මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත හෙට (23) පාර්ලිමේන්තුවට
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත හෙට (23) පාර්ලිමේන්තුවට
(22.01.2024 – 20:23 +0530 – hirunews.lk/sinhala)
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත හෙට (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
හිරිහැර කිරීමේ චේතනාවෙන් පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන තැනැත්තෙකුට වසර 5 ක සිරදඬුවමක් මෙන්ම ළමා අපයෝජන වීඩියෝ සමාජ මාධ්‍යවල පළ කරනු ලබන පුද්ගලයෙකුට වසර 20 ක සිරදඬුවමක් නියම කිරීමටත් මෙම කෙටුම්පතින් යෝජිතයි.
මීට අමතරව වෙනත් පුද්ගලයෙකු ලෙස අඟවමින් සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන යන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද මෙමගින් ප්‍රතිපාදන සැලසෙනවා.
අසත්‍ය ප්‍රකාශ හෝ තර්ජනාත්මක, බියගන්වනසුලු හෝ පීඩාකාරී ප්‍රකාශ සන්නිවේදනය කිරීම මගින් ඇති වන අලාභයකින් තැනැත්තන් ආරක්ෂා කිරීම, අධිකරණයට අපහාස වන්නා වූ හෝ අධිකරණ බලය සහ අපක්ෂපාතීත්වය පවත්වාගෙන යාමට අගතිගාමී වන්නා වූ ප්‍රකාශ සන්නිවේදනය කිරීමෙන් ආරක්ෂා වීම තහවුරු කිරීම, මේ පනත යටතේ වූ වැරදි සිදුකිරීම සඳහා මාර්ගගත ගිණුම් සහ බොට් (BOT)අවභාවිත කිරීම හඳුනාගැනීම, වැළැක්වීම සහ එයට එරෙහිව ආරක්ෂාව සැලසීම සඳහා වූ පියවර හඳුන්වා දීම මෙන්ම, ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ නැවත නැවතත් සන්නිවේදනය කරන්නා වූ මාර්ගගත ස්ථාන සඳහා මුදල් සැපයීම, එකී ස්ථාන ප්‍රවර්ධනය කිරීම සහ එම ස්ථානවලට වෙනත් ආධාර ලබාදීම වැළැක්වීම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත මගින් අපේක්ෂිතයි.
ඒ අනුව අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම මගින් ජාතික ආරක්ෂාවට, මහජන සෞඛ්‍යයට හෝ මහජන සාමයට තර්ජනයක් ඇති කරවන හෝ විවිධ පන්තිවලට අයත් තැනැත්තන් අතර එදිරිවාදී සහ වෛරී හැඟීම් ප්‍රවර්ධනය කරන පාර්ශ්වවලට වසර 5 ක් නොඉක්මවන බන්ධනාගාරගත කිරීමකට හෝ දඩයකට යටත් කිරීමේ ප්‍රතිපාදන මෙම කෙටුම්පතින් සැලසෙනවා.
ඊට අමතරව ප්‍රකෝප කරවීමෙන් කැරලි ගැසීමේ වරද සිදුවිය හැකි බවට වූ චේතනාවෙන්ම හෝ ඒවා දැන දැනම ද්වේෂ සහගතව හෝ නිකරුණේ අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීමේදීද අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකියි.
ඊට අමතරව යම් අයෙකුගේ ආගමික හැඟීම්වලට රිදවීමේ ඒකාන්ත චේතනාවෙන් ඉලක්කගත තැනැත්තෙකු වෙත අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීමේදී මෙන්ම, යම් පන්තියකට අයත් තැනැත්තන්ගේ ආගමික හැඟීම් නිග්‍රහයට පාත්‍ර කිරීමේ චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කරන්නන්ට එරෙහිව ද බන්ධනාගාරගත කිරීමට සහ දඩ නියම කිරීමට අවස්ථාව උදාවනු ඇති.
මාර්ගගත ගිණුමක් මගින් තමා වෙනත් තැනැත්තෙකු ලෙස අඟවන පුද්ගලයින්ට එරෙහිව ද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද මෙමගින් ප්‍රතිපාදන සැලසෙනවා.
ත්‍රිවිධ හමුදා සාමාජිකයෙකු කැරලි ගැස්වීමේ චේතනාවෙන් හෝ මහජනයා අතර බියක් හෝ තැතිගැන්මක් ඇති කරවීමේ චේතනාවෙන් යම් අසත්‍ය ප්‍රකාශයක් නිකුත් කර එමගින් රජයට විරුද්ධ වරදක් හෝ මහජන සාමයට විරුද්ධව වරදක් කිරීමට යම් තැනැත්තෙකු පොළඹවීම සම්බන්ධයෙන් බන්ධනාගාරගත කිරීමකට හෝ දඩයකට යටත් කිරීමට ප්‍රතිපාදන හිමිවනවා.
කිසියම් තැනැත්තෙකුට හිරිහැර කිරීමේ චේතනාවෙන් එම තැනැත්තාගේ පෞද්ගලික තොරතුරු පළකිරීම වසර 5 ක සිරදඬුවමකට හෝ රුපියල් ලක්ෂ 5 ක් නොඉක්මවන දඩයකට හෝ එම දඬුවම් දෙකටම යටත් වනු ඇති.
ඊට අමතරව ළමයෙකුට අදාළව අපයෝජන ස්වභාවයෙන් යුතු හෝ කාමෝද්දීපන ස්වභාවයෙන් යුතු යම් ඡායාරූපයක්, හඬ පටයක් හෝ වීඩියෝවක් පළකරනු ලබන පුද්ගලයින් වසර 20 ක් නොඉක්මවන සිරදඬුවමකට හෝ දඩයකට යටත් කිරීමට හෝ එම දඬුවම් දෙකටම යටත් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ සඳහන්.
+
ජවිපෙ මූලස්ථානය ඉදිරියේ විරෝධතා..
(23.01.2024 – 00:02 +0530 – lankacnews.com)
ජාතික ජන බලවේග රජයක් යටතේ ගණිකා වෘත්තිය නීතිගත කිරීම රට ගොඩනැගීමේ ප්‍රධාන වැඩපිළිවෙළදැයි ප්‍රශ්න කරමින් ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට 22 පස්වරුවේ ‘නව ජනතා පෙරමුණ’ උද්ඝෝෂණයක් පවත්වනු ලැබීය.
ජාතික ජන බලවේගයේ විධායක සභික සමන්මලී ගුණසිංහ මහත්මිය පසුගිය දා සිදුකළ ප්‍රකාශයකින් කියැවුණේ ඔවුන්ගේ රජයක් යටතේ ගණිකා වෘත්තිය නීතිගත කරන බවයි. ගණිකා වෘත්තිය සඳහා රීති පද්ධතියක් ඇති කළ යුතු බව ද ඇය සඳහන් කර තිබිනි.
අනාගත ජනාධිපතිවරයා බිහිකිරීමට උත්සාහ දරණ පක්ෂයක නියෝජිතයන් කරනු ලබන මෙවැනි අමනෝඥ ප්‍රකාශයන්ගේ අර්ථය කුමක්දැයි විමසන අතර 70% කට අධික ප්‍රමාණයක් බෞද්ධයන් වෙසෙන රටක සමාජ විරෝධී ප්‍රතිපත්ති ඉදිරියට දමමින් ඔවුන් සිදුකරන ප්‍රකාශයන්ට එරෙහිව මෙම උද්ඝෝෂණය සිදුකරන බවත් නව ජනතා පෙරමුණ පැවසීය.
+
ආණ්ඩුවේ රු. කෝටි 553,000 ක් අතුරුදහන්. විශේෂ හෙළිදරව්ව මෙන්න. පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුව – 2024.01.22
+
+
පොල් මලක කොටස්වලින් පොල් පැළ නිපදවයි
(23.01.2024 – 13:30 +0530 – hirunews.lk/sinhala)
ලෝකයේ පළමු වරට ‘පටක රෝපණ තාක්ෂණය’ මගින් පොල් පැළ සැකසීම පිළිබඳ ‘පොල් පර්යේෂණ ආයතනය’ සිදු කළ පරීක්ෂණය සාර්ථක බව එහි අධ්‍යක්ෂ ආචාර්ය සනාතනී රණසිංහ ප්‍රකාශ කළා.
මේ වන විට පර්යේෂණ නල තුළ ‘පොල් මලක සිවුම් කොටස්’ යොදා ගනිමින් පොල් පැළ 1000 ක් පමණ නිර්මාණය කර ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශය සමග සංවාදයකට එක් වෙමින් ඇය සඳහන් කළේ.
පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරද ලොව පළමුවරට පර්යේෂණාගාරයක් තුළ සිදු වන මෙම ක්‍රියාවලිය නිරීක්ෂණය කරනු ලැබුවා.
පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ආචාර්ය සනාතනී රණසිංහ සඳහන් කළේ ‘තැඹිලි පැල’ නිපදවා ගැනීම සඳහා ද මෙම තාක්ෂණය භාවිතා කිරීමට අපේක්ෂා කරන බවයි ෴
රුපියල් ලක්ෂ 60 ක රන් භාණ්ඩ අතුරුදන්
(23.01.2024 – 13:27 +0530 – hirunews.lk/sinhala)
දින කිහිපයකට පෙර පැවති සිය විවාහා මංගල්‍යය දිනයේ සැමියා විසින් ලබාදුන් රුපියල් ලක්ෂ 23 ක අධික රන් භාණ්ඩ සොරකම් කර ඇති බවට අවුරුදු 22 ක කාන්තාවක් පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබෙනවා.
ඇය කොළඹ 12 ශ්‍රීමත් බණ්ඩාරනායක මාවතේ පදිංචි කාන්තාවක්වන අතර රුපියල් ලක්ෂ 23 ක රත්තරන් භාණ්ඩවලට අමතරව රුපියල් ලක්ෂ 60 කට වඩා වටිනා භාණ්ඩ තොගයක්ද සොරාගෙන ඇති බවයි ඇගේ පැමිණිල්ලේ සඳහන් වෙන්නේ.
පසුගිය 15 වැනිදා තම විවාහා මංගල්‍යය පැවති බවත් එහිදී සැමියා තිළිණ කළ රුපියල් ලක්ෂ 23 ක පමණ වටිනාකමින් යුත් රන් භාණ්ඩ සහ තමන් සතුව පැවති රුපියල් ලක්ෂ 36 ක පමණ වටිනා රන් භාණ්ඩ සියල්ල 16 වැනිදා නිවසේ අල්මාරියේ පෙට්ටිවල අසුරා තැබූ බවයි ඇය පොලිසිය හමුවේ පවසා සිටියේ.
ඇය පසුගිය 18 වැනිදා නිවසින් පිටතට ගොස් ඇති අතර රන් භාන්ඩ සහිත අල්මාරියේ යතුර බෑගයක දමා ඇය නිවසින් බැහැරව ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
එම අවස්ථාවේ නිවසේ මෙහෙකාරිය සහ පියා පමණක් සිට ඇති අතර පැය කිහිපයකින් පසු ඇය නිවසට පැමිණ බෑගයේ තිබූ යතුර සෙවීමේදී එය නියමිත ස්ථානයේ නොතිබූ බවයි ඇය සඳහන්කර සිටියේ.
පසුව පියා විසින් අල්මාරියේ ලාච්චුවේ ලොක් එක කඩා බැලීමේදී රන් භාණ්ඩ කිසිවක් එහි නොතිබූ බවයි ඇය පොලිසිය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේ.
කොටහේන පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴
‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත’ විවාදයට ගැනීම සම්මතයි
(23.01.2024 – 11:37 +0530 – hirunews.lk/sinhala)
‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත’ පිළිබඳ විවාදය අද (23) සහ හෙට (24) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.
මෙම පනත් කෙටුම්පත විවාදයට ගන්නවාද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා ඡන්ද විමසීමක් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.
එහිදී එම පනත් කෙටුම්පත විවාදයට ගැනීමට පක්ෂව ඡන්ද 83 කුත්, විපක්ෂව ඡන්ද 50 කුත් ලැබුණා.
ඒ අනුව වැඩි ඡන්ද 33 ක් ලැබී ඇති අතර ‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත’ අද (23) සහ හෙට (24) විවාදයට ගනු ඇති ෴
රංජන් ජයලාල් වරප්‍රසාද කමිටුව කැඳවන්නැයි ඇමති කංචන කථානායකගෙන් ඉල්ලයි
(23.01.2024 – 11:17 +0530 – hirunews.lk/sinhala)
පාර්ලිමේන්තුව සහ ජනාධිපති කාර්යාලයේ විදුලි බිලේ කිසිදු හිඟ මුදලක් නොමැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා.
අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඒ සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දක්වමින්.
ඒ අනුව අදාළ ප්‍රකාශ සිදු කළ බව කියන ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි අමාත්‍ය කංචන විජේසේකර කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ෴
නිල්වලා ලවන බාධකයෙන් පීඩාවට පත් වූ ගොවීන්ට වන්දි
(23.01.2024 – 11:10 +0530 – hirunews.lk/sinhala)
නිල්වලා ගඟ හරහා ඉදි කළ ලවන බාධකය නිසා දුෂ්කරතාවයට පත් වූ ගොවි ජනතාව වෙනුවෙන් සිය අමාත්‍යාංශය යටතේ වහාම වන්දි ලබා දෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමවීර අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ අදාළ ගැටලුව සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
එම ලවන බාධකය නිසා පීඩාවට පත් වූ ගොවීන්ට මෙතෙක් වන්දි ලබා දීමක් සිදු වී නොමැති බව විපක්ෂනායකවරයා එහිදී අවධාරණය කළා.
කථානායක මහින්ද යාපා අබේවර්ධන ඊට මැදිහත් වූ අතර ඔහු කියා සිටියේ මෙම ලවන බාධකය හේතුවෙන් කන්න 09ක වගා කටයුතුවලට බාධා සිදුව ඇති බවයි.
මේ අතර සමාජ ක්‍රියාකාරීන් පිරිසක් පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිටදී අද (23) විරෝධතාවක නිරත වුණා.
ඒ අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින්.
එමෙන්ම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඇතුලු විපක්ෂයේ පක්ෂ නායකයින් අද (23) පෙරවරුවේ කථා නායකවරයා හමු වුණා.
ඒ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි.
කෙසේ වෙතත් මෙම පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද (23) දිනයේ පක්ෂ නායක රැස්වීමක් කැදවා ඇති බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන කියා සිටියේ ෴
‘හරක්කටා’ සමඟ සම්බන්ධතා පැවැත් වූ තවත් අයෙකු (1) අත්අඩංගුවට
(23.01.2024 – 10:01 +0530 – hirunews.lk/sinhala)
දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රදවාගෙන ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘නදුන් චින්තක වික්‍රමරත්න’ හෙවත් ‘හරක්කටා’ සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැකකකෙරෙන තවත් පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව ඊයේ (22) අත්අඩංගුවට ගත් මෙම සැකකරු 27 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
මොහු විසින් ‘හරක්කටා’ සමග දුරකතනයෙන් සබදතා පවත්වා ඇති බවට අනාවරණ වී තිබෙනවා.
මීට පෙරද මෙහු සමග සබදතා පැවැත්වූ කාන්තාවක් ඇතුළු 7 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා ෴
පේරාදෙණිය කෘෂිකර්ම පීඨයේ කථිකාචාර්යවරයෙකු ඖෂධ අධි මාත්‍රාවක් ශරීරගත වීමෙන් මරුට
(23.01.2024 – 08:36 +0530 – hirunews.lk/sinhala)
ඖෂධ අධි මාත්‍රාවක් පානය කිරීම නිසා අසාධ්‍ය තත්ත්වයෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ආචාර්යවරයෙකු ඊයේ (22) ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
කෘෂිකර්ම පීඨයට අයත් නිල නිවෙසක බිරිඳ සමඟ පදිංචිව සිට ඇති ආචාර්යවරයා ඊයේ (22) අලුයම 01:00 ට පමණ අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගතකර තිබෙනවා.
මියගොස් ඇත්තේ කෘෂිකර්ම පීඨයේ භෝග විද්‍යා අංශයේ සේවය කළ ආචාර්ය බී.එල්. පීරිස් නැමැති 60 හැවිරිදි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් පැවසුවේ.
එම කථිකාචාර්යවරයාගේ බිරිඳ ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලයේ සේවය කරන අතර මරණය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය විසින් පරීක්ෂණ සිදුකරනු ලබයි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴