සුනාමිය නිසා හඬ අහිමි වුණ ‘ශෙහාන්’ සහ ‘අශ්වින්’ගේ කඳුළු කතාව

සුනාමිය නිසා හඬ අහිමි වුණ ‘ශෙහාන්’ සහ ‘අශ්වින්’ගේ කඳුළු කතාව


සුනාමිය නිසා හඬ අහිමි වුණ ‘ශෙහාන්’ සහ ‘අශ්වින්’ගේ කඳුළු කතාව

(26.12.2023 – 22:13 +0530 – hirunews.lk/sinhala)

සුනාමි ඛේදවාචකයේ ජීවමාන සාක්ෂිකරුවන් වසර 19 කට පසුවත් ඒ පිළිබඳව සිහිපත් කරන්නේ කඳුළු පිරි දෙනෙතින්.

ඇතැමුන්ට සිය සමීපතමයින් දෑස් ඉදිරියේ අහිමි වෙද්දී, යම්තම් ලෝකය දුටු කිරි දරුවන් පවා එම ඛේදවාචකයේ වින්දිතයින් වුණා.

කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිව සිටින ‘ෂෙහාන් සුලක්ෂණ’ හා ‘අශ්වින් නේනුක’ යන සහෝදරයින් ඒ අත්දැකීමට මුහුණ දෙද්දි යම්තම් මෙලොව එළිය දුටුවා පමණයි.

දැනුම් තේරුම් ඇති වැඩිහිටියන්ට පවා එදා ඒ කම්පනය දරාගත නොහැකි වෙද්දී කිරි දරුවන් වූ මොවුන් දෙදෙනාටත් ඒ කම්පනය නිසැකවම දරාගන්නට නොහැකි වන්නට ඇති.

එහි අවසන් ප්‍රතිඵලය ලෙස අදටත් ඔවුන් කථන අපහසුතාවයෙන් පෙළෙනවා.

සුනාමි ඛේදවාචකය අවස්ථාවේ ෂෙහාන් වයස අවුරුද්දක (1) පුංචි දරුවෙක් වගේ ම ඔහුගේ සහෝදරයා වූ අශ්වින්ට උපතින් මාස 9 ක් සම්පූර්ණ වී තිබුණා.

මොවුන් දෙදෙනා අද වන විට 20 හැවිරිදි හා 19 හැවිරිදි වියේ පසුවන යෞවනයින්.

උදම් රළක් සිය දරුවන්ට මේ ඉරණම අත්කරනු ඇතැයි තමන් කිසිදා නොසිතූ බව මව පවසනවා.

සිය දරුවන්ට කථන හැකියාව යළි ලබාදීමට නම් ශල්‍යකර්මයක් කළ යුතු බවත්, ඒ සඳහා විශාල මුදලක් වැය වන බවත් ඇය පවසනවා.

+


ලැගුම්හලක් තුළ පුද්ගලයෙකු අබිරහස් ලෙස මියයයි

(26.12.2023 – 23:19 +0530 – hirunews.lk/sinhala)

බොරලැස්ගමුව දෙහිවල පාරේ සමූපාකාර මාවතේ ලැගුම්හලක් වෙත කාන්තාවක් සමඟ පැමිණි පුද්ගලයෙකු හදිසියේ මිය ගොස් තිබෙනවා.

අදාළ සිදුවීමෙන් පසුව කාන්තාව පළාගොස් ඇති බවයි බොරලැස්ගමුව පොලීසිය පැවසුවේ.

මෙසේ මියගොස් ඇත්තේ බොරලැස්ගමුව වේරහැර බෝධිරාජාපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55 ක් වන පුද්ගලයෙක්.

මියගිය පුද්ගලයා අදාළ කාන්තාව සමඟ ඊයේ (25) දහවල් ලැගුම්හලට පැමිණ ඇති අතර පැය කිහිපයකින් පසුව අදාළ කාන්තාව කෑගසමින් කාමරයෙන් පිටතට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ කළමනාකරු කාමරයට ගොස් බැලීමේදී අදාළ පුද්ගලයාගේ කටින් සෙම වැගිරී තිබෙන අයුරු දැක තිබෙනවා.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වී එම පුද්ගලයාව රෝහල්ගත කර ඇති බවයි වාර්තා වී ඇත්තේ.

කෙසේ වෙතත් පොලිසිය සඳහන් කළේ පළාගිය කාන්තාව සොයා පරීක්ෂණ සිදු කරන බවයි ෴


අන්තර්ජාලයෙන් ආසන වෙන් කිරීම තුළින් රුපියල් කොටි තුනහමාරක (3½) අදායමක්

(27.12.2023 – 07:02 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සඳහා අන්තර්ජාලය තුළින් මගී ආසන වෙන් කිරීමේ සේවාවට ඉදිරියේදී බස් රථ 200 ක් එක් කරන බව ලංගම සභාපති ලලිත් ද අල්විස් පවසා තිබෙනවා.

https://sltb.eseat.lk/ වෙබ් අඩවියට පිවිසීමෙන් මෙලෙස මගී ආසන වෙන් කර ගැනීමට හැකියාවක් පවතින බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මේ වසරේ (2023) ජනවාරි මස සිට මේ දක්වා අන්තර්ජාලයෙන් මගී ආසන 80,000 ට ආසන්න ප්‍රමාණයක් වෙන් කරගෙන ඇති බවත් ඒ තුළින් රුපියල් කෝටි තුනහමාරකට (3,50,00,000) ආසන්න ආදායමක් ලබා ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

එසේම 1315 අංකයෙන්ද ආසන වෙන් කිරීමේ පහසුව ඇති බවයි ලංගම සභාපතිවරයා ප්‍රකාශ කළේ ෴


ශ්‍රී පාදස්ථානයට පළමු දිනයේම ලක්ෂ දෙකකට (2) අධික බැතිමතුන්

(27.12.2023 – 07:30 +0530 – hirunews.lk/sinhala)

මෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වූ පළමු දිනයේම ලක්ෂ දෙකකට (2) අධික බැතිමතුන් පිරිසක් ශ්‍රීපාද වන්දනාවට පැමිණ තිබෙනවා.

මෙවර සිරිපා වන්දනා වාරයේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සහ රෙගුලාසි රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් ගැසට් මගින් ප්‍රකාශයට තිබූ අතර, එමගින් සිරිපා මලුව සහ විශ්‍රාම ශාලා ප්‍රදේශවල මෙන්ම ගමන් මාර්ගයේද සංචාරක වෙළඳාම තහනම් කර තිබුණා.

ආරක්ෂිත ස්ථානවල පමණක් දියනෑම සිදුකළ යුතු අතර ඒ සදහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පරිසර අධිකාරිය මෙන්ම පළාත්පාලන ආයතන විසින් හඳුනාගෙන ඇති ස්ථාන යොදාගත හැකියි ෴


“වෛරස් රෝගවලට වෛද්‍ය උපදෙස් වලින් තොරව ප්‍රතිජීවක ඖෂධ ගැනීම නොකළ යුතුයි”

(27.12.2023 – 07:30 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු වෛරස් රෝගවලට වෛද්‍ය උපදෙස් වලින් තොරව ප්‍රතිජීවක ඖෂධ ලබාගැනීම සිදු නොකළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ සඳහන් කළේ දීර්ඝ කාලයක් තිස්සේ උණ රෝගී තත්වයක් පවතින්නේ නම් රජයේ රෝහලකට පැමිණ වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසයි.

වෛරස් රෝගී තත්වය වාතය හරහා සීඝ්‍රයෙන් පැතිර යන බැවින් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්, ගර්භනී මව්වරුන් සහ නිධන්ගන රෝග වලින් පෙළෙන්නන් ඉන් ආරක්ෂාවීමට මුව ආවරණ පැළඳ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ෴


‘හීනටියන මහේෂ්’ගේ ගෝලයෙක් ආයුධ සමග අත්අඩංගුවට

(27.12.2023 – 10:18 +0530 – sinhala.adaderana.lk)

පාතාල කල්ලි නායකයෙකු වන ‘හීනටියන මහේෂ්’ගේ ගෝලයෙක්ව ආයුධත් සමග කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ.

‘යුක්තිය’ මෙහෙයුම යටතේ සිදුකළ වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඝාතනයක් සඳහා සූදානම්ව සිටි බව පොලීසිය පවසයි.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව ‘මිලිමීටර් නවය’ වර්ගයේ ජීව උණ්ඩ 05 ක් හමුවී තිබිණි.

එහිදී පොලීසිය සිදුකළ වැඩිදුර ප්‍රශ්න හමුවේ ඔහු ‘හීනටියන මහේෂ්’ගේ ගෝලයෙකු බවටත් ව්‍යාපාරිකයින් දෙදෙනෙකු (2) ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුවක් ලැබී තිබුණු බවත් හෙළිදරව් වී තිබේ.

මීට අමතරව ඝාතනය කිරීම සඳහා භාවිතයට ගැනීමට සුදානමින් තිබූ ‘මිලිමීටර් නවය’ වර්ගයේ පිස්තෝලයක් හා තවත් ජීව උණ්ඩ රැසක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය ෴


දියේ ගිලී 15 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

(27.12.2023 – 08:51 +0530 – sinhala.adaderana.lk)

නාවලපිටිය පොලිස් වසමේ, ගඟබඩ දිය ඇල්ලේ දියනෑමට ගිය පිරිමි දරුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ සම්බන්ධයෙන් පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 15 ක පානබොක්ක, කඩුගන්නාව ලිපිනයේ පදිංචිව සිටි දරුවෙකි.

මියගිය දරුවා තවත් දරුවන් සිව්දෙනෙක් (4) සමග දියඇල්ල නැරඹීමට ගොස් දියනාමින් සිටිය දී අනතුරට මුහුණපා ඇති බව සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

දරුවන් දෙදෙනෙකු (2) දියේ ගිලී නාවලපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර අනෙක් දරුවන් දෙදෙනාට (2) කිසිදු අනතුරක් සිදුව නොමැත.

+

මේ අතර මීගලෑව පොලිස් වසමේ 7 ඇළෙහි පුද්ගල මළ සිරුරක් ඇති බවට පොලීසිය පණිවුඩයක් ලැබී තිබේ. එලෙස මියගොස් ඇත්තේ 47 හැවිරිදි පුද්ගලයෙකි.

+

මේ අතර පානදුර වෙරළ තීරයේ දියනාමින් සිටි පිරිසක් අතරින් කාන්තාවක් හා පිරිමි ළමුන් දෙදෙනෙකු (2) දියේ ගිලෙමින් සිටියදී ජීවිතාරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන් 51142 සුසන්ත සහ පොලිස් කොස්තාපල් 91046 දසුන් යන අය විසින් ඔවුන්ව බේරාගැනීමට සමත්ව තිබේ.

අනතුරට පත් දරුවන් දෙදෙනා (2) 15 හැවිරිදි වියේ පසුවන අතර කාන්තාව 40 හැවිරිදි අයෙකි ෴


අනතුරින් බේරීමට උත්සාහ ගත් තරුණ විදෙස් කත මරුට

(27.12.2023 – 08:33 +0530 – sinhala.adaderana.lk)

නෙළුව, ලංකාගම මාර්ගයේ කොළොන්තොටුව ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් ප්‍රංශ ජාතික තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබුණි.

පොලීසිය සඳහන් කළේ, ඊයේ (26) සවස එම අනතුර සිදුව ඇති බවය.

නෙළුව සිට ලංකාගම දෙසට ධාවනය වූ වෑන් රථයක් ඉදිරියෙන් පැමිණි කාර් රථයකට මාර්ගයේ ඉඩ ලබාදී නවතා සිටිය දී, කාර් රථය එකවරම වේගයෙන් පැමිණ වෑන් රථයේ ගැටී ඇත.

එහිදී වෑන් රථය තල්ලු වී ඉදිරියට ගොස් නතර වී ඇති අතර, එම අවස්ථාවේ දී වෑන් රථය තුළ සිටි විදෙස් කාන්තාව එළියට පැනීමට උත්සාහ කිරීමේ දී කාර් රථයේ ගැටී අනතුර සිදුව ඇත.

බරපතළ තුවාල ලැබු කාන්තාව රෝහල්ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 22 ක විදෙස් තරුණියකි.

අනතුර සම්බන්ධයෙන් කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත ෴


දුම්රිය දේපළ සොරාගත් තිදෙනෙකුට (3) වෙඩි

(27.12.2023 – 07:11 +0530 – sinhala.adaderana.lk)

ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් කර්මාන්ත ශාලාවක දේපළ සොරකම් කළ තිදෙනෙකුට (3) වෙඩි තැබීමක් සිදුකර තිබේ.

ඊයේ (26) දින උදෑසන අදාළ සැකකරුවන් තිදෙනා (3) දේපළ සොරාගැනීමට උත්සාහ දැරීමේ දී දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු විසින් එය නැවැත්වීමට යාමේදී ඔහුට සැකකරුවන් විසින් තියුණු ආයුධයකින් පහරදීමට තැත්කර ඇත.

එහිදී දුම්රිය ආරක්ෂක නිලධාරියා විසින් සැකකරුවන් දෙසට වෙඩිතැබීමක් සිදුකර තිබේ.

එම වෙඩිතැබීමේ දී එක් සැකකරුවෙක් තුවාල ලබා ඇති අතර, අනෙක් සැකකරුවන් දෙදෙනා (2) පළාගොස් ඇත.

තුවාල ලබා ඇත්තේ අවුරුදු 51 ක් වූ මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු මේ වනවිට පොලිස් ආරක්ෂාව යටතේ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

පළාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


රෙක්ස් ගැන වැරදි ප්‍රචාරය කළ අයට රෙක්ස් ගේ දියණිය රංජන් සමග පිළිතුරු දෙයි (27.12.2023)

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *