රජයේ වෛද්‍ය නිලධාරීන් හෙට (24) දීප ව්‍යාප්ත වර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරීන් හෙට (24) දීප ව්‍යාප්ත වර්ජනයක


රජයේ වෛද්‍ය නිලධාරීන් හෙට (24) දීප ව්‍යාප්ත වර්ජනයක

(23.01.2024 – 13:51 +0530 – hirunews.lk/sinhala)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (24) උදෑසන 8 සිට දීප ව්‍යාප්ත වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

ඒ, ජනවාරි වැටුපට රුපියල් 35,000 දීමනාව (DAT) එකතු නොකිරීමට විරෝධය පළ කරමින් බවයි එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ෴

+++++++

වෛද්‍යවරුන්ගේ දීමනාව ගෙවීම අත්හිටුවයි

(23.01.2024 – 13:53 +0530 – sinhala.adaderana.lk)

වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණසිටීමේ දීමනාව (DAT) ගෙවීම තාවකාලිකව අත්හිටුවා ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

එම දීමනාව ගෙවීම සඳහා අවශ්‍ය කටයුතු සකස් කර තිබුණ ද අනුමත ප්‍රතිපාද සීමාව තුළ මහා භාණ්ඩාගාරය විසින් අක්මුදල් ලබාදීමට කටයුතු කර නොමැති බව දැනුම්දෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම තීරණය ගෙන තිබේ.

ලිපියක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඒ අනුව භාණ්ඩාගාරය වෙතින් මෙම ගැටලුව නිරාකරණය කරගන්නා තෙක් වැඩිකරන ලද රුපියල් 35,000 ක මුදල ගෙවීම තාවකාලිකව අත්හිටුවන ලෙසට සෞඛ්‍ය ලේකම්වරයා විසින් තමන්වෙත දැනුම්දී ඇති බවය ෴

++++++++

රජයේ වෛද්‍ය නිලධාරීන් වැඩවර්ජනය නවත්තයි

(23.01.2024 – 18:06 +0530 – hirunews.lk/sinhala)

රුපියල් 35,000 සේ දීමනාව ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට එරෙහිව හෙට (24) පෙරවරු 8 සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට එළඹෙන බව පැවසූ රජයේ වෛද්‍යවරුන් එම තීරණය අත්හිටුවා තිබෙනවා.

ඒ, එම දීමනාව ජනවාරි මාසයේ වැටුපට ලබාදෙන බවට ලද ලිඛිත පොරොන්දුවක් මතයි.

වෛද්‍යවරුන්ට ප්‍රවාහන හා නිර්බාධක දීමනාව හෙවත් ‘ඩැට්’ ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ රුපියල් 35,000 ක දීමනාව තාවකාලිකව අත්හිටුවන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා රෝහල් ප්‍රධානීන්ට දැනුම්දී තිබුණා.

ඒ, භාණ්ඩාගාරයෙන් මුදල් නිදහස් කර නොමැති බව පවසමින්.

එය ලබා නොදෙන්නේ නම් අත්‍යවශ්‍ය සේවාවන්ට බලපෑමක් නොවන පරිදි හෙට (24) උදෑසන 8 සිට දීප ව්‍යාප්තව වැඩ වර්ජනයකට එළඹෙන බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මීට පෙර ප්‍රකාශ කළේ.

ඊට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයද සහය පළ කළා. කෙසේ වෙතත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයද ප්‍රකාශ කළේ අදාළ දීමනාව ලබාදීමට එකඟත්වයකට පැමිණීම නිසා වර්ජනය අතහරින බවයි.

+


ගම්පහදී හිමිනමක් වෙඩි තබා ඝාතනය කෙරේ

(23.01.2024 – 13:38 +0530 – sinhala.adaderana.lk)

ගම්පහ – මල්වතුහිරිපිටිය කහටාන ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් අද (23) පෙරවරුවේ වෙඩිතබා ඝාතනය කර තිබෙනවා.

මෙලෙස වෙඩිවැදීමෙන් ජීවිත්ක්ෂයට පත් වී ඇත්තේ ‘කහටාන ගණාරාම මහා විහාරවාසී කලපලුවාවේ ධම්මරතන’ නම් වයස අවුරුදු 44 ක හිමිනමක් බවයි පොලිසිය සඳහන් කලේ.

එමෙන්ම, මෙම වෙඩි තැබීම සඳහා T-56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

තවද, මෙම වෙඩි තැබීම සඳහා ‘හොන්ඩා ෆිට්’ වර්ගයේ දම්පැහැති කාර් රථයකින් පැමිණි සැකකරුවන් සිව්දෙනෙකු (4) වෙඩිතබා පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි වැදුණු හිමිනම ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අපවත් වී ඇති අතර, මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් ගම්පහ පොලිසිය විමර්ශන සිදුකරනු ලබයි ෴


අද (23) සිට සාමාන්‍ය පෙළ විභාගයට අයදුම් පත් කැඳවීම ඔන්ලයින් ක්‍රමවේදයට

(23.01.2024 – 08:23 +0530 – hirunews.lk/sinhala)

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අද (23) සිට ලබන මස 15 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් අයදුම්පත් කැඳවන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා.

ඒ අනුව සියලුම පාසල් අයදුම්කරුවන් සිය පාසලේ විදුහල්පතිවරයාගෙන්ද පෞද්ගලික අයදුම්කරුවන්ට ඔවුන්ට ලබාදුන් උපදෙස් අනුව මාර්ගගත ක්‍රමය ඔස්සේද අයදුම්පත් ඉදිරිපත් කළ හැකියි.

රජයේ හෝ රජයේ අනුමත පෞද්ගලික පාසලකින් ශිෂ්‍ය කාර්ය දර්ශනය ලබා ඇති අයදුම්කරුවන්ට පමණක් පෞද්ගලික අයදුම්කරුවන් ලෙස විභාගයට අයදුම් කිරීමේ අවස්ථාව හිමිවනවා.

එමෙන්ම මෙම වසරේ සිට පෞද්ගලික අයදුම්කරුවන්ට සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් කිරීමේදී ජාතික හැඳුනුම්පත අනිවාර්ය කර ඇති අතර, එය නොමැති වයස අවුරුදු 15 ට අඩු සිසුන්ට ඊට අයදුම් කිරීමට විභාග දෙපාර්තමේන්තුවට පැමිණීම අනිවාර්ය බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ෴


ප්‍රතිපත්ති පොලී අනුපාත සම්බන්ධයෙන් මහ බැංකුවෙන් නිවේදනයක්

(23.01.2024 – 08:09 +0530 – hirunews.lk/sinhala)

පොලී අනුපාත තවදුරටත් නොවෙනස්ව පවත්වාගෙන යාමට මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (22) රැස්වූ මුදල් මණ්ඩලය තීරණය කර ඇත්තේ, නිත්‍ය තැන්පතු අනුපාතය තවදුරටත් 09% යේ අගයේ පවත්වාගෙන යාමටයි.

එමෙන්ම, නිත්‍ය ණය පහසුකම් අනුපාතය ද තවදුරටත් 10% යේ අගයේම පවත්වාගෙන යාමට තීරණ කර තිබෙනවා.

අවසන් වරට පසුගිය නොවැම්බර් 23 වනදා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කළේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් පහත දැමීමටයි.

ඒ අනුව නිත්‍ය තැන්පතු අනුපාතය 10% සිට 09% දක්වා පහත දැමුණු අතර, නිත්‍ය ණය පහසුකම් අනුපාතය 11% සිට 10% දක්වා අඩු කෙරුණා.

මේ අතර, මෙරට විදේශ සංචිත විදේශ සංචිත ප්‍රමාණ ඩොලර් බිලියන 4.4 දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴


ගෙවුණු පැය 24 තුළදීත් ‘යුක්තිය’ ඔස්සේ 955 ක් අත්අඩංගුවට

(23.01.2024 – 07:35 +0530 – hirunews.lk/sinhala)

‘යුක්තිය මෙහෙයුම’ යටතේ ගත වූ පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම්වලින් අපරාධකරුවන් 955ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 633 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 322 ක් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 633 දෙනා අතරින් සැකකරුවන් 07කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, නීති විරෝධී වත්කම් විමර්ශන 03 ක් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 17 ක් පුනරුත්තාපනය සදහා යොමු කර තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 28 ක්ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 322 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 42 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 243 ක්ද සිටිනවා.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 23ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 14 ක්ද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහත පරිදි වේ :

  • හෙරොයින් 187 g
  • අයිස් 126 g
  • ගංජා 14 kg 700 g
  • ගංජා පැල 28,277
  • මාවා 148 g
  • මදන මෝදක 102 g
  • මත්පෙති 136

බෙලිඅත්තේ වෙඩි තැබීමට උණ්ඩ 36 ක්

(23.01.2024 – 07:25 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයින් 05 දෙනෙකුට මරු කැඳවමින් ඊයේ (22) දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසලදී සිදු වූ වෙඩි තැබීමට උණ්ඩ 36 ක් භාවිතා කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන්කර සිටියේ කොට්ඨාස අපරාධ ස්ථානයේ පරීක්ෂණ නිලධාරීන්ට වෙඩි තැබූ ස්ථානයේ තිබී ටී-56 උණ්ඩ තිස් හයක් (36) මෙලෙස හමු වී ඇති බවයි.

බෙලිඅත්ත අධිවේගි මාර්ග පිවිසුම ආසන්නයේ වෙළෙඳසැලක් අසළදී මෙම වෙඩි තැබීම සිදු වූ අතර ඉන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

මියගිය පිරිසට ‘අපේ ජනබල පක්ෂයේ’ නායක ‘සමන් පෙරේරා’ ද ඇතුළත් ෴


ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් දෙකක් (2)

(23.01.2024 – 13:47 +0530 – sinhala.adaderana.lk)

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් පෙත්සම් දෙකක් (2) ගොනුකර තිබේ.

නීතිඥ එකමුතුව වෙනුවෙන් ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය විසින් එක් පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා විසින් අනෙක් පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

පෙත්සම්කරුවන් පෙන්වාදෙන්නේ අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධානවලින් යුද හමුදාව, පොලීසිය සහ වෙරළාරක්ෂක බළකායට ඕනෑම පුද්ගලයකු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ බලය ලබාදී ඇති බවය.

මෙමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන පුද්ගල නිදහස, අදහස් ප්‍රකාශ කිරීම නිදහස ඇතුළු මූලික අයිතීන් උල්ලංඝනය වන බවත් පෙත්සම්කරුවන් පවසයි.

මේ හේතුවෙන් අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, අන්තර් සමාගම් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ, සමාජවාදී තරුණ සංගමය ඇතුළු පිරිසක් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබේ ෴


මෝටර් රථයක් දුම්රියක ගැටෙයි

(23.01.2024 – 12:47 +0530 – sinhala.adaderana.lk)

මිදිගම ප්‍රදේශයේදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

අනතුරින් තුවාල ලැබූ විදේශිකයින් දෙදෙනෙකු (2) තුවාල ලබා රෝහල්ගතකර ඇත ෴


මත්කරල් ජාවාරම් කළ කාන්තාවක් අත්අඩංගුවට

(23.01.2024 – 09:39 +0530 – sinhala.adaderana.lk)

‘යුක්තිය මෙහෙයුම’ට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමක දී තහනම් මත්කරල් ජාවාරම් කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ඊයේ (22) වැල්ලම්පිටිය පොලිස් වසමේ, අංක 31/B, පුවත්ගහවත්ත, පළවෙනි පටුමඟ, කොළොන්නාව යන ලිපිනයේ වැටලීමක් සිදුකර තිබිණි.

එහිදී වෛද්‍ය නිර්දේශ නොමැතිව තහනම් මත්කරල් 89 ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කරමින් සිටි අවුරුදු 61 ක් වූ කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලීසිය වෙත භාර දී ඇත ෴


වාර්ෂික ස්ථාන මාරුවීම් ගැන රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් දැඩි තීරණයක්

(23.01.2024 – 07:10 +0530 – sinhala.adaderana.lk)

වාර්ෂික ස්ථාන මාරුවීම් යටතේ 2024 වර්ෂය සඳහා ලබාදී ඇති ස්ථානමාරුවීම් වහාම ක්‍රියාත්මක කරන ලෙස සියලු අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඉල්ලීමක් කර තිබේ.

රාජ්‍යසේවා කොමිෂන් සේවා සභාවේ ලේකම්වරයා විසින් ලිඛිතව අදාළ දැනුම් දීම සිදුකර ඇති බව වාර්තා වේ.

2024 වර්ෂය සඳහා වාර්ෂික ස්ථාන මාරුවීම්වලට අදාළව රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ලැබී ඇති අභියාචනා සම්බන්ධයෙන් ද කොමිෂන් සභාවේ තීරණ මේ වන විට දැනුම් දී තිබුණ ද තවදුරටත් විවිධ පාර්ශව වෙතින් ඉල්ලීම් ඉදිරිපත් වන බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසයි.

මේ හේතුවෙන් වාර්ෂිත ස්ථාන මාරුවීම් යටතේ ලබා දී ඇති ඇතැම් ස්ථානමාරු චක්‍ර ක්‍රියාවට නැංවිය නොහැකි වී ඇති අතර එම නිසා අදාළ ස්ථානමාරුවීම් චක්‍රවල සිටින අනෙකුත් නිලධාරීන් අගතියට පත්ව ඇති බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පෙන්වා දෙයි.

වාර්ෂික ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ලබාදී ඇති තීරණ පිළිබඳව අතෘප්තියට පත්වන නිලධාරීන්ට පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය වෙත සිය අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසයි.

එහෙත් එම අභියාචනා සම්බන්ධයෙන් පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරයේ තීරණ ලැබෙන තෙක් අදාළ ස්ථාන මාරු එලෙසින්ම ක්‍රියාත්මක විය යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව අමාත්‍යංශ ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

ඒ අනුව 2024 වාර්ෂික ස්ථාන මාරු නියෝග සම්බන්ධයේයෙන් නැවත නැවත රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉල්ලීම් නොකරන ලෙස ද විධිමත් පරිදි ස්ථාන මාරුවීම් ලබා ඇති නිලධාරීන් සේවයෙන් නිදහස් කරන ලෙස ද රාජ්‍ය සේවා කොමිෂන් සභාව දැනුම් දී තිබේ ෴


අයියාගේ කතුරු ප්‍රහාරයෙන් මල්ලී මරුට

(22.01.2024 – 21:17 +0530 – sinhala.adaderana.lk)

වැඩිමල් සොහොයුරා විසින් එල්ලකළ කතුරු ප්‍රහාරයකින් ඔහුගේ බාල සොහොයුරා මියගොස් තිබේ.

මෙම ඝාතනය සිදුව ඇත්තේ බොරැල්ල සර්පන්ටයින් පාරේ නිවසකදීය.

සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ බොරැල්ල, සර්පන්ටයින් පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පුද්ගලයෙකි.

මරණකරු මත්පැන් පානය කරමින් සිටියදී සිය වැඩිමහල් සොහොයුරා සමඟ ඇති වූ බහින් බස් වීමත් දුරදිග යාමෙන් අනතුරුව සැකකාර වැඩිමල් සොහොයුරා විසින් කතුරකින් මෙලෙස ඔහුගේ පපු ප්‍රදේශයට පහරදී තිබේ.

කතුරු ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලද පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

මොවුන් දෙදෙනාම මත්ද්‍රව්‍ය සහ මත්පැන් පානය සඳහා ඇබ්බැහි වූවන් බවද පොලීසිය පවසයි.

59 හැවිරිදි සැකකාර සොයුරා ඝාතනයට යොදා ගත් කතුරත් සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *