ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවට අද (09) සිට සමාගම් 06 ක්

ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවට අද (09) සිට සමාගම් 06 ක්


ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවට අද (09) සිට සමාගම් 06 ක්

(09.03.2026 – hirunews.lk)

දශක 5 කට ආසන්න ඉතිහාසයක් හිමි ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (08) මධ්‍යම රාත්‍රියෙන් අහෝසි වුණා.

ඒ, එම මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ සමාගම් 6 කට බෙදීමේ ක්‍රියාවලිය අද සිට බලාත්මක වීමත් සමගයි.

නව සමාගම් 06 න් තුනක් (03) සඳහා ප්‍රධාන විධායක නිලධාරීන් ද මේවන විට පත් කර තිබෙනවා.

විදුලි බලයෙන් සසිරිමත් දිවියක් යන දැක්මෙන්, ලංකා විදුලිබල මණ්ඩලය 1969 අංක 17 දරන පාර්ලිමේන්තු පනතින් ස්ථාපනය කරනු ලැබුවේ 1969 වසරේ නොවැම්බර් මස පළමුවැනිදා (01) යි.

මෙරට විදුලිබලය උත්පාදනය, සම්ප්‍රේෂනය, බෙදා හැරීම සහ පාරිභෝගිකයින් වෙත එය සැපයීම සඳහා වන සියලු‍ වගකීම් පැවරී තිබුණේ ‘ලංකා විදුලිබල මණ්ඩලය’ට යි.

කෙසේ වෙතත්, 2020 වසරෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදයත් සමග රාජ්‍ය ආයතනවල අධික ණය හා අලාභයට විසඳුමක් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයත රැසක් ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ද නිර්දේශ කර තිබුණා.

ඒ අනුව 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත ඒ සඳහා ඉදිරිපත් කෙරුණු අතර ඊට පාර්ශ්ව රැසකගේ විරෝධය ද එල්ල වුණා.

කෙසේ වෙතත් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු වූ අතර ඒ අනුව එය සමාගම් 06කට බෙදීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් වුණා.

මේ යටතේ විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් සඳහා අනුප්‍රාප්තික සමාගම් හයක් (06) පිහිටුවීමටයි එම ගැසට් නිවේදනය මගින් විධිවිධාන සපයා ඇත්තේ. ඒ සඳහා සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීම ද පසුගියදා සිදුවුණා. ඒ අනුව ‘ඉලෙකට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා පුද්ගලික සමාගමේ’ නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත් කර ඇත්තේ ඉංජිනේරු කේ.එස්.අයි. කුමාර යි.

‘ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා පුද්ගලික සමාගම’ සඳහා සාලිය පණ්ඩිතරත්නත්, ‘නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රොවයිඩර් පුද්ගලික සමාගම’ සඳහා ඉංජිනේරු එන්.එස්. වෙත්තසිංහත් ප්‍රධාන විධායක නිලධාරීන් ලෙස පත් කර තිබෙනවා.

මීට අමතරව ‘නැෂනල් සිස්ටම් ඔපරේටර් පුද්ගලික සමාගම’, ‘සී.ඊ.බී. එම්ප්ලෝයිස් ෆන්ඩ් පුද්ගලික සමාගම’ සහ ‘එනර්ජි වෙන්චර්ස් ලංකා පුද්ගලික සමාගම’ යන සමාගම් තුනට (03) අදාළ පත් කිරීම් ද ඉදිරියේදී සිදු කිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, විදුලිය බිඳ වැටීමකදී, නව විදුලිය සම්බන්ධතා ලබා ගැනීමකදී ඇතුළු විදුලිය සම්බන්ධ ඕනෑම ගැටලු‍වකදී පාරිභෝගික ජනතාව සාමාන්‍යයෙන් ලංකා විදුලිබල මණ්ඩලය අමතන අතර ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි වුවද අදාළ සමාගම්වලින් දැනුම්දීමක් සිදුකරන තුරු එම සේවා එලෙසම ක්‍රියාත්මක වන බවයි විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ.

+++

+++

විදුලිබල සේවකයින් අද (09) සවස 3 සිට සියලු සේවාවලින් ඉවත්වීමට තීරණයක්

(09.03.2026 – 15:38 +0530 – sinhala.adaderana.lk)

අද (09) සවස 3 සිට පැය 24 ක කාලයක් ලංකා විදුලිබල මණ්ඩලයේ සමස්ත සේවකයින් සියලු සේවාවන්ගෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, විදුලිබල මණ්ඩලයේ මළ ගම සිදුවු අද (09) වැනි දිනක රජය විසින් කිසිදු සාධනීය පිළිතුරක් හෝ සාමුහික ගිවිසුමක් විදුලි සේවකයින් වෙත ලබාදී නොමැති බවය.

සාමුහික ගිවිසුම ගැන අධ්‍යයනය කර සාකච්ඡාවක් ලබාදෙන තුරු සේවයට නොපැමිණෙන බවද ඔවුන් අවධාරණය කරයි.

බලාගාර සහ අනෙකුත් මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යෑමට තීරණය කර ඇතැයි ද පැවසු ප්‍රභාත් ප්‍රියන්ත මහතා, බිඳවැටීම්, නඩත්තු කටයුතු සියල්ල නතර කරන බවත් පැය 24 කාලය තුළ කොළඹ ජාතික රෝහල, මහනුවර සහ කරාපිටිය රෝහල් මෙන්ම යුද හමුදා මුලස්ථානයට බාධාවකින් තොරව විදුලිය ලබාදීමට කටයුතු කරන බවත් කියා සිටියේය.

වෘත්තීය සමිති 25 ක් එක්ව මෙම තීරණයට එළැඹ ඇති අතර, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආණ්ඩුව දණගැස්වීමක් නොවන බවත් ප්‍රතිව්‍යුහගතකරණයට එකඟවුවත් විදුලිබල සේවකයාට අසාධාරණයක් වන ක්‍රියාමාර්ගයකට කිසිසේත්ම එකඟ නොවන බවත් ‘ලංකා විදුලිබල මණ්ඩලයේ ජාතික සේවක සංගමයේ’ ලේකම්, අජිත් දේවප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය ෴

+


ලන්ඩන් පැරිස් ප්‍රින්සිපල් තෑගිත් අරන් තක්සලාවට ! (07.03.2026)

+


විදේශ ඇමති විජිත කදිරගාමර් ඔක්කොම විස්තරේ හරියටම කියනවා (07.03.2026)

+


විජිත, ජයශංකර් හමුවේ රට පාවා දුන්නාද? (08.03.2026)

+


නිලධාරීන් ඉදිරියේ ඇමතිලාට වෙන දේ | Sri Lanka Cricket Board Crisis (08.03.2026)

+


විදේශගත වීමට සේවා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ අය සොයා විමර්ශන

(09.03.2026 – hirunews.lk)

විදේශගත වීමට සේවා ලබාදෙන බව පවසා අනවසරයෙන් පෞද්ගලික වෛද්‍යවරයෙකුගේ බැංකු ගිණුම් වෙත ඇතුලු වී රුපියල් 99,76,000/= ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය අද (09) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දන්වා සිටියා.

ත්‍රිකුණාමල ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍යවරයෙකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකයට කරන ලද පැමිණිල්ලකට අදාල කරුණු සලකා බැලීමෙන් අනතුරු මෙලෙස නියෝග කරනු ලැබුවා.

සිද්ධියට අදාල බී-වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ විදේශගත වීමට සේවා ලබාදෙන බව පවසා අනවසරයෙන් බැංකු වෙත ඇතුලු වී රුපියල් 99,76,000/= මුදලක් වංචා කර ඇති බවයි.

මෙම සිද්ධියට අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කරන බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා ෴


පින්වත්ත දුම්රිය පාලම මත මාරක අනතුරක් – විදෙස් ජාතිකයෙකුට දිවි අහිමි වෙයි

(09.03.2026 – 18:06 +0530 – sinhala.adaderana.lk)

අද (09) සවස වාද්දුව දුම්රිය ස්ථානයත් තල්පිටිය පින්වත්ත දුම්රිය ස්ථානයත් අතර පිහිටි දුම්රිය පාලම් මතදී විදෙස් සංචාරකයින් දෙදෙනෙකු (2) සහ මෙරට පුද්ගලයින් තිදෙනෙකු (3) අනතුරට ලක්වීමෙන් එක් (1) විදෙස් ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, එංගලන්ත ජාතික වයස අවුරුදු 82 ක පමණ පුද්ගලයෙකු බව පින්වත්ත පොලීසිය පවසයි.

සංචාරකයින් දෙදෙනා (2) සමඟ මෙරට පුද්ගලයින් දෙදෙනා (2) සහ කුඩා දරුවෙකු (1) එම ප්‍රදේශය ආසන්නයේ වෙරළ තීරයට ගොස් එම පාලම මතට ගොස් සිරි නරඹමින් සිට ඇත.

ඔවුන් සිතා ඇත්තේ එම පාලම භාවිත නොකරන පාලමක් බවටය.

කෙසේවෙතත් එම අවස්ථාවේ දී බෙලිඅත්ත සිට නුවර දක්වා ධාවනය වන ශීඝ්‍රග්‍රාමී දුම්රිය එම මාර්ගයෙන් ගමන් කිරීමේ දී කලබලයට පත් මෙම පිරිස දුම්රිය මාර්ගයෙන් ඉවත්වීමට යෑමේ දී මෙලෙස අනතුරට ලක්ව තිබේ.

එහිදී විදෙස් ජාතිකයා දුම්රියේ ගැටී පින්වත්ත ඇළට වැටී ඇති අතර, එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.

අනෙක් පිරිස දුම්රිය පාලමෙන් පින්වත්ත ඇළට පැන ජීවිතය බේරාගෙන තිබේ.

එහෙත් ඒ අතරින් විදෙස් ජාතික කාන්තාව සහ තවත් කුඩා දරුවෙකු, පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.

+


ජල ටැංකියක් කඩා වැටී සිසුන් පස් දෙනෙක් (5) රෝහලේ

(09.03.2026 – hirunews.lk)

ගාල්ල, බද්දේගම සාන්ත අන්තෝනි පාසලේ ජල ටැංකියක් කඩාවැටී සිසුන් පස් දෙනෙකු (5) රෝහල් ගතකර තිබෙනවා.

තුවාල ලැබූ සිසුන් පස්දෙනාම (5) බද්දෙගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉන් තිදෙනෙකු (3) කරාපිටිය රෝහල වෙත මාරුකර යැවුණු බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

6 සහ 7 යන ශ්‍රේණිවල ඉගෙනුම ලබන මොවුන් ජල ටැංකිය අසල සෙල්ලම් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබෙන බවයි වාර්තා වන්නේ ෴

+


ඉන්දියාව කරේ අසික්කිතම වැඩක් | තමන්ගේ රටට එන්න කියලා ඉරාන නැව ගැන ඉන්දියාව ඊශ්‍රාලයට ඔත්තු දුන්නා (09.03.2026)

+

කාලෙකට පස්සේ දොලවත්ත ආණ්ඩුවේ හොද කියයි (09.03.2026)

+


රනිල් – නාමල් – වජිර ඇතුලු ප්‍රබලයෝ ගල් අඟුරු වංචාවට විරුද්ධව එක්වෙති (09.03.2026)

+


ඇමරිකන් ටෝපිඩෝවෙන් ගිලුණු නැවෙන් හික්කඩුවට ගහගෙන ආ තෙල් තොගය (09.03.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *