CCTV මෙහෙයුමෙන් පුද්ගලයින් 125 කට අවවාද

CCTV මෙහෙයුමෙන් පුද්ගලයින් 125 කට අවවාද


CCTV මෙහෙයුමෙන් පුද්ගලයින් 125 කට අවවාද

(23.01.2024 – 11:11 +0530 – sinhala.adaderana.lk)

ඊයේ (22) දිනය තුළ කොළඹ අවට මාර්ග CCTV මඟින් නිරීක්ෂණය කරන ලද අතර එහිදී රථවාහන වැරදි 125 කට අදාළව අවවාද සිදුකර තිබේ.

CCTV කැමරා මඟින් රථවාහන වැරදි නිරීක්ෂණය කර රථවාහන හිමිකරුවන් වෙත දඩපත් යැවීමේ නියමු ව්‍යාපෘතිය ඊයේ (22) සිට ආරම්භ වුණි.

ඒ අනුව, ඊයේ (22) දිනය තුළ කොළඹ අවට CCTV මඟින් නිරීක්ෂණ කරන ලද රථවාහන වැරදි 125 ක් හඳුනාගෙන එම වාහනවල හිමිකරුවන් වෙත මුලික පියවරක් ලෙස අවවාද කිරීමට කටයුතු කළ බව පොලිස් මුලස්ථානය පවසයි.

මෙහිදි හඳුනාගත් වැරදි අතර ප්‍රධාන වශයෙන් තීරු මාරු කර ධාවනය කිරීම සහ නැවතුම් රේඛාවේ නොනවත්වා ධාවනය කිරීමේ වරදවල් නිරීක්ෂණය වී ඇත ෴


කටුනායක අධිවේගී මාර්ගයේ වාහන 5 ක් අනතුරට ලක්වෙයි

(22.01.2024 – 20:31 +0530 – sinhala.adaderana.lk)

කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුවේදී වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

කටුනායක දෙස සිටි පැමිණි රථවාහන 4 ක් මුදල් ගෙවන කවුන්ටරය අසළ පෝලිමේ තිබියදී පසුපසින් පැමිණි කැබ් රථයක් එම මෝටර් රථවල ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.

අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර මෝටර් රථවලට දැඩි අලාභහානි සිදුව තිබුණි.

පසුපසින් පැමිණි කැබ් රථයේ රියදුරුට එම රථය පාලනය කරගැනීමට නොහැකිවීම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය සැකපළකරයි.

අනතුර සම්බන්ධයෙන් සීදූව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

+


බෙලිඅත්තේ පංච (5) පුද්ගල ඝාතනයේ වෙඩික්කරුවන් ගැන තොරතුරු එළියට

(23.01.2024 – 14:00 +0530 – sinhala.adaderana.lk)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත – කහවත්ත පිටවීම ආසන්නයේදී ‘අපේ ජනබල පක්ෂයේ’ සභාපති සමන් පෙරේරා ඇතුලු 05 දෙනෙකු ඝාතනය කිරීම සඳහා පැමිණි සැකකරුවන් පිළිබදව තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

වෙඩි තැබීමට අවම වශයෙන් පුද්ගලයින් 05 දෙනෙකු පැමිණ ඇති බවට සැකකෙරෙන අතර ඉන් එක් අයෙකු කඹුරුපිටිය නගරයට ආසන්නයේ වෙළදසැලක් අසළින් ජීප් රථයෙන් බැස යන ආකාරය දැක්වෙන සීසීටීවී දර්ශනද ලැබී ඇති බවයි පොලිසිය කියා සිටියේ.

එම දර්ශනවලට අනුව අදාළ සැකකරු පිටෙහි බෑගයක් එල්ලා ගෙන සිටින අතර ඔහු ගමන් කළ ස්ථාන පිළිබදව ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම වෙඩි තැබීම සිදු කර ඇත්තේ ජීප් රථයෙන් පිටතට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු (2) බවත් එකවර උණ්ඩ 2 ක් පිටවන ‘ඩබල් ටැප් ෂොට්ස්’ ක්‍රමයට වෙඩි තැබීම සිදු කර ඇති බවත් අනාවරණය වුණා.

වෙඩි ප්‍රහාර හමුවේ ඩිෆෙන්ඩර් රථයේ සිටි පිරිස දිවි බේරා ගැනීමට ඉන් බැස පළා යාමට තැත් කළ ද, වෙඩි වැදී හතර දෙනෙකු (4) එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා.

අනෙක් පුද්ගලයා මිය ගියේ තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි.

පොලිසිය සදහන් කළේ මෙම මියගිය පුද්ගලයන් සියලු දෙනාට වෙඩි තබා ඇත්තේ හිසට සහ පපු ප්‍රදේශයට බවයි ෴


ව්‍යාජ ප්‍රතිදේහ නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවෙන් හමුවූ දේ

(22.01.2024 – 18:49 +0530 – sinhala.adaderana.lk)

ව්‍යාජ ප්‍රතිදේහ නිෂ්පාදනය කළ සීදූව අමන්දොළුව ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාව අද (21) විමර්ශන නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කර තිබේ.

අදාළ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ අයිතිකරු ද බන්ධනාගාර නිලධාරීන් විසින් එම ස්ථානයට කැඳවා සිටි බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.

එහිදී සිදුකළ ස්ථානීය පරීක්ෂාවේ දී පරිගණක දත්ත ගබඩා 08 ක්, ආරක්ෂක කැමරා පද්ධතියේ දත්ත ගබඩාව සහ ශීතකරණයක් තුළ තිබූ ප්‍රතිදේහ අඩංගු කුප්පි 10 ක් නිලධාරීන් භාරයට ගෙන තිබේ.

මේ අතර වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ තවත් ව්‍යාජ ලිපි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

එහිදී ඔහු සඳහන් කළේ ඖෂධ ගෙන්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ව්‍යාජ ලිපි රැසක් නිකුත් කර ඇති බවය.

+


‘කොස්ගොඩ සුජී’ගේ සහයක ජාලය සොයන විමර්ශන ඇරඹේ

(23.01.2024 – 20:04 +0530 – hirunews.lk/sinhala)

බෙලිඅත්ත පස් (5) පුද්ගල ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සියලු‍ම දුරකථන විශ්ලේෂණ කටයුතු ආරම්භ කර තිබෙන අතර සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

එමෙන්ම දැනට පාතාල නායකයෙකු වන ‘කොස්ගොඩ සුජී’ගේ අපරාධවලට සහය ලබා දෙන සියලු‍ම සහයකයන්ගේ වාර්තාවක් ලබා දෙන ලෙසට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් අපරාධ වාර්තා කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අතර මීට මාස 06 කට පමණ පෙර කුරුණෑගල ප්‍රදේශයේදී සිදු කළ මනුෂ්‍ය ඝාතනයක ප්‍රධාන සැකකරු වන හිටපු හමුදා සෙබළෙකු අද (23) මිරිහානේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර – දකුණ අපරාධ කොට්ඨාසය සඳහන් කළා.

කොන්ත්‍රාත්තුවක් මත සැකකරු මුගුරකින් පහරදී ඝාතනය කර තිබුණේ කුරුණෑගල – වදුරාගල, ප්‍රදේශයේ පදිංචි විදේශ රැකියා ආයතනයක අතරමැදියෙකු ලෙස කටයුතු කරන 75 හැවිරිදි පුද්ගලයෙක්.

+


‘අවලෝකිතේෂ්වර’ බලන්න මානසික විශේෂඥයන් දෙදෙනෙකු වැලිකඩට එයි

(23.01.2024 – 19:52 +0530 – hirunews.lk/sinhala)

බුදුදහම විකෘති කරමින් දේශනා පැවැත්වූ බවට චෝදනා එල්ලවූ ‘අවලෝකිතේෂ්වර’ නමින් පෙනී සිටි ‘මහින්ද කොඩිතුවක්කු’ අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු (2) විසින් අද පරීක්ෂාවට ලක් කළා.

ඒ, බන්ධනාගාර රෝහලට පැමිණීමෙන් අනතුරුවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පන්නිපිටිය ප්‍රදේශයේදී පසුගිය 15 වනදා අත්අඩංගුවට ගත් මොහු හෙට (24) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ පසුගියදා නියෝග කළේ හෙට (24) දිනයට පෙර මෙම පුද්ගලයා අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට යොමුකර තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙසයි. ඒ අනුවයි ඔහු අද (23) මෙලෙස පරීක්ෂාවට ලක් කළේ.

2016 වසරේදී තමන්ට විශේෂ ඥාණයක් ලැබුණු බවත්, ලංකාව පරිහානියට ලක්වීම හේතුවෙන් දිවයිනට පැමිණ දේශනා සිදුකළ බවත් ‘අවලෝකිතේෂ්වර’ නමින් පෙනී සිටි ‘මහින්ද කොඩිතුවක්කු’ නැමැත්තා ප්‍රකාශ කර තිබුණා.

+


හිමිනම ඝාතනයට පැමිණි වාහනය සොයා ගනී

(23.01.2024 – 18:47 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ – මල්වතුහිරිපිටිය – කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයට මෝටර් රථයකින් පැමිණි පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් හිමිනමක් අපවත් වුණා.

මෙම හිමිනම ඝාතනය කිරීම සඳහා පැමිණි වාහනය සොයා ගෙන තිබෙනවා.

ඒ කඩුවෙල – නවගමුව ප්‍රදේශයෙන් සොයා ගෙන ඇති බවයි සඳහන් වන්නේ ෴


කුඩා දරුවෙකු සමඟ ගංජා අලෙවි කළ කාන්තාවක් අත්අඩංගුවට

(23.01.2024 – 17:37 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු එකහමාරක (1½) දරුවෙකු යතුරුපැදියක තබාගෙන ගංජා අලෙවි කළ කාන්තාවක් අලුත්ගම දර්ගා නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම ඇයට ගංජා සැපයූ 23 හැවිරිදි කාන්තාවක්ද ගංජා පැකට් 19 ක් සමඟ කළුවාමෝදර කන්දේ විහාර මාර්ගයේ දී අලුත්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බවයි සඳහන් වන්නේ.

පොලිසිය පවසන්නේ ඇයගේ ස්වාමියා ද මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් මේ වන විට බන්ධනාගාර ගත කර ඇති බවයි ෴


පාසැල් සිසුවෙකු අපයෝජනය කළ පොලිස් කොස්තාපල්වරයෙකුට වසර 40 ක සිර දඬුවමක්

(23.01.2024 – 16:50 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු නවයක (9) පමණ බාල වයස්කාර පාසල් සිසුවකු අවස්ථා දෙකක (2) දී බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් අධි චෝදනා දෙකක් ලබා සිටි හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු එකී අධි චෝදනා දෙකටම (2) වරදකරු බවට තීන්දු කළ මහනුවර මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. දර්ශිකා විමලසිරි මෙනවිය ඔහුට වසර හතළිහක (40) බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබෙනවා.

එක් (1) අධි චෝදනාවකට වසර විස්ස (20) බැගින් මෙම හතළිස් (40) වසරක සිර දඬුවම නියම කෙරුණා.

නියම කළ හතළිස් (40) වසරක සිර දඬුවම වසර විස්සක් (20) තුළදී එකවර ගෙවී යා යුතු බවටද තවදුරටත් නියෝග කළ මහාධිකරණ විනිසුරු දර්ශකා විමලසිරි මෙනවිය විසින් පැමිණිලිකාර වින්දිත දරුවාට රුපියල් ලක්ෂ පහක (5,00,000) මුදලක් වන්දි වශයෙන් ගෙවන ලෙසටද විත්තිකාර හිටපු පොලිස් කොස්තාපල්වරයාට තවදුරටත් නියම කෙරිණ.

එම වන්දි මුදල ගෙවීම පැහැර හැරියහොත් විත්තිකරුට තවත් දෙවසරක (2) බරපතල වැඩ සහිත සිර දඬුවමක් ද නියම කළ මහාධිකරණ විනිසුරුවරිය ඊට ද අමතරව රුපියල් විසිපන්දහසක (25,000) දඩ මුදලක් ගෙවන ලෙසටද විත්තිකරුට නියෝග කරනු ලැබුවා.

එම දඩ මුදල ගෙවීම ද විත්තිකරු පැහැර හරින්නේ නම් විත්තිකරු තවත් දෙවසරක (2) සිර දඬුවමකට යටත් කෙරුණා.

නඩුවේ තීන්දුව ලබා දෙමින් මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි මෙනවිය පැවසුවේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය සමත්ව ඇති බවයි.

විත්තිකාර පොලිස් කොස්තාපල්වරයා අදාළ නව (9) හැවිරිදී පාසල් සිසුවා බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කර ඇත්තේ එම සිසුවා පාසලේ හතරවෙනි (4) ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින අතරතුරදී බවයි අධිකරණ නඩු විභාගයේදී අනාවරණය වුණේ ෴


01 ශ්‍රේණියට සහ අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත්කර ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්

(23.01.2024 – 16:20 +0530 – hirunews.lk/sinhala)

පාසල්වල පළමු (1) ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව පාසල් වෙත අයදුම්පත් යොමු කළ යුතු අතර විදුහල්පතිවරුන් විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වා සිසුන් ඇතුළත් කරගැනීම සිදු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

පාසල්වල හය (6) වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම, පස් (5) වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු මත පමණක් සිදු කරන බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.

2024 වර්ෂයේ 1, 5 සහ 6 ශ්‍රේණි හැර අනෙකුත් අතරමැදි පන්ති සඳහා අ.පො.ස. (උසස් පෙළ ද ඇතුළු ව) සිසුන් ඇතුළත් කිරීමට ද අදාළ අයදුම්පත් පාසල් වෙත යොමු කළ යුතු අතර එම පාසල්වල පුරප්පාඩු පවතී නම් විදුහල්පතිවරුන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛ ප්‍රකාර ව සම්මුඛ පරීක්ෂණ පවත්වා තෝරාගත් සිසුන්ගේ නාම ලේඛනය අනුමැතිය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කළ යුතු බවද එම නිවේදනයේ සඳහන්.

එසේ ම 2023 වර්ෂයේ පන්තිවලට අදාළ ව සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ පාසල් වෙත හෝ යොමු නොකරන ලෙසත් පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ලිපි අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් නොකරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *