2023 වසරේ අන්තර්ජාලය හරහා සිදුවන වැරදි සම්බන්ධයෙන් පැමිණිලි 8,000 ක්

2023 වසරේ අන්තර්ජාලය හරහා සිදුවන වැරදි සම්බන්ධයෙන් පැමිණිලි 8,000 ක්


2023 වසරේ අන්තර්ජාලය හරහා සිදුවන වැරදි සම්බන්ධයෙන් පැමිණිලි 8,000 ක්

(23.01.2024 – 19:55 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරේ (2023) අන්තර්ජාලය හරහා සිදුවන වැරදි සම්බන්ධයෙන් පැමිණිලි 8,000 ක් පමණ ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතා පිළිබද පනත් කෙටුම්පත දෙවන (2) වර කියවීමේ විවාදයට එක්වෙමින්.

එම පනත් කෙටුම්පත විවාද කර සම්මත කරගැනීම සම්බන්ධයෙන් අද (23) පාර්ලිමේන්තුව ආරම්භයේදී විපක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ලවුණා. පසුව පක්ෂ නායක රැස්වීමක්ද පැවකි අතර, පනත් කෙටුම්පත විවාදයට ගන්නේද නැද්ද යන්න පිළිබද ඡන්ද විමසීමක් පැවැත්වීමටයි කථානායකවරයා කටයුතු කළේ.

එම ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පත විවාදයට ගැනීමට පක්ෂව ඡන්ද 83 ක් සහ විපක්ෂව ඡන්ද 50 ක් හිමිවුණා. අනතුරුවයි විවාදය ආරම්භ කෙරුණේ.

මේ අතර මෙම පනත් කෙටුම්පතට එරෙහිව අද (23) පෙරවරුවේ පාර්ලිමේන්තු වටරවුමේදී සමාජ ක්‍රියාකාරකයින් පිරිසක් විරෝධතාවක්ද සංවිධානය කර තිබුණා.

එමෙන්ම ‘ආර්ථික යුක්තිය උදෙසා වූ ජනතා සාමූහිකය’ අද (23) පෙරවරුවේ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී මෙම පනත් කෙටුම්පතට එරෙහිව විරෝධය පළ කළේ අඬබෙර ගසා දැනුවත් කරමින්.

++++++

+


සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් පිරිසක් අවන්හලකට කඩාවදී

(23.01.2024 – 15:00 +0530 – hirunews.lk/sinhala)

පානදුර ප්‍රදේශයේ අවන්හලකට කඩාවැදුණු පින්වත්ත පොලිසියේ නිලධාරීන් පිරිසක් රුපියල් ලක්ෂයකට (1,00,000) ආසන්න වටිනාකමින් යුත් මත්පැන් සහ දුම්වැටි රැගෙන ගොස් තිබෙනවා.

ඒ, අදාළ අවන්හල බලපත්‍ර නීති උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින්.

කෙසේ වුවත්, සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ බලපත්‍ර සහිත අවන්හලකට පැමිණ මත්පැන් රැගෙන යාමේ නෛතික බලයක් පොලිසියට නොමැති බවයි.

සිවිල් ඇඳුමින් සැරසුණු පින්වත්ත පොලිසියේ නිලධාරීන් පිරිසක් පානදුර නල්ලූරුව ප්‍රදේශයේ පිහිටි අවන්හලට එහි ජනේලයකින් පැන මත්පැන් සහ දුම්වැටි තොගයක් රැගෙන යන ආකාරය දැක්වෙන CCTV දර්ශන පෙළක් සොයා ගෙන තිබෙනවා.

පින්වත්ත පොලිසිය සඳහන් කළේ අදාළ අවන්හල බලපත්‍ර සහිතව මත්පැන් සහ දුම්වැටි අලෙවි කළ ද, රාත්‍රී 12න් පසු බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් මත්පැන් අලෙවි කිරීම හේතුවෙන් අදාළ මත්පැන් තොගය පොලිස් භාරයට ගත් බවයි.

අවන්හලේ කළමනාකරු පැවසුවේ, පාරිභෝගිකයින් පිරිසක් අවන්හල තුළ සිටියද රාත්‍රී 12 වනවිට අවන්හල වසා දැමීමට පියවර ගත් බවයි.

ඊට අමතරව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු අවන්හලේ සේවකයින් තිදෙනෙකු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඊයේ (22) ඇප මත මුදා හැර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ බලපත්‍ර සහිත මත්පැන් අලෙවිසැලකින් බලපත්‍ර නීති උල්ලංඝනය වන ආකාරයේ කටයුත්තක් සිදුවුවහොත් ඒ පිළිබඳව කටයුතු කිරීම සඳහා සුරබදු දෙපාර්තමේන්තුවට දැනුම් දිය යුතු බවයි.

අදාළ අවන්හලින් මත්පැන්, දුම්වැටි කිසිවක් රැගෙන යාමේ නෛතික බලයක් පොලිසියට නොමැති බව ද, සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළා.

+


දිවයින පුරා බන්ධනාගාරවල බරපතළ තත්ත්වයක්

(23.01.2024 – 19:43 +0530 – sinhala.adaderana.lk)

දිවයින පුරා බන්ධනාගාරවල රඳවා සිටින රැඳවියන්ගේ ධාරිතාවය සියයට 290 කින් ඉක්මවා ගොස් ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අද (23) අනාවරණ කළේය.

අද (23) විකාශය වූ ‘අද දෙරණ බිග් ෆෝකස්’ වැඩසටහන සමග එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ජාතික විගණන කාර්යාලය සිදුකළ ‘බන්ධනාගාරවල රැඳවියන්ගේ තදබදය කළමනාකරණය පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාව’ පසුගියදා එළිදක්වනු ලැබීය.

විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කෙරුණු එම වාර්තාවට අනුව 2022 දෙසැම්බර් 31 වනවිට දිවයින පුරා බන්ධනාගාරවල රඳවා තැබිය හැකි රැඳවියන්ගේ ධාරිතාවය 11,291 ක් වුවත් එදින වනවිට රඳවා සිට ඇති පිරිස 26,176 කි.

ඒ අනුව බන්ධනාගාරවල රඳවා සිටිය හැකි රැඳවියන්ගේ ධාරිතාවය 232% කින් ඉක්මවා ගොස් තිබේ.

මෙවන් පසුබිමක ‘අද දෙරණ බිග් ෆෝකස්’ වැඩසටහනට එක්වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අනාවරණ කළේ මේ වනවිට එම තත්ත්වය තවදුරටත් ඔඩුදුවා ඇති බවය.

එමෙන්ම විගණන වාර්තාවට අනුව, 2022 වසරේ දෙසැම්බර් 31 වැනිදා වනවිට සමස්ත රැඳවියන්ගෙන් 53% ක් සිරගත කර තිබී ඇත්තේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධවය.

එමෙන්ම සනීපාරක්ෂාව පිළිබඳ සැළකීමේදී බන්ධනාගාර 27 ක වැසිකිළි 187 ක හිඟයක් පවතින බවත්, වැසිකිළි 287 ක් අලුත්වැඩියා කළයුතු මට්ටමේ පවතින බවත් විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මේ අතර ජාතික විගණන කාර්යාලය සිය වාර්තාව මඟින් අනාවරණ කරන්නේ, බන්ධනාගාරගත රැඳවුන්ගෙන් බහුතරය වයස අවුරුදු 30 ත් 40 ත් අතර පසුවන්නන් බවය.

+


කිඹුලෙක් සමඟ සටන් කරමින් දිවි බේරාගත් අනුරාධපුර රැඳවියා

(24.01.2024 – 07:29 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙක් පෙරේදා (22) රාත්‍රියේ කිඹුල් ප්‍රහාරයකට ලක් වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මෙම රැඳවියාව කිඹුලා විසින් ඇදගෙන යන අවස්ථාවේ ඔහු දැඩි පරිශ්‍රමයක් යොදා කිඹුලාගෙන් බේරී තිබෙනවා.

සිද්ධියෙන් දැඩි ලෙස තුවාල ලැබූ එම රැඳවියාව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ශල්‍ය කර්මයකට භාජනය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස කිඹුල් ප්‍රහාරයට ලක් වී ඇත්තේ අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරේ රඳවා සිටි 34 හැවිරිදි දමිළ ජාතික සිරකරුවෙක්.

මොහු ඇතුළු පිරිසක් බන්ධනාගාර භූමියේ මල්වතු ඔයට යාබදව වගා කටයුතුවල නිරත වෙමින් සිටියදී උණ පඳුරක් ආසන්නයේ සැඟව සිටි කිඹුලකු මේ රැඳවූවාගේ කකුලෙන් අල්ලා මල්වතු ඔයට ඇදගෙන ගොස් තිබෙනවා.

කිඹුල් ප්‍රහායෙන් මේ රැඳවූවාගේ එක් අතකට, කකුලකට සහ ගෙල ප්‍රදේශයට තුවාල සිදුව තිබුණා ෴


රජයෙන් ‘පාට් ටයිම් ජොබ්’

(24.01.2024 – 06:28 +0530 – hirunews.lk/sinhala)

මෙම වසර තුළදී ත්‍රී රෝද රථ රැකියාවේ නිරත රියැදුරන් සඳහා අමතර ජීවනෝපායක් හඳුන්වාදීමට රජය විසින් රුපියල් මිලියන පහක (5) මුදලක් වෙන්කර ඇති බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඒ අනුව ත්‍රීරෝද රථ රැකියාවේ නියුතුව සිටින පිරිසක් සඳහා මේ හරහා ප්‍රතිලාභ හිමිවන අතර මෙහි පළමු (1) අදියර යටතේ නියමු ව්‍යාපාතියක් ලෙස හම්බන්තොට ඉලක්ක කරගනිමින් ත්‍රී රෝද රථ රියදුරන් හැත්තෑ දෙනෙකු (70) තෝරාගැනීමට නියමිතව තිබෙනවා.

මෙමඟින් පුහුණු වැඩසටහන් පවත්වා රියදුරන්ගේ නිපුණතාවය වැඩිදියුණු කර අමතර ජීවනෝපාය හඳුන්වාදීමට කටයුතු යොදා ඇති අතර ජල නල නඩත්තුව, විදුලි කාර්මික, වඩු කර්මාන්තය, කොණ්ඩා කැපීම සහ ගොඩනැගිලි පින්තාරුකරණය යන තෝරාගත් කර්මාන්ත ක්ෂේත්‍රයන් පිළිබඳ ත්‍රී රෝදරථ රියැදුරන් හට වෘත්තීමය පුහුණුවක් ලබාදී ඒ තුළින් අමතර ජීවනෝපායක් සිදුකිරීමට අවශ්‍ය උපකරණ සැපයීම මේ හරහා සිදුවන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙම වැඩසටහන පිළිබඳ එම වෘත්තියේ නිරත පිරිසට සහ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩසටහනක් පසුගියදා මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී පැවැත්වුණා ෴


යුක්තියට ඔත්තුවක් දුන්නොත් සල්ලි මල්ලක්

(24.01.2024 – 07:50 +0530 – sinhala.adaderana.lk)

නීතිවිරෝධී ගිනිඅවි හා බෝම්බ පොලිස් භාරයට ගැනීම සඳහා තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට මුදල් ත්‍යාගයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබේ.

පසුගිය වසරේ දෙසැම්බර් මස 17 වනදා සිට ආරම්භ කළ යුක්තිය මෙහෙයුම සාර්ථකව අත්අඩංගුයට ගැනීම් සිදුකර අතර ඒ සඳහා තොරතුරු ලබාදෙන ඔත්තුකරුවන් වෙත මෙම මුදල් ත්‍යාගයන් ලබාදීමට තීරණය කර ඇත.

ඒ අනුව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සියලුම ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර නිලධාරී සහ අධ්‍යක්ෂවරුන් වෙත මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇත.

එවැනි තොරතුරු ලබාදෙන පුද්ගලයින්ගේ රහස්‍යභාවය ආරක්ෂා කරන අතර පහත පරිදි මුදල් ත්‍යාගයන් ලබාදීමට නියමිතය.


ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව කාදිනල් හිමි ගෙන් පෙත්සමක්

(24.01.2024 – 08:04 +0530 – sinhala.adaderana.lk)

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම් කර ඇත.

පෙත්සම්කාර කාදිනල් හිමිපාණන් කියා සිටින්නේ, අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධානවලින් යුද හමුදාව, පොලීසිය සහ වෙරළාරක්ෂක බළකායට ඕනෑම පුද්ගලයකු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමේ බලය ලබාදී තිබෙන බවය.

මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන පුද්ගල නිදහස, අදහස් ප්‍රකාශ කිරීම නිදහස ඇතුළු මූලික අයිතීන් උල්ලංඝනය වන බවත් උන් වහන්සේ පෙන්වා දෙයි.

එබැවින් අදාළ පළාත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් කාදිනල් හිමිපාණන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.


පුද්ගලයෙකුගේ රෝහල් ඇඳ ඉහපත් වාර්තාව අතුරුදන්වීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් නියෝගය

(24.01.2024 – 06:56 +0530 – sinhala.adaderana.lk)

අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රන්මල් කොඩිතුවක්කු මහතාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළ පුද්ගලයා රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ අවස්ථාවේ දී ඊට අදාළ ‘රෝහල් ඇඳ ඉහපත් වාර්තා’ අතුරුදන් වී ඇතැයි කියන සිද්ධිය පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසෙ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුල්ලේරියාව රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබේ.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහරදී ලිංගික හිරිහැරයන්ට භාජනය කළේ යැයි චෝදනා කරමින් ව්‍යපාරිකයකු වන ‘මිශාර රණසිංහ’ නමැත්තකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළ බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු සඳහන් ක‍ළේය.

යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.

පෙත්සම යළි සලකා බැලීම සඳහා මාර්තු මස 22 වනදා කැඳවන ලෙස අධිකරණය නියෝග කළේය.

2021 වසරේ ඔක්තෝබර් මස 30 වනදා තමා කිරිඇල්ල ප්‍රදේශයේ මෝටරථයකින් ගමන් කරමින් සිටියදී වග උත්තරකාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු කිරිඇල්ල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් තමන්ව කිරිඇල්ල පොලිසියට රැගෙන ගොස් අමානුෂික ලෙස පහරදී ලිංගික හිරිහැර සිදුකොට පසුව මුදාහල බව පෙත්සම්කරු පවසා තිබේ.

මෙමඟින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස සහ මෙම සිද්ධියට වගකිවයුතු නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතවකු ඇතුළු නිලධාරීන්ට නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් පෙත්කරු මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

++++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *