පිස්සු කෙලින ශ්‍රමණවේශධාරීන් සිවුරුහැර සසුනෙන් නෙරපයි ..

පිස්සු කෙලින ශ්‍රමණවේශධාරීන් සිවුරුහැර සසුනෙන් නෙරපයි ..


පිස්සු කෙලින ශ්‍රමණවේශධාරීන් සිවුරුහැර සසුනෙන් නෙරපයි ..

(26.12.2023 – 15:00 +0530 – lankacnews.com)

විහාර දේවල්ගම පනත සංශෝධනය සඳහා අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීමට විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇත.

මල්වතු අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරි පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියෝ පැවසුවේ ඉකුත් විසිතුන් වෙනිදා මල්වතු මහා විහාරයේදී පැවති සාකච්ඡාවකදී ම පියවර ගත් බවයි.

මෙම කමිටුව සඳහා මල්වතු අස්ගිරි දෙපාර්ශවයන්හි නියෝජිත හිමිවරුන්, නීති විශාරදයන්, බෞද්ධ සම්මේලනයේ නියෝජිතයන් හා බස්නායක නිලමේවරුන් ඇතුලත්ය.

බුදු සසුනට පටහැනිව ක්‍රියාවන් යෙදෙන ශ්‍රමණවේශධාරීන් ශාසනයෙන් ඉවත් කිරීමේ ක්‍රමවේදයක් ද මීට පෙර සාකච්ඡා කර ඇති බවත් එයද මෙහිදී සැලකිල්ලට ගැනේ.

ඒ අනුව එවන් ශ්‍රමණවේශධාරීන් පිළිබඳ විනිශ්චය කර ඔවුන් වැරදිකරුවන් වුවහොත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට සංඝ සභාව මගින් දන්වා යවන අතර ඉන් අනතුරුව අධිකරණ ක්‍රියාමාර්ග හරහා ඔවුන්ගේ ලියාපදිංචිය අහෝසි කිරීමටද යෝජනා වී තිබේ ෴


බන්ධනාගාර තදබදයට හේතුව විගණන කාර්යාලය කියයි

(26.12.2023 – 07:45 +0530 – sinhala.adaderana.lk)

බන්ධනාගාර තුළ පවතින තදබදය නිර්මාණය වීමට ප්‍රධානතම හේතුව නීතිය ක්‍රියාත්මක කිරීම සහ බන්ධනාගාර ගත කිරීම සම්බන්ධව පරිපාලන ක්‍රියාවලියේ පවතින අඩුපාඩු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

එම කාර්යාලය නිකුත් කළ නවතම විගණන වාර්තාවක දැක්වෙන්නේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව බන්ධනාගාර ගතවීම් ඉහළ යාම ද පවතින තදබදයට හේතුවී ඇති බවය.

බන්ධනාගාර තුළ පවත්නා තදබදය කළමනාකරණය කිරීම පිළිබඳ කාර්ය සාධන විගණනයක් ජාතික විගණන කාර්යාලය විසින් සිදුකර තිබේ.

එම විගණනයට අනුව පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වන දින වන විට බන්ධනාගාර ගත රැඳවියන් සංඛ්‍යාව බන්ධනාගාරවල ධාරිතාවය මෙන් සියයට 232 ක් වී ඇති බව අනාවරණය වී ඇත.

අපරාධ ක්‍රියාකාරම් වැඩිවීමේ සෘජු ප්‍රතිඵලයක් ලෙස සිරගත කිරීම්වල ඉහළ යාම බන්ධනාගාර තදබදය ඇතිවීමට හේතු වුව ද අපරාධකරුවන් හට නීතිය ක්‍රියාත්මක කිරීම හා බන්ධනාගාර ගත කිරීම සම්බන්ධව පරිපාලන ක්‍රියාවලියේ අඩුපාඩු තදබදය නිර්මාණය වීමට හේතුවී ඇති බව විගණනය කාර්යාලය පවසයි.

විශේෂයෙන් අධිකරණ මඟින් බන්ධනාගාර ගතවන රැඳවියන් වෙනුවෙන් ඇප නියම කර තිබුණ ද අදාළ රැඳවියන් හට ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් බන්ධනාගාර ගතව සිටින බව නිරීක්ෂණය වී තිබේ.

රැඳවියන් 1795 දෙනෙකු ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වන දින වන විට බන්ධනාගාර ගතව සිට ඇති බව අනාවරණය වී ඇත.

2022 වර්ෂයේ බන්ධනාගාර ගත රැඳවියන් සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස වර්ධනය වී ඇති අතර ඉන් වැඩි ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට බන්ධනාගාර ගතවූ පිරිස් බව සඳහන්ය.

එම වසරේ දෙසැම්බර් මස 31 වන දින වනවිට බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව 26,176 ක් වන අතර ඉන් සියයට 53 කට අධික ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය වැරදි හා සම්බන්ධ රැඳවියන් බව විගණන කාර්යාලය පෙන්වා දෙයි.

මේ අතර බන්ධනාගාර ධාරිතාවය ඉක්මවා රැඳවියන් ප්‍රමාණය වැඩිවීමත් සමග සනීපාරක්ෂක පහසුකම් ලබාදීම ද දුෂ්කර වී ඇති බව විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවේ සඳහන්ය.

මේ වසරේ අප්‍රේල් 30 වන දින වන විට බන්ධනාගාර 27 ක වැසිකිළි 187 ක හිඟයක් පැවති අතර පවතින වැසිකිළිවලින් ද 287 ක් ද අලුත්වැඩියා කළයුතු තත්ත්වයේ ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර නීතියේ පවතින ඇතැම් අඩුපාඩු හේතුවෙන් සිදුවන බන්ධනාගාර ගතවීම් පාලනය කිරීම සඳහා නව නීති හඳුන්වාදෙන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, නීතියේ පවතින දුර්වලතා හේතුවෙන් ඇතැම් පුද්ගලයින්ට බොහෝ කාලයක් බන්ධනාගාර තුළ සිටීමට ද සිදුව ඇති බවය ෴


දකුණ හෙල්ලූ ‘සංකු’ ඇතුළු 13 ක් සෙල්ල­ක­ත­ර­ගම හෝට­ල­යක දී දැලේ

(26.12.2023 – gossiplankanews.com)

ලංකාවේ ක්‍රියා­ත්මක මත්ද්‍රව්‍ය ජාලයේ දකුණේ ප්‍රබ­ල­යකු ලෙස කට­යුතු කරන ‘සංකු’ නමැත්තා ඇතුළු සැක­ක­රු­වන් 13 දෙනෙකු මෝටර් රථ දෙකක් (2) හා හෙරො­යින් මත්ද්‍රව්‍ය සමඟ සෙල්ල­ක­ත­ර­ගම දඹේ ප්‍රදේ­ශයේ පිහිටි හෝට­ල­යක් තුළ නවා­තැන් ගෙන සිටි­යදී තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිල­ධා­රීන් විසින් අත්අ­ඩං­ගු­වට ගෙන 23 වැනි දින සැක­ක­රු­වන් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරීම සඳහා කත­ර­ගම පොලිස් ස්ථාන­යට භාර දී තිබේ.

මෙලෙස අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ දකුණු පළාතේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාලයේ සිටින ප්‍රබල පුද්ග­ල­යකු හා සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ක­රු­වන් සමඟ සමීප සම්බ­න්ධතා පව­ත්වන පුද්ග­ල­යකු බවට අනා­ව­ර­ණය වී ඇති සුදු­වැල්ල, නලා­ග­ස්දෙ­ණිය, හික්ක­ඩුව පදිංචි ‘සංකු’ නමැති අය ඇතුළු සැක­ක­රු­වන් 13 දෙනෙකි. අත්අ­ඩං­ගු­වට පත් අනෙ­කුත් සැක­ක­රු­වන් හික්ක­ඩුව, තෙල්වත්ත, ඌර­ග­ස්මං­හ­න්දිය, බළ­පි­ටිය හා අම්බ­ල­න්ගොඩ යන ප්‍රදේ­ශ­වල පදිං­චි­ක­රු­වන්ය. පසු­ගිය දින කිහි­පය පුරා ලංකාවේ ක්‍රියා­ත්මක කෙරුණු ‘යුක්තිය’ මෙහෙ­යුම යටතේ දිගින් දිග­ටම විවිධ ජාවා­ර­ම්ව­ලට සම්බන්ධ සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගැනීම් සිදු කිරීම හේතු­වෙන් මෙම ජාවා­ර­ම්ක­රු­වන් සෙල්ල­ක­ත­ර­ගම පිහිටි මෙම හෝට­ල­යට පැමිණ සැඟව සිටී­මට උත්සාහ කර තිබේ. මෙම සැක­ක­රු­වන් සම්බ­න්ධ­යෙන් තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී කේ.බී. කීර්ති­රත්න මහ­තාට ලද තොර­තු­ර­කට අනුව මෙම වැට­ලීම සිදු කර තිබේ.

වැට­ලීමේ දී සැක­ක­රු­වන් සන්ත­කයේ තිබී හෙරො­යින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 8790 ක් හා ඔවුන් සතුව තිබී මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ව­ලින් උප­යා­ගත් මුද­ලින් මිල දී ගත් බවට සැක කෙරෙන සුදු පැහැති wezel වර්ගයේ මෝටර් රථ­යක් හා කළු පැහැති Wagan R වර්ගයේ මෝටර් රථ­යක් ද අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. අත්අ­ඩං­ගු­වට පත් සැක­ක­රු­වන් 13 දෙනා මෝටර් රථ දෙක හා හෙරො­යින් සමඟ තිස්ස­ම­හා­රාම මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරීම සඳහා කත­ර­ගම පොලිස් ස්ථාන­යට භාර දී තිබේ.

තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී කේ.බී. කීර්ති­රත්න මහ­තාගේ උප­දෙස් පරිදි තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් විසින් මෙම වැට­ලීම සිදු කර සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

සූරි­ය­වැව – නුවන් ජය­සේ­කර


‘ඩුබායි තරංග’ගේ ගෝලයෙක් කොටුවෙයි

(26.12.2023 – 15:16 +0530 – sinhala.adaderana.lk)

‘ඩුබායි තරංග’ නමැති සංවිධානාත්මක අපරාධකරු සමග මුදල් ගනුදෙනු සිදුකරනු ලබන පුද්ගලයෙකු කුරුණෑගලදී පොලිස් විශේෂ කර්ය බළකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 18 වනදා ඇඹිලිපිටිය පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශය මගින් සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 55 ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබුණි.

එම සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ කරුණු මත මෙම සැකකරු කොටුකර ගැනීමට හැකිවී ඇත.

‘ඩුබායි තරංග’ නමැති සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සමීපතමයෙකු වන මෙම සැකකරු මාවතගම ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු ‘ඩුබායි තරංග’ නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ මුදල් ගනුදෙනු සිදුකරන ප්‍රධානියෙකු බව හෙළිවී ඇත ෴


කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකු පහරදීමකින් මරුට

(26.12.2023 – 21:28 +0530 – hirunews.lk/sinhala)

පහරදීමක් හේතුවෙන් රෝහල්ගත කර සිටි කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකු අද (26) අලුයම මියගොස් තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී ප්‍රකාශ කළේ මෙම රැඳවියා, පසුගිය 24 වැනිදා තවත් රැඳවියන් පිරිසක් සමග ගැටුමක් ඇතිකරගෙන තිබූ බවයි.

බුලත්සිංහල – මෝල්කාව – කරවිට ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක් දෙසැම්බර් 22 වැනිදා බන්ධනාගාර ගතකර තිබුණේ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

අදාළ රැඳවියා බන්ධනාගාරගත කළ දින සිටම කලහකාරී ලෙස හැසිරී ඇති බවයි වාර්තා වන්නේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී ප්‍රකාශ කළේ මෙම රැඳවියා, පසුගිය 24 වැනිදා දහවල් කාලයේදී තවත් රැඳවියන් පිරිසක් සමග ගැටුමක් ඇති කරගෙන තිබූ බවයි.

එහිදී සිදු වූ පොර බැදීමකදී මෙම පහරදීම සිදුව ඇති බවද ඔහු සඳහන් කළා.

ගැටුමේදී අදාළ රැඳවියා බිම ඇදවැටී ඇති අතර අනතුරුව ඔහු කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණා.

රැඳවියාගේ වැලමිටේ තුවාලයක් තිබූ අතර වෙනත් බාහිර තුවාලයක් නොතිබූ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් රෝහල් ගතකර දින එක හමාරකට (1½) පමණ පසු ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ අතර රැඳවියාගේ මරණය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසියද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඒ අනුව අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් කළුතර බන්ධනාගාරය තුළට ගොස් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

+


‘නාසා’ කැලැන්ඩරයට ගිය ලෝෂිත

(26.12.2023 – 21:07 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකේය නාමය ලෝකය ඉදිරියේ බබළවන දූ පුතුන්ගෙන් මේ පුංචි රටට හිඟයක් නම් නැහැ.

‘නාසා’ ආයතනයේ 2024 වසරේ දින දර්ශනයට සිය සිතුවම ඇතුළත් කරගන්නට තරම් දක්ෂතා දැක්වූ පුංචි සිත්තරෙක් පිළිබඳව පුවතක් තිරප්පනේ ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

ඔහු නමින් ‘දහම් ලෝෂිත ප්‍රේමරත්න’.

තිරප්පනේ මහානාම ප්‍රාථමික විද්‍යාලයේ 02 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන පුංචි දරුවෙක්.

චිත්‍ර ඇදීමට සහජ දක්ෂතාවයක් දක්වන දහම් විවිධ ජාතික සහ ජාත්‍යන්තර තරගවලට සිය නිර්මාණ ඉදිරිපත් කර තිබෙනවා.

නාසා ආයතනය මගින් සංවිධාන කරන චිත්‍ර තරඟාවලියක් පිළිබඳවත් පුංචි දහම්ට තොරතුරු ලැබෙන්නේ මේ අතරතුරයි.

ඒ අනුව ‘අභ්‍යාවකාශයේ ජීවත්වීම සහ වැඩ කිරීම’ තේමාව යටතේ දහම් ඉදිරිපත් කළ මෙම චිත්‍රයට පළමු තැන හිමිවන්නේ ලෝකයේ බොහෝ රටවල පුංචි සිත්තරුන් පරාජය කරමින්.

ඒ අනුව දහම්ගේ මෙම ජයග්‍රාහී චිත්‍රය නාසා ආයතනයේ 2024 වසර සඳහා වන දින දර්ශනයේ ජුලි මාසය සඳහා ඇතුළත් කොට තිබෙනවා.

+


වාරික නොගෙවූ ත්‍රිරෝද රථය සීසර්වරුන් රැගෙන ගිය සොවින් බලංගොඩ සිව්දරු පියෙකු දිවි හානි කරගනී

(26.12.2023 – 20:35 +0530 – hirunews.lk/sinhala)

බලංගොඩ – මැද්දේකන්ද ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි සිව්දරු (4) පියෙකු ආර්ථික අපහසුතා හේතුවෙන් ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා. ලීසිං වාරික ගෙවීමට නොහැකිවීම මත ඔහුගේ ත්‍රිරෝද රථයද පෞද්ගලික ලීසිං ආයතනයක පිරිසක් විසින් රැගෙන ගොස් ඇති අතර ගතවූ දින කිහිපය තුළ ඔහු සිත්තැවුලෙන් සිය නිවසේ තනිව සිට ඇති බවටයි වාර්තා වන්නේ.

ඔරලෝසු අලුත්වැඩියා ශිල්පියෙකු වන ඔහු තම ජීවිකාව කර ගෙන ගොස් තිබුණේ තම ත්‍රිරෝද රථයේ සිටයි. කෙසේ වෙතත් පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් ඔහුට එම රථයේ ලීසි වාරික ගෙවීමට හැකිවී නැහැ.

ඒ අනුව පසුගිය 14 වනදා වාහන අත්පත් කරගන්නා කණ්ඩායමක් විසින් එම රථය බලහත්කාරයෙන් රැගෙන ගොස් තිබෙනවා. පවතින තත්වය හමුවේ පවුලේ ආරවුල්ද වැඩිවී ඇති අතර, බිරිඳ සහ දියණිය නිවසෙන් පිටව ගොස් ඇත්තේ ඒ අතරතුරයි. බිරිඳ ඔහුගෙන් දික්කසාදවීමටද ඉල්ලා ඇති අතර, අනතුරුව මෙලෙස ගෙළ වැළලාගෙන සියදිවි නසාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

+


ජංගම දුරකථනයක් නිසා 16 හැවිරිදි සිසුවිය දිවි හානි කර ගනී

(26.12.2023 – 20:17 +0530 – hirunews.lk/sinhala)

ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇති ආරවුලක් දුරදිග යාමෙන් වයස 16 පමණ වන පාසල් දැරියක් දිවි හානි කර ගැනිම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව වැලිගම මූලස්ථාන පොලිසිය පවසනවා.

ඊයේ (25) අදාළ දැරියගේ පියා රැකියාවට ගොස් රාත්‍රි නිවසට පැමිණ තිබූ අතර එහිදි ජංගම දුරකථනය පිළිබඳ සොයාබලා තිබෙනවා.

එහිදි දියණිය විසින් පවසා ඇත්තේ මව විසින් ජංගම දුරකථනය රැගෙන ගිය බවයි.

පසුව පියා විසින් මවට දුරකථන ඇමතුමක් ලබා දී දුරකථනය පිළිබඳව විමසා ඇති අතර එහිදී දියණියගේ කාමරයේ මේසය මත තිබී ජංගම දුරකථනය සොයාගෙන තිබෙනවා.

එම අවස්ථාවේ ඔහු විසින් එම ජංගම දුරකථනය පොළවේ ගසා ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් පසුව දියණිය කාමරයේ දොර වසාගෙන තිබූ අතර පසුව විපරම් කිරීමේදී අනාවරණය වී ඇත්තේ දියණිය සිය දිවි හානි කරගෙන ඇති බවයි.

එහිදී අදහස් දැක්වූ දියණියගේ මව,

“දුව ඉගෙන ගන්න දක්ෂයි. ඒ වගේම හරි ලස්සනයි. මගේ දුව මේ දේ කරගන්නකොට මම ගෙදර හිටියේ නැහැ. තාත්තා හැන්දෑවේ ගෙදර ඇවිත් ෆෝන් එක හොයලා තියෙනවා. ඒ වෙලාවේ දුව ගත්තේ නෑ කියලා කිව්වහම මට කෝල් කරලා ඇහුවා ‘මම ගත්තද’ කියලා. මම කිව්වා ‘මම ගත්තේ නෑ’ කියලා. පසුව ෆෝන් එක දුවගේ කාමරේ තිබිලා අරගෙන සාලෙ පොළවේ ගහලා විසි කරලා දාලා. එයා ‘වැඩක් නැති වැඩක්’ කරලා තියෙන්නේ. මෙහෙම දෙයක් වෙන බව දන්නවනම් මම කියනවා ෆෝන් එක අරගෙන ගියා කියලා. තාත්තා ගහනවා.. මටත් ගහලා තියෙනවා.. අත පය කඩලා දාලා තියෙනවා.. මදාවියෙක් එක්ක තමයි ජීවත් වුණේ දරුවෝ තුන්දෙනා (3) වෙනුවෙන්. ‘අම්මේ යනවා’ කියලා කිව්වා නම් මමත් එයත් එක්ක යනවා. තාත්තගේ පීඩනය නිසා තමයි මෙහෙම දෙයක් වුණේ. මේ දරුවා කවදාවත් පන්තිවලට යන්නේ නෑ. ගෙදර හිර කරගෙන හිටියේ දරුවෙක්. එයා ගැන කිසිම සැකයක් තිබුණේ නැහැ.”

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *