කුඩු මඩින මෙහෙයුමට බලපෑම්.. – මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්

කුඩු මඩින මෙහෙයුමට බලපෑම්.. – මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්


කුඩු මඩින මෙහෙයුමට බලපෑම්.. – මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්

(24.12.2023 – 14:10 +0530 – lankacnews.com)

“පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වන දේශපාලඥයින් පොලිසිය හෑල්ලුවට පත් කරන කුහක ප්‍රකාශ නිකුත් කරනවා” යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

ගල්කිස්ස පොලිස් කොට්ඨාශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා හෝමාගම දියගම තාක්ෂණික විශ්ව විද්‍යාලයේ පැවති වැඩසටහනකට‍ ඒක්‌වෙමින් අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා :

“මීට වසර එකහමාරකට (1½) පෙර විපක්ෂයේ මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරන අවදියේදී මෙම අමාත්‍යංශයේ වගකීම බාරගන්නා ලෙස හිටපු ජනාධිපතිවරයා විසින් අපට ආරාධනා කළා. එකවර එය බාරගැනීමට කැමැත්තක් නොමැති වුවත් අනෙකුත් මන්ත්‍රීවරුන්ගේත් ජනාධිපතිවරයාගේත් ඉල්ලීම පරිදි මෙම වගකීම භාර ගැනීමට මම තීරණය කළා.

රටම ගිනිගනිමින් පැවති ඒ අවස්ථාවේ අපට විශාල අභියෝගයක් පැවතුනා. රටේ නායකත්වයත් වෙනසක් සිදු වුණා. රට සාමකාමී කිරීමේ දැවැන්ත අභියෝගය අප හමුවේ පැවතුනා. රටේ ජනතාවට සුපුරුදු පරිදි කටයුතු කළ හැකි පරිදි ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අභියෝගය අපට පැවරුණා. කොළඹ නගරයේ ඇතැම් ප්‍රදේශවලට කිසිවකුටත් ඇතුල්වීමට හැකියාවක් නොහැකි පරිදි විවිධ ‘ගම්’ පිහිටුවා තිබුණා. රටට විදේශිකයන් පැමිණුනේ නැහැ. එවැනි තත්ත්වයක පැවති රට යළි ගොඩගැනීමට සිදුවුණා. ඒ අවස්ථාවේ අපට දැඩි තීරණ වලට එළඹීමට සිදුවුණා. රට තුළ විනයක් සහිතව සාමකාමීව සෑම දෙනාටම ජීවත් විය හැකි වාතාවරණයක් සකස් කිරීම අපට පැවරුණා. අපහසුවෙන් නමුත් ඒ වගකීම අප ඉටු කළා. ප්‍රචණ්ඩත්වයෙන් සිදුකරන ක්‍රියාවන් තුළින් රටට හෝ තමන්ට යහපතක් සිදු නොවන බව අප විරෝධතාවේ නිරත වූ පිරිස් වෙත පැහැදිලි කර දුන්නා.

ඉන් අනතුරුව රට තුළ පැවති විශාලම අභියෝගය වූ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම්, අපරාධ දිගින් දිගටම වර්ධනය වුණා. බොහෝ පොලිස් නිලධාරීන්ට පවා පහත් ලෙස සැලකීම දක්නට ලැබුණා. නමුත් නිල ඇඳුමේ ගෞරවය ආරක්ෂා කරමින් කිසිදු බලපෑමකට යටත් නොවී රාජකාරි කිරීම පිළිබඳව ශක්තිය අප පොලිස් නිලධාරීන්ට ලබා දුන්නා.

මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාල ක්‍රියාකාරකම් පිළිබඳව නිවැරදි තොරතුරු සහිතව වාර්තාවක් සකස් කිරීමට වත්මන් වැඩ බලන පොලිස්පතිවරයා ඇතුළු කමිටුවකට මා උපදෙස් ලබා දුන්නා. ඒ අනුව දැඩි ක්‍රියාමාර්ග සහිත වැඩපිළිවෙළකින් මෙම ක්‍රියාකාරකම් මර්දනය පිළිබඳ තීරණය ගනු ලැබුවා. ඒ අනුව දකුණු පළාතේ පැවති වැඩමුළු මාලාවකින් මේ කාර්යය ආරම්භ කළා. ඒ අනුව ආරම්භ කළ මෙහෙයුම්වල ප්‍රතිඵල ගැන මුළු රටම මාධ්‍ය ඔස්සේ දැනුවත් වී තිබෙනවා. අපේ ප්‍රධානම ඉලක්කය වූයේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාලය මැඩ පැවැත්වීම සම්බන්ධයි. එවිට මෙරටට මත්ද්‍රව්‍ය ගෙන ඒමත්, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අයට මිලදී ගැනීමට නොහැකි වීමත් මත මේ උවදුර පාලනය කිරීමට හැකිවනවා. ඒ අනුව 4665 දෙනෙකුගේ නම් ඇතුළත් ලේඛනයක් පොලිසිය විසින් සකස් කර තිබුණා. මෙහෙයුම් ආරම්භ කර සතියක් ඇතුළත ඒ අතරින් දහසකට (1000) වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා. වැටලීම් 12,269 ක් සිදුකර තිබෙනවා. රුපියල් මිලියන 700 කට අධික වටිනාකමකින් යුතු මත්ද්‍රව්‍ය මේ යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සතු වාහන, ඉඩම්, රන් භාණ්ඩ, මුදල් ආදි වත්කම් රුපියල් මිලියන 294 ක්‌ පමණදේපොළ පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙපමණ දැවැන්ත මෙහෙයුම් ප්‍රමාණයක් සිදු කර තිබිදිත් මෙය මාධ්‍ය සංදර්ශනයක් බවට ඇතැම් කුහක, ඊර්ෂ්‍යාකාර පිරිස් ප්‍රකාශ කරනවා. ඇතැම් දේශපාලනඥයින් පවා එලෙස ප්‍රකාශ කරමින් මෙම මෙහෙයුම් හෑල්ලුවට ලක් කරනවා. එවැනි ප්‍රකාශ සිදු කරන්නේ පාතාලය මත්ද්‍රව්‍ය ජාවාරම සමඟ සම්බන්ධතා පවත්වන අයයි. ඒ තුළින් අපව අධෛර්යයට පත් කර මෙම මෙහෙයුම් නතර කිරීමේ කොන්ත්‍රාත්තුව ඔවුන් ඉටු කරමින් සිටිනවා. ඇතැම් ආගමික නායකයින් පවා එවැනි ප්‍රකාශ සිදු කරනවා.

මෙම කටයුතු සිදු කිරීමේදී බොහෝ බාධකවලට මුහුණ දීමටද සිදුවනවා. පුද්ගලික තර්ජනයන්ට පවා මුහුණ දීමට සිදුව තිබෙනවා. කවර ආකාරයේ අභියෝග වලට මුහුණ දීමට සිදුවත් මේ අමාත්‍ය ධූරය කටයුතු කරන තුරු කිසිදු බලවතෙකුගේ බලපෑමකට යටත් නොවී මෙම කටයුත්ත සම්පූර්ණයෙන් මැඩ පවත්වන තුරු අඛණ්ඩව සිදුකරන බව ප්‍රකාශ කිරීමට මා කැමතියි. ඒ වෙනුවෙන් අවශ්‍ය ශක්තිය ජනාධිපතිතුමාද නිරන්තරයෙන් ලබා දෙනවා. අවශ්‍ය තීරණ ගැනීමට සහ කටයුතු කිරීමට අවශ්‍ය නිදහස උපරිමයෙන් ලබා දී තිබෙනවා.

මෙම දැවැන්ත මෙහෙයුම සාර්ථකව සිදුකිරීමට ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍යයි. මේ වෙනුවෙන් විශාල කැපකිරීමක් සිදුකරන පොලිස් නිලධාරීන් දිරිමත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා. අප සියලු දෙනාගේම සහයෝගයෙන් සහ දායකත්වයෙන් පාතාලය සහ මත්ද්‍රව්‍ය උවදුර මැඩ පැවැත්වීම අපහසු ඉලක්කයක් නොවෙයි. සමස්ත ශ්‍රී ලංකාවේම පොලිස් නිලධාරීන් දැඩි කැපවීමකින් මේ කටයුත්තේ නිරතව සිටිනවා. රටේ අනාගත පරපුරේ ආරක්ෂාව වෙනුවෙන් මෙම මැඩ පැවැත්වීමේ වගකීම අපට පැවරෙනවා” ෴

+++++++++

රට පුරා මත්කුඩු විශාල හිගයක්.. ඉල්ලුමට සැපයුම නෑ.. – වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්

(24.12.2023 – 13:20 +0530 – lankacnews.com)

මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා රට පුරා ඇති සිදුකරමින් තිබෙන ‘යුක්තිය’ මෙහෙයුම හේතුවෙන් මෙ වන විට මත්කුඩු ජාලය බිද වැටී විශාල බෙදැහැරීම් හිගයක් රට තුළ ඇතිවී තිබෙන බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

ගල්කිස්ස පොලිස් කොට්ඨාශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා හෝමාගම දියගම තාක්ෂණික විශ්ව විද්‍යාලයේ පැවති වැඩසටහනකට‍ ඒක්‌වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය :

“ලංකාව පුරා පවතින ග්‍රාම නිලධාරී වසම් 14,000 කට‍ අධික ප්‍රමාණයක මේ වන විට ප්‍රජා පොලිස් කමිටු ස්ථාපිත කර තිබෙනවා. එහි මූලිකම අපේක්ෂාව ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට සහයෝගය ලබාදීමයි. ඒ හරහා සෑම ගමකම පදිංචිකරුවන් පිළිබඳ නිවැරදි තොරතුරු අප වෙත ලැබෙනවා. බාහිර පාර්ශවයන්ගෙන් ගමට ඇතුල් වන පිරිස් ගැන තොරතුරු ලැබෙනවා.

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ වසර හතළිහකට (40) වඩා පැරණි පොලිස් වාර්තා තිබෙනවා. ඒ කාලය තුළ ලක්ෂ ගණනක ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වන විට විවිධ මත්ද්‍රව්‍ය වර්ග රාශියක් රටේ සෑම ප්‍රදේශයකම පැතිර ගොස් තිබෙනවා. අවාසනාවන්ත ලෙස පාසල් පද්ධතියට පවා එය ඇතුල් වී තිබෙනවා. එම නිසා සම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැර වූ මත්ද්‍රව්‍ය පාලනය කිරීමේ වැඩසටහනක් රටට අවශ්‍යයයි.

ජනාධිපතිතුමාගෙන් සහ විෂය භාර අමාත්‍යතුමාගෙන් ලැබුණු උපදෙස් අනුව මේ පිළිබඳ විශේෂ වැඩසටහනක් අප විසින් සකස් කරනු ලැබුවා. ඒ අනුව දීප ව්‍යාප්තව මත්ද්‍රව්‍ය සහ පාතාලය පාලනය කිරීම පිළිබඳ මේ මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවා.

බුද්ධි අංශය මත්ද්‍රව්‍ය කාර්යාංශය ඇතුළු අංශ වල දායකත්වයෙන් ලංකා පුරා මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වන පිරිසගේ ලැයිස්තුවක් සකස් කර තිබෙනවා. ඒ අනුව ඒ ඒ පොලිස් ස්ථානාධිපතිවරුන්ට තමන්ගේ ප්‍රදේශයට අදාල නාම ලේඛනයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ වගකීම පැවරෙනවා. එලෙස අත්අඩංගුවට ගත් විශාල පිරිසකගෙන් මේ වන විට ප්‍රශ්න කරමින් නිත්‍යානුකූල ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා. මේ මෙහෙයුමත් සමග මේ වන විට ප්‍රාදේශ මට්ටමේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ විශාල හිඟයක් ඇතිව තිබෙනවා.

ජනතාව මීට පෙර පොලිසියට චෝදනා කළේ මත්ද්‍රව්‍ය ජාවාරමේ දැවැන්තයින් සිටියදී සුළු සුළු වැරදිකරුවන් පමණක් අත්අඩංගුවට ගන්නා බවයි. එක් දිනකදී දකුණු පළාතේ පමණක් රුපියල් ලක්ෂ 1300 කට අධික දේපළ රාජසන්තක කිරීමට පියවර ගනු ලැබුවා. වාහන අති විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ සියල්ල මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ.

අප එතැනින් නවතින්නේ නැහැ. වසර හතළිහක් (40) පුරා ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන ආ ප්‍රධාන ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට අප අසමත් වී තිබෙනවා. ස්ථිර වශයෙන්ම මේ මෙහෙයුම අවසානයේදී ශ්‍රී ලංකා පොලිසිය ලංකාවේ ළමා සහ තරුණ පරපුර විනාශයට ඇද දමන මත්ද්‍රව්‍ය ජාවාරමේ දැවැන්තයින් අත්අඩංගුවට ගැනීම දක්වා රැගෙන යනවා.

මෙය සාර්ථක කරගැනීමට නම් ජනතාවද පොලිසිය සමඟ අත්වැල් බැඳගත යුතුයි. ඉතාමත් ආරක්ෂිතව සහ රහසිගතව ජනතාවට තොරතුරු ලබාදිය හැකි දුරකථන ඇමතුම් ක්‍රමයක් අප හඳුන්වා දී තිබෙනවා.

ලංකාව පුරා පාතාල සාමාජිකයින් 1091 ක් පොලීසිය විසින් නම් වශයෙන් හඳුනාගෙන තිබෙනවා. ඉන් 135 ක පමණ පිරිසක් බන්ධනාගාරය තුළ සිටියදී ද අපරාධ මෙහෙයවනවා.ඒ පිළිබඳ තොරතුරු ද අදාළ පොලිස් ස්ථාන වල ස්ථානාධිපතිවරුන් වෙත මේ වන විට ලබාදී තිබෙනවා.

සෑම බන්ධනාගාරයක් ආශ්‍රිතවම බුද්ධි මගින් අපරාධකරුවන්ට සහාය දීම පිළිබඳ ක්‍රියාත්මක වීමටද කටයුතු කර තිබෙනවා.

මේ වන විට විෂයභාර අමාත්‍යතුමාගේ මැදිහත්වීම මත ඉතිහාසයේ පළමුවරට කටුනායක ගුවන්තොටුපොල හරහා අපරාධ සිදුකර රටින් පලා යෑම පිළිබඳ විශේෂ විමර්ශනය කිරීමේ කැමරා පද්ධතියක් ස්ථාපනය කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

ජනාධිපතිතුමා අමාත්‍යතුමා ඇතුළු අනෙකුත් නිලධාරීන්ගේ ඉහළම සහයෝගය සහ උපදේශකත්වය මත මෙම වැඩපිළිවෙළ සාර්ථකත්වය කරා ගෙන යෑමට අවශ්‍ය සියලූම දායකත්වය පොලිසිය ලබා දෙනවා. ඊට අවශ්‍ය රටේ නීති ගරුක යුක්ති ගරුක ජනතාවගේ සහයෝගය පමණයි ෴


මියන්මාරයේ ත්‍රස්ත කඳවුරුවලින් පැමිණි දෙදෙනෙකු (2) ප්‍රකාශ දෙයි

(24.12.2023 – 13:23 +0530 – hirunews.lk/sinhala)

මියන්මාරයේ ත්‍රස්ත කඳවුරුවල සිට මිදී ආ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු (2) ප්‍රකාශ ලබා දීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ‘තැනැත්තන් වෙළෙඳාම්, ජාවාරම් විමර්ශන සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය’ වෙත මේ වන විට පැමිණ තිබෙනවා.

මියන්මාරයේ ත්‍රස්ත කඳවුරුවල සිට මිදී ආ හතර දෙනෙකු (4) සඳහා එම කොට්ඨාසය සිදු කළ දැනුම් දීමකට අනුවයි ඔවුන් මෙලෙස ප්‍රකාශ ලබා දීම සඳහා පැමිණ ඇත්තේ.

මියන්මාරයේ ‘සයිබර් ක්‍රිමිනල් ඒරියා’ ප්‍රදේශයේ රඳවාගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 56 දෙනා සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරාම හිරු ප්‍රවෘත්ති කළ අනාවරණයෙන් පසු, අදාළ කඳවුරු වෙත ශ්‍රී ලාංකිකයින් යොමු කෙරෙන මිනිස් ජාවාරම ශ්‍රී ලංකාවේ සිට මෙහෙයවන ප්‍රධානම සැකකරු වන චීන ජාතිකයා ඇතුලු 4 දෙනෙකු අත්අඩංගුවට ගත්තා.

+


ශ්‍රි පාදස්ථානයට විදුලි සැපයුම ලබාදීමේ ව්‍යාපෘතිය අවසන් අදියරයට

(24.12.2023 – 13:19 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රි පාදස්ථානයට ගුණාත්මක විදුලි සැපයුමක් ලබාදීමේ ලංකා විදුලි බල මණ්ඩල ව්‍යාපෘතිය මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙනවා.

මෙමගින් ශ්‍රී පාදස්ථානයට ඉදිරි වසර 50 කට වැඩි කාලයක් විදුලිය අඛණ්ඩව සැපයිය හැකි බවයි විදුලි ඉංජිනේරුවන් පවසන්නේ.

නල්ලතන්නිය – ශ්‍රී පාද මාර්ගයේ රතු අම්බලම හා ඉදිකටුපාන යන ස්ථානවල අධිබලැත් නව විදුලි ට්‍රාන්ස්ෆෝමර 04 ක් ස්ථාපනය කිරීමේ කටයුතු ලංකා විදුලි බල මණ්ඩලයේ දායකත්වයෙන් මේ දිනවල සිදුකෙරෙනවා.

ඉකුත් දින කිහිපයේ විදුලි ට්‍රාන්ස්ෆෝමර සහ අනෙකුත් භාණ්ඩ රතු අම්බලම හා ඉදිකටුපාන යන ස්ථානවලට රැගෙන එනු ලැබුවේ ගුවන් හමුදාවේ MI 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයකින්.

මෙම විදුලි ව්‍යාපෘතිය සදහා විදුලි බල මණ්ඩලයේ සේවකයින් 60 ක අධික සංඛ්‍යාවක් එක්ව සිටින අතර දිනකට පැය 14 ක් ව්‍යාපෘතියේ වැඩකටයුතු සදහා ඔවුන් සේවා සපයනු ලබනවා.

මේ අතර, උදුවප් පුර පසලොස්වක පොහෝ දිනය යෙදි ඇති හෙට දිනයේ සිට මෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වීමට නියමිතයි. බැතිමතුන්ට අවශ්‍ය පානීය ජල පහසුකම් ලබාදීම සදහා පානීය ජල නල එළමින් ඊට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුවන බව සදහන්.

+++++++++

Photos from airforce.lk Web

+

+


මාතර බන්ධනාගාරයේ තවත් කිහිප දෙනෙකුට උණ

(24.12.2023 – 08:53 +0530 – sinhala.adaderana.lk)

සිරකරුවන් බැලීම සඳහා අද (24) සහ හෙට (25) විශේෂ දිනයක් ලෙස ප්‍රකාශ කර තිබුණ ද මාතර බන්ධනාගාරයේ රැඳවියන් බැලීම සඳහා අවසර ලබාදීමේ කාලය සීමාකිරීමට පියවරගන්නා බව බන්ධනාගාර සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මාතර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 08 දෙනෙකු උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කළ අතර ඉන් එක් (1) රෝගියෙකු පසුව ජීවිතක්ෂයට පත්වුණි.

ඒ අනුව මියගිය රැඳවියාගේ ජෛව සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයට යොමු කෙරුණි.

කෙසේවෙතත් අදාළ රැඳවියා මියගොස් ඇත්තේ මොළයේ උණ තත්ත්වයක් හේතුවෙන් බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

ඒ හේතුවෙන් අද (24) සහ හෙට (25) දිනයේ රැඳවියන් බැලීමේ කටයුතු සීමා කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ.

එමෙන්ම නත්තල් දිනය වෙනුවෙන් සිරකරුවන් නිදහස් කිරීමේ ක්‍රියාපටිපාටියේදී විශේෂ සැලකිල්ලක් දැක්වීමට බන්ධනාගාර සෞඛ්‍ය අංශ තීරණය කර ඇති බවද සඳහන් ය.

මේ අතර මාතර බන්ධනාගාරය තුළ උණ සහිත රැඳවියන් කිහිපදෙනෙකු තවදුරටත් රැදී සිටින බව වාර්තා වෙයි.

එම රැඳවියන් ද අද (24) දිනයේ දී වහාම රෝහල් ගතකිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා සඳහන් කරන්නේ මාතර බන්ධනාගාරයේ රෝග ලක්ෂණ පෙන්නුම් කළ තවත් රැඳවියන් 8 දෙනෙකු ඊයේ (23) රාත්‍රියේ රෝහල්ගත කර තිබෙන බවය.

ඒ අනුව මාතර මහ රෝහලේ දැනට රෝගින් 16 දෙනෙක් නේවාසික ප්‍රතිකාර ලබයි.

ඉන් දෙදෙනෙක් තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද ගාමිණී බී. දිසානායක මහතා පැවසීය ෴


‘යුක්තිය’ මෙහෙයුම අත්හිටුවයි

(24.12.2023 – 09:32 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමය වෙනුවෙන් පොලිස් නිලධාරීන් විශේෂ රාජකාරිවලට යොමු කිරීමට අවශ්‍ය බැවින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල සාමාජිකයන් සොයාකරන ‘යුක්තිය’ මෙහෙයුම අද (24) සිට දින කීපයකට අත්හිටුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසනවා.

ඒ අනුව අද (24) සිට 26 වැනිදා දක්වා දින තුනක් (3) ‘යුක්තිය’ මෙහෙයුම අත්හිටුවන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව වැඩි දුරටත් පැවසිය ෴


සරසවි ඇඳුරන්ගෙන් අනතුරු ඇඟවීමක්

(24.12.2023 – 09:04 +0530 – hirunews.lk/sinhala)

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ විසදී නොමැති ප්‍රශ්නවලට අදාළව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම සඳහා තම සම්මේලනයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් ලබන මස පස් වනදා (05) කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

එහි සභාපති මහාචාර්ය බරණ ජයවර්ධන සදහන් කළේ, විශ්ව විද්‍යාලවලට අවශ්‍ය තරම් ප්‍රතිපාදන නොමැති වීමත්, පර්යේෂණ සඳහා අවශ්‍ය රසායන ද්‍රව්‍ය නොලැබීමත් යන හේතු මත විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දැඩි කලකිරීමට පත්ව ඇති බවයි.

2020 සිට මේ දක්වා ආචාර්යවරුන් 2,500 ක් රට හැරගොස් ඇති බවත්, දැනට සිටින ආචාර්යවරුන් රට හැර යෑමේ අදහසින් ඉවත්ව නොමැති බවත් මහාචාර්යවරයා සඳහන් කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *