දොස්තරලාට වගේ රුපියල් 35,000 ක දීමනාවක් අපටත් දියව්.. – කුමුදේශ්ලා වහාම වර්ජන අරඹයි..

දොස්තරලාට වගේ රුපියල් 35,000 ක දීමනාවක් අපටත් දියව්.. – කුමුදේශ්ලා වහාම වර්ජන අරඹයි..


දොස්තරලාට වගේ රුපියල් 35,000 ක දීමනාවක් අපටත් දියව්.. – කුමුදේශ්ලා වහාම වර්ජන අරඹයි..

(09.01.2024 – 08:40 +0530 – lankacnews.com)

පරිපුරක වෛද්‍ය වෘත්තීයවේදීන් අද (09) පෙරවරු 08:00 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර බව පරිපූරක වෛද්‍ය වෘත්තීය වේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය.

ඒ රුපියල් 35,000 ක දීමනාවක් ලබා දෙන්නැයි ඉල්ලමින් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබේ.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට රජයේ රෝහල්වල රසායනාගාර සේවකයින්, ඖෂධවේදීන්, විකිරණවේදීන් ඇතුළු වෘත්තීකයින් සම්බන්ධ වී තිබේ.

රෝගීන්ට සිදුවන අපහසුතා සැලකිල්ලට ගෙන වකුගඩු රෝහල්, පිළිකා රෝහල්, මාතෘ රෝහල් සහ ළමා රෝහල් ඇතුළු අත්‍යවශ්‍ය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව පැවසීය.

මේ අතර වෛද්‍යවරුන්ගේ සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දීමනා ඉහළ නැංවීමට ඊයේ (08) කැබිනට් අනුමැතිය හිමිවිය.

රුපියල් 35,000 ක් පැවති වෛද්‍යවරුන්ගේ රාජකාරි බාධා, පැමිණ සිටීමේ සහ ප්‍රවාහන දීමනාව රුපියල් 70,000 ක් දක්වා වැඩි කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යන දීමනාව 25% කින් ඉහළ දමා තිබේ. එම දීමනාව ජනවාරි වැටුප සමග ලබාදීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇතිබව ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් පවසයි ෴


බලංගොඩ අළුයම ඉංග්‍රීසි පන්තියට වෙච්ච දෙයක් | ආත්මාර්ථකාමී නව විදුහල්පති ළමයින්ගෙන් පලිගනී (09.01.2024)

+


බෝධිසතාගේ පැටිකිරිය එළියට | සමන්තබද්දරයගේ බණ අහලා පිස්සු හැදිලා | කස්සප හිමි කිව්ව කතාව (09.01.2024)

++++++++

09.01.2024

+++++++++

(09.01.2024 – 11:48 +0530 – hirunews.lk/sinhala)

‘අවලෝකිතේෂ්වර බෝධිසත්ව’ නමින් බුදු සසුනට හානි වන ලෙස හැසිරෙන ‘මහින්ද කොඩිතුවක්කු’ නම් පුද්ගලයෙක් සම්බන්දයෙන් අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමි විසින් අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

2024 ජනවාරි 01 වෙනිදා විදේශයක සිට පැමිණි මොහු විසින් නොයෙක් ස්ථානවලට යමින් එම ස්ථානවල සිටින ජනතාවගේ වන්දනාවට ලක්වන ආකාරයේ වීඩියෝ පට මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ ආගමික පැමිණිලි අංශය හරහා පරීක්ෂා කොට නීතිය ක්‍රියාත්මක කිරීමටත්, අධිකරණ නියෝගයක් හරහා මොහුට අවශ්‍ය මානසික ප්‍රථිකාර සදහා මානසික රෝහලටකට යොමු කරන ලෙසත් ඉල්ලා සිටිමිනුයි අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමි විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවේ ෴


බදුල්ල-කොළඹ ප්‍රධාන මාර්ගය ‘හතේ කණුව’ ප්‍රදේශයෙන් අවහිර වෙයි

(09.01.2024 – 23:26 +0530 – hirunews.lk/sinhala)

නායයාමක් හේතුවෙන් බදුල්ල-කොළඹ ප්‍රධාන මාර්ගය හාලිඇල උඩුවර හතේ කණුව ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා.

මේ හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන්ම නතරවී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මාර්ගයට ඉහළින් නායගිය පස්කන්දක් මාර්ගය හරහා ගොස් බදුලු ඔයට වැටීමෙන් එම ස්ථානය මුළුමනින්ම අවහිර වී ඇත ෴


බලහත්කාරයෙන් සේවය ලබාගැනීම නිසා ජෝර්දානයේ ලාංකිකයන් විරෝධතාවයක

(09.01.2024 – 22:37 +0530 – hirunews.lk/sinhala)

වීසා කාලසීමාව අවසන්ව තිබියදීත් බලහත්කාරයෙන් සේවය ලබාගැනීමට විරෝධය පළ කරමින් ජෝර්දානයේ ලාංකික ශ්‍රමිකයින් පිරිසක් සිදුකළ විරෝධතාවයකදී එරට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවා හැර තිබෙනවා.

පොලිසිය සිදුකළ ප්‍රහාරවලින් සිව්දෙනෙකු (4) ද තුවාල ලබා රෝහල්ගත කළ බවයි විරෝධතාවයට එක් වූ පිරිස් සඳහන් කළේ.

ඔවුන්ගේ ගැටලුවලට මෙරට රජයෙන් හෝ තානාපති කාර්යාලයෙන් මේ දක්වාත් විසඳුම් ලැබී නොමැති පසුබිමක ඔවුන් ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු කිරීම සඳහා විරෝධතාවයක නිරත වූ බවයි වාර්තා වන්නේ.

මෙම විරෝධතාවලින් පසුව පිරිමි පුද්ගලයින්ව නේවාසිකාගාරවලින් ද ඉවත් කර ඇති අතර කාන්තාවන් නේවාසිකාගාරවලින් ඉවත් කිරීමට සූදානම් වන බවට සඳහන්.

+


TIN අංකය නිකුත් කිරීමේ වැඩපිළිවෙළ තවදුරටත් පහසු කෙරේ

(09.01.2024 – 22:07 +0530 – hirunews.lk/sinhala)

‘බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය’ හෙවත් TIN අංකය නිකුත් කිරීමේ වැඩපිළිවෙළ තවදුරටත් පහසු කිරීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා.

ඒ යටතේ රාජ්‍ය බැංකු, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැනි ස්ථානවලද TIN අංකය ලබාදීමේ කවුළු විවෘත කිරීමට ඇති හැකියාව සොයාබලන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කර ඇත්තේ.

+


තියුණු ආයුධයකින් පහරදීම නිසා කාන්තාවක් ජීවිතක්ෂයට

(09.01.2024 – 19:56 +0530 – hirunews.lk/sinhala)

කහතුඩුව අධිවේගී පිවිසුම අසලදී මෝටර් රථයකින් පැමිණි අයෙකු තියුණු ආයුධයකින් කළ පහරදීමකින් සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවිකාවක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඇය 41 හැවිරිදි කාන්තාවක් බවයි.

+


භාණ්ඩයක් හෝ සේවාවක් සැපයූ පමණින් වැට් අයකිරීමට අයිතියක් නැහැ

(09.01.2024 – 19:30 +0530 – hirunews.lk/sinhala)

භාණ්ඩයක් හෝ සේවාවක් සැපයූ පමණින් පාරිභෝගිකයින්ගෙන් ‘එකතු කළ අගය මත බද්ද’ හෙවත් ‘වැට් බද්ද’ අයකිරීමේ අයිතියක් නොමැති බව මුදල් අමාත්‍යංශය පවසනවා.

එම අමාත්‍යංශයේ අද (09) පැවති සාකච්ඡාවකට එක්වෙමින් මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ බදු උපදේශක තනූජා පෙරේරා මේ බව සඳහන් කළා.

වසරකට රුපියල් මිලියන 80 ක භාණ්ඩ හෝ සේවා සපයන්නේ නම් වැට් බදු සඳහා ලියාපදිංචි විය යුතු බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර බදු පැනවූ බව සඳහන් කරමින් ඇතැම් වෙළදුන් සහ නිෂ්පාදකයින් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අද (09) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන කරුණු පැහැදිළි කළා ෴


යාල ජාතික වනෝද්‍යානයේ ප්‍රධාන පිවිසුම වැසේ

(09.01.2024 – 18:51 +0530 – hirunews.lk/sinhala)

යාල ජාතික වනෝද්‍යානයේ ප්‍රධාන පිවිසුම තාවකාලිකව වසා දැමීමට එම වනෝද්‍යානයේ පාලනාධිකාරිය මඟින් තීරණය කර තිබෙනවා.

මේ සඳහා ප්‍රදේශයේ පවතින ගංවතුර තත්ත්වය හේතු වී ඇති බවයි වාර්තා වන්නේ ෴


චමින්ද විජේසිරිගේ මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී ඇති බව මැතිවරණ කොමිසමට දැනුම්දෙයි

(09.01.2024 – 16:59 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ‘චමින්ද විජේසිරි’ ඉල්ලා අස්වීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරයා මැතිවරණ කොමිසමට දන්වා තිබෙනවා.

පාර්ල්මේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි අද (09) රැස් වූ පාර්ල්මේන්තුවේ දී කථානායකවරයා වෙත සිය අස්වීමේ ලිපිය ලබා දුන්නා.

ඔහුගේ මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුව සඳහා නයන වාසලතිලක පත් කරන බව සමගි ජනබලවේගයේ ආරංචි මාර්ග පවසනවා ෴

++++++++

+


කොකේන් කිලෝග්‍රෑම් 1 ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට

(09.01.2024 – 16:27 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවත්ත – ෆෙඩ්‍රිකා පාරේ පිහිටි මහල් නිවාස සංකීර්ණයකින් රුපියල් මිලියන 25 කට අධික වටිනාකමකින් යුත් කොකේන් කිලෝග්‍රෑම් එකකට (1) ආසන්න ප්‍රමාණයක් අද (09) සොයාගෙන තිබෙනවා.

වැල්ලවත්ත පොලිසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් රාජගිරිය ගුණසිංහපුර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු මීට පෙර එම මහල් නිවාස සංකීර්ණයේ නිවසක් කුලී පදනම මත ලබාගෙන සිට ඇති අතර, පොලිසියට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකර තිබුණේ ෴


ජනප්‍රිය රංගන ශිල්පිනියකට හදි කරන්න හදලා තියෙන්නේ පොලිස් නිලධාරියෙක්

(09.01.2024 – 15:41 +0530 – hirunews.lk/sinhala)

රංගන ශිල්පිනියකට අතවර කිරීමට උත්සහා කළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පොලිස් පරීක්ෂකවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සේවයේ නිරත පොලිස් පරීක්ෂකවරයෙක් බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

සැකකාර පොලිස් පරීක්ෂකවරයා 42 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් වන අතර ඊයේ (08) රාත්‍රියේ සැකකාර පොලිස් පරීක්ෂකවරයා විසින් පදවාගෙන ගිය පෞද්ගලික කුලී ත්‍රිරෝද රථයක මෙම රංගන ශිල්පිනිය ගමන්කර තිබෙනවා.

එහිදී පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදී සැකකරු ත්‍රිරෝද රථය නවතා මෙලෙස එම රංගන ශිල්පිනිය අතවරයට ලක් කිරීමට උත්සහා කළ ඇති බවයි විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ රංගන ශිල්පිනිය පිළියන්දල පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී සැකකාර පොලිස් පරීක්ෂකවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන අද (09) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා ෴


තවත් සෞඛ්‍ය වෘත්තිය සමිති 10 ක් හෙට (10) පැය 48 ක වර්ජනයක

(09.01.2024 – 14:25 +0530 – hirunews.lk/sinhala)

රුපියල් 35,000 ක දීමනාවක් ඉල්ලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඇතුළු අතුරු වෛද්‍ය වෘත්තිය සමිති 10 ක සාමාජිකයන් හෙට (10) පෙරවරු 8 සිට පැය 48 ක වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ‘අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ’ සඳහන් කළේ වෛද්‍යවරුන් වෙනුවෙන් රුපියල් 35,000 ක දීමනා වැඩි කිරීමට ගත් අමාත්‍ය මණ්ඩල තීරණය අනුව තමන්ට ද එම මුදල ලබාදිය යුතු බවයි.

එසේ නොකරන්නේ නම් සියලු සෞඛ්‍ය වෘත්තියවේදීන් ඒකාබද්ධ කරගත් අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ‘අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ’ සඳහන් කළා ෴

+++++++

පරිපූරක වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා

(09.01.2024 – 14:15 +0530 – hirunews.lk/sinhala)

පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් දියත් කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් කොළඹ, මහනුවර, කලුතර, අනුරාධපුර ඇතුළු දිවයින පුරා රෝහල්වෙත ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

වෛද්‍යවරුන්ගේ රාජකාරි බාධා, පැමිණ සිටීමේ දීමනා හා ප්‍රවාහන දීමනාව රුපියල් 35,000 සිට රුපියල් 70,000 ක් දක්වා ඉහළ දැමීමට ඊයේ (08) අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන් අතර, එම දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලා පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් අද (09) උදෑසන 8 සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලැබුවා.

ඒ සඳහා හෙද සංගම්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සියලු අතුරු වෛද්‍ය සේවා සංගම්ද එක්ව සිටිනවා.

මේ හේතුවෙන් දිවයින පුරා රෝහල්වල අද (09) දිනයේ ඖෂධ සැපයීම්, නිකුත් කිරීම්, බෙදාහැරීම් ඇණහිට ඇති අතර රසායනාගාර සහ හදිසි පරීක්ෂණ ද අත්හිටුවා තිබෙනවා.

එමෙන්ම සී.ටී, එම්.ආර්.අයි , පෙට් ආදි විකිරණ පරීක්ෂණද අද (09) දිනයේ දී සිදුනොවන බවයි පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය සදහන් කළේ.

ඊට අමතරව විකිරණ, භෞතික, වෘත්තීය චිකිත්සක කටයුතු ද දිවයින පුරා රෝහල්වල අද (09) දිනයේ සිදු නොවනවා.

කෙසේ වෙතත් දිවයින පුරා පිළිකා, මාතෘ, ළමා සහ වකුගඩු රෝහල්වල මෙන්ම ජාතික මානසික විද්‍යායතනයේ මෙම සංකේත වර්ජනය ක්‍රියාත්මක නොවන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය ප්‍රකාශ කරනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *