ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්


ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

(23.12.2023 – 13:28 +0530 – sinhala.adaderana.lk)

ඉන්දියාවේ සිට ක්‍රියාත්මක කරන ‘චෝලන් ලෝක වාර්තා පොතේ’ ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවාට හිමි ලෝක වාර්තාව පිහිටුවීමට මෙරට සිසුවෙක් සමත් වී තිබේ.

එලෙස වාර්තාව පිහිටුවා ඇත්තේ, ‘ඔටිසම්’ රෝගී තත්ත්වයෙන් පෙළෙන නව (9) හැවිරිදි ‘භාක්‍යරාසා මුරලිදරන්’ නම් බලංගොඩ දෙමළ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකි.

ලෝකයේ සියලුම රටවල අගනුවර, ධජය, මුදල් ඒකකය, වත්මන් නායකයන්, එම රටවල් ප්‍රසිද්ධ ක්‍රිඩාවන් සහ සමාන්‍ය දැනුම ආශ්‍රිත ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් භාක්‍යරාසා මුරලිදරන් සිසුවා චෝලන් ලෝක වාර්තාව පිහිටුවා ඇත.

සිසුවාට හිමි පදක්කම සහ සහතික පත්‍රය ‘චෝලන් ලෝක වාර්තා පොත් සමාගමේ’ ශ්‍රී ලංකා ශාඛාවේ උපසභාපති ශ්‍රී නාගවානි රාජා මහතා සහ ප්‍රධාන විධායක කමිටු සභික පෙරුමාල් නීලමේගම් මහතාගේ ප්‍රධානත්වයෙන් පිරිනමා තිබේ.


නීතිවිරෝධීව රත්‍රන් රැගෙන ආ කාන්තාව රු. කෝටි 11 ක දඩය ගෙවයි

(23.12.2023 – 16:01 +0530 – sinhala.adaderana.lk)

රුපියල් කෝටි 12 ක් වටිනා රත්‍රන් තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ඒමේදී අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතික කාන්තාවට රුපියල් කෝටි 11 කට අධික දඩයක් නියමකර තිබේ.

ඊයේ (22) අලුයම ඩුබායි සිට පැමිණි ඇයව රත්‍රන් කිලෝග්‍රෑම් 5 යි ග්‍රෑම් 500 ක් සමග රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය මගින් අත්අඩංගුවට ගත්තාය.

රුපියල් කෝටි 12 ක වටිනාකමින් යුතු එම රත්‍රන් තොගය රාජසන්තක කිරීමට රේගු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබූ අතර අත්අඩංගුවට ගත් කාන්තාවට රුපියල් 11,80,00,000 දඩයක් නියම කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

එම දඩ මුදල ඇය විසින් එම අවස්ථාවේදීම ගෙවීමට පියවර ගත් බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය ෴


අයිස් සහ හෙරොයින් සමඟ පුද්ගලයන් 52 ක් අත්අඩංගුවට

(23.12.2023 – 11:54 +0530 – sinhala.adaderana.lk)

බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ ඊයේ (22) පස්වරුවේ සිදු කළ ‍යුක්තිය මෙහෙයුමේ දී හෙරෝයින්, අයිස්, ගංජා සහ නීති විරෝධී මත්පැන් සමඟ පුද්ගලයන් 52 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බලන්ගොඩ නගරයේ සහ ග්‍රාමීය ප්‍රදේශවල මෙම මෙහෙයුම දියත් කර තිබිණි.

බලන්ගොඩ නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළේ දී පුද්ගලයන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 71 ක් හෙරෝයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 ක් ගංජා ග්‍රෑම් 550 ක් ද එහි දී පොලිස් භාරයට ගත් බව සඳහන් වේ ෴


වනාතේ චුට්ටංට අයත් කෝටි 04ක දේපොළ පිළිබඳ විමර්ශනයක්

(23.12.2023 – 10:36 +0530 – sinhala.adaderana.lk)

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘රංග ප්‍රසාද් ගුණසේකර’ නොහොත් ‘වනාතේ චුට්ටං’ නැමැත්තා නීති විරෝධී අයුරින් උපයන ලද රුපියල් කෝටි හතරකට (4) අධික මුදලකින් මිල දී ගත් බව කියන දේපොළ සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් විමර්ශන සිදු කිරීමට නියමිත ව ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

රුපියල් කෝටියකට අධික වටිනා ‘ටොයොටා ඇක්වා’ වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන ඇත.

වැඩ බලන පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමට සමගාමී ව මෙම වැටලීම සිදු කර තිබේ.

‘වනාතේ චුට්ටන්’ නමැත්තා ඉකුත් මැයි මස 20 වැනිදා බොරැල්ල, ලෙස්ලි රණගල මාවතේ දී ටී56 ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා පැමිණි යතුරු පැදියේ පැදිකරු වශයෙන් කටයුතු කළ පුද්ගලයා බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.

පොලිස් භාරයට ගත් සුඛෝභෝගී මෝටර් රථය, සැකකරු ඔහුගේ බිරිඳගේ නමින් මිල දී ගෙන ඇති අතර, රුපියල් කෝටි තුනක් (3) පමණ වටිනා සුඛෝපභෝගී නිවස බොරැල්ල මැගසින් පාරේ ඉදිකර ඇතැයි පොලීසිය පවසයි.

+


තවත් සැකකරුවන් 32ක් අත්අඩංගුවට

(23.12.2023 – 10:11 +0530 – sinhala.adaderana.lk)

යුක්තිය මෙහෙයුමට සමඟාමී ව කොම්පඤ්ඤවීදිය වෑකන්ද ප්‍රදේශයේ සිදු කළ වැටලීම්වල දී සැකකරුවන් 32 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

කොම්පඤ්ඤවීදිය පොලීසිය සහ යුද හමුදාව ඒකාබද්ධ ව සිදු කළ නිවාස පරීක්ෂාවේ දී මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි සැකකරුවන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකපිට 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සතු ව තිබී හෙරොයින් ග්‍රෑම් 02 ක් සහ අයිස් ග්‍රෑම් 05 ක් සොයා ගත් බව පොලීසිය පවසයි ෴


මාතර බන්ධනාගාරයේ සිටි සැකකරුවෙක් ජීවිතක්ෂයට

(23.12.2023 – 09:11 +0530 – sinhala.adaderana.lk)

උණ රෝගි තත්ත්වයක් හේතුවෙන් මාතර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මාතර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු මියගොස් තිබේ.

බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී.දිසානායක මහතා පැවසුවේ, ඊයේ (22) මෙම රැඳවියා මියගොස් ඇති බවයි.

මියගිය රැඳවියා මිනිමැරුම් චෝදනාවක් මත සැකපිට 2023.08.30 දින බන්ධනාගාරගත වූ අයෙකි.

මේ අතර, උණ රෝගය වැළඳුන තවත් සැකකරුවන් 08 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී.දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය ෴


දුම්රියක ගැටීමෙන් තරුණයෙකු මරුට

(23.12.2023 – 08:37 +0530 – sinhala.adaderana.lk)

බම්බලපිටිය ප්‍රදේශයේ දී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.

පොලීසිය පැවසුවේ, දෙහිවල සිට කොළඹ දෙසට ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි.

මිය ගොස් ඇත්තේ, 23 හැවිදිරි දෙහිවල, විහාර පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.

අදාළ පුද්ගලයා දුම්රියේ ගැටුණේ ද නැති නම් දුම්රියට පැන සියදවි හානි කර ගත්තා ද යන්න සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී නොමැති බව පොලීසිය පවසයි ෴


ජා ඇල කර්මාන්තශාලාවක ගින්නක්

(24.12.2023 – 15:34 +0530 – hirunews.lk/sinhala)

ජා ඇල ඒකළ කර්මාන්තපුරයේ පිහිටි කර්මාන්තශාලාවක අද (24) පස්වරුවේ හට ගත් ගින්න මේ වන විට පාලනය කර තිබෙනවා.

ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවකයි මෙම ගින්න හට ගෙන තිබුණේ.

ගින්න පාලනය කිරීම සඳහා කොළඹ, ගම්පහ සහ මීගමුව යන නගර සභාවලට අයත් ගිනි නිවීමේ රථ යෙදවූ බවයි පොලිසිය සඳහන් කළේ.

අදාල කර්මාන්තශාලාවේ හටගත් ගින්නෙන් ජීවිතහානි කිසිවක් වාර්තා නොවී ඇති අතර කර්මාන්ශාලාවට දැඩි හානි සිදුව තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ ෴

++++++++

+


මහනුවරින් වාර්තා වූ ‘කොවිඩ් මරණය’ ගැන වෛද්‍යවරුන්ගේ මතය

(24.12.2023 – 14:44 +0530 – hirunews.lk/sinhala)

මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ඊයේ (23) ‘කොවිඩ් ආසාදනය වී ජීවිතක්ෂයට’ පත් වූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

මෙසේ කොවිඩ් ආසාදනය වී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගම්පොළ උලපනේ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 65 ක පුද්ගලයෙක්.

සිරෝසිස් රෝග තත්ත්වය හේතුවෙන් මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අප කළ විමසීමකදී මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු සඳහන් කළේ මෙම රෝගියා ගම්පොළ රෝහලෙන් මහනුවර රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා එවූ බවත් මෙම රෝගියාට දියවැඩියාව ඇතුළු රෝග කිහිපයක්ම වැළදී තිබූ බවත් මරණ පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිතයෙකු බවත් වාර්තා වූ බවයි.

නමුත් ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ වෛද්‍යවරුන්ගේ මතයට අනුව එය කොවිඩ් මරණයක් නොවන බවයි ෴

++++++++++

නව කොරෝනා වෛරසය පිළිබඳව විශේෂ දැනුම්දීමක්

(24.12.2023 – 11:17 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට ලොව පුරා රටවල් කිහිපයකින් වාර්තා වී ඇති නව කොවිඩ් ප්‍රභේදය මෙරටට ඇතුළු වීම වළක්වා ගැනීම සඳහා ගුවන්තොටුපළ, වරාය ආරක්ෂිත පරීක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කළ යුතු බව රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

තවමත් නිල වශයෙන් මෙරට තුළ මෙම නව ප්‍රභේදය වාර්තා වී නැති පසුබිමක සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය කමිටුව රැස් වී ලෝක තත්ත්වය සලකා බලමින් ගත යුතු ක්‍රියා මාර්ග තීරණය කළ යුතු බවයි එම සංගමය පවසන්නේ.

කෙසේ වෙතත් නව කොවිඩ් ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ වන විට ලබා දී ඇති එන්නත් සඳහා ප්‍රතිචාර දක්වන බැවින් මහජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැති බවයි පැවසෙන්නේ .

මේ දිනවල ශ්වසන පද්ධතිය ආශ්‍රිතව රෝග වාර්තාවන අතර පොදුවේ අවදානම් ඛාණ්ඩවලට අයත් ගැබිණි මව්වරු, දිගුකාලීන රෝගවලින් පෙළෙන පිරිස්, වයෝවෘද්ධ පුද්ගලයින්, දරුවන් ප්‍රවේශම්වීම වැදගත් බවයි එම සංගමය වැඩිදුරටත් සහන්කර සිටින්නේ ෴


පිරවුම්හලකට මුදල් නොගෙවා පළා ගිය රුසියානු ජාතිකයෙකු අත්අඩංගුවට

(24.12.2023 – 14:40 +0530 – hirunews.lk/sinhala)

හබරාදූව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් සිය මෝටර් රථයට ඉන්ධන ලබා ගැනීමෙන් පසු මුදල් නොගෙවා පළා ගිය රුසියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

39 හැවිරිදි මෙම රුසියානු ජාතිකයා මීට දින 5 කට පෙර එම ඉන්ධන පිරවුම්හලෙන් මුදල් නොගෙවා ඉන්ධන ලබා ගෙන ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

අනතුරුව හබරාදූව පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


හෙළ සිනමාවේ දුෂ්ටයා රෙක්ස් අභාවප්‍රාප්ත වෙයි

(24.12.2023 – 13:29 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීණ කෘතහස්ත රංගන ශිල්පී ‘රෙක්ස් කොඩිප්පිලි’ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිංහල සිනමාවේ දුෂ්ටයාගේ චරිතයට නව පණක් දුන් මෙම කෘතහස්ත රංගන ශිල්පියා රසිහ හදවතේ රැදී සිටි චරිතයක් බව නොරහසක්.

දිවි ගමන නිමකරන විට ඔහු 85 වන වියෙහි පසුවූවා.

ඔහු අද (24) උදෑසන මෙලෙස ජීවිතක්ෂයට පත් වූ බවයි ඔහුගේ ඥාති දියණියක් අප හමුවේ ප්‍රකාශකර සිටියේ.

1946 මෙලොව එළිය දුටු රෙක්ස් කොඩිප්පිලි සිංහල සිනමාවේ දුෂ්ටයාට නව පණක් දුන් රංගන ශිල්පියෙක් සේම නිෂ්පාදන කළමනාකරුවෙක්.

එමෙන් ම විශිෂ්ට චිත්‍රපට නිෂ්පාදකයෙක්.

ඔහු නිෂ්පාදනය කළ චිත්‍රපට අතර ‘අහස් මාළිගා’, ‘බයිසිකලේ’ චිත්‍රපට සුවිශේෂී වෙනවා.

‘රණදෙරණ’, ‘කදිරා’ චිත්‍රපටවල නිෂ්පාදන අධිකාරි ලෙසත් කටයුතු කර ඇති ඔහු රඟපෑ සියලු චරිත අභියෝගාත්මකයි.

ඒ අතර ප්‍රභල චිත්‍රපට ලෙස ‘රක්තා’, ‘මුවන්පැලැස්ස 1, 2, 3’, ‘උතුමාණෙනි’, ‘කොටි වලිගය’, ‘අහිමි දඩමං’, ‘හුලවාලි’, ‘චන්දිරා’, ‘සංඛපාලි’, ‘මරුවා සමග වාසේ’ චිත්‍රපට හඳුන්වා දිය හැකියි.

එදා මෙදාතුර ඔහු චිත්‍රපට එකසිය පනහකට (150) අධික ප්‍රමාණයකට පණ පොවා ඇති මෙම රංගධරයා ටෙලි නාට්‍ය ද විශාල සංඛ්‍යාවක් රඟ පා තිබෙනවා.

කලා කෙත අස් වැද්දීමට මහගු දායකත්වයක් ලබා දුන් සුවිශිෂ්ට රංගනශිල්පී රෙක්ස් කොඩිප්පිලි ඔබට නිවන්සුව ලැබේවා! ෴


රූමත් තරුණියන් දෙදෙනාට (2) මොකද වුණේ ? පොලිසිය රටම පීරයි

(24.12.2023 – 10:50 +0530 – hirunews.lk/sinhala)

ගලගෙදර සහ මාවතගම ප්‍රදේශයේ තරුණියන් දෙදෙනෙකු (2) පසුගිය පළමුවෙනිදා (01) සිට අතුරුදහන් වී ඇති බවට පොලිසිය පවසනවා.

පසුගිය පළමුවෙනිදා (01) තම දැරිය කුරුණෑගල කොරියන් භාෂාව ඉගෙන ගැනීමේ පන්තියකට ගිය බවත් එදින සිට දියණිය අතුරුදහන්ව ඇති බවත් දැරියගේ මව පොලිසියට පවසා තිබෙනවා.

එමෙන්ම එම දැරිය සමග මෙම කොරිය භාෂා පන්තියට සහභාගිවීමට ගිය මාවතගම ප්‍රදේශයේ දරියක්ද අතුරුදහන් වී ඇති බවටයි පොලිසිය පවසන්නේ.

එමෙන්ම මෙම දරුවන් දෙදෙනාගේම (2) ජංගම දුරකථන අක්‍රිය වී ඇති බවත් පොලිසිය විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මාවතගම සහ ගල ගෙදර පොලිසිය වැරදුරටත් විමර්ශන සිදු කරනු ලබනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *