කහවත්තේ 71 හැවිරිදි කාන්තාවගේ ඝාතනය ගැන අනාවරණයක්

කහවත්තේ 71 හැවිරිදි කාන්තාවගේ ඝාතනය ගැන අනාවරණයක්


කහවත්තේ 71 හැවිරිදි කාන්තාවගේ ඝාතනය ගැන අනාවරණයක්

(29.12.2023 – 18:28 +0530 – sinhala.adaderana.lk)

රත්නපුර – කහවත්ත – වැල්ලදුර ප්‍රදේශයේ නිවසක දී තියුණු ආයුධයකින් පහරදී තුන්දරු (3) මවක ඝාතනය කිරීමට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ලබන 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි මිය ගිය කාන්තාවගේ දියණියද නිදහස් කෙරුණා.

71 හැවිරිදි මෙම මව ඝාතනය සම්බන්ධව අත්අඩංගුවට ගත් 55 හැවිරිදි පෙදරේරුවෙකු වන සැකකරු අද (29) පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබුණා.

එහිදී පොලිසිය දැනුම් දී තිබුණේ මෙම ඝාතනයට මීට පෙර අත්අඩංගුවට ගත් මිය ගිය කාන්තාවගේ දියණිය ඊට සම්බන්ධ නොමැති බවයි. ඒ අනුව ඇය නිදහස් කරන ලෙස පොලිසියට කළ ඉල්ලීමකට අනුව පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා ඇයව නිදහස් කර තිබුණා.

පොලිසිය එහිදී අධිකරණයට සඳහන් කර ඇත්තේ විමර්ශනවලදී අසල්වාසීන් ලබා දුන් ප්‍රකාශ සහ කොටකෙතන ඝාතන රැල්ල මෙන් ප්‍රදේශයේ නොසන්සුන් තත්ත්වයක් ඇති වීමට ඉඩ තිබීම හේතුවෙන් තරුණියගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන ඇය අත්අඩංගුවට ගත් බවයි.

මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සැකකරු හිටපු හමුදා සෙබලෙකු ද වන අතර පසුව ඔහු පෙදරේරුවෙකු ලෙස රැකියාවේ නිරත වී ඇති බව සඳහන්.

සැකකරු මියගිය කාන්තාවගේ නිවසට ඝාතනය සිදු වූ පසුගිය 13 වනදා පැමිණ ඇති බවටද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මොහු මිය ගිය කාන්තාවගේ නිවස අළුත්වැඩියා කිරීම සඳහා පැමිණ ඇති අතර නිවසේ තිබූ රන් භාණ්ඩ කිහිපයක් ඔහු විසින් සොරා ගෙන ඇති බවට මිය ගිය කාන්තාව සැකකර ඇති බවයි පොලිසිය අධිකරණයේදී සඳහන් කර ඇත්තේ.

පසුව මියගිය කාන්තාව සැකකරුට දුරකථන ඇමතුම් 9 ක් පමණ ලබා දී ඇති අතර ඔහු ප්‍රතිචාර දක්වා ඇත්තේ එක් (1) ඇමතුමකට පමණක් බවද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

තමන් රන් භාණ්ඩ සොරා ගත් බවට සැකකරු පිළිගෙන ඇති අතර එහි වටිනාකම මුදලින් ගෙවන බවටද ඔහු පොරොන්දු වී ඇතැයි සඳහන්. පසුව සැකකරු ඇයගේ නිවසට පැමිණ ඇති අතර එහිදී මියගිය කාන්තාව ප්‍රකාශ කර ඇත්තේ මුදල් නොගෙවන්නේනම් තමා පොලිසියට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරන බවටයි.

එහිදී දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුව ඇති බවයි විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.

පසුව සැකකරු ඇයව තල්ලු කර ඇති අතර එහිදී ඇය බිත්තියක ගැටී බිම ඇද වැටීමෙන් පසු ඔහු ඇයගේ ගෙළ තියුණු ආයුධයකින් කපා ඝාතනය කර තිබෙනවා.

සැකකරු ප්‍රදේශයේ නිවාස කිහිපයකට ගොස් ඇති අතර එය උපක්‍රමයක් ලෙස ඔහු විසින් භාවිතා කර ඇති බවද පොලිසිය සඳහන් කළා.

අනතුරුව සැකකරු යළි මියගිය කාන්තාවගේ නිවසට පැමිණ ඝාතනය සිදු කළ ස්ථානය සෝදා දමා ඇති අතර පසුව ඔහු අසළ තිබූ ඉනිමගක්ද පෙරලා ඒ අසලට ටකරම් කැබල්ලක්ද ගෙන ගොස් ඇත්තේ කාත්තාවගේ ගෙළ ටකරම් කැබැල්ලකින් කැපුණු බවට ඇඟවීමටයි.

විමර්ශනවල දී පොලිස් නිල සුනඛයා යෙදවූ අවස්ථාවේදී සැකකරු පොලිස් රථයකට මුවා වී සැඟව සිටි බවද අනාවරණය වී තිබෙනවා.

ඔහු විසින් ඝාතනය සඳහා යොදා ගත් පිහිය අසල ලඳු කැලෑවක ගලක් යට සඟවා තිබියදී සොයා ගත් බවද පොලිසිය සඳහන් කළා.

+


පාසල් සිසුන් දෙදෙනෙකු (2) සමඟ ලැඟුම්හලක සිටි ගුරුවරයෙක් අත්අඩංගුවට

(29.12.2023 – 22:31 +0530 – hirunews.lk/sinhala)

එප්පාවල නගරයේ ලැඟුම්හලක පාසල් ළමුන් දෙදෙනකු (2) සමඟ සැකකටයුතු ලෙස නවාතැන් ගෙන සිටි ගුරුවරයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට එප්පාවල පොලීසිය කටයුතු කර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර, ගල්නෑව අධ්‍යාපන කලාපයේ පාසලක සෞඛ්‍ය හා ශාරීරක අධ්‍යාපනය විෂය උගන්වන ගුරුවරයෙක් බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු සඳහන් කළේ මෙම ගුරුවරයා පාසලේ 08 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 13 හැවිරිදි සිසුන් දෙදෙනෙකු (2) සමඟ මෙලෙස එප්පාවල නගරයේ නවාතැන්පොලක සිට ඇති බවයි.

අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේ පසුගිය 27 වැනි දින පැවැත්වෙන වොලිබෝල් පුහුණුවක් සඳහා ළමුන් දෙදෙනා (2) රැගෙන යන බවට එම දරුවන්ගේ මවුපියන්ට දැනුම් දී , දරුවන් දෙදෙනා (2) මෙලෙස කැඳවාගෙන ගොස් ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

දරුවන්ගේ මවුවරුන් පොලිස් ස්ථානයට පැමිණ සිටි අතර, ඔවුන් කියා සිටියේ ගුරුවරයා දරුවන් එප්පාවල නගරයේ නවාතැන්පළක රඳවා ගන්නා බව තමන්ට නොදැන්වූ බවයි.

අත්අඩංගුවට ගත් 51 හැවිදිරි ක්‍රීඩා ගුරුවරයා අද (29) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

+++++++

+


‘පොඩි තාත්තා’ අත්අඩංගුවට

(29.12.2023 – 20:58 +0530 – hirunews.lk/sinhala)

පානදුර, හිරණ, ඒජන්ත වංගුවේදී රුපියල් ලක්ෂ 02 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත් කුඩු පැකට් තොගයක් සමඟ ‘පොඩි තාත්තා’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට ගත් බව හිරණ පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ, මත් කුඩු පැකට් 120 කට ආසන්න ප්‍රමාණයක් මෙහිදී සොයා ගත් බවයි.

ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයෙන් රැගෙන එන ලද මෙම මත් කුඩු පැකට් කිසියම් පුද්ගලයෙකුට ලබා දීම සඳහා රැඳී සිටින බවට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

+


දක්ෂිණ අධිවේගී මාර්ගයේ බිහිසුණු අනතුරක්

(29.12.2023 – 20:32 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ ප්‍රදේශයේ දී විශාල අනතුරක් සිදුව තිබෙනවා.

බස්රථ 2 ක් සහ බවුසරයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය පැවසුවේ අදාළ අනතුරෙන් 10 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි.

මෙම අනතුර හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට ගමන් ගන්නා මංතීරුවේ රථ වාහන ගමනාගමනය දොඩන්ගොඩ සහ ගැලනිගම අන්තර් හුවමාරුව අසලින් අවහිර වී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

+


බදු ගොනු විවෘත කිරීමේ තීරණය කල් යයි

(29.12.2023 – 20:03 +0530 – hirunews.lk/sinhala)

ලබන 01 වැනිදා සිට වාහන ලියාපදිංචි කිරීමේදී, ආදායම් බලපත්‍ර ගැනීමේදී සහ දේපල මිලදී ගැනීමේදී බදු ගොනුවක් විවෘත කිරීමේ තීරණය මාසකින් පමණ කල් දැමීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කර තිබෙනවා.

ජනවාරි 01 වැනිදා සිට මෙතෙක් වැට් බදු අය නොකළ භාණ්ඩ රැසකට වැට් බදු අදාළ වන අතර මෙතෙක් 15% ක් වු බදු අනුපාතය 18% දක්වා ඉහළ දැමීම ද සිදු වෙනවා ෴


උඩරට දුම්රිය මාර්ගයේ නායයෑමක්

(29.12.2023 – 19:33 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල හා හාලි ඇළ දුම්රිය ස්ථාන අතර කන්දක කොටසක් අද (29) රාත්‍රී නායයෑමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය කිරීමට නොහැකි වී තිබෙනවා.

අද (29) රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන දුම්රිය ධාවනය සුපුරුදු පරිදි ධාවනය වන බව සඳහන් වෙනවා ෴


උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණයේ දෙවන (2) අදියර ජනවාරි

(29.12.2023 – 19:16 +0530 – hirunews.lk/sinhala)

උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ ව්‍යාපෘතියේ දෙවන (2) අදියර ජනවාරි 07 වනදා ආරම්භ වනවා.

ඒ අනුව, මහව සිට අනුරාධපුරය දක්වා කොටස මාස 6 ක් වසා තැබෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

මේ අතර, ලබන වසරේදී දුම්රිය දෙපාර්තමේන්තුවට සුබවාදී බලාපොරොත්තුවක් තබා ගත හැකි බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (29) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

අනුරාධපුර සහ මිහින්තලය අතර දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා එහිදී අදහස් දක්වා සිටියා ෴


ෆේස්බුක්හි තරුණියන් ලෙස සිට පිරිමින්‌ගේ මුදල් කොල්ල කයි..

(30.12.2023 – 12:00 +0530 – lankacnews.com)

ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය මගින් කාන්තාවක් සේ රඟපාමින් පිරිමි පුද්ගලයින්ගේ මුදල් කොල්ල කෑ දෙදෙනෙකු (2) යාපනය නෙල්ලිඅඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවට නෙල්ලිඅඩි පොලීසිය පවසයි.

ත්‍රීකුණාමලය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් නෙල්ලිඅඩි පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව අදාල සැකකරුවන් අද (30) දින අත්අඩංගුවට ගනු ලැබීය.

පැමිණිළිකරු පොලීසියට පවසා ඇත්තේ තමන් යාපනයට පැමිණ ඇත්තේ ෆෙස්බුක් මගින් හඳුනාගත් තරුණිය හමුවීම සඳහාය. ඒහිදී ඒකවරම පැමිණි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු (2) තමන්ට ආයුධ පෙන්වා මුදල්, ජංගම දුරකතන ආදි සියල්ලක්ම කොල්ල කා පලා ගිය බවටය.

පසුව පැමිණිළිකරු විසින් ලබාදුන් තොරතුරු වලට අනුව ක්‍රියාත්මක වූ නෙල්ලිඅඩං පොලිස් නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගත් අතර සැකකරුවන් කොල්ලකන ලද මුදල් සහ ජංගම දුරකතන කිහිපයක්ද අත්අඩංගුවට ගෙන ඇත.

ඒහිදී සිදුකරන ලද පරික්ෂණ වලදී හෙලි වී ඇත්තේ අදාල සැකකරුවන් විසින් මීට පෙරද අවස්ථා රැසකදී සමාජ මාධ්‍ය මගින් කාන්තාවන් ලෙස වෙස්වලා පිරිමි පුද්ගලයින් යාපනයට ගෙන්වා ආයුධ පෙන්වා ඔවුන් සතුව ඇති සියලු දෑ කොල්ල කා පලා යන බවටය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (30) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද නෙල්ලිඅඩි පෙලීසිය වැඩිදුරටත් පැවසීය.

වන්නි රොමේෂ් මධුෂංඛ


උසස් පෙළට අදාළ උපකාරක පන්ති තහනම් කෙරෙයි

(30.12.2023 – 07:57 +0530 – sinhala.adaderana.lk)

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති, වැඩමුළු, සම්මන්ත්‍රණ යනාදිය පැවැත්වීම ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාගය අවසන් වන තෙක් එම තහනම බලපැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

ඒ අනුව එම තහනම කඩකරන පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අවධාරණය කර තිබේ.

මෙවර උසස් පෙළ විභාගය ලබන ජනවාරි මස 04 වැනි දා සිට 31 වැනි දා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2298 ක දී පැවැත්වීමට නියමිත ව ඇත ෴


ව‍රායේ සිර වූ ආනයනික භාණ්ඩ ගැන හෙළිදරව්වක්

(29.12.2023 – 22:17 +0530 – sinhala.adaderana.lk)

මෙරටට ආනයනය කරන ලද අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ ඇතුළු ද්‍රව්‍ය රැසක් බෙදා හැරීමට නොහැකිව වරාය තුළ සිරවීමෙන් අර්බුදයක් නිර්මාණය වී තිබෙන බව වාර්තා වේ.

මේ ගැන සොයා බැලීමට වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (29) වරාය පරිශ්‍රයට පැමිණ තිබේ.

උත්සව සමය හේතුවෙන් ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ රැසක් මේ දිනවල රටට ආනයනය කරන නමුත් එම ආනයනික ද්‍රව්‍ය තවමත් බෙදාහැරීමට නොහැකිව වරාය තුළ සිර වී ඇති බව බහලුම් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය චෝදනා කරයි.

බහලුම් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය වැඩිදුරටත් පවසන්නේ, බෙදාහැරීමට නොහැකිව මෙලෙස ද්‍රව්‍ය වරාය තුළ එකතු වීම රටේ ආර්ථිකයට සෘජු ව බලපාන බවයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *