BMICH හි ව්‍යාජ වාහන අලෙවි කාර්යාලයක් පවත්වාගෙන ගිය පුද්ගලයාගේ අනන්‍යතාව හෙළිවෙයි

BMICH හි ව්‍යාජ වාහන අලෙවි කාර්යාලයක් පවත්වාගෙන ගිය පුද්ගලයාගේ අනන්‍යතාව හෙළිවෙයි


BMICH හි ව්‍යාජ වාහන අලෙවි කාර්යාලයක් පවත්වාගෙන ගිය පුද්ගලයාගේ අනන්‍යතාව හෙළිවෙයි

(04.01.2024 – gossiplankanews.com)

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව තුළ වාහන අලෙවි කර දෙන කාර්යාලයක් පවත්වාගෙන යමින් රුපියල් හාර කෝටි පනස්පන් ලක්ෂයක (4,55,00,000) මුදලක් රැගෙන පලා ගිය සැකකරු සිංහල නමකින් පෙනී සිටි මුස්ලිම් පුද්ගලයකු බවට අනාවරණය වී ඇතැයි කුරුඳුවත්ත පොලීසිය කියයි.

ඔහු ‘රත්නායක මුදියන්සේලාගේ අසංක රත්නායක’ ගලගෙදර, පුස්සැල්ලාව, බදුල්ල යනුවෙන් ව්‍යාජ නමකින් සහ ලිපිනයකින් පෙනී සිට ඇති බවද පොලීසිය සඳහන් කරයි. සුඛෝපභෝගී ජීප් රථයක් සහ සුඛෝභෝගී මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා පැමිණි පුද්ගලයන් දෙදෙනකුගේ (2) මුදල් එලෙස වංචා කර රැගෙන ගොස් ඇත.

ඉකුත් මස 20 දා පානදුර සහ මාතර ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු (2) ඔවුන්ගේ ජීප් රථය සහ මෝටර් රථය කාර්යාලයේ දැනුම් දීම මත ගැනුම්කරුවකුට විකිණීම සදහා එම වාහන ද සමග පැමිණ තිබේ.

ගැනුම්කරුවත් වාහන දෙක (2) මිලදී ගැනීම සදහා කැමැත්ත පළකර, ජීප් රථය මිලදී ගැනීම සදහා රුපියල් තුන්කෝටි තිස් ලක්ෂයක (3,30,00,000) මුදලකුත්, මෝටර් රථය මිලදී ගැනීම සඳහා එක්කෝටි විසිපන් ලක්ෂයක (1,25,00,000) මුදලකුත් කාර්යාලය පවත්වාගෙන ගිය සැකකරු වෙත ලබා දී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණ.

ලිපි ලේඛන සකස් කරන තෙක් රැඳී සිටින ලෙස විකුණුම්කරුවන්ට සහ ගැනුම්කරුවන්ට පවසා තිබූ සැකකාර පුද්ගලයා එකී කාලය තුළදී කාර්යාලයේ පිටුපස දොරින් මුදල් රැගෙන පලා ගොස් ඇත.

සැකකරු කුලී පදනම මත වාහනයක් ගෙන්වාගෙන එහි නැගී තුන්මුල්ල හන්දිය තෙක් ගොස් එතැන් සිට ත්‍රීරෝද රථයකින් ගමන් කර ඇති බව සීසීටීවී දර්ශනවලින් මේ වන විට අනාවරණය වී ඇත.

සැකකරු එම කාර්යාලය ලබාගෙන ඇත්තේ නිසි ක්‍රියා පටිපාටියකින් තොරව බවටද අනාවරණය වීමෙන් අනතුරුව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ වග කිව යුතු නිලධාරියකු සේවයෙන් පහකර ඇති බවද පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

අදාළ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් එම (හොර) ආයතනයේ සේවකයන් තිදෙනෙකු (3) රිමාන්ඩ් භාරයට පත් කර ඇති අතර, එම කාර්යාලයේ සේවක සේවිකාවන්ගෙන් මෙන්ම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පාලනාධිකාරියේ කීප දෙනෙකුගෙත් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය.

බණ්ඩාරගම – බිමල් ශ්‍යාමන් ජයසිංහ


සිමෙන්ති මිලත් ඉහළට

(05.01.2024 – 17:11 +0530 – hirunews.lk/sinhala)

50Kg ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150 කින් ඉහළ දැමූ බව දේශීය සිමෙන්ති නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ අනුව සිමෙන්ති කොට්ටයක් රුපියල් 2,300 සිට 2,450 දක්වා ඉහළ යන බවයි.

කෙසේ වෙතත් සිමෙන්ති කොට්ටයක සඳහන් මිලට අඩුවෙන් ඒවා වෙළඳසැල්වලින් ලබා ගත හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා ෴


රන් පවුම් 16 ක් හා රුපියල් ලක්ෂ 5.5 ක් කොල්ල කෑ පිරිසක් අත්අඩංගුවට

(05.01.2024 – 16:54 +0530 – hirunews.lk/sinhala)

යාපනය, වැල්වෙට්ටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි පොලිස් නිලධාරියෙකුගේ නිවසක් බිඳ රත්තරන් පවුම් 16 ක් සමඟ රුපියල් ලක්ෂ 5.5ක පමණ මුදලක් මංකොල්ලකන ලද සැකකරුවන් 07 දෙනෙකු වැල්වෙට්ටිතුරේ පොලිසිය විසින් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මංකොල්ලය මෙහෙයවා ඇත්තේ වයස අවුරුදු 19 ක තරුණයෙකු වන අතර, ඔහු යාපනය, කන්කසන්තුරේ ප්‍රදේශයේ පදිංචි දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වූ පුද්ගලයෙකු බවට පොලිසිය සඳහන් කළ බවයි අප වාර්තාකරු පවසන්නේ.

අත්අඩංගුවට ගත් ඉතිරි සැකකරුවන් 06 දෙනා වයස 22 හා 27 අතර වයස් කාණ්ඩ වලට අයත් යාපනය, මන්නාරම හා මුලතිව් යන පළාත්වල පදිංචිකරුවන්.

වැල්වෙට්ටිතුරෙයි පොලිසිය සඳහන් කළේ, මෙම මංකොල්ල කණ්ඩායම යාපනයේ සංවිධානාත්මක මංකොල්ල කල්ලියක් බවට පත්ව ඇති බවත්, ඔවුන් විසින් මෑතකදී යාපනයේ සිදු වූ මංකොල්ලකෑම් රැසකට සම්බන්ධව ඇති බවට තොරතුරු අනාවරණය කරගැනීමට සිදුකළ විමර්ශනවලින් අනතුරුව සමත් වූ බවයි ෴


හෙට (06) සහ අනිද්දා (07) වැල්ලම්පිටියේ සිට කොටිකාවත්ත දක්වා මාර්ගය වැසේ

(05.01.2024 – 16:08 +0530 – hirunews.lk/sinhala)

විශේෂ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (06) සහ අනිද්දා (07) වැල්ලම්පිටියේ සිට කොටිකාවත්ත දක්වා මාර්ගය වසා තැබෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව හෙට (06) රාත්‍රී 10 සිට අනිද්දා (07) පස්වරු 05 දක්වා එම මාර්ගය වසා තැබෙනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ඉල්ලා සිටින්නේ.

බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක නැරඹුම් මැදිරිය අද (05) පස්වරුවේ ග්‍රේට්වෙස්ටන් හා නානුඔය දුම්රිය ස්ථානය අතර පීලි පැනීමකට ලක්වීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතිනවා ෴


සිසු හෙද අයදුම්කරුවන් වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

(05.01.2024 – 15:26 +0530 – hirunews.lk/sinhala)

සිසු හෙද පුහුණුවට තෝරාගැනීමට මූලික සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණවලට අදාළ සියලු තොරතුරු මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් පිටුවේ පළ කර තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන දිනය, ස්ථානය සහ ඊට අදාළ සියලු තොරතුරු ලබාගන්නා ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශය අයදුම්කරුවන්ට දැනුම් දෙන්නේ.

2019 – 2020 උසස් පෙළ විද්‍යා සහ ගණිත අංශ විෂය ධාරාවලින් සමත්වී සිසු හෙද පුහුණුව සඳහා අයදුම් කර තිබූ සංඛ්‍යාව 4,000 කට අධික බවයි වාර්තා වන්නේ.

ඒ අතරින් සිසු හෙද පුහුණුවට තෝරා ගැනීම සඳහා මූලික සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණ ලබන 13 වනදා සිට පෙබරවාරි 18 වනදා දක්වා පැවැත්වීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත්තේ ෴


ළදරුවන්ට අතිරේක සරම්ප එන්නත් කිරීමේ වැඩසටහන හෙට (06)

(05.01.2024 – 15:24 +0530 – hirunews.lk/sinhala)

තෝරාගත් දිස්ත්‍රික්ක 09 ක අමතර සරම්ප එන්නත් මාත්‍රා ලබා දීමේ වැඩසටහන හෙට (06) සිට ආරම්භ වනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කළේ අදාළ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවල මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව වයස මාස 06 ත් 09 ත් අතර කුඩා දරුවන් ඒ සඳහා යොමු කරන ලෙසයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ ෴


ඉන්දීය රියැලිටි කිරුළ දිනු කිල්මිෂා ජනපති හමුවෙයි

(05.01.2024 – 15:17 +0530 – hirunews.lk/sinhala)

පසුගියදා ඉන්දියාවේ Zee Tamil නාලිකාවේ විකාශය වූ තරගාවලියකින් කිරුළ හිමි කරගත් ‘කිල්මිෂා උදයශීලන්’ දියණිය යාපනයේ සිව්දින නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට පැමිණ තිබුණා.

එම අවස්ථාවේදී ඇය ජනපති ඉදිරියේ ඇයගේ දක්ෂතාවය යළි විදහා පෑවා.

ඇය ජනපති හමුවට මෙලෙස පැමිණ තිබුණේ සිය පවුලේ සාමාජිකයන් ද සමඟයි.

ඉන්දීය රියැලිටි තරගයක ජය හිමිකරගනිමින් රටට ලබාදුන් කීර්තිය අගය කළ ජනපතිවරයා, ඇයගේ ඉදිරි අධ්‍යාපන මෙන්ම සංගීත දිවිය ද සාර්ථක කර ගැනීමට ආශිර්වාදය පළ කර තිබුණා.

+


රුවන් ප්‍රසන්න ගුණරත්න නැමති මානසික රෝගියා සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කළ බව CID අධිකරණයට දැනුම් දෙයි

(05.01.2024 – 13:59 +0530 – hirunews.lk/sinhala ඇසුරින්)

ආගමික දේශන මගින් දිවි නසාගැනීමට පෙළඹවීම් කළ බව කියන සියදිවි හානි කරගත් රුවන් ප්‍රසන්න ගුණරත්න නැමති මානසික රෝගියා සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (05) අධිකරණයට දැනුම් දුන්නා.

රුවන් ප්‍රසන්න ගුණරත්න නැමති මිනීමරු මානසික රෝගියා

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ මෙම පුද්ගලයාට මුදල් ලැබුණු ආකාරය සහ එම මුදල් වියදම් කළ ආකාරය පිළිබඳව විමර්ශනය කරන බවයි.

ඒ සඳහා නියෝගයක්ද ලබාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එහි අරමුණ වී ඇත්තේ වෙනත් සිවිල් සංවිධානවලින් ඔහුට මුදල් ලැබී ඇත්දැයි සොයාබැලීමයි.

රුවන් ප්‍රසන්න ගුණරත්න නැමති මානසික රෝගියා සහ ඔහුගේ බිරිඳ සහ දරු තුන්දෙනා (3) සියදිවි හානිකරගත් අතර, පසුව ඔහුගේ දේශනවලට සම්බන්ධ වූ තවත් දෙදෙනෙකු (2) වස පානය කර මියගොස් තිබුණා.

එමෙන්ම ඊයේ (04) පස්වරුවේ වාර්තාවුණේ මොහුගේ දේශනවලට සහභාගි වූ තවත් අයෙකු (1) වස පානය කර දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කළ බවයි ෴

+++++++++

+


මෙරට SPA තුළ තරුණ තරුණියන් 50,000 ක් සේවයේ

(05.01.2024 – 10:55 +0530 – hirunews.lk/sinhala)

SPA නමින් පවත්වා ගෙන යන සම්භාහන මධ්‍යස්ථාන තුළ මෙරට තරුණ තරුණියන් 50,000 ක් පමණ සේවය කරන බව අනාවරණය වී තිබෙනවා.

මේ පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ ඊයේ (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවේ දී.

ආයුර්වේද රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි පවස්න්නේ SPA මධ්‍යස්ථාන 6,000 ක් පමණ රටපුරා පවතින බවයි.

නමුත් එම මධ්‍යස්ථාන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා ෴


ගෙවුණු පැය 24 තුළ සැකකරුවන් 1,184 ක් අත්අඩංගුවට

(05.01.2024 – 10:04 +0530 – hirunews.lk/sinhala)

ගත වූ පැය 24 ක කාලය තුළ සිදුකරන ලද යුක්තිය විශේෂ මෙහෙයුමේදී සැකකරුවන් 1,184 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව පහත මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ :

  • හෙරොයින් 337g
  • අයිස් 242g
  • ගංජා 6.6kg
  • මත්පෙති 1221
  • කුෂ් 1.226kg

අලුත් වර්ගයේ දුරකථනයක් බව සිතා කොන්දොස්තරගේ ටිකට් මැෂිම අරන් ගිහින්

(05.01.2024 – 09:43 +0530 – hirunews.lk/sinhala)

ලංගම බස් රථයක් තුළදී අලුත් වර්ගයේ ජංගම දුරකතනයක් යැයි සිතා කොන්දොස්තරවරයාගේ ටිකට් මැෂිමක් සොරකම් කරන ලද කාන්තාවක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇප මත මුදාහැර තිබෙනවා.

අදාළ 71 හැවිරිදි කාන්තාව රුපියල් ලක්ෂ දෙකක (2) ශරීර ඇප මත මුදා හැරීමටයි ගාල්ල මහේස්ත්‍රාත් ලක්මිණී විදානගමගේ නියෝග කර ඇත්තේ.

ඇය පසුගිය දිනෙක නිවස බලා යාමට ලංගම බස් රථයකට ගොඩ වී ඇති අතර එහිදී කොන්දොස්තරගේ ටිකට් මැෂිම අසුනක් මත තිබෙනු දැක තිබෙනවා.

මෙම අවස්ථාවේදී බස් රථය තුළද සිට ඇත්තේ මගීන් කිහිපදෙනෙක් පමණක් බවයි වාර්තා වන්නේ.

බස් රථයට ගොඩ වූ කාන්තාව තමා වාඩි වූ අසුනට යාබද අසුනේ තිබු ටිකට් මැෂිම සොරාගෙන ගොස් ඇති බවට සඳහන්.

පසුව ඇය දුරකථනයෙන් ඇමතුම් ගැනීම සඳහා අංක ඔබා ඇති අතර ඇමතුම් වෙනුවට බස් ටිකට්පත් පිටවී ඇති බවයි පැවසෙන්නේ.

මෙය දුරකථනයක් නොව ටිකට්පත් මැෂිමක් බව දැනගත් මෙම කාන්තාව අදාළ ටිකට් මැෂිම ගාල්ල බස් නැවතුම්පොළේ නිලධාරියෙකුට භාර දී තිබෙනවා.

එහිදී ඇයව අත්අඩංගුවට ගත් ඉමදුව පොලිසිය විසින් ඇයව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවයි සඳහන් වන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *