ඩුබායි පාතාලයන් සල්ලි විසි කරති.. ‘යුක්තිය’ට එරෙහිව මඩ ගස්සති..

ඩුබායි පාතාලයන් සල්ලි විසි කරති.. ‘යුක්තිය’ට එරෙහිව මඩ ගස්සති..


ඩුබායි පාතාලයන් සල්ලි විසි කරති.. ‘යුක්තිය’ට එරෙහිව මඩ ගස්සති..

(24.12.2023 – 15:50 +0530 – lankacnews.com)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සොයා රට පුරා සිදුකරමින් ඇති මෙහෙයුම අඩපණ කිරීමට ඩුබායි සැඟවී සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් දැවැන්ත මඩ ව්‍යාපාරයක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව ඔවුන් සමාජ ජාලා, වෙබ් අඩවි, යූ ටියුබ් නාලිකා ඇතුළු මාධ්‍ය වලට රුපියල් කෝටි ගණන් මුදල් වැය කරමින් මෙම ප්‍රචාරක කටයුතු සිදුකරමින් යන බවද හෙළි වී තිබේ.

මත්ද‍්‍රව්‍ය වෙළෙඳාමේ යෙදෙන්නන් අත්අඩංගුවට පත්වීමෙන් ව්‍යාපාර ජාලය අඩපණ වන නිසා මෙම මහා පරිමාණ ජාවාරම්කරුවන් මුදල් වියදම් කරමින් මඩ ප්‍රචාරක සිදුකරමින් සිටින බව වාර්තා වෙයි.

මේ සඳහා ඇතැම් ප්‍රසිද්ධ පුද්ගලයන්, නීතිඥයන් සිවිල් ක්‍රියාකාරීන් මෙන්ම මාධ්‍යවේදීන් පවා යොදාගෙන සිටි ඇතැයිද බුද්ධි අංශ හෙලිකරගෙන ඇත ෴


මනම්පිටිය, කොටලීය පාලමෙන් ලොරි රථයක් ඔයට පෙරලෙයි

(24.12.2023 – 17:59 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව – මඩකළපුව ප්‍රධාන මාර්ගයේ, මාරක අනතුරු රැසක් සිදුවීමෙන් ජීවිත කීපයක් බිලිගෙන ඇති මනම්පිටිය කොටලීය පාලමෙන් අද (24) උදෑසන 06:45 ට පමණ ලොරියක් ඔයට පෙරලී ඇති බව අප වාර්තකරු පවසනවා.

අප වාර්තාකරු සඳහන් කර සිටියේ කුරුණෑගල සිටි සමන්තුරේ දක්වා ගෘහ භාණ්ඩ රැගත් ලොරියක් මෙලෙස අනතුරට පත්ව ඇති බවත් එම අනතුරින් ජීවිත හානි කිසිවක් සිදු නොවී ලොරි සහයකයාගේ පාදයක් පමණක් තුවාල වී ඇති බවයි.

මනම්පිටිය කොටලීය පාලමෙන් බසයක් පෙරළී ඉකුත් ජුලි මාසයේ 09 වෙනිදා මිනිස් ජීවිත එකොළහක් (11) අහිමි වූ අතර, එහිදී මෙම පාලම පුළුල් කරදෙන ලෙස ප්‍රදේශවාසීන් අවස්ථා කිහිපයකදීම ඉල්ලීම් කළද, ඊට ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ එම මාර්ගය පුළුල් කිරීමටනම් රුපියල් බිලියන 500 ක මුදලක් අවශ්‍ය බවත්, ඒ සඳහා රජයට මුදල් නොමැති බැවින් පාලම පුළුල් කිරීමේ කටයුතු ඉදිරියේදී සිදු කිරීමට අපේක්ෂා කරන බව‍යි ෴

+++++++++

++++++++


විදෙස් රැකියා පෙන්නා මුදල් ගැරූ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට

(24.12.2023 – 17:18 +0530 – hirunews.lk/sinhala)

විදේශ රටවල රැකියා ලබාදෙන බව පවසමින් විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රවටා රුපියල් කෝටියකට අධික මුදල් වංචා කළ බව කියන උඩුනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසිය පවසනවා.

සැකකරු කොරියාව, ජපානය ඇතුළු රටවල් ගණනාවක රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 03 සිට ලක්ෂ 10 දක්වා මුදල් ලබාගෙන ඇති බවට පොලිස් විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති අතර පේරාදෙණිය පොලිසියට පමණක් ලද පැමිණිලි 08 ක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් ආරංචිමාර්ග එහිදී සඳහන් කළේ ෴


ලියුම් සමග කුඩු බෙදූ තැපැල්කරුවෙකු හසු වෙයි

(24.12.2023 – 22:54 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම තැපැල් කාර්යාලයට අනුයුක්තව සේවය කරනු ලබන ලියුම් බෙදන්නකු ‘අයිස්’ මත්ද්‍රව්‍ය සමග අතුරුගිරිය, පුංචි අතුරුගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසනවා.

එහිදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 100 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

යුක්තිය මෙහෙයුමට සමගාමීව අතුරුගිරිය පොලිසියේ නිලධාරීන් වෙනත් වැටලීමක යෙදී සිටියදී ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ පරික්ෂාවේදී ඔහු සන්තකයේ තිබී මෙලෙස ‘අයිස්’ මත්ද්‍රව්‍ය සොයාගැනීමට හැකිවූ බවයි පොලිසිය පැවසුවේ.

එහිදී සැකකරුගෙන් සිදුකල ප්‍රශ්න කිරීමේදී සැකකරු මත්ද්‍රව්‍ය අලෙවි කර ඇත්තේ ලියුම් බෙදන අතරවාරයේදී බවත්, සැකකරුට මත්ද්‍රව්‍ය අලෙවි කළ පුද්ගලයා සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණය කරගෙන එම ජාලය මෙහෙයවනු ලබන තැනැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා අතුරුගිරිය පොලිසිය විසින් විමර්ශන ආරම්භකර තිබෙනවා ෴


මුළු දිවයිනටම සාම විනිසුරු නීතිවිරෝධී මත්පැන් සමඟ පොලිසියට කොටු

(24.12.2023 – 21:46 +0530 – hirunews.lk/sinhala)

මුළු දිවයිනටම සාම විනිසුරුවරයෙකු වන අයෙකු සහ ඔහුගේ සහයකයෙකු වැල්ලම්පිටිය, කොහිලවත්ත දෙමහල් නිවසක නීති විරෝධී මත්පැන් පෙරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පවසනවා.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ අධීක්ෂණය යටතේ මේ දිනවල දිවයින පුරා සිදුකරන යුක්තියේ මෙහෙයුමට අදාලව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයට කොහිලවත්ත ප්‍රදේශවාසීන්ගෙන් ලද රහසිගත තොරතුරකට අනුව මෙම නිවස වටල සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත් වූ බවයි ඔවුන් සඳහන් කළේ.

එහිදී සැකකරුවන් විසින් පෙරන ලද නීති විරෝධී මත්පැන් ස්පීත්තු මිලි ලීටර් 22,500 ක්, බැරල් 04 ක බහා තිබූ ගෝඩා මිලි ලිටර් 756,000 ක්, අඩි 26 ක් දිග රබර් නලයක් සවි කරන ලද තඹ දඟරයක් ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

74 වැනි වියේ පසුවන සාම විනිසුරුවරයා, වයස අවුරුදු 52 ක් වන තවත් පුද්ගලයෙකු සමඟ එක්ව දෙමහල් නිවසට යාබද කාමරයක ඉතා රහසිගතව කාලයක් තිස්සේ මෙම නීති විරෝධීව පෙරූ මත්පැන් තෝරාගත් කීප දෙනෙකුට පමණක් ලබාදී ප්‍රදේශ රැසකට බෙදා හැර ඇති බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ෴


දින දෙකකට (2) වඩා උණ ඇත්නම් ප්‍රතිකාර ගන්න; සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලයි

(24.12.2023 – 20:46 +0530 – hirunews.lk/sinhala)

ඩෙංගු රෝගය සහ ඉන්ෆ්ලු‍වෙන්සා වෛරසයේ A සහ B ප්‍රභේද මේ වනවිට රට පුරා පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.

මේ හේතුවෙන් කොවිඩ් 19 වසංගත කාල සීමාවේදී අනුගමනය කළ සෞඛ්‍ය පුරුදු නැවතත් අනුගමනය කිරීම වැදගත් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

එමෙන්ම දින දෙකකට (2) වඩා උණ පවතීනම් ලඟම ඇති රජයේ රෝහල වෙත ගොස් ප්‍රතිකාර ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ යලිත් වරක් ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් ෴


උත්සව සමයේ අධිවේගයෙන් වාර්තාගත අදායමක්

(25.12.2023 – 10:20 +0530 – hirunews.lk/sinhala)

දීර්ඝ සති අන්ත නිවාඩුවත් සමඟ අධිවේගී මාර්ගවල ආදායම 40% කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේ පසුගිය 22 වනදා අධිවේගී මාර්ගවල වාහන එක්ලක්ෂ හතළිස්දාස් හත්සිය අනු එකක් (1,40,791) ගමන් කර ඇති අතර, ඉන් රුපියල් හාරකෝටි හැටහතර ලක්ෂ පනස් හත්දාස් හයසියක (4,64,57,600) ආදායමක් උපයා ගෙන ඇති බවයි.

එමෙන්ම පෙරේදා (23) රථ වාහන එක්ලක්ෂ හතළිස් පන්දාස් පන්සිය තුනක් (1,45,503) ගමන් කර ඇති අතර, ඉන් උපයා ඇති ආදායම රුපියල් පන්කෝටි එක් ලක්ෂ හැත්ත හතරදාස් පන්සිය පනහක් (5,01,74,550) බවයි සඳහන්.

ඒ අනුව මෙම ආදායම මෙතෙක් අධිවේගී මාර්ගයේ දිනක ලැබු වැඩිම ආදායම බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළා ෴


දේව මෙහෙයට ගොස් සිටියදී කෝටිපතියාගේ නිවස හොරු බිඳී

(25.12.2023 – 09:47 +0530 – hirunews.lk/sinhala)

උඩප්පුව, පුනවිටිය ප්‍රදේශයේ නිවසක තිබු රුපියල් ලක්ෂ 70 කට ආසන්න රන් හා මුදල් තොගයක් අද (25) අලුයම නිවැසියන් නොමැති අවස්ථාවේදී සොරා ගෙන ඇති බව උඩප්පුව පොලිසිය පවසනවා.

පොල් හා ඉස්සන් ගොවිපොළක ව්‍යාපාරිකයෙකුට අයත් නිවසක් සොරුන් විසින් මෙසේ කොල්ලකා ඇති බවයි පොලීසිය සඳහන් කලේ.

අදාළ කෝටිපති ව්‍යාපාරිකයා තම බිරිඳ හා දරුවන් සමග පුනපිටිය ජේසු බිළින්දා දේවස්ථානයේ ඊයේ (24) රාත්‍රි පැවති නත්තල් දේව මෙහෙයට ගොස් ආපසු අද (25) අලුයම නිවසට පැමිණෙන විට නිවසේ තිබු රන් හා මුදල් කොල්ලකා තිබෙනවා.

පසුව අදාළ ව්‍යාපාරිකයා පොලිසියට මෙය සම්බන්ධයෙන් දැනුම් දී තිබෙනවා.

නිවසේ ජනේලයක් කඩා නිවසට ඇතුළු වී ඇති බවයි මුලික පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ ෴


ඝාතන දෙකක් (2)

(25.12.2023 – 09:58 +0530 – hirunews.lk/sinhala)

මාරවිල ගෙඩාල්ගොඩවත්ත සහ අක්කරපත්තුව නාවට්කාඩු යන ප්‍රදේශවලදී පුද්ගල ඝාතන දෙකක් (2) සිදුව තිබේ.

මාරවිල ගෙඩාල්ගොඩවත්ත ප්‍රදේශයේ තියුණු ආයුධයකින් පහරදී 34 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලීසිය පැවසුවේය.

අදාළ පුද්ගලයා තවත් පුද්ගලයෙකුට උකස් කර තිබු රූපවාහිනි යන්ත්‍රයක් සහ ජංගම දුරකථනයක් නැවත බේරාගැනීමට ගිය අවස්ථාවේ ඇතිවු බහින්බස් වීමක් දුරදිග යාමෙන් සිදුවු පහරදීමකින් මෙම ඝාතනය සිදුව තිබේ.

ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මේ අතර අක්කරපත්තුව නාවට්කාඩු ප්‍රදේශයේ දී මත්පැන් පානය කළ පුද්ගලයින් දෙදෙනෙකු (2) අතර ඇතිවු ආරවුලක් හේතුවෙන් සිදුවු පහරදීමකින් 39 හැවිරිදි අයෙකු මියගොස් ඇති බවද පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

බීමතින් නිවසට පැමිණි තවත් පුද්ගලයෙකු මියගිය පුද්ගලයාගේ බිරිඳ සමග කතා කරමින් සිටිය දී එම ස්ථානයට පැමිණි මියගිය පුද්ගලයා සමග ආරවුලක් ඇති කරගෙන තිබේ.

එහිදී නිවසට පැමිණි පුද්ගලයා අදාළ කාන්තාවගේ ස්වාමිපුරුෂයාව තල්ලු කර ඇත.

එහිදී බිම ඇද වැටී නිවසේ තිබූ කොන්ක්‍රීට් කොටසේ ඔළුව ගැටී රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් තිබේ.

ඝාතනය සිදුකළ වයස අවුරුදු 20 ක තරුණයා අක්කරපත්තුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත ෴


ශ්‍රීපාද වන්දනා සමය හෙට (26) උඳුවප් පෝය දිනෙන් ඇරැඹේ

(25.12.2023 – dinamina.lk)

මෙවර ශ්‍රීපාද වන්දනා සමය (2023/2024) හෙටට (26) යෙදී ඇති උඳුවප් පුන් පෝය දිනෙන් ආරම්භ වේ. ශ්‍රීපාද වන්දනා සමය සිරිත් පරිදි එළැඹෙන නව වසරේ වෙසක් පුන් පෝය දිනයෙන් නිමාවට පත් වේ.

අවාර සමයේ මාස 06 ක කාලයක් පැල්මඬුල්ල, ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරයේ ශ්‍රී සුමන සමන් දේවාලයේ තැන්පත් කර තිබූ සධාතුක කරඬුව, සුමන සමන් දෙවියන්ගේ රන් මුවා පිළිමය හා දේවාභරණ ශ්‍රීපාදස්ථානාධිපති, සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන්ගේ අනුශාසනා හා උපදෙස් පරිදි ඊයේ (24) රාත්‍රි සුබ නැකත් අනුව දොරට වැඩම කිරීම සිදු කරනු ලැබීය. අනතුරුව රත්නපුර මහ සමන් දේවාලයේ දී මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පැවැත්වෙන සෙත් පිරිත් සජ්ඣායනාව හා චාරිත්‍රානුකූල පුද පූජා පැවැත්වීම ද සිදු කරනු ලබයි.

අද (25) අලුයම යෙදෙන සුබ නැකත් අනුව සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව හා පූජා භාණ්ඩ රැගත් විශේෂ රිය පෙරහැර පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ පැල්මුඬුල්ල, ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරයේ සිට ශ්‍රීපාදස්ථානය වෙත වැඩම කිරීම මාර්ග 04 කින් ආරම්භ කෙරේ.

එක් පෙරහැරක් පැල්මඬුල්ල – පලාබද්දල මාර්ගයෙන්ද, අනෙක් පෙරහැර පැල්මඬුල්ල, අවිස්සාවේල්ල, කිතුල්ගල හැටන් මාර්ගයෙන් නල්ලතන්නිය වෙතද, තවත් පෙරහැරක්, කුරුවිට- එරත්න මාර්ගයෙන් ශ්‍රීපාදස්ථානයට හා පැල්මඬුල්ල – බලංගොඩ පින්නවල, බගවන්තලාව, මස්කෙළිය හරහා නල්ලතන්නියට අනෙක් පෙරහැරත් වැඩම කිරීම සිදු කරනු ලබයි.

හැටන් මාර්ගයෙන්, මස්කෙළිය හරහා නල්ලතන්නිය ශ්‍රීපාද ධර්ම මධ්‍යස්ථානය වෙත වැඩම කරන සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව, හා දේවාභරණ පෙර වසරවල දී මෙන්ම මෙවරද ශ්‍රීපාද නායක හිමියන්ගේ උපදෙස් හා අනුශාසනා මැද නල්ලතන්නියේ සිට ශ්‍රීපාද උඩ මළුව වෙත වැඩම කරනු ලබන්නේ පංච තූර්ය නාදය මැද්දේ ලක්ෂපාන යුද හමුදා කඳුවුරේ නිලධාරීන් හා සෙබළ පිරිසගේ සහභාගීත්වයෙනි.

උඳුවප් පුන් පෝය (26) දා අලුයම් කාලයේ යෙදෙන සුබ නැකත් අනුව ශ්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියන් ඇතුළු මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සිරිත් පරිදි ශ්‍රීපාද උඩ මළුවේ දී පැවැත්වෙන චාරිත්‍රානුකූල ආගමික වතාවත් ඉටු කිරීමෙන් පසුව සදාතුක කරඬුව, සුමන සමන් දෙවියන්ගේ රන් මුවා පිළිමය, දේවාභරණ තැන්පත් කිරීම සිදු කෙරේ. ඉන් අනතුරුව මෙවර ශ්‍රීපාද වන්දනා සමය සිරිත් පරිදි ආරම්භ වේ ෴


රස්සා නෑ – සල්ලිත් නෑ – වයිෆ්ගෙ පිටිසර මහගෙදර නිල් වීඩියෝ ස්ටුඩියෝ එකක් දැම්මා

(25.12.2023 – gossiplankanews.com)

ලිංගික ක්‍රියා සිදු කරමින් එම දසුන් වීඩියෝගත කර අන්තර්ජාල වෙබ් අඩවියකට මුදා හරිමින් සිටි තරුණ අඹුසැමි යුවළක් රාගම පොලිස් වසමේ දඹුව ප්‍රදේශයේ නිවෙසකදී අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 19 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක සහ ඇයගේ විවාහක ස්වාමිපුරුෂයා වූ 24 හැවිරිදි තරුණයෙකි. තමන්ට නිසි ආදායම් මාර්ගයක් නොමැති නිසා පවුලේ ඇතිවූ ගැටලුවලට පිළියමක් වශයෙන් බිරිඳගේ මවගේ පිටිසර නිවෙසට පැමිණ එහිදී බිරිඳ සමග ලිංගිකව හැසිරී එම දසුන් වීඩියෝ කර වීඩියෝ දර්ශන අන්තර්ජාලයේ වෙබ් අඩවියකට උඩුගත කර එමගින් සැලකිය යුතු මුදලක් උපයා ගැනීමට කටයුතු කළ බවට සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

කිසිම රැකියාවක් නොකර කුලී වාහනවල යමින් නගරයේ ලොකු හෝටල්වලින් ඔන්ලයින් ක්‍රමයට කෑම බීම ඇණවුම් කරමින් නිතර විනෝදකාමි ලෙස කාලය ගත කරන මෙම යුවළගේ සැක කටයුතු හැසිරීම් දුටු අවට ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණලි නිසා අදාළ නිවෙස පරීක්ෂා කිරීමට කටයුතු කළ බව පොලිසිය කියයි.

සැකකාර අඹුසැමි යුවළගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී සියලු තොරතුරු හෙළිකර ගැනීමට හැකිවූ බවත්, එම නිවෙසේ තිබී සැකකරුවන් ඒ සඳහා යොදා ගෙන තිබු ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක්, වීඩියෝ කැමරාවක් ඇතුළු තවත් උපාංග කීපයක් හමුවූ බවත් පොලිසිය සඳහන් කරයි.

අන්තර්ජාලය සම්බන්ධයෙන් ඇති රාජ්‍ය අධිකාරීන් සමග එක්ව රාගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

රාගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂිකා වත්සලා කුමාරසිංහ, උප පොලිස් පරීක්ෂක සුභාශන, සැරයන්වරුන් වන (67675) කරුණාරත්න, (27096) උපනන්ද, පොලිස් කොස්තාපල්වරුන් වන (67675) මහින්ද, (16849) කුමාර යන නිලධාරීහු ඉදිරි විමර්ශන කටයුතු සිදු කරති ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *