‘වෙලේ සුදා’ගේ හග්ගල නිවාඩු නිකේතනයේ පොලිසියේ බන්ධනාගාරයේ නිලධාරීන්ගේ පවුල් නිවාඩු ගත කරලා

‘වෙලේ සුදා’ගේ හග්ගල නිවාඩු නිකේතනයේ පොලිසියේ බන්ධනාගාරයේ නිලධාරීන්ගේ පවුල් නිවාඩු ගත කරලා


‘වෙලේ සුදා’ගේ හග්ගල නිවාඩු නිකේතනයේ පොලිසියේ බන්ධනාගාරයේ නිලධාරීන්ගේ පවුල් නිවාඩු ගත කරලා

(26.12.2023 – dinamina.lk)

  • පොලිසිය මේ ගැන කලක් දැන සිටියත් 22 දා දක්වා වටලා නෑ
  • හෝටලය ලියා ඇත්තේ බිරියගේ නමට

මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය ලබා බන්ධනාගාරගතව සිටින ‘ගම්පල විදානගේ සමන් කුමාර’ නොහොත් ‘වෙලේ සුදා’ට අයත් බව කියන හග්ගලින් සොයාගත් නිවාඩු නිකේතනය 2004 වසරේ සිට ‘වෙලේ සුදා’ගේ බිරියගේ නමින් තිබී ඇති එකක් බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

‘වෙලේ සුදා’ට අයත් නිවාඩු නිකේතනයක් නුවරඑළියේ ඇති බව කාලයක් තිස්සේම පොලිසිය පවා දැන සිටියත් මෙම නිවාඩු නිකේතනය වටලා ඇත්තේ කැප්පෙටිපොළ පොලිසියේ නිලධාරීන්ය. 2010 වසරේ සිට එම නිවාඩු නිකේතනය සංචාරකයන්ට දෙමින් ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති අතර පොලිස් නිලධාරීන්ද ඔවුන්ගේ පවුල්වල අයද බන්ධනාගාර නිලධාරීන්ද ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද නිවාඩු ගත කිරීමට එහි පැමිණ ගොස් ඇති බව බුද්ධි අංශ තොරතුරු අනාවරණය කළේය.

වෙලේ සුදාව 2015 වසරේදී පාකිස්තානයේ සිට මෙරටට රැගෙන ආ පසු ඔහුගේ දේපොළ සම්බන්ධයෙන් විමර්ශනයක්ද ආරම්භ කරනු ලැබීය. මුදල් විශුද්ධිකරණයෙන් සිදු කළ මෙරට පළමු විමර්ශනය එය වන අතර, එහිදී රුපියල් කෝටි 18 ක දේපොළ සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් විය. ඒ අතර ශ්‍රී ජයවර්ධනපුර රෝහල ආසන්නයේ ඇති මහල් නිවාස සංකීර්ණයකින් නිවෙසක් ඇතුළු කොළඹ හා ඒ අවට ප්‍රදේශ ආශ්‍රිත ගොඩනැගිලි රන් භාණ්ඩ ඇතුළු දේපොළ රැසක්ම තිබී ඇත. මෙම දේපොළ තිබී ඇත්තේ ‘වෙලේ සුදා’ගේ බිරියගේ සහ බිරියගේ නැඟණියගේ නමිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2014 වසරේ සිට ‘වෙලේ සුදා’ගේ දේපොළ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර 2015 වන විට රුපියල් කෝටි 18 ක දේපොළ සොයාගත්තද මෙම නිවාඩු නිකේතනය සොයාගත්තේ නැත.

එම රුපියල් කෝටි 18 ක දේපොළ සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ මේ වන විට නඩු කටයුතු පැවැත්වෙන අතර මුදල් විශුද්ධිකරණයෙන් චෝදනා ලැබ සිටින්නේ ‘වෙලේ සුදා’ත්, බිරියත් නැඟණියත් පමණි.

මේ වන විට ‘වෙලේ සුදා’ගේ බිරිය බන්ධනාගාර ජේලර්වරයකු සමඟ සම්බන්ධකම් පවත්වන බැවින් ඒ සම්බන්ධයෙන් ‘වෙලේ සුදා’ සිටින්නේ දැඩි වෛරයකින් බ‍ව පොලිස් තොරතුරු අනාවරණය කළේය. බිරියගේ නමින් හග්ගල තිබුණු මෙතෙක් පොලීසියකට සොයාගන්න බැරි වුණු එම නිවාඩු නිකේතනය සොයාගනු ලබන්නේ ද මෙවැනි තත්ත්වයක් මත බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. මේ තත්ත්වය මත මෙතෙක් කලක් සොයාගැනීමට නොහැකි වුණු බිරියගේ හා ඇයගේ නැඟණියගේ නමින් ඇති තවත් දේපළ රැසක් ඉදිරියේදී සොයාගැනීමට හැකි වනු ඇති බව විශ්වාස කරන බවද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

හග්ගල ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවාඩු නිකේතනය පිළිබද තොරතුරු ලැබී පොලිසිය එය වටලන්නේ පසුගිය 22 දාය.

කැප්පෙටිපොළ පොලිස් බල ප්‍රදේශයට අයත් හග්ගල පන්සල අසල මෙම නිවාඩු නිකේතනය පිහිටා තිබේ. වැඩ බලන පොලිස්පතිවරයාගෙන් සෘජුවම ලැබුනු උපදෙසක් මත මේ පිළිබද පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පොලීසිය පොලිස් නිල සුනඛයන් හා යුධ හමුදාවේද සහය ඇතිව මෙම ස්ථානය පරීක්ෂාවට ලක් කල අතර මෙම දේපල රාජසන්තක කිරීමට අදාල පරීක්ෂණ කටයුතු මේ වන ආරම්භව තිබේ. මෙම ස්ථානය වටලන අවස්තාවේදී එම ස්ථානය බලා ගැනීමට වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් සිට ඇති අතර ඔහුගෙන් පොලිසිය ප්‍රශ්න කිරීම් කර විස්තර සටහන් කර ගෙන ඇති අතර වැඩි දුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. මෙම නිවාඩු නිකේතනය පොලිසිය වැටලුවද එහි ව්‍යාපාරික කටයුතුවලට මෙතෙක් බාධාවක් එල්ල වී නැත. දේපළ තහනම් කිරීමක්ද සිදු වී නැති බවත්, ඊට අදාළ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්කම් විමර්ශන අංශය විසින් සිදු කරනු ලබන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

බණ්ඩාරවෙල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් කළුපහන මහතාගේ ඍජු අධීක්ෂනය යටතේ බණ්ඩාරවෙල කොට්ඨාසය භාර පොලිස් අධිකාරී බී.එච්.එස්. කලණසිරි හා සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි කැප්පෙටිපොළ පොලිස් ස්ථානාධිපති (ප්‍ර.පො.ප) චානක රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් වැටලීමකර තිබිණි.

ගයාන් කුමාර වීරසිංහ,
වැලිමඩ සමූහ – ආර්. රාජමන්ත්‍රී

+++++++


නිවැරදි ත්‍රිපිටකය බෞද්ධ කටයුතු වෙබ් අඩවියට

(26.12.2023 – dinamina.lk)

  • දැනට භාවිත වන ත්‍රිපිටක ග්‍රන්ථවල අඩුපාඩු රැසක් ගැන නාහිමිවරුන්ගෙන් පැමිණිලි
  • පාලි උච්ඡාරණ සහිත ඉංග්‍රීසි වෙළුම දෙවැනි පියවරින්
  • ඉංග්‍රීසි හා වෙනත් භාෂාවලට පරිවර්තනය කිරීම තෙවැනි පියවරේදී

බුදුදහම හදාරන, ගවේෂණය කරන දෙස් විදෙස් පරිශීලකයන් වෙනුවෙන් නිවැරදිම ත්‍රිපිටකය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ලබා ගැනීමට අවකාශ සලසන බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා දිනමිණ කළ විමසීමකදී ඊයේ (25) පැවසීය.

දැනට පවතින සම්මත ත්‍රිපිටකය ලෙස සලකනු ලබන්නේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකය බවත්, ඒ අනුව ඉදිරි මාස 6 ක් තුළ එය ක්‍රමානුකූලව, පැහැදිලිව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවියට ඇතුළත් කරන බවත් ලේකම්වරයා කීවේය.

විවිධ සංවිධාන, ආයතන හා පුද්ගලයන් විසින් ත්‍රිපිටකය ඩිජිටල් අවකාශයට මුදාහැරීමට මේ වන විටත් කටයුතු කර තිබෙන නමුත්, එම ග්‍රන්ථවල විශාල අඩුපාඩු පවතින බවට නාහිමිවරුන් දන්වා ඇතැයිද ලේකම්වරයා කීවේය.

මේ නිසා ත්‍රිපිටකය සම්බන්ධයෙන් හදාරන්නන්ට නිවැරදි ත්‍රිපිටකයේ සඳහන් කරුණු මඟහැරෙන බැවින් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් හෙතෙම පැවසීය.

ත්‍රිපිටකය පිළිබඳව හසළ දැනුමක් ඇති විද්වත් අනුශාසක මණ්ඩලයක අනුශාසනා පරිදි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ත්‍රිපිටකය එක් කිරිමේ පළමු පියවර මේ වන විටත් සකස් කර තිබේ. ඉන් පසුව අන්‍ය භාෂාවලින් ත්‍රිපිටකය හදාරන අය වෙනුවෙන් පහසුවෙන් කියවාගැනීමට පාලි උච්ඡාරණ ඉංග්‍රීසි භාෂාවෙන් කියවිය හැකි පරිදි දෙවැනි පියවර යටතේ අන්තර්ජාලයට මුදා හැරේ. ත්‍රිපිටකය ඉංග්‍රීසි භාෂාවට හා වෙනත් භාෂාවන්ට පරිවර්තනය කිරීමට අදාළව යෝජනාවක් මේ වන විට සකස් කරමින් තිබෙන බවත්, ඒ සඳහා අනුමැතිය ගෙන තුන් වැනි පියවර යටතේ ඉංග්‍රීසි හා වෙනත් භාෂාවන්ගෙන් ත්‍රිපිටකය වෙබ් අඩිවියට මුදාහැරෙන බවත් ලේකම්වරයා කීවේය.

රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අකුරැටියේ නන්ද නාහිමියන් ඇතුළු විද්වත් මණ්ඩලයක් විසින් මේ කටයුතු කරමින් සිටින බවත්, නුදුරේදීම මේ අනුව නිවැරදි ත්‍රිපිටකය පරිහරණය කිරිමට පරිශීලකයන්ට අවස්ථාව හිමි වනු ඇති බවත් විදානපතිරණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය ෴


‘මිනි කූපර්’ රථය හොරට ලියාපදිංචි කර බදු අහිමි කිරීම – RMV නිලධාරීන් 5 ක් ඇතුළු 7 කගේ විදෙස් ගමන් තහනම්

(26.12.2023 – dinamina.lk)

‘මිනි කූපර්’ වර්ගයේ සුඛෝපභෝගි මෝටර් රථයක් ව්‍යාජ දත්ත ඉදිරිපත් කරමින් ලියාපදිංචි කර රජයට බදු ආදායම් අහිමි කළ සිද්ධියට අදාළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින් 5 දෙනකු ඇතුළු හත් දෙනකු (7) ගේ විදෙස් ගමන් තහනම් කර ඇති බව අල්ලස් කොමිසම පවසයි. 1994 අංක 20 දරන අල්ලස් හෝ දූෂණ සංශෝධන පනත ප්‍රකාරව මොවුන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගය නිකුත් කළ බවද එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මෙලෙස විදෙස් ගමන් තහනම් කරනු ලැබ ඇත්තේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක වැඩසටහන් සම්පාදක ‘කුකුළේගම කංකානම්ලාගේ රෝහිත සමරවීර’ එහි සංවර්ධන සහ පර්යේෂණ හිටපු කොමසාරිස් ‘කළුදේවගේ බන්දුල ජයසිංහ’, එම දෙපාර්තමේන්තුවේ විමර්ශන සහකාරවරුන් වන ‘නීතිඥ මුණසිංහ ආරච්චිගේ උපුල් ප්‍රියන්ත ද සිල්වා’, ‘මුත්තුංග මුදියන්සේලාගේ කේමන්ත මුත්තුංග’, එහි ලිපිකාරු ‘නෙරළුව ගමගේවත්ත චන්න රෝහිත’ සහ ව්‍යාපාරිකයන් වන ‘රන්දි මෝටර්’ හිමිකරු ‘දිසානායක මුදියන්සේලාගේ ධර්මරත්න බණ්ඩා’ සහ ඔහුගේ බෑණනුවන් වන ‘වලිසුන්දර මුදියන්සේලාගේ අජිත් කුමාර වලිසුන්දර’ යන අයගේය.

වර්ෂ 2017 දී මෙරටට ගෙන්වූ ත්‍රිරෝද රථයක දත්ත ඉවත් කර ඒ වෙනුවට 2015 දී මෙරටට ආනයනය කරන ලද ‘මිනිකූපර්’ වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය ලියා පදිංචි කර රජයට අය විය යුතු රුපියල් ලක්ෂ විසිපහක (25) බදු මුදලක් අහිමි කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මෙම අයවලුන්ට එරෙහිව ඉකුත් 22 වැනි දා කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකලේය.

රජයට බදු මුදල් වංචා කරමින් මේ ආකාරයෙන් ව්‍යාජ ලෙසින් ලියාපදිංචි කරන ලද වාහන සංඛ්‍යාව පන්දහසකට (5000) ආසන්න බවට හඳුනාගෙන ඇති බවත්, ඉන් සුඛෝපභෝගී වාහන 200 කට අධික සංඛ්‍යාවක් මේ වන විට හඳුනාගෙන ඇති බවත්, අල්ලස් කොමිසම පවසයි. රුපියල් බිලියන ගණනින් රජයට බදු ආදායම අහිමි කරමින් සිදු කරන මෙම මහා පරිමාණ වංචාව සංවිධානාත්මක ආකාරයෙන් සිදුකරන ලද්දක් බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ බුද්ධි අංශ විමර්ශන ආරම්භ කර ඇති බවත් එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය ෴


සුනාමි ව්‍යසනයට වසර 19 යි

(26.12.2023 – divaina.lk)

2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා සිදු වූ සුනාමි ව්‍යසනයට අදට වසර 19 ක් සපිරේ. මේ විපත නිසා ශ්‍රී ලංකාවේ මිනිස් ජීවිත 31,225 කට වැඩි ප්‍රමාණයක්ද ඇතුළුව ලොව පුරා 2,25,000 කට අධික පිරිසකට තත්පර කිහිපයකදී දිවි අහිමි විය.

පෙරවරු 09:27 ට ගොඩබිමට පැමිණි උදම් රළ පහරට හසු වූ පැරෑලියේ දුම්රිය අනතුර නිසා 1250 කට අධික පිරිසක් මියගියහ. තනි දුම්රියක සිදු වූ ලෝකයේ දරුණුම දුම්රිය අනතුර මෙය ලෙස සැලකේ.

සුනාමියේ දී වැඩිම හානිය සිදු වූ රට ඉන්දුනීසියාවය. එරට පුද්ගලයන් 167,540 ක් මෙම ඛේදවාචකයෙන් මියගියහ. සුනාමි තත්ත්වය ඇති වූයේ ශ්‍රී ලංකාවට කි.මී. 2500 ක් පමණ නැගෙනහිරින් පිහිටි සුමාත්‍රා දිවයිනට කි.මී. 200 ක් බටහිර මුහුදේ කිලෝ මීටර් 10 කට ඇති වූ භූමිකම්පාවකිනි. මෙය රිච්ටර් මාපකයේ ඒකක 9.3 ක් ලෙස සලකුණු කර ඇත. මෙම භූමිකම්පාව මෙතෙක් ලොව වාර්තා වූ දෙවැනි (2) විශාලම භූමිකම්පාව වන අතරම මෙතෙක් ලොව ඇතිවූ භූමිකම්පා අතරින් එක් සිදුවීමකින් වැඩිම ජීවිත හා දේපළ හානි සිදු වූ විශාලම ස්වාභාවික ආපදාව ද විය.

ඉන්දුනීසියාව අසල පෘථිවි තල හා ඉන්දීය කලාපයේ තල එකිනෙක ගැටීමෙන් සිදු වූ මෙම භූ චලනය ගැන ඇමෙරිකානු භූ චලන ආයතනය අනතුරු අඟවා තිබුණත් ඉන්දුනීසියානු සාගරයේ පිහිටි රටවල් රැසක් සඳහා අනතුර ගැන දැන්වීමට නොහැකි විය. මේ භූචලනය මිනිත්තු 8 ක් 10 ක් අතර පැවැති බවට වාර්තා විය. එසේම ඉන් ඇති වූ සුනාමියේ බලය ඇමෙරිකාව විසින් හිරෝෂිමාවට දැමූ පරමාණු බෝම්බය මෙන් 1808 වරක් බලසම්පන්න බව සාගර විද්‍යාඥයෝ හෙළි කළහ. එසේම සමස්ත පෘතුවි තලය සෙන්ටිමීටර 1 ක පමණ ප්‍රමාණයකින් කම්පනය කිරීමට මෙම භූමිකම්පාව සමත් වූ අතර ඇලස්කාව වැනි ඉතා ඈත ප්‍රදේශවල අනෙකුත් භූකම්පන ඇති කරවීමටද එය සමත් විය. සුනාමිය නිසා ජගත් මුහුදු මට්ටම මිලිමීටර් 0.1 කින් ඉහළ ගොස් ඇතැයි හෙළිව තිබේ.

සුනාමියෙන් මෙරට පුද්ගලයන් 4100 ක් අතුරුදන්ව තිබිණි. දිස්ත්‍රික්ක 13 ක නිවාස 63,472 ක් සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර නිවාස 41,600 ක් අර්ධ වශයෙන් විනාශ විය. ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද සුනාමිය නිසා විශාල හානියක් ඇති වූ අතර ආර්ථික සංවර්ධන වේගය 0.5% කින් අඩුවිය. මෙය මූල්‍යමය වශයෙන් ගත්විට ඇමෙරිකානු ඩොලර් මිලියන 900 ත් 930 ත් අතර ප්‍රමාණයක් වෙතැයි තක්සේරු කොට තිබේ. ලංකාවේ ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දුන් ධීවර කර්මාන්තය හා සංචාරක කර්මාන්ත මේ අතර ප්‍රධාන වේ.

චතුර පමුණුව

++++++++

TSUNAMI – 2004 : කිසිදා කිසි කලක අමතක කළ නොහැකි සුනාමි රකුසාගේ විනාශකාරී හෝරාව (2021)

+

2018

ආමර් වීදියේ ගොඩනැගිල්ලක ගින්නක්

(26.12.2023 – 09:11 +0530 – sinhala.adaderana.lk)

කොළඹ, ආමර් වීදියේ ගෘහ අලංකරණ භාණ්ඩ ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැලක ගින්නක් හටගෙන තිබේ.

ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට ගිනි නිවීමේ රථ 6 ක් පිටත් කර යැවූ බව ගිනි නිවන ඒකකය පවසයි.

අද (26) උදෑසන 08:30 ට පමණ ගින්න හට ගෙන තිබූ අතර, ගින්නෙන් භාණ්ඩ සියල්ල විනාශ වී තිබේ.

මේ වනවිට ගින්න පාලනය කර ඇති අතර, ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.

+

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *