කහතුඩුවේ ගුවන්සේවා නිලධාරිනිය ඝාතනයවීම : අනියම් පෙම්වතා 23 තෙක් රිමාන්ඩ් – බිරිය පොලිසියට පැමිණ දරුවන් ඉල්ලයි

කහතුඩුවේ ගුවන්සේවා නිලධාරිනිය ඝාතනයවීම : අනියම් පෙම්වතා 23 තෙක් රිමාන්ඩ් – බිරිය පොලිසියට පැමිණ දරුවන් ඉල්ලයි


කහතුඩුවේ ගුවන්සේවා නිලධාරිනිය ඝාතනයවීම : අනියම් පෙම්වතා 23 තෙක් රිමාන්ඩ් – බිරිය පොලිසියට පැමිණ දරුවන් ඉල්ලයි

(12.01.2024 – dinamina.lk)

කහතුඩුව දක්ෂිණ අධිවේගි මාර්ග පිවිසුම ඉදිරිපිටදී තියුණු ආයුධයකින් ගෙල කපා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිලධාරිනියක ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු මෙම 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා ඊයේ (11) නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ එල්ලාවලියගේ ඩන්ස්ටන් ප්‍රසාද් පෙරේරා නමැති 42 හැවිරිදි ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකි. ඔහු 12/2 බෙත්මෙගොඩ පාර, වලාන, පානදුර ලිපිනයේ පදිංචිකරුවෙකි.

මෙම සැකකරු ඝාතනය සිදු කර විදේශගත වීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රැඳී සිටියදී ගුවන්තොටුපොළ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන කහතුඩුව පොලිසියට භාරදී තිබේ.

මොහු විසින් ගෙල කපා ඝාතනය කර ඇත්තේ පිළියන්දල, මඩපාත, ජඹුරලිය, අංක15/බී ලිපිනයේ පදිංචි ‘මාපිටියගේ දුලාංජලී අනුරුද්ධිකා’ නමැති 42 හැවිරිදි එක් දරු මවකගේය.

මියගිය කාන්තාව සැකකරු සමඟ කාලයක සිට අනියම් පෙම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර ඇයට පුද්ගලයකුගෙන් ලැබුණු දුරකතන ඇමතුමක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් අමනාපයක් ඇති වී තිබෙන බව මූලික විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

ඝාතනය සඳහා යොදා ගත් තියුණු ආයුධය හා එදින ඔහු පැමිණි මෝටර් රථය ද පොලිසිය මඟින් සොයාගෙන තිබිණි.

කහතුඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංකර මහතාගේ මෙහෙයවීමෙන් නඩු කටයුතු නිලධාරියා ලෙස පොලිස් කොස්තාපල් (32785) සම්පත් මහතා කටයුතු කළේය.

මේ අතර කහතුඩුව අධිවේගි පිවිසුම ඉදිරිපිටදී ගුවන්සේවා නිලධාරිනිගේ ඝාතකයාගේ බිරිය පොලිසිය වෙත පැමිණ දරුවන් සිව්දෙනාගේ (4) නීත්‍යනුකූල භාරකාරත්වය ඇයට ලබා දෙන ලෙස ඉල්ලා සිටි බව කහතුඩුව පොලිසිය කියයි. ඇය එලෙස පැමිණ ඇත්තේ පිළියන්දල පොලිසියට සහ කැස්බෑව පොලිසිය වෙත යෑමෙන් අනතුරුව බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇය 2021 වසරේ සිට ‘එල්ලාවල ලියනගේ ඩන්ස්කන් ප්‍රසාද් පෙරේරා’ නමැත්තා සමඟ වෙන්වී ජීවත් වන බවත් ගැහැනු දරුවන් සිව්දෙනකු (4) සහ පිරිමි දරුවකු (1) සිටින බවත් ඇය ප්‍රකාශ කර ඇත.

එම ගැහැනු දරුවන් සිව්දෙනා (4) සැකකරුගේ නැඟණිය භාරයේ මේ වන විට පසුවේ. ඇය ඊයේ (11) පොලිසිය වෙත පැමිණ ඇත්තේ ද එම පුතු සමඟය.

තමන් මේ වන විට එකම පුතු සමඟ අප්‍රසිද්ධියේ ජීවත් වන බවත් ඇය සිටින නිවෙසක ලිපිනයක් හෝ පොලිසියට පවා දීමට කටයුතු නොකර තිබිණි. ඊට හේතුව එම පුද්ගලයා විවිධ පුද්ගලයන් ලවා ඇයට සහ පුතුට විවිධ අවස්ථාවල හිරිහැර කිරීම බව ඇය පවසා ඇත.

තම සැමියා කෙළිලොල් ජීවිතයක් ගත කරන බවත් ඝාතනයට ලක් වූ ‘අනුරුද්ධිකා’ සමඟ පැවති අනියම් සම්බන්ධය හේතුවෙන් තමන්ට පහර දුන් වාර අනන්ත බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ ලබා දී ඇත.

මේ ආකාරයෙන් ඇය පැයකට අධික කාලයක් සිය ප්‍රකාශ ලබා දී ඇති බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙහිදී ස්ථානාධිපතිවරයා ඇය වෙත උපදෙස් දී ඇත්තේ ඊට අවශ්‍ය නීත්‍යනුකූල පියවර ගන්නා ලෙසයි ෴


වෛද්‍යවරියන් ඇඳුම් මාරු කරනු රහසේ වීඩියෝ කළ රෝහල් සේවකයා අත්අඩංගුවට

(13.01.2024 – 22:19 +0530 – hirunews.lk/sinhala)

මහනුවර ජාතික රෝහලේ උගුර, කණ, නාසය පිළිබඳ ඒකකයේ ශල්‍යාගාරයට යාබද වෛද්‍යවරියන් ඇඳුම් මාරුකරන ස්ථානයේ දර්ශන රහසින් රූගත කළ රෝහල් සුළු සේවකයෙක් අද (13) පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශල්‍යාගාරයට පිවිසීම සඳහා වෛද්‍යවරුන් ඇඳුම් මාරුකරන කාමරයට පැමිණ ඇඳුම් මාරු කරමින් සිටි වෛද්‍යවරියකට සැක කටයුතු ලෙස තිබූ ජංගම දුරකථනයක් හමු වී තිබෙනවා.

ඇය එම දුරකථනය පරීක්ෂා කර බලන අවස්ථාවේදී එහි ඇඳුම් කාමරයේ දර්ශන වීඩියෝ වෙමින් පැවති ආකාරය දැක ඇති අතර, වඩාත් පරීක්ෂා කිරීමේ දී ඇයගේ දර්ශන මුළුමනින්ම වීඩියෝගත වී තිබුණු බව දුටු ඇය එම දර්ශන මකා දමා වහාම මේ සම්බන්ධව රෝහල් පරිපාලනයට පැමිණිලි කර තිබෙනවා.

එහිදී රෝහල් පරිපාලනය සීසීටීවී දර්ශන පරීක්ෂා කරනවිට පෙනී ගොස් ඇත්තේ රෝහලේ සුළු සේවකයෙක් කාමරයට ඇතුළු වී මෙම වීඩියෝගත කිරීම සඳහා ජංගම දුරකථන ස්ථානගත කර යන ආකාරයයි.

සිදුවීමට සම්බන්ධ හතලිස් හැවිරිදි (40) සේවකයා පොලිස් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ තමන් මාස ගණනක සිට මෙම වීඩියෝගත කිරීම සිදුකළ බවත්, එසේ ඇඳුම් මාරුකරන වෛද්‍යවරියන්ගේ වීඩියෝ නැරඹීමෙන් පසු තමන් විසින් ජංගම දුරකථනයෙන් මකා දැමීමත් සිදුකරන බවයි ෴


‘අවලෝකිතේෂ්වර’ ගැන මර්වින් සිල්වාගෙන් මහ නා හිමිවරුන්ට පැමිණිල්ලක්

(13.01.2024 – 21:47 +0530 – hirunews.lk/sinhala)

‘අවලෝකීතේෂ්වර’ නමින් හදුන්වන පුද්ගලයා සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් දැනුවත් කිරීමට හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අද (13) පියවර ගත්තා.

මේ අතර, මහා සංඝරත්නය සහ දායකින් බේද කර සම්බුද්ධ ශාසනය විනාශ කිරීමට ‘අවලෝකීතේෂ්වර’ නමින් හදුන්වන පුද්ගලයා ඇතුලු කණ්ඩායම කටයුතු කරමින් සිටින බව අමරපුර සිරි සද්ධම්ම මහානිකායේ මහා ලේඛකාධිකාරි පූජ්‍ය බලපිටියේ සිරි සීවිලි හිමි පවසනවා.

එමෙන්ම, ඇඹිලිපිටියේදී අද (13) පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ආචාර්ය පූජ්‍ය ඕපල්පේ සෝභිත හිමියන් සඳහන් කළේ මහා නා හිමවරුන් සහ බුද්ධ ශාසන අමාත්‍යාංශය මෙවැනි පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

+


වසර 10 කට වැඩි කාලයක් ප්‍රතිකාර කළත් සුව නොවූ තිසරගේ ඇස

(13.01.2024 – 19:17 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු දෙකේ (2) දී සිදු වූ අනතුරකින් වම් ඇස නොපෙනී ගිය දරුවෙකු පොළොන්නරුව කඩවලවැව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

ඔහුගේ මව්පියන් පවසන්නේ එදා සිට අද දක්වා වසර 10 කට වැඩි කාලයක් ප්‍රතිකාර කළ ද තම දරුවාගේ ඇසේ පෙනීම ලබා ගැනීමට නොහැකී වී ඇති බවයි.

එම දරුවා පොළොන්නරුව, කඩවලවැව, ජයන්තිපුර පදිංචි 13 හැවිරිදි දරුවෙක් බවයි සඳහන්.

තිසරගේ වම් ඇසට හානී වී ඇත්තේ ඔහුට වයස අවුරුදු 2 දී බවයි වාර්තා වන්නේ.

ඒ නිවසට පැමිණි ඥාති දරුවෙක් සමඟ සෙල්ලම් කිරීමට යාමේදි එම දරුවාගේ අතේ රැඳී තිබූ කෝටුවක් තිසරගේ වම් ඇසේ වැදීමෙන්.

එම සිද්ධිය වූ දිනම තිසර පොළොන්නරුව රෝහලට රැගෙන ගොස් ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහුට ශල්‍යකර්මයක් සිදුකර තිබෙනවා.

එදා සිට අද දක්වා රෝහල් කිහිපයකින් ශල්‍යකර්ම තුනක් (3) පමණ තිසරට සිදු කර ඇතත් තවමත් ඇසේ පෙනීම ලබා ගන්නට නොහැකී වී ඇති බවයි තිසරගේ මව්පියන් පවසන්නේ.

කෙසේ වෙතත් අවසානයේ තිසරට කළු ඉංගිරියාවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරුන් සඳහන් කිරීමෙන් පසු පොළොන්නරුව රෝහලේ දී කළු ඉංගිරියාවක් බද්ද කර ඇති නමුත් එය ද සාර්ථක වී නොමැත.

ඔහුගේ දෙමාව්පියන් වැඩිදුරටත් පවසන්නේ ඔහුගේ ඇස පෙනීම ලබා ගැනීමට පුළුවන් අයෙකුට උපකාර කරන ලෙසයි.

+


අපරාධකරුවන්ගේ ලැයිස්තුවක් පොලිස් අපරාධ අංශ ස්ථානාධිපතිවරුන්ට

(13.01.2024 – 18:56 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා විවිධ අපරාධවලට සම්බන්ධ 42,248 කගේ ලැයිස්තුවක් පොලිස් අපරාධ අංශ ස්ථානාධිපතිවරුන් වෙත ලබා දී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

තවද, ‘යුක්තිය’ මෙහෙයුමෙන් ඉදිරි මාසය තුළ ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙසත් නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ ෴


‘යුක්තිය’ මෙහෙයුමට ජාතික පොලිස් කොමිසමෙන් මාර්ගෝපදේශ මාලාවක්

(13.01.2024 – 17:20 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා ක්‍රියාත්මක ‘යුක්තිය’ මෙහෙයුමට අදාළව ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිසියට මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ පසුගිය 11 වනදා පැවති ජාතික පොලිස් කොමිෂන් සභා රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමෙන් පසුවයි.

ඒ අනුව ජාතික පොලිස් කොමිෂන් සභාව කරුණු 03 ක් යටතේ වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිඛිතව උපදෙස් යොමු කරමින් ඒ පිළිබඳව සියලුම පොලිස් නිලධාරීන් දැනුවත් කරන ලෙසයි දන්වා ඇත්තේ.

රටේ පවතින නීතිමය රාමුව තුළ නීතියෙන් නියම කරන ලද ආකාරයට කටයුතු කරන ලෙසත් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය නොවන ලෙස කටයුතු කිරීමටත් වග බලා ගන්නා ලෙස සියලුම පොලිස් නිලධාරීන් දැනුවත් කරන ලෙසත් එම කොමිෂන් සභාව වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම නීතියට පටහැනිව කටයුතු කරන බවට සනාථ වන අවස්ථාවන්හීදී, එම නිලධාරීන්ට එරෙහිව දැඩි විනය පියවර ගැනීමට සිදු වන බවද ජාතික පොලිස් කොමිෂන් සභාව එම මාර්ගෝපදේශවල දක්වා තිබීම විශේෂත්වයක්.

+


ලංකාවේ වයසගතම පුද්ගලයා ජීවිතක්ෂයට

(13.01.2024 – 16:12 +0530 – hirunews.lk/sinhala)

ලංකාවේ වයසගතම පුද්ගලයා ලෙස වාර්තාවෙන මාගල කොට්ටච්චි නන්දියස් අවුරුදු 110 ක් ආයුවලඳා ඊයේ (12) දිනයේදී අප අතරින් සමුගත්තා.

ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය නන්දියස් ලංකාවේ ජීවත් වූ වයස්ගතම මිනිසා ලෙසින් නිල වශයෙන් පිළිගෙන තිබුණා.

මියගිය නන්දියස්ගේ අවසන් කටයුතු අද (13) දිනයේ සිදු කෙරුණා.

1914 ජුනි මාසේ 03 වැනිදා ඉපදුන නන්දියස් ගමේ හැමෝම අතර ප්‍රසිද්ධ වුනේ ලොකු අයියා නමින්.

අවුරුදු 110 ක් පුරා උපැස් යුවලක් භාවිතා නොකර අකුරු කියවන්න පුළුවන් වුණු ඔහු බොහෝම නිරෝගී දිවි පෙවෙතක් ගත කර තිබෙනවා.

මියගිය නන්දියස් දරුවන් සිව් දෙනෙකුගේ පියෙක් වන අතර, සිව් මුණුබුරන්ම දකින්නටම පින්වන්ත වූ පියතුමෙක් බවයි සඳහන් වන්නේ.

+


කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළා ගිය රැඳවියන් 28 දෙනෙකු තවමත් භාරවී නැහැ

(13.01.2024 – 16:11 +0530 – hirunews.lk/sinhala)

වැලිකන්ද – කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඊයේ (12) ඇති වූ ගැටුම අවස්ථාවේ පළා ගිය රැඳවියන් 28 දෙනෙකු තවමත් භාරවී නොමැති බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි පවසනවා.

පළා ගිය රැඳවියන් 64 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි ඔහු කියා සිටියේ.

ඊයේ (12) දිවා ආහාරය ලබා දෙන අවස්ථාවේ රැඳවියන් දෙපිරිසක් මෙම ගැටුම්කාරී තත්ත්වය හට ගත් අතර එහිදී තුවාල ලැබූ 26 දෙනෙකු තවදුරටත් වැලිකන්ද මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

+


‘හරක්කටා’ සමඟ සබඳතා පැවැත්වූ 8 දෙනෙකු රඳවා ගෙන ප්‍රශ්න කෙරේ

(13.01.2024 – 15:24 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘නදුන් චින්තක වික්‍රමරත්න’ හෙවත් ‘හරක්කටා’ සමඟ සමීප සබඳතා පැවැත් වූ බවට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අටදෙනෙකු (8) රඳවා ගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබා දී තිබෙනවා.

ඒ මේ මස 19 වනදා දක්වා රඳවා ප්‍රශ්න කරන බවයි සඳහන් වන්නේ.

වැලිගම සහ අතුරුගිරිය පොලිස් වසම්වලදී ඊයේ (12) අත්අඩංගුවට ගත් 6 දෙනෙකු සහ අද (13) උදෑසන අත්අඩංගුවට ගත් තවත් දෙදෙනෙකු (2) මෙලෙස රඳවා ගෙන ප්‍රශ්න කරනු ලබනවා ෴


සීගිරියට පැමිණෙන දේශීය සංචාරකයින්ට ගැටලුවක්

(13.01.2024 – 13:53 +0530 – hirunews.lk/sinhala)

ලෝක උරුමයක් වූ සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දේශීය සංචාරකයින්ට අසූචි මතින් එය නැරඹීමට සිදුවීම නිසා තමන් එහි පැමිණීමෙන් වැළකී සිටින බව ජනතාව පවසනවා.

පසුගිය දිනවල ඇදහැලුනු වර්ෂාවත් සමඟ දේශීය සංචාරකයින් සඳහා වෙන්ව ඇති වාහන නැවතුම්පොළ භූමියේ ඇති වැසිකිළි උතුරා ගොස් අසූචි මිශ්‍ර ජලය ප්‍රදේශය පුරා පැතිර යාම නිසා දැඩි දුගන්ධයක් පවතින බවයි ඔවුන් චෝදනා කළේ.

එම ජලය වෙළඳසැල්වලට ද ගලා බසින බව ද ජනතාව පවසනවා.

මාස ගණනක සිට පවතින මෙම තත්ත්වය සම්බන්ධයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලට මෙන්ම දඹුල්ල ප්‍රාදේශීය සභාවට දැනුම් දුන්න ද මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *