ ඝාතනය සඳහා කුලී ඝාතකයන් යොදාගෙන ඇති බවටද බොහෝ දුරට ඔවුන් ආරක්ෂක අංශවල සේවය කළ පුද්ගලයන් විය හැකි බවටද පොලිසිය අනුමාන කරයි.
ප්‍රහාරය සඳහා අවම වශයෙන් තිදෙනෙකු (3) පමණ පැමිණ ඇති බවත් ඔවුන් සියලුදෙනාට ගිනිඅවි භාවිතය සම්බන්ධයෙන් මනා පුහුණුවක් ඇතැයි වෙඩිතැබීම සිදුකර තිබෙන ආකාරයෙන් පෙනීයන බවත් විමර්ශන මෙහෙයවන ඉහළ පොලිස් නිලධාරියෙක් ‘අද දෙරණ’ට සඳහන් කළේය.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් 6 ක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර මියගිය පුද්ගලයන්ගේ දේහයන් පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ අද (23) තංගල්ල රෝහලේදී සිදුකෙරුණි.
++++++++
+
හිමිනමට වෙඩි තැබූ සැකකරුවන් පැමිණි බවට සැක රථයක් හමුවෙයි
(23.01.2024 – 19:15 +0530 – sinhala.adaderana.lk)
ගම්පහ, මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක් තුළදී අද (23) දහවල් ස්වාමීන් වහන්සේ නමක් වෙඩි තබා ඝාතනය කළ සැකකරුවන් පැමිණි බවට සැක මෝටර් රථයක් කඩුවෙල ගොඩැල්ල ප්‍රදේශයේ ලඳු කැළෑවක තිබී අද (23) පස්වරුවේ සොයාගෙන තිබේ.
ඒ වන විටත් මෝටර් රථය එකවර හඳුනාගත නොහැකි ලෙසට ගිනිබවත්ව තිබුණි.
මේ අතර, විමර්ශන ඇරඹු පොලිසියට සැකකරුවන් පළාගිය මොටර් රථයේ අංකය වන CAO-5345 අංකයම දරන සුදු පැහැති මෝටර් රථයක් පානදුර එළුවිල ප්‍රදේශයේ ගරාජයකින් ද හමුවී තිබේ.
අද (23) දහවල් මෝටර් රථයකින්න් විහාරස්ථාන භූමියට ඇතුල් වූ සැකකරුවන් සිව්දෙනෙකු (4) මෝටර් රථය නවත්වා ආවාස ගෙය තුළට පිවිස තිබේ.
ඒ වනවිට ස්වාමීන් වහන්සේ 6 නමක් දහවල් දානය වළඳමින් සිට ඇත.
එහිදී සැකකරුවන් විමසා ඇත්තේ, ජොතීර්වේදය සම්බන්ධයෙන් කටයුතු කරන ස්වාමීන් වහන්සේ කවුරුන්ද යන්නය.
තමන් CID නිලධාරීන් බව පවසා සැකකරුවන් මෙම වෙඩි තැබීම සිදුකර පළාගිය බව එම විහාරස්ථානයේ වැඩවසන ස්වාමීන් වහන්සේ පවසයි.
වෙඩි ප්‍රහාරයන් උන්වහන්සේගේ වම් අතට සහ පපු ප්‍රදේශයට වැදී තිබුණු අතර ඉන් තුවාල ලැබූ හිමි නම කඩිනමින් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කෙරුණා.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ, ඒ වනවිටත් උන්වහන්සේ අපවත් වී සිටි බවයි.
වෙඩි වැදීමෙන් අපවත් වුණේ ‘කලපලුවාවේ ධම්මරතන’ නම් වයස අවුරුදු 44 ක හිමිනමකි.
යන්ත්‍ර , මන්ත්‍ර සහ ජොතිෂ්‍ය කටයුතු සඳහා සුප්‍රසිද්ධ වූ උන්වහන්සේ මීට පෙර වැඩසිටියේ දුෂ්කර ප්‍රදේශයක පිහිටි කෙසෙල්කන්ද කුසුම් සදහම් සෙවණ විහාරස්ථානයේය.
සිය රාජකාරි කටයුතුවේ පහසුව සඳහා එම හිමියන් මීට මාස 3 කට පෙර කහටාන ගණාරාම විහාරස්ථානයේ වැඩවාසයට පැමිණ තිබුණි.
+
+++++++++
++++++++
+
කොළඹ හෙට්ටිවීදියේ දැවැන්ත රන් කොල්ලයක්
(23.01.2024 – 18:51 +0530 – sinhala.adaderana.lk)
කොළඹ හෙට්ටිවීදිය ප්‍රදේශයේදී රන් භාණ්ඩ සහ විදේශ මුදල් පාර්සලයක් කොල්ල කෑ කල්ලියක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි පිරිසකි.
එම පිරිස අතර ත්‍රිරෝද රථ රියදුරෙකු සහ ඔහුගේ ඥාතියෙකු, හිටපු යුද හමුදා සෙබළෙකු සිටින බව පොලීසිය පවසයි.
මෙලෙස කොල්ලකෑමට ලක්ව ඇත්තේ හෙට්ටිවීදිය රන් භාණ්ඩ අලෙවිසැලක් හිමි අයෙකුගේ රන් හා විදේශ මුදල් තොගයකි.
ඔහුට අයත් තවත් රන් භාණ්ඩ අලෙවිසැල් දෙකක් (2) කාත්තන්කුඩි සහ මඩකලපුව ප්‍රදේශ වලද ඇත.
එම වෙළෙඳසැල්වල සිට උණු කරන ලද රන් කැබලි කිහිපයක් බස් රථයක් මාර්ගයෙන් පසුගිය 11 වනදා කොළඹට එවා තිබේ.
අදාළ බස් රථයෙන් එම රන් පාර්සලය ලබාගෙන ඇති සේවකයා එය රැගෙන සියේ ඉණෙහි සඟවාගෙන හෙට්ටිවීදියේ වෙළෙඳසැල ආසන්නයට පැමිණීමත් සමග ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු ඔහුව පැහැරගෙන යන අයුරු CCTV කැමරාවක පටිගතව ඇත.
පසුව ඔහු සතුව තිබූ රන් කොල්ලකා ඔහුව කොච්චිකඩේ පල්ලිය ආසන්නයෙන් මාර්ගයේ දමාගොස් ඇත.
එම සිදුවීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පිටකොටුව පොලීසියේ අපරාධ විමර්ශන අංශය විසින් CCTV දර්ශන උපයෝගී කරගනිමින් සැකකරුවන් හඳුනාගෙන ඇත.
එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටි ත්‍රිරෝද රථ රියදුරා වසර ගණනාවක් එම ප්‍රදේශයේ කුලී ත්‍රිරෝද රථ ධාවනයේ යෙදී ඇති බව හෙළිවී තිබේ.
එම අවස්ථාවන්වලදී තමන් මෙම වෙළෙඳසැලේ සේවකයින් විසින් බස් රථ මගින් අවස්ථා කිහිපයකදී මෙලෙස පාර්සල් රැගෙන එන අයුරු නිරීක්ෂණය කර මෙම කොල්ලය සැලසුම් කළ බව පාපොච්චාරණය කර ඇත.
මෙලෙස කොල්ලකා ඇති රන් සහ විදෙස් මුදල්වල වටිනාකම රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට (1,50,00,000) ආසන්න බවද අනාවරණය වී තිබේ.
රුපියල් ලක්ෂ 19 කට ආසන්න වටිනාකමකින් යුතු විදෙස් මුදල් ඔවුන් සමානව බෙදාගෙන ඇති අතර සොරකම් කරන ලද රන්තොගය අතරින් කැරට් 24 රත්තරන් ග්‍රෑම් 92 ප්‍රමාණයක් විශ්‍රාමික හමුදා සෙබළා සතුව තිබියදීත් තවත් රන් තොගයක් සැකකාර ත්‍රිරෝද රථ රියදුරාගේ නිවසේ වහළයේ සඟවා තිබියදීත් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පිටකොටුව පොලීසියේ අපරාධ විමර්ශන අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
+
සියලුම රථවාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්
(23.01.2024 – 15:33 +0530 – sinhala.adaderana.lk)
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තමන්ගේ නමට ලියාපදිංචි නොකර වාහන මිලදීගෙන ඒවා භාවිත කරන පුද්ගලයින්ට එම දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.
ඒ හැකි ඉක්මණින් එලෙස මිලදීගෙන වෙනත් පුද්ගලයින්ගේ නමට ලියාපදිංචි කර ඇති රථවාහන කඩිනම් තමන්ගේ නමට ලියාපදිංචි කරන ලෙසටය.
විකුණුම්කරුවන් විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත සිය වාහනය විකුණා ඇති බවට දැනුම්දී ඇති රථවාහන නැවත ලියාපදිංචි කිරීමට යාමේදී මිලදීගෙන දින 14 ක කාලය ඉකුත් වූ රථවාහන සඳහා දඩ මුදලක් අයකෙරෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි.
දැනට පොලීසිය විසින් ක්‍රියාත්මක කර ඇති CCTV කැමරා මඟින් රථවාහන වැරදි නිරීක්ෂණය කර රථවාහන හිමිකරුවන් වෙත දඩපත් යැවීමේ නියමු ව්‍යාපෘතිය හමුවේ එලෙස තමන්ගේ නමට ලියාපදිංචි නොකර ඇති රථවාහනවල වත්මන් අයිතිකරුවන් මෙන්ම පැරණි අයිතිකරුවන් ද අපහසුතාවයට පත්විය හැකිය.
මේ හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ජනතාව වෙත දැනුම් දී සිටින්නේ තමන් මිලදීගෙන ඇති වාහන තමන්ගේ නමට ලියාපදිංචිය සිදුකරගන්නා ලෙසටය ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴