‘මට්ටක්කුලියේ කුඩු රොෂාන්’ ඇතුළු සැකකරුවන් 23 දෙනෙකු අත්අඩංගුවට

‘මට්ටක්කුලියේ කුඩු රොෂාන්’ ඇතුළු සැකකරුවන් 23 දෙනෙකු අත්අඩංගුවට


‘මට්ටක්කුලියේ කුඩු රොෂාන්’ ඇතුළු සැකකරුවන් 23 දෙනෙකු අත්අඩංගුවට

(27.12.2023 – 16:21 +0530 – hirunews.lk/sinhala)

‘මට්ටක්කුලියේ කුඩු රොෂාන්’ නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඇතුළු සැකකරුවන් 23 දෙනෙකු අද (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වරකාපොළ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එම ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටිය දී බවයි සඳහන් වන්නේ.

සැකකරුවන් අතර පිරිමින් 10 ක්, කාන්තාවන් 05 ක් සහ කුඩා ළමුන් 08 දෙනෙකුට සිටන බව වාර්තා වනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය දියත් කරනු ලබන මෙහෙයුම්වලින් සැගවී සිටිම සඳහා මොවුන් නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගැනීම සඳහා ගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා.

++++++++

+


ජංගම දුරකථනයක් මිල දී ගැනීමේ දී අවධානය යොමු කළ යුතු කරුණු

(27.12.2023 – 15:51 +0530 – hirunews.lk/sinhala)

ජංගම දුරකථනයක් මිල දී ගැනීමේදී අදාළ දුරකථනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි දුරකථනයක්ද යන්න තහවුරු කරගත යුතු බව එහි අනුකූලතා අධ්‍යක්ෂ මේනකා පතිරණ පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඇය පවසන්නේ කෙටි පණිවුඩයක් යොමුකිරීම හරහා ඒ බව තහවුරු කරගත හැකි බවයි.

ඒ සඳහා IMEI ලෙස ටයිප් කර හිස්තැනක් තබා අංක 15 කින් යුතු IMEI අංකය ටයිප් කර 1909 ට ඕනෑම ජංගම දුරකථන ජාලයක් ඔස්සේ කෙටි පණිවුඩයක් යොමුකිරීම හරහා එහි සත්‍ය අසත්‍යතාව තහවුරු කරගත හැකි බවයි සඳහන් ෴


‘මන්නා රොෂාන්’ට පත්තු වුණ ඩුබායි වෙඩිල්ල (27.12.2023)

+

+


ත්‍රස්ත ග්‍රහණ‍යේ සිටින ලාංකිකයන් ගෙන් ‘අද දෙරණ’ට ලිපියක්

(27.12.2023 – 19:21 +0530 – sinhala.adaderana.lk)

මියන්මාර දේශ සීමාවේ ත්‍රස්ත ග්‍රහණයට නතුව සිටින තමන්ව මුදාගැනීමට රුපියල් කෝටි 15 ක මුදලක් අවශ්‍ය බවත් එම මුදල සපයාගැනීමට මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් ඇතුළු පාර්ශ්ව කිහිපයකින් සහාය අපේක්ෂා කරන බවත් එරට සිර වී සිටින ශ්‍රි ලාංකිකයින් ‘අද දෙරණ’ට ලිපියක් යොමු කරමින් සඳහන් කරයි.

ඔවුන් පවසන්නේ, අදාළ මුදල දැරීමට ශ්‍රී ලංකා රජය මෙතෙක් අපොහොසත් වීම පිළිබඳ කනගාටු වන බවයි.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා ලබාගැනීමේ අරමුණින් මියන්මාරයට ගොස් එහි ත්‍රස්ත සංවිධානයක ග්‍රහණයට නතුව, සයිබර් වහල් සේවයේ නිරත වන්නට සිදුවූ ශ්‍රී ලාංකිකයින් 56 දෙනෙකු පිළිබඳ පසුගිය දිනවලදී ‘අද දෙරණ’ අනාවරණ කළේය.

ලිපිය මගින් ඔවුන් පෙන්වා දී ඇත්තේ, මියන්මාර දේශ සීමාවේ සිර වී සිටින තමන්ව මුදාගැනීමට රුපියල් කෝටි 15 ක මුදලක් අවශ්‍ය වන අතර, එම මුදල දැරීමට ශ්‍රී ලංකා රජය මෙතෙක් අපොහොසත් වීම පිළිබඳ තමන් කනගාටු වන බවයි.

මේ අතර, එලෙස සිර වී සිටින තරුණියක් ද ‘අද දෙරණ’ට මෙලෙස අදහස් පළ කළාය :

“මෙතන නේපාල අය 15 ක් දැනට බේරිලා ගිහින් තියෙනවා. නේපාලෙ කට්ටිය ඔක්කොම බේරිලා ගිහින් තියෙන්නෙ. එයාලා වෙනුවෙන් එක් අයෙකුට ඩොලර් 8,000 ක් බැගින් එයාලගෙ රජයෙන් ගෙවලා තමයි එයාලව ගත්තෙ. එහෙම බැලුවම අපිට සාමාන්‍යයෙන් රුපියල් කෝටි 15 ක විතර මුදලක් යනවා. මෙතනට අපි ආවේ රැකියාවකට. අපි ආවේ ‘විසිට් වීසා’ නිසා ගොඩක් අය හිතයි අපි වැරදියි කියලා. නමුත් අපි ආවේ පස්සෙ අපිට ‘ජොබ් වීසා’ එකක් දෙනවා කියලා පොරොන්දුව අපිට දීලා තිබුණා. මට ‘ඇග්‍රිමන්ට්’ එකක් පවා පෙන්නුවා. මෙහෙට ඇවිත් අස්සන් කරපු ‘ඇග්‍රිමන්ට්’ එකෙත් ඒ විස්තරේ තිබුණා. හැබැයි ඒ ‘ඇග්‍රිමන්ට්’ එකේ නමක්, ගමක් කිසිම දෙයක් නැහැ. අනිත් හේතුව, අපි එන්නෙ මෙහෙම රස්සාවක් කියලා දැනගෙන නෙවෙයි. මෙතනට ආවට පස්සේ අපි මේ විදිහට හිරවෙලා දැන් ගොඩක් දුක් විඳිනවා. මෙතන කෙනෙක්ගෙ ජීවිතයක් නැතිවෙන්න කලින් කාටහරි පුළුවන් නම් අපිව බේරගන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අපිට උදව් කරන්න. මේ මුදල හොයාගන්න අපිට මෙතනින් බේරෙන්න උදව් කරන්න කියලා ගොඩක් බැගෑපත්ව ඉල්ලීමක් කරනවා.”

+


රට වටේ ගිය හොර නඩේ අත්අඩංගුවට

(28.12.2023 – 08:02 +0530 – sinhala.adaderana.lk)

රන් මාල සහ ත්‍රීරෝද රථයක් කොල්ලකෑමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඊයේ (27) රාත්‍රියේ පිටකොටුව පොලිස් වසමේ හෙට්ටිවීදිය ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක යෙදී සිටි පිටකොටුව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් රන් භාණ්ඩ අලෙවි කිරීමට පැමිණ සිටි සැකකටයුතු පුද්ගලයින් තිදෙනෙක් (3) එලෙස සිය භාරයට ගෙන තිබිණි.

අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 23, 29 හා 32 යන වයස්වල පසුවන එගොඩඋයන සහ මිද්දෙණිය ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් විසින් ඇඹිලිපිටිය පොලිස් වසමේ රියදුරුට පහරදී කොල්ලකන ලද ත්‍රීරෝද රථයක් යොදාගෙන කළුතර උතුර, දකුණ හා ගම්පහ යන පොලිස් වසම්වල සිදුකරන ලද කොල්ලකෑම් රැසක් අනාවරණය වී තිබේ.

කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල සොරකම් රැසක් පිළිබඳව ද එහිදී තොරතුරු ලැබී ඇත.

කොල්ලකන ලද ත්‍රීරෝද රථය ඉන්ධන අවසන්වීම හේතුවෙන් කළුතර උතුර පොලිස් වසමේ දමාගොස් තිබිය දී පොලීසිය සොයාගෙන තිබේ ෴


පළාත් පාලන ආයතනවල ගෙවීම් කටයුතු මාර්ගගත ක්‍රමයට

(28.12.2023 – 07:52 +0530 – sinhala.adaderana.lk)

සියලුම පළාත් පාලන ආයතනවල ගෙවීම් කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට සැලසුම් කර ඇති බව පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ලබන වසරේ මාර්තු 31 වැනි දින වන විට එම කටයුතු ජංගම දුරකථන යෙදවුමක් හරහා සිදු කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බවයි ෴

++++++++

+


පිළිකා රෝගීන්ට සිදුකරන විකිරණ ප්‍රතිකාර සේවාවේ බරපතළ බිඳ වැටීමක්

(28.12.2023 – 07:36 +0530 – hirunews.lk/sinhala)

පිළිකා රෝගීන්ට සිදුකරන විකිරණ ප්‍රතිකාර සේවාව බරපතළ බිඳ වැටීමක් මේ වනවිට දක්නට ලැබෙන බව ‘පරිපුරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය’ ප්‍රකාශ කළා.

රජයේ රෝහල් පද්ධතිය සතුව ‘ලීනියර් ඇක්සලරේටර්’ යන්ත්‍ර 10 ක් පවතින අතර අද (28) වන විට ඉන් යන්ත්‍ර 4 ක් බිඳවැටී ඇති බවයි එහි ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම කියා සිටියේ.

අපේක්ෂා රෝහලේ එක් (1) යන්ත්‍රයක්, මහනුවර ජාතික රෝහලේ යන්ත්‍ර දෙකම (2) ද, මඩකලපුව ශික්ෂණ රෝහලේ ඇති එකම (1) යන්ත්‍රය ද මේ වනවිට අක්‍රිය වී ඇති අතර මේ හේතුවෙන් පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කටයුතු කිරීමේදී කාර්යමණ්ඩලය සහ රෝගීන් දැඩි අපහසුතාවට ලක්ව ඇති බව වාර්තා වනවා.

මෙම රෝහල්වල පිලිකා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මාස කිහිපයක පොරොත්තු ලේඛනයක්ද දැකිය හැකි බවයි ‘පරිපුරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය’ කියා සිටියේ.

මෙම යන්ත්‍ර බොහොමයක් මෑතකදි රෝහල් පද්ධතියට එක් කළ ඒවා වන අතර මෙලෙස වරින් වර යන්ත්‍ර බිදවැටීම පිළිබඳ විශේෂ පරික්ෂණයක් කළ යුතු බවයි එහි ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම කියා සිටියේ.

තමවත් රජයේ රෝහල් පද්ධතිය සතුව තිබෙන ‘පෙට් ස්කෑන්’ යන්ත්‍ර දෙක රෝගීන්ගේ පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කර නොමැති බවටද ඔවුන් චෝදනා කළා ෴


පාන් සහ හාල් කුඩු දැමූ මිරිස් කුඩු පිටකොටුවේ

(28.12.2023 – 07:32 +0530 – hirunews.lk/sinhala)

පාන් කුඩු සහ පැරණි සහල් කුඩු මිරිස් කුඩුවලට මිශ්‍ර කොට අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙනවා.

පිටකොටුව ආශ්‍රිත වෙළඳසැල්වල මෙම මිරිස් කුඩු අලෙවි කරන බවටයි පාරිභෝගික සේවා අධිකාරියට තොරතුරු ලැබී ඇත්තේ.

කොළඹ කොස්ගස්හන්දිය ප්‍රදේශයේ ස්ථානයක මෙම ජාවාරම ක්‍රියාත්මක වන අතර ඒ සඳහා පිටකොටුවේ තොග කඩවලින් ඉවත් කරන පාන් කුඩු සහ පැරණි සහල් යොදා ගෙන තිබෙනවා.

පසුව ඒවා මිරිස් කුඩුවලට මිශ්‍ර කොට පිටකොටුවේ වෙළඳසැල්වලට අලෙවි කරන බවටයි අනාවරණය වී ඇත්තේ ෴


සතියක් තුළ යාපනයේ ඩෙංගු මරණ 3 ක්

(28.12.2023 – 07:20 +0530 – hirunews.lk/sinhala)

සතියක කාලයක් තුළ යාපනය දිස්ත්‍රික්කයේ 3 වන ඩෙංගු මරණය වාර්තා වී තිබෙනවා.

මෙලෙස යාපනය ශික්ෂණ රෝහලේදී ජීවිතක්ෂයට පත් වූයේ යාපනය – අච්චුවේලි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.

මීට පෙර යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාස 11 ක් වයසැති කුඩා දරුවෙකු සහ යාපනය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන 25 හැවිරිදි තරුණියක්ද ඩෙංගු වැලදී ජීවිතක්ෂයට පත් වුණා.

යාපනය ශීක්ෂණ රෝහලේ පමණක් ඩෙංගු රෝගීන් 136 දෙනෙකු මේ වනවිට ප්‍රතිකාර ලබනවා.

මේ අතර දිවයින පුරා සීග්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරීමට සෞඛ්‍ය නිළධාරීන් මෙන්ම ජනතාවද එක හා සමානව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළා ෴


‘ඌරු උණ වෛරසය’ අඩංගු මස් නිෂ්පාදන තොගයක් විනාශ කෙරේ

(28.12.2023 – 07:18 +0530 – hirunews.lk/sinhala)

චීනයෙන් ආනයනය කළ ‘සොසේජස්’ ඇතුළු නිෂ්පාදන කිලෝග්‍රෑම් 3,239 ක් ඊයේ (27) විනාශ කිරීමට පියවර ගත් බව ‘පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ’ අධ්‍යක්ෂ වෛද්‍ය සංජික පෙරේරා පවසා තිබෙනවා.

ඒ වැලිසර ශීත ගබඩාවක ගබඩා කර තිබූ මෙම නිෂ්පාදන තොගයේ ‘ඌරු උණ වෛරසය’ අඩංගු බවට තහවුරු වීමත් සමඟයි.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම තොගයට ශීතකරණ ලද නැවුම් තාරා මස් කිලෝග්‍රෑම් 2560 ක්, කුකුළු මස් කිලෝග්‍රෑම් 171 ක්, තායිවාන් ග්‍රිල් සොසේජස් කිලෝග්‍රෑම් 56 ක්, තාරා ඔළු කිලෝග්‍රෑම් 132 ක්, ඌරු මස් කිලෝග්‍රෑම් 12 ක්, කුකුළු තටු කිලෝග්‍රෑම් 20 ක් සහ සොසේජස් කිලෝග්‍රෑම් 288 ක් ඇතුළත් වී තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *