ශ්‍රී ලාංකිකයන් සිර කරගෙන ‘සයිබර් අපරාධ’ මෙහෙයවන පුද්ගලයන් ගැන තවත් අනාවරණයක්

ශ්‍රී ලාංකිකයන් සිර කරගෙන ‘සයිබර් අපරාධ’ මෙහෙයවන පුද්ගලයන් ගැන තවත් අනාවරණයක්


ශ්‍රී ලාංකිකයන් සිර කරගෙන ‘සයිබර් අපරාධ’ මෙහෙයවන පුද්ගලයන් ගැන තවත් අනාවරණයක්

(26.12.2023 – 19:29 +0530 – hirunews.lk/sinhala)

මියන්මාරයේ ‘සයිබර් ක්‍රිමිනල් ඒරියා’ කඳවුරු ආශ්‍රිත ප්‍රදේශයේ ත්‍රස්ත ජාලය මෙහෙයවන පුද්ගලයින් පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය වෙත මේ වනවිට තොරතුරු ලැබී තිබෙනවා.

එම ප්‍රදේශයේ රඳවාගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 56 දෙනා සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරාම හිරු ප්‍රවෘත්ති කළ අනාවරණයෙන් පසු අදාළ කඳවුරු වෙත ශ්‍රී ලාංකිකයින් යොමු කෙරෙන මිනිස් ජාවාරම ශ්‍රී ලංකාවේ සිට මෙහෙයවන ප්‍රධානම සැකකරු වන චීන ජාතිකයා ඇතුලූ 4 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා.

කෙසේ වෙතත් වාර්තා වන ලාංකිකයින් 56 දෙනාට වැඩි පිරිසක් සිටිය හැකි බව මියන්මාරයේ හිටපු තානාපතිවරයෙකුගේ පෞද්ගලික ලේකම්වරයෙකු වන ‘නදුන් තාරක’ ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති සමග සිදු කළ සාකච්ඡාවක දී අදාළ ප්‍රදේශය පාලනය කරන ත්‍රස්ත ජාලය මෙහෙයවන පුද්ගලයින් පිළිබඳව ඔහු මෙම තොරතුරු අනාවරණ කළා.

මේ අතර අදාළ රැකියාවට කුරුණෑගල ප්‍රදේශයේ තරුණ තරුණියන් යොමුකළ බව පැවසෙන පුද්ගලයෙකුට එම එක් තරුණියක් තමන් මුහුණදෙන තත්වය පිළිබඳව පැවසූ පසු ඔහු ලබාදී තිබූ පිළිතුර බව කියන දුරකථන හඬපටයක්ද අප වෙත ලැබී තිබෙනවා.

+


වරායෙන් ඖෂධ නිදහස් කරගන්න කමිටුවක් පත් කෙරේ

(26.12.2023 – 19:38 +0530 – hirunews.lk/sinhala)

ආනයනය කළ ඖෂධ වරායෙන් නිදහස් කරගැනීම සඳහා වෛද්‍ය සැපයුම් අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සම්බන්ධීකාරක කමිටුවක් පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

අද (26) කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල කියා සිටියේ හෙට (27) සිට ක්‍රියාත්මක වන පරිදි එම කමිටුව පිහිටුවා ඇති බවයි.

මේ අතර ප්‍රමිතිය තහවුරු කර ඇති නමුත් මේ වන විට ලියාපදිංචිය කල් ඉකුත් වී පවතින ඖෂධ සදහා ලබන වසරේ (2024) ජුනි මස අවසානය වන තෙක් ලියාපදිංචිය නැවත ලබාදීමට තීරණය කර ඇති බව මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ප්‍රකාශ කළා ෴


සිසුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

(26.12.2023 – 18:08 +0530 – hirunews.lk/sinhala)

ගලබඩ දිය ඇල්ලේ ගැඹුරු වලක නෑමට ගිය පාසල් සිසුවෙක් දියේ ගිලී අද (26) ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මෙලෙස දියේ ගිලී ජීවිතක්ෂයට පත් වී ඇත්තේ වයස අවුරුදු 15 ක කඩුගන්නාව පනාබොක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අදාළ සිසුවා තවත් මිතුරන් කිහිපදෙනෙක් සමඟ නෑමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් නාවලපිටිය පොලිසිය පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බවයි ෴


බලපත්‍ර නැතිව ඩුබායි රැකියා ගැන මුහුණුපොතේ දැන්වීම් පළ කළ අයෙකු අත්අඩංගුවට

(26.12.2023 – 18:06 +0530 – hirunews.lk/sinhala)

ඩුබායි හි රූපලාවන්‍යාගාරවල පිරිසිඳු කරන්නියන් ලෙස කාන්තාවන් බඳවාගන්නා බවට මුහුණුපොතේ දැන්වීම් පළ කළ පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවාගැනීමේ චෝදනාව මතයි මහනුවර – අම්පිටිය ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණේ.

උපාය දූතයෙකු මාර්ගයෙන් මෙම පුද්ගලයා සම්බන්ධ කරගෙන තිබූ අතර, එහිදී රැකියා සඳහා බඳවා ගැනීම සිදුකිරීමට මහනුවර වෙළඳ සංකීර්ණය අසළට පැමිණෙන ලෙසටයි දන්වා තිබුණේ.

පසුව විදේශ සේවා සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා ෴


ත්‍රිපෝෂ පිළිබඳව විශේෂ අනාවරණයක්

(26.12.2023 – 16:57 +0530 – hirunews.lk/sinhala)

ගැබිණි මව්වරුන්, කුඩා දරුවන් සහ කිරිදෙන මව්වරුන් සඳහා ලබා දෙන ත්‍රිපෝෂ පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විසින් චෝදනාවක් සිදු කර තිබෙනවා.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ත්‍රිපෝෂවල අඩංගු විෂ රසායනික දෙගුණ කිරීමේ තීරණයක් ආණ්ඩුව ගෙන ඇති බවයි.

ඒ අනුව ත්‍රිපෝෂ නිෂ්පාදනයට ගන්නා බඩ ඉරිඟුවල අන්තර්ගත වියහැකි ‘ඇෆ්ලටොක්සින්’ ප්‍රමාණය දෙගුණයක් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

එම කැබිනට් තීරණයට අනුව ත්‍රිපෝෂවල දැනට අඩංගු වන බඩඉරිඟු කොටස් බිලියනයක ‘ඇෆ්ලටොක්සින්’ කෝටස් 5 ක ප්‍රමාණය 10 ක් දක්වා ඉහළ දමන බවද ඔහු සඳහන් කර සිටියා.

පුබුදු ජයගොඩ ප්‍රකාශ කළේ ‘ඇෆ්ලටොක්සින්’ නැමැති රසායනිකය ශරීරගත වීමෙන් අක්මාවට හානි විය හැකි නිසා එම රසායනිකය පිළිකා කාරකයක් ලෙස පිළිගැනෙන බවයි.

අදාළ කැබිනට් තීරණයත් සමඟ 1980 අංක 26 දරණ ආහාර පනත සංශෝධනය කිරීමට නියමිත අතර එමගින් කුඩා දරුවන් සහ මව්වරුන් ඇතුළු සියල්ලන්ගේ ජීවිත අවදානමට ලක්වන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ ෴


දින 10 ක් වැසුණු සෝමාවතිය පුදබිමට පිවිසෙන සුංගාවිල මාර්ගය විවෘත කෙරේ

(26.12.2023 – 14:09 +0530 – hirunews.lk/sinhala)

ගංවතුර හේතුවෙන් දින 10 ක් තිස්සේ වසා තිබූ ඓතිහාසික සෝමාවතිය පුදබිමට පිවිසෙන සුංගාවිල මාර්ගය අද (26) විවෘත කෙරුණා.

පොළොන්නරුවට සහ මහවැලි ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශයට බලපෑ වැසි තත්ත්වය හේතුවෙන් එම මාර්ගය දිග්ගල ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් වසා දැමුණේ පසුගිය 16 වනදායි.

මාර්ගය යළි විවෘත කිරීමත් සමඟ උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් බැතිමතුන් විශාල පිරිසක් සෝමාවතිය පුදබිම වෙත පැමිණ සිටින බව අප වාර්තාකරු ප්‍රකාශ කළා ෴


වන අලියෙකු විදුලි සැර වැදී මියයයි

(26.12.2023 – 14:06 +0530 – hirunews.lk/sinhala)

මැදවච්චිය හීන්නකන්ද රක්ෂිතයේ සැරිසරූ වන අලියෙකු විදුලි සැර වැදීමෙන් මියගොස් තිබෙනවා.

වයස අවුරුදු 20 ක් පමණ වන මෙම වන අලියා ඊයේ (25) රාත්‍රියේ හීන්නකන්ද -හැළඹගස්වැව ප්‍රදේශයේ වගා භූමියකට පැමිණි අවස්ථාවේ එහි සවිකර තිබූ විදුලි රැහැනක ගැටීමෙන් මෙලෙස මියගොස් ඇති බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

අඩි 09 ක් පමණ උසැති මෙම සත්ත්වයා මියයාම සම්බන්ධයෙන් අනුරාධපුර වනජීවි කාර්යාලය සහ මැදවච්චිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා ෴


අධික වේගයෙන් ගිය බස් රථයේ ගැටී මාර්ගයේ ගමන්කළ ගවයින් 08 ක් මරුට

(26.12.2023 – 12:12 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම – යාපනය ප්‍රධාන මාර්ගයේ නායාතු ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් ගව රැළකගේ ගැටීම නිසා මාර්ගයේ ගමන් කරමින් සිටි ගවයින් 08 දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ එම අනතුරෙන් තවත් ගවයින් සිව් දෙනෙකු (4) තුවාල ලබා ඇති බවයි.

අප කළ විමසීමකදී අඩම්පන් පොලිසිය ප්‍රකාශ කළේ බස් රථය අධික වේගයෙන් ගමන් කළ අවස්ථාවේදී, එය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ ගමන් කරමින් සිටි ගව රැළකගේ මෙලෙස ගැටී ඇති බවයි.

මියගිය ගවයින් මාන්තෙයි, බටහිර කොටසේ වලම්පන් ප්‍රදේශයේ ගොවීන් දෙදෙනෙකුට (2) අයත් ගවයින් වන අතර, ගව හිමියන් අඩම්පන් පොලීසියට පැමිණ ප්‍රකාශ කොට ඇත්තේ බස් රථ රියදුරාගේ වරදින් මෙම ගවයින් මියගිය නිසා ඔවුන්ට වන්දියක් ලබා දෙන ලෙස බවයි අප වාර්තාකරු පැවසුවේ ෴


වෛද්‍යවරයෙකුට පහරදුන් ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

(26.12.2023 – 10:46 +0530 – hirunews.lk/sinhala)

බේරුවල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙකුට පහර දුන් ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත්බව බේරුවල පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අලුත්ගම, මොරගල්ල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුයි.

සැකකාර මෙම ව්‍යාපාරිකයා, පපුවේ අමාරුවකින් අසනීපව සිටින සිය පියාව මෝටර් රථයකින් ඊයේ (25) රාත්‍රියේ රැගෙන බේරුවල ප්‍රාදේශීය රෝහලට පැමිණ තිබෙනවා.

පියාට අසාධ්‍ය බැවින් මෝටර් රථයට පැමිණ පරීක්ෂා කරන ලෙස ඉල්ලීමක් කල බවත්, වෛද්‍යවරයා එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් උරණවී පහරදීම සිදුකර ඇති බවට සැකකරු ප්‍රකාශ ලබාදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පහරකෑ වෛද්‍යවරයා අතට ඇතිවූ ආබාධයක් හේතුවෙන් රෝහල් ගතකර ඇති බවත් පොලිසිය පැවසුවා ෴


සිර දඬුවමෙන් රිමාන්ඩ් කාලය අඩු කෙරෙන යෝජනාව ලබන මාසයේ පාර්ලිමේන්තුවට

(26.12.2023 – 10:10 +0530 – hirunews.lk/sinhala)

රක්ෂිත බන්ධනාගාර ගතව සිට සිරදඩුවම් ලබන පුද්ගලයින්ගේ සිරදඩුවම් කාලයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින කාලය අඩු කිරීමට අදාල සංශෝධනය ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (25) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෴


CIDය කෙහෙළියගෙන් පැය 2 ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගනී

(26.12.2023 – 16:24 +0530 – hirunews.lk/sinhala)

ප්‍රශ්නගත ‘ඉමියුනෝග්ලොබියුලින්’ එන්නත් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් පැය දෙකක (2) පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (26) ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් අමාත්‍යවරයාගේ කොළඹ – විජේරාම මාවතේ පිහිටි නිවසට ගොස් අදාළ ප්‍රකාශය ලබාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව කියා සිටියේ.

මෙහිදී ‘ඉමියුනෝග්ලොබියුලින්’ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට අදාළ සියලු තොරතුරු, තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළා.

++++++++

+++++++++

++++++++

+


රටේ උතුර – නැගෙනහිර සිංහල ජනයාට අහිමි කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර

(26.12.2023 – divaina.lk)

උතුර නැගෙනහිර ප්‍රදේශ මේ රටේ සිංහල ජනයාට අහිමි කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා ඊයේ (25) සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේදී පැවැති රැස්වීමකදී පැවසීය.

අතීතයේ සිංහල පවුල් 25,000 ක් පමණ උතුර නැගෙනහිර ප්‍රදේශවල ජීවත් වුවත් අද එක පවුලක් හෝ එම පළාත්වල නැති බව ද ඔහු සඳහන් කළේය.

සරත් වීරසේකර මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (25) සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නායකත්වයෙන් රටපුරා පිහිටි බෞද්ධ සංවිධාන ඒකරාශි කිරීමට පැවැති සමාරම්භක රැස්වීම අරඹමිනි. මේ අවස්ථාවට රටපුරා විසිරී ඇති බෞද්ධ සංවිධාන රැසක් නියෝජනය කරමින් නියෝජිතයන් රැසක් සහ මහා සංඝරත්නය එක්ව සිටියහ.

ජනාධිපතිතුමා පසුගිය දා දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හමුවී සාකච්ඡාවක් පවත්වා තිබුණා. සිංහල ජනතාව වෙනුවෙන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට මමත් අවස්ථාවක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. ඒ අවස්ථාව අපට ලැබෙයි කියා අපේක්‍ෂා කරනවා. ඒ සඳහා අප සහභාගි විය යුත්තේ ශක්තිමත් වැඩපිළිවෙළක් ඇතිවයි. ඒ

රැස්වීම සඳහා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සහ මහා සංඝරත්නයත් නියෝජනය විය යුතු බවද සරත් වීරසේකර මන්ත්‍රීවරයා කියා සිටියේය.

උතුර නැගෙනහිර ප්‍රදේශවලින් පිට තමයි දෙමළ ජනතාවගෙන් සියයට 52 ක්ම ජීවත් වන්නේ. සිංහල ජනයා මහ ජාතිය වුවත් උ/නැගෙනහිර පළාත්වල ඒ අයිතිය අපේ සිංහල ජනතාවට නැතිවෙලා. එසේම එම පළාතේ දිස්ත්‍රික්ක 3 ක කිසිම සිංහල විදුහලක් නෑ. ඒක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. මේ තත්ත්වයට මුහුණ දීම සඳහා සිංහල බෞද්ධ ජනයා ඒකරාශී විය යුතුයි. බෞද්ධ සංවිධාන එකතු විය යුතුයි. මේ සඳහා හැඟීමක් තිබෙන විදේශ රටවල ඉන්න අපේ සිංහල ජනතාවගේ සහාය ද ඉතා වැදගත් වෙනවා. මේ සඳහා ඔවුන්ගෙන් මුදල් එකතු කර ගන්නත් හැකිවනු ඇති බව ද වීරසේකර මහතා කියා සිටියේය.

අතීතයේ සිටම බෞද්ධ භික්ෂූන් වහන්සේලා රටේ ඒකීයභාවය රැකගැනීම සඳහා නායකත්වය දුන් බවත්, බෞද්ධ ශාසනය රැකෙනු ඇත්තේ රටේ ඒකීයභාවය ආරක්ෂා වුවහොත් බව ද සරත් වීරසේකර මහතා කියා සිටියේය.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ට මහතා : සිංහල බෞද්ධ බලය ඒකරාශී කිරීම සඳහා මේ රැස්වීම අද කැඳෙව්වා. ඒ සියලු සංවිධානවල සහාය ඇතිව සිංහල බෞද්ධ උරුමය රැකීමට ඉදිරියේදී ශක්තිමත් වැඩපිළිවෙළක් දියත් කරනවා.

මේ රැස්වීම අමතා පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ඇතුළු සංඝරත්නය සහ ආචාර්ය නලින්ද සිල්වා, නීතිඥ කණිෂ්ක විතාරණ, සුනිල් චන්ද්‍රකුමාර සහ ආචාර්ය හර්ෂ විජේවර්ධන යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් කතා කරමින් අදහස් දක්වන ලදී.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *