මහනුවර ගස් කඩා වැටී වාහන 8 කට දැඩි හානි

මහනුවර ගස් කඩා වැටී වාහන 8 කට දැඩි හානි


මහනුවර ගස් කඩා වැටී වාහන 8 කට දැඩි හානි

(27.12.2023 – 13:11 +0530 – sinhala.adaderana.lk)

මහනුවර, තිලක් රත්නායක මාවතේ දැවැන්ත ගස් දෙකක් කඩාවැටීම හේතුවෙන් එම ස්ථානයේ ගාල් කර තිබූ රථ වාහන 8 කට දැඩි අලාභහානී සිදුව තිබේ.

අද (27) පෙරවරු 11 ට පමණ එකිනෙකට යාබඳව පිහිටි බෝ ගසක් හා සපු ගසක් එසේ කඩා වැටී ඇති අතර පැවති අධික වර්ෂාව හේතුවෙන් මෙම ගස්වල මුල් දිරා ගොස් ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

ඒ හේතුවෙන් එම ස්ථානයේ නවතා තිබූ ලොරි, කාර්, වෑන්, ත්‍රිරෝද රථ ඇතුළු වාහන අටකට (8) දැඩි අලාභ හානි සිදුව ඇති අතර අනතුරින් තුවාල ලද දෙදෙනෙකු (2) මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පවසයි.

මහනුවර මූලස්ථාන පොලීසිය, නාගරික ගිනි නිවන ඒකකය, යුද හමුදාව හා නගර සභාව එක්ව කඩා වැටුණු ගස් ඉවත් කිරීමේ කටයුතු සිදුකළ අතර ඒ හේතුවෙන් මාර්ගයේ රථ වාහන ධාවන කටයුතු පැය කිහිපයක් අත්හිටුවා තිබිණි ෴

+++++++++

[සේයාරූ]

+

+

+


ජෝර්දානය බලා පිටත්ව ගිය ශ්‍රී ලාංකික කාන්තාවන් ඇතුළු පිරිසක් අසරණ වෙයි

(27.12.2023 – 23:36 +0530 – hirunews.lk/sinhala)

ජෝර්දානයේ සහබ් ප්‍රදේශයේ පිහිටි මෙම කර්මාන්ත ශාලාවේ වසර හයක් (6) තිස්සේ සේවය කරන මෙරට කාන්තාවන් ඇතුළු පිරිසක් අසරණව සිටිනවා. ඒ වැටුප් නොගෙවීම ඇතුළු ගැටලු ගණනාවක් හේතුවෙන්.

ජෝර්දානයේ සහබ් ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක රැකියාවට ගිය තමන්ට වසර කිහිපයක සිට නිසි පරිදි වැටුප් ගෙවීමක් හෝ සිදුකර නොමැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ වනවිට අදාළ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු ද නවතා දමා ඇති පසුබිමක එහි කළමණාකාරිත්වය වැටුප් ගෙවීම දිගින් දිගටම පැහැර හැරීම හේතුවෙන් මේ වන විට ශ්‍රී ලාංකිකයින් 350 කට වැඩි පිරිසක් ආහාර පවා නොමැතිව අසරණව සිටින බව වාර්තා වෙනවා.

එම පිරිස මේ වන විට නේවාසිකාගාරවල සිරවී සිටින බවත්, එම ප්‍රදේශයට මේනවිට ශීත කාලය බලපා ඇති බැවින් විශාල පිරිසක් ලෙඩ රෝගවලට ගොදුරු වී ඇති බවත් ඔවුන් පවසනවා.

ජෝර්දානයේ සිරවී සිටින මෙම පිරිස ඉල්ලා සිටින්නේ මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන තමන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට බලධාරීන් මැදිහත් වන ලෙසයි.

තමන්ගේ වීසා කාලය ද මේ වන විට ඉක්ම ගොස් ඇති බැවින් නේවාසිකාගාරයෙන් බැහැරට යා නොහැකි තත්ත්වයක් මතුව ඇති අතර නේවාසිකාගාරවල විදුලිය පවා විසන්ධි කර ඇති බවද ඔවුන් පවසනවා ෴


සුරූපි තරුණියන්ව මුදලට අළෙවි කරලා

(27.12.2023 – 23:10 +0530 – hirunews.lk/sinhala)

ගල්කිස්ස කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන් විසින් අයිස්මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි ‘මාමා’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ඔහු නවාතැන් ගෙන සිටින සුඛෝභෝගී නිවාස සංකීර්ණය වටලා ඇති අතර එහි සිටි සුරූපී තරුණියන් සිව් දෙනකු (4) සමඟ තවත් තරුණයන් හතර දෙනකු (4) අයිස් මත්ද්‍රව්‍ය සහ ඒවා පානය කිරීමට යොදා ගන්නා උපකරණ සමඟ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

ඒ අනුව සුරූපි තරුණියන්ට මත්ද්‍රව්‍ය ලබාදී මුදලට අලෙවි කිරීමේ ජාවාරමක්ද සිදුවන බවයි මූලික පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම පොලිස් නිලධාරීන් එම නිවස වැඩිදුරටත් සෝදිසි කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය පැකට් කිරීමට යොදාගන්නා කුඩා ඉටිකවර විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා ෴


‘චූන් පාන්’ විකුණන මුවාවෙන් ‘චූන් කසිප්පු’ විකුණලා

(27.12.2023 – 22:06 +0530 – hirunews.lk/sinhala)

‘චූන් පාන්’ රියදුරෙකු ලෙස ත්‍රී රෝද රථයකින් පාන් සහ බනිස් විකුණන මුවාවෙන් නීති විරෝධී ලෙස මත්පැන් අළෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී විවිධ ප්‍රමාණයේ බෝතල් 28 ක අඩංගු කර තිබූ නීති විරෝධී මත්පැන් ස්ප්‍රීතු මිලි ලිටර් 37,000 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 1200 ක් පොලිස් බාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය සඳහන් කළේ පිටුපස පාන් අසුරන කොටසේ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබී මෙම මත්පැන් තොගය සොයා ගත් බවයි.

කෙසේ වෙතත් මිරිහාන පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා ෴


කොවිඩ් JN.1 ඉන්ෆ්ලුවෙන්සා මැද සරම්පත් ඉහළට

(27.12.2023 – 20:04 +0530 – hirunews.lk/sinhala)

මෙරට දිස්ත්‍රික්ක 9 කින් සරම්ප රෝගීන් වාර්තාවීමේ ප්‍රවණතාවක් ද දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී සඳහන් කළා.

මේ අතර, ඔමික්‍රොන් උප ප්‍රභේදයට අයත් JN.1 ලෙස හදුන්වන නව කොවිඩ් ප්‍රභේදය පිළිබඳ බියක් ඇති කර නොගන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ සම්බන්ධයෙන් දිවයින පුරා ප්‍රධාන රෝහල් 19 කින් නියැදි ලබාගෙන පරීක්ෂණ සිදුකරන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

ඔමික්‍රෝන් උප ප්‍රභේදයට අයත් JN.1 ලෙස හඳුන්වන මෙම නව කොවිඩ ප්‍රභේදය ගෝලීය වශයෙන් වේගවත් ව්‍යාප්තියක් පෙන්වන අතර, ලොව පුරා රටවල් 41 කින් ආසාදිතයින් 7,344 දෙනෙකු වාර්තා වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හෙවත් 1,552 දෙනෙකුම වාර්තා වී ඇත්තේ ප්‍රංශයෙන් වන අතර, ප්‍රතිශතයක් ලෙස එය සියයට 20.1 ක්. අසල්වැසි ඉන්දියාවෙන් මේ වනවිට මෙම නව කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් 63 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඉන්දියාවේ මේ වන විට PCR පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කර තිබෙනවා.

නව කොවිඩ් වෛරස් ප්‍රභේදයෙහි ලක්ෂණ ලෙස කැස්ස, සුවඳ සහ රසය නැතිවීම, නොනැවතී පවතින අධික උණ, හුස්ම ගැනීමේ අපහසුතා, තෙහෙට්ටුව, ආහාර ගැනීමට නොහැකිවීම සහ වමනය වැනි ලක්ෂණයි හඳුන්වා දී ඇත්තේ.

මෙම තත්ත්වය මත කොවිඩ් හඳුනා ගැනීමේ පරීක්ෂණ නැවත ඇරඹීමේ අවශ්‍යතාව සෞඛ්‍ය වෘත්තිය සමිති දැඩි ලෙස අවධාරණය කරනවා.

කොරෝනා බවට අනුමාන කෙරෙන රෝගීන් සදහා වහාම ‘ඇන්ටිජන්’ පරීක්ෂණ සිදුකිරීමට කටයුතු කරන්නැයි සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදෙශ් ඉල්ලීමක් කළා.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසන්නේ පවතින තත්ත්වය හමුවේ කොවිඩ් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වියයුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ තාක්ෂණික කමිටුව රැස්වීම විසින් වහාම තීරණ ගත යුතු බවයි.

+


කළුතර බන්ධනාගාරයේ CCTV කැමරා 60 ක් අක්‍රීය වෙලා

(27.12.2023 – 18:07 +0530 – hirunews.lk/sinhala)

කළුතර බන්ධනාගාරයේ වසර දෙකකට (2) පෙර සවිකළ ඇති CCTV කැමරා 60 කට වැඩි සංඛ්‍යාවක් වසරක (1) කාලයක සිට අක්‍රීයව පවතින බව හෙළි වී තිබෙනවා.

පහරදීමකින් බන්ධනාගාර රැඳවියෙකු ඊයේ (26) අළුයම මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීමේදී මේ බව අනාවරණය වූ බව එහි ප්‍රකාශයෙකු සඳහන් කළා.

කළුතර බන්ධනාගාරයේ ප්‍රධාන ගොඩනැගිල්ල, කාන්තා සිරමැදිරිය ඇතුළු වාට්ටු සියල්ලෙහිම මෙන්ම ප්‍රධාන දොරටුව, අවන්හල ඇතුළු ස්ථාන රැසක සවිකර ඇති CCTV කැමරා මෙසේ අක්‍රීයව ඇති බවටයි වාර්තා වන්නේ.

මියගිය රැඳවියා පහරකෑමට ලක්වූ බව කියන ‘සී වාට්ටුව’ ඉදිරිපිට ආරක්ෂක කැමරාවක් සවිකර ඇතත්, එයද මේ වනවිට අක්‍රීය තත්ත්වයේ පවතින බව සඳහන් වනවා.

+


සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඇතුළු සැකකරුවන් යළි රිමාන්ඩ්

(27.12.2023 – 17:24 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ‘ජානක චන්ද්‍රගුප්ත’ ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු අද (27) යළි රිමාන්ඩ් කර තිබෙනවා.

ඒ 2024 ජනවාරි 10 දක්වා බවයි සඳහන් වන්නේ.

මතභේදාත්මක ‘ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත්’ ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ලේකම් ‘ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත’ ඇතුළු සැකකරුවන් අද (27) යළි මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා.

කෙසේ වෙතත් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ ‘කපිල වික්‍රමනායක’ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බැවින් අධිකරණයට ඉදිරිපත් නොකළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ‘ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත’ සමඟ අදාළ එන්නත් තොගය ආනයනය කළ සමාගමේ හිමිකරු ‘සුගත් ජනක ප්‍රනාන්දු’, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ ‘ශාන්තිනී සොලමන්’, එහි ගණකාධිකාරි ‘නෙරාන් ධනංජය’ සහ තොග පාලක ‘සුජිත් කුමාර’ නමැති සැකකරුවන්ද අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (26) හිටපු සෞඛ්‍ය අමාත්‍ය ‘කෙහෙළිය රඹුක්වැල්ල’ ගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගත් අතර, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කොළඹ අද (27) ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ ප්‍රශ්න කිරීමට පමණක් සීමා නොවිය යුතු බවයි.

+


රාජ්‍ය සේවකයින්ට විශේෂ නිවාඩුවක්

(27.12.2023 – 16:44 +0530 – hirunews.lk/sinhala)

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආයතන සඳහා පැමිණීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්ට එලෙස පැමිණීමට නොහැකි වූ දින ‘විශේෂ නිවාඩු දින’ ලෙස සැලකීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

පසුගිය සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇති වූ ජල ගැලීම්, ගංවතුර සහ නායයෑම් නිසා සේවයට වාර්තා කිරීමට නොහැකි වූ නිලධාරීන් සඳහා පමණක් මෙය වලංගු වන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙම අමාත්‍යංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

මෙලෙස ලබා දෙන විශේෂ නිවාඩු අදාළ ආයතනයේ පවත්වාගෙන යනු ලබන නිවාඩු ලේඛනයේ සුදුසු පරිදි ඇතුළත් කළ යුතු බවයි එම චක්‍රලේඛයකයේ සඳහන් වන්නේ.

තමාට රාජකාරියට වාර්තා කිරීමට නොහැකි වූ හේතුව සඳහන් කර එය ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් සහ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගෙන් නිර්දේශ සහිතව ආයතන ප්‍රධානියා වෙත ඉදිරිපත් කළ යුතු බවයි වාර්තා වී ඇත්තේ.

අදාළ ඉල්ලීම පිළිබඳ පරික්ෂා කිරීමෙන් අනතුරුව ආයතන ප්‍රධානියා විසින් කර එහි නිරවද්‍යතාව පිළිබද සෑහිමකට පත් වන්නේ නම් මෙම විශේෂ නිවාඩුව ලබා දෙන බවද සඳහන් ෴


උසස් පෙළ විභාගයට පෙර ඩෙංගු මර්දන වැඩසටහනක්

(27.12.2023 – 16:41 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ සියලුම පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීම සඳහා විශේෂ වැඩසටහනක් අධ්‍යනය පොදු සහිත පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමට පෙර ජාතික ඩෙංගු මර්දන වැඩසටහන මඟින් ආරම්භ කර ඇති බව ‘සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය’ පවසනවා.

ඔවුන් සඳහන් කළේ ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ උපදෙස් පරිදි උසස් පෙළ පැවැත්වෙන පාසල්වල මෙම ඩෙංගු මර්දන වැඩසටන ක්‍රියාත්මක කිරීම කඩිනමින් සිදු කරන බවයි.

මෙම වැඩසටහන දෙසැම්බර් මස 31 වනදායින් අවසන් කරන බවයි එම සංගමයේ සභාපති පැවසුවේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

“මේ වනවිට ඩෙංගු රෝගීන් වාර්තාවීම දිනපතා ඉහළ යමින් පවතිනවා. ලැබුණු වර්ෂාපතනය මදක් අඩුවෙමින් පවතිනවා. උසස් පෙළ ජනවාරියේ ආරම්භ වෙනවා. ඒ අනුව මෙය දෙසැම්බර් 31 අවසන් කරනවා…”


කතරගම ප්‍රධාන කපුවා ඇපමත නිදහස්

(27.12.2023 – 16:31 +0530 – hirunews.lk/sinhala)

රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා වූ ‘සොමිපාල රත්නායක’ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) සහිතව තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබෙනවා.

ඔහු සෑම මසකම අවසාන ඉරිදා දින කොළඹ අපරාධ කොට්ඨාශයට වාර්තා කළ යුතු බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

‘සෝමිපාල රත්නායක’ කොළඹ අපරාධ කොට්ඨාසයට භාර වූයේ අද (27) පෙරවරුවේදීයි.

ඒ ඔහු අතුරුදන් වී ඇති බවට දියණිය ඇතුළු පවුලේ සියලුදෙනා පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති පසුබිමකයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *