වෛද්‍යවරුන්ගෙන් රතු එළියක් – ජනවාරි 01 වනදා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්

වෛද්‍යවරුන්ගෙන් රතු එළියක් – ජනවාරි 01 වනදා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්


වෛද්‍යවරුන්ගෙන් රතු එළියක් – ජනවාරි 01 වනදා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්

(28.12.2023 – 08:56 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍යවරුන් රට හැරයාම ඇතුළු සිය ගැටලුවලට විසදුම් නොදෙන්නේ නම් ලබන වසරේ (2024) ජනවාරි 01 වනදා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්ට එළඹීමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

කොළඹ ඊයේ (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ප්‍රකාශකර සිටියේ සිය මධ්‍යම කාරක සභාවද ඊට ඒකමතිකව අනුමැතිය ලබා දී ඇති බවයි ෴


සිය දියණිය දුෂණය කළ පොලිස් පියා අත්අඩංගුවට

(28.12.2023 – 10:48 +0530 – hirunews.lk/sinhala)

තම බිරිඳට පහරදී වයස අවුරුදු දහතුනක (13) දියණිය දුෂණය කළ පොලිස් කොස්තාපල්වරයෙක් ඊයේ (27) අනුරාධපුර පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් කොස්තාපල්වරයාගේ බිරිඳ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසුවයි.

මොහු වයස අවුරුදු 38 ක අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම සැකකරු අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර මේ වනවිට රැඳවුම් නියෝග ලබා ගනිමින් ප්‍රශ්න කර ගෙන යන බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ අදාළ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි ෴


ප්‍රතිකාර සඳහා රෝහලට එමින් සිටි පුද්ගලයෙකු වනඅලි ප්‍රහාරයකින් මරුට

(28.12.2023 – 10:28 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට මහරෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙමින් සිටි පුද්ගලයෙකුට ලුණුගම්වෙහෙර – මත්තල – අලුත්ගම්වෙහෙර ප්‍රදේශයේදී අද (28) උදෑසන වන අලි ප්‍රහාරයකට ලක්ව මියගොස් තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 69 ක් වයසැති පුද්ගලයෙකු බවයි.

මේ අතර, ගනේවල්පොල වනසත්ත්ව අඩවියට අයත් කැකිරාව නෙල්ලියගම ප්‍රදේශයේදී අද (28) අලුයම වනඅලියෙකු දුම්රියේ ගැටී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ තැපැල් දුම්රියේ ගැටී මෙම වනඅලියා ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කැකිරාව හා හොරිවිල දුම්රිය ස්ථාන අතරදී බවයි වනජිවි නිලධාරින් සඳහන් කළේ.

මෙම වන අලියාගේ වයස අවුරුදු 25 ක් පමණ වනවා ෴


‘යුක්තිය’ විශේෂ මෙහෙයුමෙන් තවත් 1422 දෙනෙකු අත්අඩංගුවට

(28.12.2023 – 09:40 +0530 – hirunews.lk/sinhala)

පසුගිය පැය 24 තුළ දීපව්‍යාප්ත විශේෂ මෙහෙයුමකදී පුද්ගලයින් 1422 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් සැකකරුවන් 35 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බවයි වාර්තා වෙන්නේ.

එසේම, සැකකරුවන් 03 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන ආරම්භ කරනු ලබන අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 37 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 73 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම මෙහෙයුම තුළදි අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහත පරිදි දැක්වේ :

  • හෙරොයින් 347 g
  • අයිස් 827 g
  • ගංජා 05.475 kg
  • ගංජා පැල 6691
  • මාවා 208 g
  • මත්පෙති 3574

“හැකි සෑම විටම මාස්ක් පළඳින්න”

(28.12.2023 – 09:16 +0530 – hirunews.lk/sinhala)

හැකි සෑම අවස්ථාවකම මුඛ ආවරණ පළිඳින ලෙස වසංගත රෝග විද්‍යා ආයතනයේ විශේෂඥ වෛද්‍ය චින්තන පෙරේරා ඉල්ලීමක් කරනවා.

දඹදිව ඇතුළු විදේශ සංචාරවල යෙදෙන ජනතාවට වෙත මෙම දැනුම්දීම ඉතා වැදගත්වනු ඇති.

විදේශ සංචාරවලදී අසනීප තත්ත්වයක් ඇතිවුවහොත් වහා වෛද්‍ය උපදෙස් ගැනීම වැදගත් බවයි ඔහු සඳහන් කර සිටියේ.

එමෙන් ම රටේ කොවිඩ් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල පවසන්නේ රට පුරා විවිධ ප්‍රදේශවලින් ජෛව පටල නියැදි ලබාගෙන ඒවා මේ දිනවල පරීක්ෂා කරගෙන යන බවයි.

නව වෛරස ප්‍රභේදය පැතිරීම ගැන ඒ අනුව ඉදිරියේදී ස්ථීර වශයෙන්ම දැනගත හැකිවන බවද ඔහු සඳහන් කර සිටියා .

කොවිඩ් දැන් මතුවන්නේ සෙම් ප්‍රතික්ෂාව වැනි පොඩි අසනීප තත්වයක් ආකාරයට බවත් එවැනි අවස්ථාවලදී පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.

කොවිඩ් ජාන විශ්ලේෂණ අවසාන පරීක්ෂණයේදී නව ප්‍රභේදය හමුවී නැතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා ෴


වෛද්‍ය බෙල්ලන ඖෂධ වංචාවේ මහ මොළකරුවන් හෙළිකරයි | මෙන්න මේක පිටිපස්සේ ඉන්න ප්‍රභලයෝ | කෙහෙළිය ඉල්ලගෙන කයි (28.12.2023)

++++++++

“ඩොක්ටර් අපිට බනින්න එපා අපි උපරිම වෙරදාලා ඕකුන්ව අල්ලනවා” | CID ගිය ‍‍‍‍‍‍‍‍වෛද්‍ය බෙල්ලනට නිළධාරීන් කිව්ව දේ (28.12.2023)

++++++++

‘ඉමියුනොග්ලොබියුලීන්’ වංචාවේ ඖෂධ සැපයුම්කරුගෙන් රහස් පොලිසිය පැය දෙකක් ප්‍රශ්න කරයි

(28.12.2023 – 17:40 +0530 – hirunews.lk/sinhala)

ප්‍රශ්න ගත ‘ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහ එන්නත්’ වංචා නඩුවේ පළමු සැකකරු වන ඖෂධ සැපයුම්කරු ‘සුගත් ජානක ප්‍රනාන්දු’ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුමේන්තුව අද (28) බන්ධනාගාරයට ගොස් ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක කියා සිටියේ ඖෂධ සැපයුම්කරුගෙන් පැය 2 ක කාලයක් ප්‍රකාශ සටහන් කර ගත් බවයි.

අධිකරණ නියෝග මත අදාළ ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කෙරුණු බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා ෴


‘යුක්තිය’ මෙහෙයුම මැද බෝම්බකරුවෙකුගෙන් පොලිසියට ප්‍රහාරයක්

(28.12.2023 – 18:02 +0530 – hirunews.lk/sinhala)

දෙමටගොඩ ‘යුක්තිය’ මෙහෙයුම අතරතුරදී පොලිස් සැරයන්වරයෙකුගේ හිසට ගල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

දෙමටගොඩ ‘ලක්හිරු සෙවණ මහල් නිවාස සංකීර්ණය’ වටලා ඊයේ (27) සිදුකළ මෙහෙයුමක් අතරතුර මෙම සිද්ධිය සිදුව ඇති බවයි දෙමටගොඩ පොලිසිය සඳහන් කළේ.

එහිදී ගල් ප්‍රහාරය එල්ලකර පළායාමට තැත් කළ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඇතුළු පුද්ගලයන් 53 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි අප කළ විමසීමකදී දෙමටගොඩ ‍පොලිසිය සඳහන් කළේ.

තුවාල ලද පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

සැරයන්වරයාට තුවාල සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ජීව බෝම්බයක් හා අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 11,500 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා ෴


බැතිමතුන් පූජා කළ රත්‍රං සහ පූජා භාණ්ඩ කපුවෙකු රැගෙන යයි

(28.12.2023 – 16:10 +0530 – hirunews.lk/sinhala)

විනය විරෝධී ක්‍රියාවක් නිසා රුහුණු – කතරගම මහා දේවාල පරිශ්‍රයට ඇතුලු වීම තහනම් කර සිටි කපුවෙකු ඊට බලහත්කාරයෙන් ඇතුළු වී බැතිමතුන් පූජා කළ පූජා භාණ්ඩ සහ රත්‍රං රැගෙන ගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් වංචා විමර්ශන ඒකකය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඊට අදාල පැමිණිල්ල දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර විසින් සිදුකර තිබූ අතර, පොලිස් වංචා විමර්ශන ඒකකය ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත්තේ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ලබාදුන් උපදෙස් වලට අනුවයි.

2022 වසරේ ජුලි 25 වනදා සිට මොහුගේ කපු ධුරය අත්හිටුවා දේවාලයට ඇතුළුවීම තහනම් කර තිබූ නමුත්, පසුගිය නොවැම්බර් 13 වනදා සිට ඉකුත් 13 වනදා දක්වා මොහු දේවාලයේ තේවාව සිදුකර ඇති බවට අදාල පැමිණිල්ලේ දක්වා තිබුණා.

රුහුණු කතරගම මහා දේවාලයට බැතිමතුන් පූජා කරන ඇතැම් ද්‍රව්‍ය කපුවන් විසින් සොරා ගන්නා බවට චෝදනා එල්ල වී ඇති අතර, එලෙස පූජා කරන ලද පවුම් 38 කින් යුත් රන් තැටිය අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි ප්‍රධාන කපුවා වන සොමිපාල ටී. රත්නායක ද කොළඹ අපරාධ කොට්ඨාශය මගින් ඊයේ (27) අත්අඩංගුවට ගැණුනා.

කෙසේ වෙතත්, පසුව ඔහු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප කොන්දේසි මත මුදා හැරීමටයි නියෝග කෙරුණේ ෴


යාපනයේ ගින්නකින් වෙළඳසැල් දෙකක් (2) අළුවෙයි

(28.12.2023 – 15:42 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ පෙරියකඩේ පාරේ පිහිටි මහා පරිමාණයේ සාප්පු සංකීර්ණයක වෙළදසැල් දෙකක් (2) අද (28) අළුයම හටගත් ගින්නකින් සම්පූර්ණයෙන්ම දැවී ගොස් තිබෙනවා.

මෙම ගින්න නිසා වෙළද සැල් දෙකේම තිබූ රුපියල් කෝටි තුනකට (3) වඩා වැඩි වටිනාකමකින් යුත් ඇදුම් පළදුම් හා වෙනත් විසිතුරු භාණ්ඩ සියල්ලක්ම දැවී අළු බවට පත්ව ඇති බවයි ‘හිරු වාර්තාකරු’ සඳහන්කර සිටියේ.

යාපනය මහ නගර සභාවේ ගිණි නිවන ඒකකයේ පිරිස් පැමිණ වෙළදසැල් දෙකේ (2) ගින්න පාලනය කිරීමට උත්සහ කළත් ඒ වන විට වෙළද සැල් දෙකම ගින්නෙන් විනාශ වී ගොස් ඇති නිසා ගින්න වෙනත් වෙළදසැල් වෙත පැතිර යාම වළක්වා තිබෙනවා.

වෙළදසැල් දෙක (2) හදිසියේම ගිණි ගැනීමට බල පෑ හේතුව කුමක්දැයි මෙතෙක් පැහැදිලිව අනාවරණය වී නොමැති බවයි වාර්තා වෙන්නේ.

යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා ෴


‘කිල්මිෂා’ දිවයිනට

(28.12.2023 – 15:34 +0530 – hirunews.lk/sinhala)

දකුණු ඉන්දීය රූපවාහිනී නාලිකාවක ‘Sa Re Ga Ma Pa Little Champ’ සංගීත වැඩසටහනක ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූ ‘කිල්මිෂා උදයශීලන්’ දැරිය අද (28) ඉන්දියාවේ සිට ගුවන් මගින් යාපනයේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියා.

ඇයව පිළිගැනීම සදහා යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළට විශාල ජනකායක් පැමිණි අතර ඔවුන් සියළුම දෙනාට ගුවන්තොටුපොළට යාමට අවසර නොලැබී ඇති බවයි වාර්තා වන්නේ.

විශාල රිය පෙරහැරකින් ‘කිල්මිෂා’ දැරිය යාපනය නගරය වෙත කැදවා ගෙන යාමට යාපනයේ ජනතාව කටයුතු යොදා තිබූ අතර මේ අවස්ථාවට ඇගේ දෙමව්පියන් හා ඥාතීන්ද සහභාගී වී සිටි බවට සඳහන්.

‘කිල්මිෂා’ යාපනයේ පදිංචි 14 හැවිරිදි දැරියක් ෴

++++++++++

++++++++++

+

+

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *