හෝමාගම පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුවාගේ ඝාතනය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
හෝමාගම පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුවාගේ ඝාතනය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
(10.04.2026 – hirunews.lk)
හෝමාගම පිටිපන ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති මත්පැන් සාදයකදී පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුන් දෙපිරිසක් අතර ඊයේ (09) රාත්‍රියේ ඇතිවූ ගැටුමෙන් එක් සිසුවෙකු මියගියා.
අලුත් අවුරුදු සැමරුමකින් අනතුරුව එම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිස අදාළ උත්සව ශාලාවට පැමිණ එහිදී සාදයක් පවත්වා ඇති බව සඳහන්.
එහිදී මත්පැන් පානය කර විනෝද වෙමින් සිටියදී එක්වරම දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී ප්‍රහාරයට ලක් වූ ශිෂ්‍යයා එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙසේ මියගොස් ඇත්තේ, 19 හැවිරිදි කුරුණෑගල – වැල්ලව, නිකදළුපොත, ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු හෝමාගම පිටිපන ප්‍රදේශයේ ශිෂ්‍ය නේවාසිකාගාරයක නැවතී සිටින සිසුවෙක් බව සඳහන්.
අදාළ ඝාතනය සම්බන්ධයෙන් එම සාදයට සහභාගී වූ විශ්ව විද්‍යාල සිසුන් පස්දෙනෙකු (5) අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් හෝමගම මූලස්ථාන පොලිසිය වැඩිදුරටත් පරීක්‍ෂණ පවත්වනවා.
+++
+
වෛද්‍ය පත්වීම් පෙත්සම්වල තීන්දුව මැයි 08 වැනිදා
(10.04.2026 – hirunews.lk)
මතභේදයට තුඩු දී ඇති පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත් කිරීම් ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙනවාද? නැත්ද? යන නියෝගය මැයි මස 08 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කළා.
සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරු දෙදෙනෙකු (2) විසින් ගොනු කළ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළා ෴
වෛද්‍ය වර්ජනය හෙට (11) උදෑසනින් අවසන්
(10.04.2026 – hirunews.lk)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ආරම්භ කරන ලද පැය 48 ක සංකේත වැඩ වර්ජනය හෙට (11) උදෑසන අවසන් කරන බව එම සංගමය පවසනවා.
ස්ථාන මාරුවීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දියත් කළ මෙම වර්ජනය අවසන් වූ පසු, ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන බවයි එම සංගමය සඳහන් කරන්නේ.
වර්ජනය හේතුවෙන් දිවයින පුරා රජයේ රෝහල්වල ප්‍රථිකාර කටයුතුවලට දැඩි බාධා එල්ල වුණා ෴
කරදියාන කසළ අංගනයේ හදිසි ගින්න පාලනයට බෙල් 412 හෙලිකොප්ටරයක්
(10.04.2026 – hirunews.lk)
කරදියාන කසළ කන්දේ ගින්න නිවා දැමීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 412 හෙලිකොප්ටරයක් ද යොදවා ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා.
බෝකුන්දර, කරදියාන ප්‍රදේශයේ පිහිටි කසළ අංගනයක අද (10) දහවල් මෙම හදිසි ගින්නක් හටගෙන තිබුණා.
ගින්න පැතිර යාම වැලැක්වීම සහ එය පාලනය කිරීම සඳහා මොරටුව මහා නගර සභාවේ ගිනි නිවන ඒකකය මගින් වහාම පියවර ගෙන ඇති අතර, මේ වන විට ගිනි නිවන රථ 3 ක් එම ස්ථානයට යොදවා ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
+++
+++
+
හිටපු ජනපති මහින්ද අල්ලස් කොමිසමට වත්කම් ප්‍රකාශයක් භාර දෙයි
(10.04.2026 – 19:55 +0530 – sinhala.adaderana.lk)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (10) සිය වත්කම් බැරකම් පිළිබඳ දිවුරුම් ප්‍රකාශයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත භාරදී තිබේ.
දින 14 තුළ සිය වත්කම් ප්‍රකාශය ලබාදෙන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මහින්ද රාජපක්ෂ මහතාට දැනුම්දී තිබුණි.
එම දින 14 ක කාලය අදින් අවසන් විය.
ඒ අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම වත්කම් බැරකම් පිළිබඳ දිවුරුම් ප්‍රකාශයක් භාරදී ඇති බව අල්ලස් කොමිසම කියයි ෴
ජාතික වෙසක් උත්සවය සමරන මැයි 30 ට පසු දිනය ප්‍රසිද්ධ නිවාඩු දිනයක් නෙවෙයි
(10.04.2026 – 12:43 +0530 – sinhala.adaderana.lk)
2026 වසරේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදු කරන මැයි 30 වෙනිදාට පසු දිනය ප්‍රසිද්ධ නිවාඩු දිනයක් නොවන බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, 2026 වර්ෂය සඳහා ප්‍රකාශයට පත් කළ අංක 2438/22 හා 2025.05.27 දිනැති ගැසට් පත්‍රය මේ දක්වා සංශෝධනය කර නොමැති බවය.
2026 වසරේ වෙසක් පොහොය දින සැමරුමට පසුදිනය නිවාඩු දිනයක් දැයි බොහෝ පර්ශ්ව තමන්ගෙන් විමසා සිටි බව කම්කරු කොමසාරිස්වරයා සඳහන් කළේය.
ඒ අනුව පැහැදිලි කිරීමක් සිදු කරමින් ඔහු කියා සිටියේ, 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක පනතේ 7 වන වගන්තිය යටතේ වන විධිවිධාන පරිදි 1996.10.14 දිනැති අංක 954/1 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර ඇති ව්‍යවස්ථාපිත නිවාඩු සංඛ්‍යාව අටක් (8) වන බවය.
ඒ අනුව මෙම නිවාඩු දින මේ දක්වා සංශෝධනයක් සිදු කර නොමැති බව පෙන්වා දෙයි.
- ජනවාරි 15 බ්‍රහස්පතින්දා – දෙමළ තෛපොංගල් දිනය
- පෙබරවාරි 04 බදාදා නිදහස් සමරු දිනය (ජාතික දිනය)
- අප්‍රේල් 13 සඳුදා – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර දිනය
- අප්‍රේල් 14 අඟහරුවාදා – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය
- මැයි 01 සිකුරාදා – ලෝක කම්කරු දිනය
- මැයි 02 සෙනසුරාදා – වෙසක් පුර පසළොස්වක පෝය දිනට පසු දිනය
- අගෝස්තු 26 බදාදා – (මිලා-දුන්-නබි) නබි නායකතුමාගේ උපන් දිනය
- දෙසැම්බර් 25 සිකුරාදා – නත්තල් උත්සව දිනය
ඉහත සඳහන් නිවාඩු පමණක් 2026 වසරේ ප්‍රසිද්ධ නිවාඩු ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව කම්කරු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරනු ලබයි ෴
ඇමෙරිකාව දණ ගැස්සූ ඉරානයේ රහස් අවි පෙල | සාම කපුකම පකිස්තානයට ලැබුණේ කොහොමද? (09.04.2026)
+
ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව 97.4% දක්වා ඉහළට
(10.04.2026 – hirunews.lk)
ශ්‍රී ලංකාව අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙරට සමස්ත සාක්ෂරතාව 2024 වසර වන විට 97.4% දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාව පෙන්වා දෙනවා.
2012 වසරේදී මෙය 95.7% ක් ලෙසයි සටහන්ව තිබුණේ.
මෙම වර්ධනයේ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය වන්නේ 1881 වසරෙන් පසුව ප්‍රථම වතාවට සාක්ෂරතාවයේ පවතින ස්ත්‍රී පුරුෂ පරතරය අවම මට්ටමකට පත්වීමයි.
2024 වසරේ දත්තවලට අනුව පුරුෂ සාක්ෂරතාව 97.9% ක් වන අතර කාන්තා සාක්ෂරතාව 97.0% ක් ලෙස සටහන් වෙනවා.
එමෙන්ම මෙරට වේගවත් ඩිජිටල් පරිවර්තනය සනිටුහන් කරමින් ඩිජිටල් සාක්ෂරතාව 67.6% දක්වාත්, පරිගණක සාක්ෂරතාව 34.7% දක්වාත් වර්ධනය වී ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙන්නේ ෴
අලුත් අවුරුදු සමයේ මහජන ආරක්ෂාවට විශේෂ ඒකාබද්ධ මෙහෙයුම් මැදිරියක් : ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක්වෙයි
(10.04.2026 – hirunews.lk)
එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ජනතාවට සුරක්ෂිතව සහ සාමකාමීව උත්සව සැමරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ලබාදුන් උපදෙස් මත මෙම වැඩපිළිවෙළ දියත් කර ඇති බවයි නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරන්නේ.
ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ බුද්ධි අංශ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම ආරක්ෂක ජාලය ක්‍රියාත්මක බවයි එහි දැක්වෙන්නේ.
උත්සව සමයේ පැවැත්වෙන සංගීත සංදර්ශන, ප්‍රජා උත්සව සහ ආගමික වැඩසටහන් කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙනවා.
මෙම කටයුතු සම්බන්ධීකරණය සඳහා කොළඹ පොලිස් මූලස්ථානය කේන්ද්‍ර කරගනිමින් විශේෂ ඒකාබද්ධ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇති අතර, ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද ඊට අනුයුක්ත කර ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කරන්නේ.
එමඟින් තොරතුරු හුවමාරුව සහ හදිසි තත්ත්වයන්හිදී කඩිනම් ප්‍රතිචාර දැක්වීම කාර්යක්ෂමව සිදු කිරීමට අපේක්ෂිතයි.
හදිසි දැනුම්දීම් සඳහා සම්බන්ධ කරගත හැකි සහ ආරක්ෂක තත්ත්වයන් පිළිබඳ තොරතුරු ලබාදීමට හෝ සහාය ලබාගැනීමට පහත අංක සහ විද්‍යුත් තැපෑල විවෘතව පවතී :
දුරකථන අංක :
011 201 3051
011 202 7148
011 202 7149
011 243 0912
විද්‍යුත් තැපෑල : igp.opsroom@police.gov.lk
රනිල් සිංගප්පූරු ගියේ ලංකාවේ ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් රහස් පොලිසියට කැඳවන නිසයි : වජිර අබේවර්ධන
(10.04.2026 – hirunews.lk)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවට ප්‍රතිකාර ලබා ගැනීමට ගියේ මෙරටදී ඒ මහතාට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් රහස් පොලිසියට කැඳවන නිසා බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ප්‍රකාශ කළා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (10) මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවට ප්‍රතිකාර ලබා ගැනීමට ගිය හේතුව වජිර අබේවර්ධන විසින් මෙහිදී විස්තරාත්මකව කරුණු පැහැදිලි කළා.
2025 අගෝස්තු මාසේ 22 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට එන්න කියන්න කියනවා. එතුමා ප්‍රකාශය ලබාදුන්නාට පස්සේ එතුමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට අරගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කරනවා.
රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගියේ 2025 අගෝස්තු 22 වැනිදා උදෑසන 09:30 ට පමණ. ඒ අවස්ථාවේදී පැය පහකට, හයකට (5-6) ආසන්න කාලයක්, දවල් 01:30 වනතුරු රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ තියාගන්නවා. එතනින් පස්සේ, එතුමාව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා සවස 03:00 ට පමණ. ඊට පස්සේ එතැන් සිට අධිකරණයේ පැය අටකට (8) අධික කාලයක් රනිල් වික්‍රමසිංහ මහතා උසාවියට ඉදිරිපත් කිරීම ගැන විනිසුරුවරයා කරුණු සලකා බලමින් තිබුණා. පසුව රාත්‍රී 08:00 ට පමණ විදුලිය විසන්ධි වෙලා පැයකට (1) අධික කාලයක් විදුලිය නොමැතිව තිබුණා. එවැනි තත්ත්වයකට පසුව මහේස්ත්‍රාත්වරයා විසින් රනිල් වික්‍රමසිංහ මැතිතුමාව අගෝස්තු මාසේ 26 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට රාත්‍රී 10:00 ට පමණ තීන්දුවක් ලබාදෙනවා.
දැන් ඒ තීරණයෙන් පස්සේ උසාවි භූමියෙන් රාත්‍රී 10:30 ට පමණ රනිල් වික්‍රමසිංහ මහතා මැගසින් බන්ධනාගාරය වෙත අරගෙන ගියා. එපමණක් නෙවෙයි, මැගසින් බන්ධනාගාරයට ගෙනියනකොට රාත්‍රී 11:00 පමණ වුණා. ඒ අවස්ථාවේදී එතුමාගේ අධික රුධිර පීඩනය සහ සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් බන්ධනාගාරයෙන්, බන්ධනාගාර රෝහලට ඇතුල් කරන්න සිද්ධ වුණා. ඊට පහුවදා එනම් අගෝස්තු මාසේ 23 වැනිදා සවස රනිල් වික්‍රමසිංහ මැතිතුමාව කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමට විශේෂඥ වෛද්‍යවරු තීරණය කළා.
අවසානයේ රනිල් වික්‍රමසිංහ මහතා හදීසි ප්‍රතිකාර ඒකකයට (ICU) ඇතුළත් කරන්න සිදුවුණා. එපමණක් නෙවෙයි, පසුව අගෝස්තු මාසේ 26 වැනිදා කොටුව මහේස්ත්‍රාත් ඉදිරියේ නඩුව කැඳවන අවස්ථාව වන විට රනිල් වික්‍රමසිංහ මහතා රෝහල්ගතවයි සිටියේ. ඒ නිසා සූම් තාක්ෂණය හරහා තමයි එතුමා අධිකරණයට ඉදිරිපත් වුණේ.
කෙසේ නමුත් එදින රු. ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් (3) මත එතුමාව මුදා හැරීමට අධිකරණය තීරණය කළා. කෙසේ හෝ එතුමා මේ තත්ත්වයට පත්වීමට මේ ඉහතින් සඳහන් කළ කාරණා ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන්, එතුමාගේ සෞඛ්‍ය තත්ත්වය, එතුමා කළමනාකරණය කරගෙන ජීවත් වූ පුද්ගලයෙක් හැටියට. කොහොම නමුත් අගෝස්තු 29 වෙනිදා දක්වාම දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්න රනිල් වික්‍රමසිංහ මහතාට සිදුවුණා.
ඉන්පසුව 29 වෙනිදා සවස 03:00 ට පමණ එතුමා කොළඹ ජාතික රෝහලෙන් පිටත් වුණා. නමුත් පුවත්පත්වල කියලා තිබුණා රනිල් අධිකරණයට වංගු දැම්මා කියලා. ඒ විතරක් නෙමෙයි, වෛද්‍යවරුන්ටත් මේ ගැන බොරු වාර්තා ලියලා තිබුණා කියලා ඔවුන්ටත් අපහාස කළා.
මේ විතරක් නෙමෙයි. කොළඹ ජාතික රෝහලේ දින හයක් (6) ප්‍රතිකාර ලබලා පිටවෙලා ගියාට පස්සෙත්, කොළඹ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු හත්දෙනෙක් (7) රහස් පොලීසියට විටින් විට කැඳවලා ඒ විශේෂඥ වෛද්‍යවරුන්ගේ වෘත්තියට කැළලක් වන පරිදි රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සහ ඒ ලියපු වාර්තාව පිළිබඳව විභාග කිරීම් සිදුවුණා.
මෙය ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්. ඒ විශේෂඥ වෛද්‍යවරු හත්දෙනාම (7) රහස් පොලිසියට විටින් විට කැඳවමින් මේ ප්‍රතිකාර කිරීම හේතු කොටගෙන කටඋත්තර ලබාදීමට සිදුවුණා.
එතකොට එතුමාට එවැනි බරපතල තත්ත්වයක් තිබෙන බවට වාර්තා කරන ලද විශේෂඥ වෛද්‍යවරු හත්දෙනාට (7) කරන ලද මානසික පීඩනය දෙස බැලූ විට, නැවත එතුමා වෙනත් ශල්‍යකර්මයක් සඳහා ඉදිරිපත් වුවත් කුමන ආකාරයට රහස් පොලීසිය සහ රජය හැසිරෙයිද කියන කාරණය පිළිබඳව බලවත් සැකයක් පවතිනවා.
ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගියේ.
අවසාන වශයෙන් මතක තබා ගත යුතුයි. 76 වසරක් ඉතාමත් හොඳ නිදහස් සෞඛ්‍ය පද්ධතියක් සහ ඉතාමත් දක්ෂ වෛද්‍යවරු නිර්මාණය කරන්න අපි සමත් වෙලා තිබෙනවා. නමුත් 76 වසරක් පුරාවට අපි අසමත් වෙලා තිබෙනවා ‘හොඳ රාජ්‍යයක් සහ හොඳ ආණ්ඩුකරණයක්’ ඇති කරන්න.
ඒ නිසා විදෙස් රටක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රතිකාර ගැනීම තුළ වෛද්‍යවරු රහස් පොලීසියට ගෙනියන්නත් බැහැ, එවැනි ප්‍රශ්නයක් ඇති වන්නෙත් නැහැ, එවැනි සැක සහිත අවස්ථාවක ගත යුතු හොඳම තීරණය තමයි, ශ්‍රී ලංකාවෙන් බැහැර වෙලා අදාල ප්‍රතිකාර ලබා ගැනීම. ඉතින් මෙවැනි තත්ත්වයන් කාගේ පාලනයක් තිබුණත් නොකළ යුතු කාර්යයන් ලෙස මතක තබාගත යුතුයි෴
සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්‍ෂණ ලබන 22 වැනිදා ඇරඹේ
(10.04.2026 – hirunews.lk)
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්‍ෂණ ලබන 22 වැනිදා දිවයින පුරා පරීක්‍ෂණ මණ්ඩල 1,198 කදී ආරම්භ වනවා.
මැයි මස 04 වැනිදා දක්වා පැවැත්වෙන විභාගයට අපේක්ෂකයින් 162,587 දෙනෙකු පෙනී සිටීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර එහි සඳහන් ලිපිනයට ද මේ වනවිට තැපැල් මගින් යොමුකර තිබෙනවා.
එහි සංශෝධන පවතී නම් විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව වෙත යොමුකර සංශෝධනය කරගන්නා ලෙසයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴