තවත් කොවිඩ් මරණයක් – යක්කල, කොස්කඳවල ප්‍රදේශයෙන් (ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙන්)

තවත් කොවිඩ් මරණයක් – යක්කල, කොස්කඳවල ප්‍රදේශයෙන් (ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙන්)


තවත් කොවිඩ් මරණයක් – යක්කල, කොස්කඳවල ප්‍රදේශයෙන් (ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙන්)

(28.12.2023 – 13:46 +0530 – hirunews.lk/sinhala)

‍‍‍‍‍‍‍‍එකම පවුලේ කාන්තාවන් දෙදෙනෙකු (2) වමනය හේතුවෙන් පසුගිය 25 වැනිදා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත්කර ඇති අතර, ඉන් එක් කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් පැය 02 කට පසුව මිය යාමේ සිදුවීමක් වාර්තා වනවා.

පසුව කළ කොවිඩ් පරීක්ෂාවකදී හෙළි වී ඇත්තේ, එම කාන්තාව කොවිඩ් ආසාදිත බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ, යක්කල, කොස්කඳවල ප්‍රදේශයේ පදිංචිව සිටි කේ.කේ. පේමවතී නැමැති 63 හැවිරිදි විවාහක කාන්තාවක්.

පසුව එම කාන්තාවගේ වැඩිමහල් සොහොයුරියගේ ද කොවිඩ් පරීක්ෂණයක් සිදුකර ඇති අතර, ඇය ද කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇතැයි වීරඟුල පොලිසිය පවසනවා.

එම කාන්තාව තවදුරටත් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන අතර, මියගිය කාන්තාවගේ දේහය ඊයේ (27) ආදාහනය කෙරුණා ෴


බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්

(28.12.2023 – 15:08 +0530 – hirunews.lk/sinhala)

18% ක එකතු කළ අගය මත බද්ද (VAT) ක්‍රියාත්මක වන විට ඉන්ධන සඳහා 7.5% ක වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බද්ද (PAL) ඉවත් කර තිබෙනවා.

එමෙන්ම ගෘහස්ථ LP ගෑස්වලින්ද PAL බද්ද ඉවත් කර තිබෙන බවයි මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ෴


රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට යෝජනාවක්?

(28.12.2023 – 13:41 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප අහෝසි කළ යුතු බවට වූ යෝජනාවක් ‘යහපත් රාජ්‍යකරණය පිළිබඳ තේරීම් කාරක සභාව’ට ඉදිරිපත් කර ඇතැයි ‘කම්කරු අරගලය මධ්‍යස්ථානයේ’ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව පවසනවා.

ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ ඊයේ (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරදීයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශකළේ මෙවැනි අදහසක් :

‍”රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප අහෝසිකර දායකත්ව විශ්‍රාම වැටුපට යා යුතු බවටයි ඔවුන් යෝජනා කරන්නේ. ඒ වගේම අවුරුදු පහකට (5) වඩා වැඩි සේවා කාලයක් ඇති රාජ්‍ය සේවකයන් සේවක කාර්යක්ෂමතාවය නෑ කියා විශ්‍රාම ගැන්විය යුතු බවටත් ඔවුන් යෝජනා කරනවා. ඒ වගේම යෝජනා කරලා තියෙන්නේ දායකත්ව විශ්‍රාම වැටප් අරමුදලට දේශීය හා විදේශීයව ආයෝජනය කළ හැකි ලෙස සකස් කල යුතු බවටයි. ඒක ඉතාමත්ම අවදානම් වැඩක්. මේගොල්ලෝ ආයෝජනය කරන තැන් අඩුපාඩු වුනොත් සේවකයන්ට මුකුත්ම නැහැ. රාජ්‍ය සේවකයන්ට ඇති නිවාඩු දින 45, 25 දක්වා අඩු කළ යුතු බවටත් ඔවුන් යෝජනා කර තිබෙනවා. මේවා ඔක්කොම යෝජනා කරන්නේ රටේ වැඩිහිටි ජනගහනය වැඩියෙන්ම ඉන්න මොහොතක. ඒ විතරක් නෙමෙයි. රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප කපන්න යෝජනා කරන අය පාර්ලිමේන්තුවේ අවුරුදු පහකට (5) පසු විශ්‍රාම වැටුප ගන්නවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ හා මෛත්‍රිපාල සිරිසේන කියන දෙන්නා විශ්‍රාමික ජනාධිපති වැටුප වගේම මන්ත්‍රී වැටුපත් ගන්නවා. විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජනරාල්වරයාටත් මේවා ප්‍රශ්න නෙමෙයි. ජනතාව වහාම මේ තීරණ වලට එරෙහිව පෙළගැසිය යුතුයි” ෴


මත්ද්‍රව්‍ය භාවිතය නිසා රජයට බිලියන 237 ක හානියක්

(28.12.2023 – 13:18 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය භාවිතයෙන් මේ වසරේදී රුපියල් බිලියන 237 ක සෞඛ්‍ය හා ආර්ථික හානියක් සිදුව ඇති බව ශ්‍රී ලංකාවේ මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ උපදේශක පුබුදු සුමනසේකර පවසා තිබෙනවා.

මේ බව අනාවරණය වී ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල කළ අධ්‍යයනයකට අනුවයි.

මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ උපදේශක මේ බව පවසා ඇත්තේ පසුගියදා කොළඹදී සංවිධානය කළ සාකච්ජාවකට එක්වෙමින්.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ සෑම වසරකම රජය මධ්‍යසාරවලින් ලබන ආදායමට වඩා වැඩි වියදමක් ඒවා පරිභාජනයෙන් ඇති වන ප්‍රතිවිපාක වෙනුවෙන් වැය කරන බවයි ෴


දෙසැම්බර් මාසයේදී ඩෙංගු රෝගීන් දසදහස (10,000) ඉක්මවයි

(28.12.2023 – 13:15 +0530 – hirunews.lk/sinhala)

මෙම මාසයේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව දසදහස (10,000) ඉක්මවා තිබෙනවා.

2023 වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඉහළම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මෙය වන අතර ජාතික ඩෙංගු මර්ධන ඒකකය නිකුත් කළ නවතම වාර්තා අනුව මේ මාසයේ අද (28) දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 10,088 ක්.

එමෙන්ම 2023 වසරේ මේ දක්වා ඩෙංගු රෝගී මරණ 55 ක් වාර්තා වී තිබෙනවා.

පසුගිය නොවැම්බර් මාසයේදී ඩෙංගු රෝගීන් 7995 ක් වාර්තා වී තිබූ අතර දෙසැම්බර් මාසයේදී ඊට සාපේක්ෂව ඩෙංගු රෝගීන් 2093 කින් වැඩි වී තිබෙනවා.

එමෙන්ම 2023 වසරේ මේ දක්වා වාර්තා වී ඇති මුලු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 86,576 ක්. ඉන් සියයට 45.6 ක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්.

මේ අතර පසුගිය මැයි මාසයේ සිට මේ දක්වා මෙරටින් සරම්ප රෝගීන් 700 කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බවයි කොළඹ අද (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල කියා සිටියේ.

+


මෙරට පවුල්වලින් 60% ක මාසික ආදායම පහළට

(28.12.2023 – 12:46 +0530 – hirunews.lk/sinhala)

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට පවුල්වලින් 60% කට වැඩි පිරිසකගේ මාසික ආදායම අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ආර්ථික අර්බුදයේ බලපෑම සම්බන්ධයෙන් දිවයින පුරා කළ නවතම ගෘහස්ථ සමීක්ෂණයට අනුවයි මේ බව අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව මෙරට පවුල්වලින් 60.5% ක මාසික ආදායම අඩුවී ඇති අතර, පවුල් 91% ක මාසික වියදම වැඩි වී ඇති බව හෙළිව තිබෙනවා.

වර්තමානයේ පවුල්වලින් 3.4% ක පමණක් ආදායම ඉහළ ගොස් ඇති අතර, පවුල් 36.6% ක ආදායම නොවෙනස්ව පවතින බව එහි සඳහන්.

කෙසේ වෙතත් මෙලෙස ආදායම් අඩු වූ පවුල්වලින් 73.6% ක් ආදායම් වැඩිකර ගැනීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ.

පවුල්වලින් 6% ක් අමතර ආදායම් මාර්ගයක් හෝ අමතර රැකියාවක් සොයාගෙන ඇති බව ද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදුකළ සමීක්ෂණයේදී හෙළිව තිබෙනවා.

මෙහිදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ ආදායම් අඩු වූ පවුල්වල පිරිස් ණය ලබාගැනීම, භාණ්ඩ උකස් කිරීම සහ පුද්ගලයින්ගෙන් ආහාර හා මුදල් ඉල්ලා ගැනීම හරහා එදිනෙදා වියදම් පියවර ගෙන ඇති බවටයි.

මෙරට පවුල්වලින් 22% ක් පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ණය වී පීඩාවට පත්ව සිටිනවා.

ආර්ථික අර්බුදය හමුවේ පුද්ගලයින් 14.2% කට රැකියා අහිමි වී ඇති අතර, ඉන් බහුතරය පිරිමි පුද්ගලයින් බව ද අනාවරණය වී තිබෙනවා.

රැකියාවලට නොපැමිණීම, වැඩකරන පැය ගණන අඩු කිරීම, වැටුප් හෝ දීමනා කපා හැරීම සහ ආදායම් අහිමි වීම වැනි කරුණු හේතුවෙන් 2022 වසරේ මාර්තු මාසයෙන් පසු රැකියා නියුතු පුද්ගලයින් හරි අඩකගේ ප්‍රධාන රැකියාවේ වෙනස්කම්ද සිදුව ඇති බව එම සමීක්ෂණයේදී හෙළි වුණා.

මෙම තත්ත්වය මත අධ්‍යාපනයට ද බාධා එල්ල වී ඇති අතර, වයස අවුරුදු 3 ත් 21 ත් අතර දරුවන් සහ තරුණයින්ගෙන් සියයට 54.9% ක් මෙහි එම බලපෑමට මුහුණ දී තිබෙනවා.

එම බාධා හේතුවෙන් දරුවන්ගෙන් 53.2% ක් ලිපි ද්‍රව්‍ය සඳහා සිදුකරන වියදම් අඩු කිරීම හා ඒවා මිලදී ගැනීමෙන් වැළකී සිට ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, 44% ක් අලු‍තින් නිල ඇඳුම් මිලදී ගැනීමේ කටයුතුවලින් ද වැළකී සිට ඇති බව ද අනාවරණ වුණා.

මේ අතර 2023 වසරේ මාර්තු මාසයෙන් පසුව මෙරට ජනගහනයෙන් 29% ක් රෝගාබාධවලට වැඩි වශයෙන් ගොදුරු වී ඇති අතර, ඉන් 7% ක් ප්‍රතිකාර ක්‍රම වෙනස් කර ඇති බව ද වාර්තා වනවා.

එලෙස ප්‍රතිකාර ක්‍රම වෙනස් කළ රෝගීන්ගෙන් 35.1% ක් ප්‍රතිකාර කරන ස්ථාන ද වෙනස් කර ඇති අතර, 33.9% ක් ඖෂධ භාවිතයට යොමුව ඇත්තේ සිය රෝගී තත්ත්වයන් උත්සන්න වූ අවස්ථාවේදී බවයි මෙම සමීක්ෂණයේදී තවදුරටත් හෙළිව ඇත්තේ.

ප්‍රතිකාර වෙනස් කළ රෝගීන්ගෙන් 81.7% ක්ම එම වෙනසට මූලික හේතුව ලෙස දක්වා ඇත්තේ ප්‍රමාණවත් තරම් මුදල් නොමැති වීමයි.

+


ටී-56 පතරොම් 4500 ක් කුඹුරකින් මතු වෙයි

(28.12.2023 – 12:18 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් වෙලගර්මඩම් පල්ලිය පාරේ කුඹුරකින් ටී-56 වර්ගයේ ස්ව‍යංක්‍රීය ගිණි අවි සදහා භාවිත කරණු ලබන පතරොම් 4500 ක් 27 දා මුලතිව් පොලීසිය විසින් ගොඩ ගෙන තිබෙනවා.

මෙම කුඹුරු හිමියා කුඹුරට ගොස් සීසෑමේ කටයුතු ආරම්භ කිරීමට සූදානම් වූ අවස්ථාවේදී පොලොව යටින් තහඩුවක් මතු වී තිබෙනවා.

එම තහඩුවේ කෙලවර උදැල්ලකින් හාරා බලන විට ඒ තුළ පතරොම් තිබෙනු දැක වහාම ඒ පිළිබදව ළගම පිහිටි නාවික හමුදා කදවුර වෙත දැනුම් දී තිබෙනවා.

නාවික හමුදා නිලධාරීන් හා කුඹුරු හිමියා මේ ගැන මුලතිව් පොලීසියට පැමිණිලි කොට තිබෙන බව සඳහන්.

පොලිසිය පැමිණ අදාල ස්ථානයේ නිරීක්ෂණ කටයුතු වලින් පසුව සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් අධිකරණය දැනුවත් කොට එම ස්ථානය හාරා බැලීමේදී පෙට්ටි හයක (6) අසුරණ ලද ටී-56 වර්ගයේ ගිණි අවිවලට යොදා ගන්නා පතරොම් 4500 ක තොගය හමු වී ඇති බවයි වාර්තා වෙන්නේ ෴


ගසක් කඩා වැටිමෙන් කාන්තාවන් දෙදෙනෙක් (2) රෝහලේ

(28.12.2023 – 11:54 +0530 – hirunews.lk/sinhala)

නොර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි තේ වත්තේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් දෙදෙනෙකු මතට ගසක් කඩා වැටිමෙන් එම කාන්තාවන් දෙදෙනා බරපතළ ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඊයේ (27) දින මධ්‍යම රාත්‍රියේ දැඩි සුළං තත්ත්වයක් පැවතී ඇති අතර එම අයහපත් කාලගුණය හේතුවෙන් මෙම ගස කඩා වැටී ඇති බවයි වාර්තා වී ඇත්තේ.

එමෙන්ම පවතින දැඩි සුළං තත්ත්වයත් සමඟ හැටන් විදුලි පාරිභෝගික මධ්‍යස්ථාන බල ප්‍රදේශයේ අධි බලැති විදුලි රැහන් පද්ධතිවලට ගස් සහ අතු කඩා වැටිම හේතුවෙන් වරින් වර විදුලි බලය විසන්ධි වු බවද හැටන් විදුලි පාරිභෝගික මධ්‍යස්ථානයේ නිලධාරියෙකු සඳහන් කර සිටියා ෴


‘කුඩු රොෂාන්’ගේ දේපල පොලිස් භාරයට

(28.12.2023 – 11:52 +0530 – hirunews.lk/sinhala)

ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙකු බව කියන ‘මට්ටක්කුලිය කුඩු රොෂාන්’ නමැත්තාට අයත් රුපියල් ලක්ෂ 550 කට අධික වටිනාකමකින් යුත් නිවාසයක්, ඉඩමක් සහ සුඛෝපභෝගි මෝටර් රථයක් නීතිවිරෝධී වත්කම් කොට්ඨාශය භාරයට ගෙන තිබෙනවා.

ඒ ජා-ඇල නිවන්දම ප්‍රදේශයේ අද (28) උදෑසන සිදුකළ වැටලීමකදීයි.

‘කුඩු රොෂාන්’ සහ ඔහුගේ සොහොයුරෙකු ඇතුලු පිරිසක් මත්කුඩු සමග වරකාපොළ ප්‍රදේශයේදී ඊයේ (27) අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයින් 10 දෙනෙකු කාන්තාවන් 5 දෙනෙකු සහ කුඩා ළමයින් 8 දෙනෙකු සිටියා.

‘කුඩු රොෂාන්’ ඇතුලු පිරිස නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක දින කිහිපයක් නවාතැන් ගෙන යලිත් කොළඹට පැමිණෙමින් සිටියදී ‘යුක්තිය’ මෙහෙයුම නැවත ක්‍රියාත්මක බවට ලද තොරතුරු මත වරකාපොළ ප්‍රදේශයේ නවාතැන් ගෙන ඇති බව සඳහන්.

‘යුක්තිය’ මෙහෙයුම මගහැර සිටීම සඳහායි ‘කුඩු රොෂාන්’ ඇතුලු පිරිස සති අන්තයේ නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක් සඳහා ගොස් ඇත්තේ.

මේ අතර, පැය 24 ක කාලය තුල ‘යුක්තිය’ මෙහෙයුමේදී පුද්ගලයින් 1422 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 35 දෙනෙකු සම්බන්ධයෙන් රැදවුම් නියෝග ලබාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එහිදී සැකකරුවන් 3 දෙනෙකු සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 37 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමුකර තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්යාංශය ලේඛනගත සැකකරුවන් 73 දෙනෙකු ද මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගනු ලැබුවා. එහිදී හෙරොයින්, අයිස්, ගංජා, මාවා සහ මත්පෙති 3574 ක් ද සොයා ගෙන ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ.

එමෙන්ම, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙසෙල්වත්ත ධනුකගේ ගෝලයන් දෙදෙනෙකු (2) අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 151 ක් සමගින් ගම්පහ සහ ගනේමුල්ල යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ‘යුක්තිය’ මෙහෙයුමෙන් මඟ හැර සිටීම සඳහා ලැගුම්හල් තුල සැඟව සිටියදීයි.

මීට අමතරව, දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ‘රාගම ආමි සංඛ’ගේ සහෝදරයෙකු ද රාගම ප්‍රදේශයේ ඊයේ (27) සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 7 ක් සමගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු ‘රාගම ආමි සංඛ’ගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන අලෙවිකරුවා බවටයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *