06 දෙනෙකුට දිවි අහිමි කළ මීගොඩ අනතුරේ තොරතුරු රැසක් එළියට – රියැදුරු බීමතින් ඉඳලා

06 දෙනෙකුට දිවි අහිමි කළ මීගොඩ අනතුරේ තොරතුරු රැසක් එළියට – රියැදුරු බීමතින් ඉඳලා


06 දෙනෙකුට දිවි අහිමි කළ මීගොඩ අනතුරේ තොරතුරු රැසක් එළියට – රියැදුරු බීමතින් ඉඳලා

(01.06.2026 – hirunews.lk)

මීගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය දන්සලක් අසල රැඳී සිටි පිරිසක් වෙත අධික වේගයෙන් පැමිණි කැබ් රථයක් ගැටීමෙන් පුද්ගලයින් හය දෙනෙකු (6) ජීවිතක්ෂයට පත්වූ බිහිසුණු අනතුර පිළිබඳව තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මීගොඩ පොලිස් වසමේ හයිලෙවල් මාර්ගයේ මීගොඩ හන්දිය ආසන්නයේදී අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කැබ් රථයක් දන්සලක පෝලිමක සිටි පිරිසකගේ හප්පා නොනවත්වා පලාගොස් ගිය බවයි.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 13 දෙනෙකු හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් පුද්ගලයින් තිදෙනෙකු (3) හා කාන්තාවන් තිදෙනෙකු (3) රෝහල් ගතකරන විටත් මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

අනතුර සිදුවූ වහාම ක්‍රියාත්මක වූ ගොඩගම හන්දියේ රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරින් විසින් පලා යමින් සිටි කැබ් රථය හා රියැදුරු අත්අඩංගුවට ගනු ලැබුවා.

මරණකරුවන් අවුරුදු 35 ත් 38 ත් අතර වයස්වල පසු වූ හංවැල්ල සහ අවිස්සාවේල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මරණකාරියන් අවුරුදු 15 ත් 56 ත් අතර වයස්වල පසු වූ පිලියන්දල ප්‍රදේශයේ පදිංචිකාරියන් බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකාර රියැදුරා වයස අවුරුදු 42 ක් වන පිලියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනතුර සිදුවන අවස්ථාවේ සැකකරු බිමත්ව සිටි බවට තහවුරු වී තිබෙනවා.

තුවාලකරුවන් 07 දෙනෙකු හෝමාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර මීගොඩ පොලිසිය විසින් වැඩිදුර විර්මශන සිදු කරනු ලබනවා.

+++

+++

+++

+++

මීගොඩ අනතුරින් මියගිය එකම පවුලේ සිව්දෙනාගේ (4) කඳුළු කතාව

(01.06.2026 – hirunews.lk)

මීගොඩ හයිලෙවල් මාර්ගයේ බැද්දේගෙදර මුල්ල හන්දිය ආසන්නයේ පැවැති රොටී දන්සලක පෝලිමකට කැබ් රථයක් කඩා වැදීමෙන් එකම පවුලේ ඥාතීන් සිව් දෙනකු (4) ඇතුළු හය දෙනකු (6) මිය ගිය බව මීගොඩ ‍පොලිසිය පවසනවා.

එම සිව් දෙනා (4) පිළියන්දල වෑවල පල්ලිය පාර පදිංචිව සිටි පි.බි. ඉන්ද්‍රානි (56) ඇයගේ දියණිය වන නවීෂා නිලක්ෂි (35) ඇයගේ සැමියා වන යුද හමුදාවේ සේවය කරන ලසික ප්‍රියංකර නානායක්කාර (38) (මියගිය ඉන්ද්‍රානි නමැත්තියගේ මල්ලිගේ දියණිය වන) පිළියන්දල සමරකෝන් විද්‍යාලයේ 10 වැනි වසරේ ඉගෙනුම ලබන මලීශා සත්සරනි (15) බවට හඳුනාගෙන තිබෙනවා.

මියගිය නවීෂා නිලක්‍ෂී සහ ඇයගේ සැමියා අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිව සිටියදී ඉකුත් සෙනසුරාදා තම මවුපියන්ගේ නිවස වන පිළියන්දල පල්ලිය පාරේ නිවසට පැමිණ තිබුණා.

ඔවුන් දෙදෙනාව (2) යළි නිවස වෙත ඇරලීම සඳහා ගිය ඉන්ද්‍රානිගේ ස්වාමිපුරුෂයාට අයත් ත්‍රී රෝද රථයෙන් මියගිය නවීශා නිලක්ෂි ඇයගේ සැමියා සහා කුඩා දරු දෙදෙනා (2) මෙන්ම මියගිය ඉන්ද්‍රාණි සහ සහෝදරයාගේ දියණියත් කැටුව වෙසක් සිරි නරඹමින් අවිස්සාවේල්ල කරා යමින් සිට තිබුණා.

ඒ අතරතුර මීගොඩ ප්‍රදේශයේදී ත්‍රීරෝද රථය නවතා රොටි දන්සලක් වෙත ගොස් පෝලිමේ රැඳී සිට ඇති බවයි ඥාතීන් පවසන්නේ.

නමුත් එම අවස්ථාවේ ත්‍රීරෝද රථයේ රියැදුරු ලෙස කටයුතු කළ මියගිය ඉන්ද්‍රානි ගේ ස්වාමිපුරුෂයා දියණියගේ වැඩිමහල් දරුවත් සමග ත්‍රීරෝද රථයේ රැඳී සිට තිබෙනවා.

එම අවස්ථාවේදී අවිස්සාවේල්ල සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් මාර්ගයේ වම් පස දන්සලේ රැඳී සිටි පුද්ගලයන් 13 දෙනෙකු පමණ අනතුරට ලක් කර නොනවත්වා ධාවනය කර තිබූ බව‍යි පොලිසිය පවසන්නේ.

මේ සම්බන්ධයෙන් හෝමාගම ගොඩගම හන්දියේ රථවාහන රාජකාරිය යෙදී සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු (2) වෙත දැනුම්දීමෙන් අනතුරුව කැබ් රථය ගොඩගම හන්දියේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා.

අනතුරින් තුවාල වූ තවත් හත් දෙනකු (7) මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සිදුකළ රථයේ රියැදුරු මත්පැන් පානය කර ඇති බවට සනාථ වී යැයි පොලිසිය පැවසුවා.

මේ අතර සැකකාර රියැදුරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය කියා සිටියා ෴

මීගොඩ ප්‍රදේශයේ දන්සලකදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රියැදුරු ජුනි 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා ෴

+++

මීගොඩදී බීමත් රියදුරු කළ අනතුරෙන් මිය ගිය යුවළ අන්තිම මොහොතේ කළ වීඩියෝව (01.06.2026)

+++

මගේ අම්මව හොරු අරගෙන ගිහිං මාමේ – මීගොඩ දන්සල් අනතුරේ කඳුළු කතාව (01.06.2026)

+++

දන්සලක පෝලිමේ සිටි 6 ක් නිමේෂයකින් මරු තුරුළට යැවූ මීගොඩ අනතුරේ බිහිසුණු කතාව (01.06.2026)

+++

මීගොඩ අනතුරේ රියදුරුට වැඩ වරදියි – අපි මිනී මැරුම් චෝදනා එල්ල කරනවා (01.06.2026)

+++

මීගොඩ දන්සැල් අනතුර : කැබ් රථයේ සිටි අයෙක් සහ රථයේ හිමිකරු ඇතුලු සැකකරුවන් දෙදෙනා (2) ද වහාම අත්අඩංගුවට ගන්නැයි මහේස්ත්‍රාත්ගෙන් නියෝගයක්

(01.06.2026 – hirunews.lk)

හයිලෙවල් මාර්ගයේ මීගොඩ මංසන්ධිය ආසන්නයේදී දන්සැලක පෝලිමක සිටි පිරිසක් යටකර පුද්ගලයින් හය දෙනෙකු (6) ජීවිතක්ෂයට පත්කිරීමේ අනතුර සිදුවන අවස්ථාවේදී, අදාළ කැබ් රථය තුළ සිටි බව කියන පුද්ගලයෙක් සහ කැබ් රථයේ අයිතිකරු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හෝමගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය අද (01) මීගොඩ පොලිසියට නියෝග කළා.

අනතුර සිදුවන අවස්ථාවේදී ප්‍රධාන සැකකරුට අමතරව කැබ් රථය තුළ තවත් පුද්ගලයෙකු සිටි බවට පොලිසිය අධිකරණයට කළ කරුණු වාර්තා කිරීම සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළා.

කැබ් රථයේ අයිතිකරු ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද පොලිසිය අධිකරණයට දැන්වුවා.

කාන්තාවන් තිදෙනෙකු (3) ඇතුළු පුද්ගලයින් හය දෙනෙකුට (6) ජීවිත අහිමි කළ මෙම බිහිසුණු අනතුර සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය විසින් ප්‍රධාන සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ චෝදනා 10 ක් යටතේයි.

මනුෂ්‍ය ඝාතන සිදු කිරීම, වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම, අධික ලෙස බීමත්ව රිය පැදවීම සහ අනතුරක් වළක්වා නොගැනීම ඇතුළු චෝදනා ඒ අතර වන බවයි පොලිසිය පවසන්නේ.

මේ අතර, අධිකරණයට ඉදිරිපත් කළ මෙම අනතුරේ ප්‍රධාන සැකකරු වන පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි ‘ප්‍රදීප් කුමාර’ නොහොත් ‘ගරාජ් කුමාර’ නමැත්තා ලබන ජූනි මස 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද හෝමගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (01) පස්වරුවේ නියෝග නිකුත් වුණා ෴

+++

මීගොඩදී හයක් (6) අනතුරට ලක්කළ රියදුරුට හරිහමන් බලපත්‍රයක්වත් නෑ | “පොසොන් උත්සවයේදී මේ සෙල්ලම් බෑ ” (01.06.2026)

+++

මීගොඩ අනතුර වෙන වෙලාවේ අම්මගේ තුරුලේ සිටි අවු. 2 දරුවා විසිවෙයි (01.06.2026)

+++

මීගොඩ මාරක අනතුරෙන් අවසන් ගමන් ගිය සොහොයුරන් දෙදෙනාගේ (2) පියා හඬා වැලපෙන විදිහ (01.06.2026)

+


පාඨලී – ජීඑල් – රාජිත වහාම එකාබද්ධ විපක්ෂය කැඳවයි – ආණ්ඩුවේ තෙල් මාෆියාවේ භායානක පැත්ත හෙළි කරයි (01.06.2026)

+


සංගීත් කියන්නේ බොරු කාරයෙක් නෙවෙයි – මේවා මොළේ කරගැට එන ප්‍රශ්න (01.06.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *