මියන්මාර ත්‍රස්ත ග්‍රහණයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන තවත් හෙළිදරව්වක්

මියන්මාර ත්‍රස්ත ග්‍රහණයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන තවත් හෙළිදරව්වක්


මියන්මාර ත්‍රස්ත ග්‍රහණයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන තවත් හෙළිදරව්වක්

(23.12.2023 – 21:29 +0530 – sinhala.adaderana.lk)

මියන්මාරයේ ජාවාරම්කරුන්ට හසුවී ඇති බොහෝ තරුණ තරුණියන් උගත් බුද්ධිමත් දරුවන් වීම අභාග්‍ය සම්පන්න කරුණක් බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා :

“මම කනගාටු වෙන්නේ මේ පිරිස මැදපෙරදිග රැකියා සොයාගෙන යන ඒ අහිංසක අය නෙමෙයි. මෙතන සිටින්නේ ඉංග්‍රීසි හා සිංහල භාෂාව හොඳින් හැසිරිවිය හැකි පරිගණක තාක්ෂණ සාක්ෂරතාවය ඇති උගත් තරුණ පරපුරක්. මේ ව්‍යසනයට හසුවෙලා. රටේ උගත්, බුද්ධිමත් දරුවන්ගෙන් මම ඉල්ලා සිටින්නේ රැවටිලිකාරයින්ට හසුවෙන්න එපා. නිත්‍යානුකූල ක්‍රමවේදයක් හරහා ඒ රැකියා සඳහා විදේශගත වෙන්න.”

++++++++

මියන්මාරයේ ප්‍රාණ ඇපයේ සිටින 56 දෙනා බේරගන්න රාජ්‍ය සහාය ලැබෙනවානම් අපි සූදානම් උදව් කරන්න (23.12.2023)

++++++++++

මියන්මාර මිනිස් ජාවාරමේ චීන ජාතික මහමොළකරු අත්අඩංගුවට

(23.12.2023 – 12:16 +0530 – hirunews.lk/sinhala)

මියන්මාරයේ සයිබර් ක්‍රිමිනල් ඒරියා ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයින් 56 දෙනෙකු සිරකර තබා ගැනීමේ මිනිස් ජාවාරම මෙරට සිට මෙහෙය වූ චීන ජාතික මහමොළකරු සහ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු (2) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලට අනුවයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මියන්මාරයේ සයිබර් ක්‍රිමිනල් ඒරියා ප්‍රදේශයේ මෙයාවඩි නගරයේ මෙම ශ්‍රී ලාංකිකයින් 56 දෙනා ත්‍රස්ත කඳවුරු 3 ක රඳවාගෙන සිටින බවට හිරු ප්‍රවෘත්ති අනාවරණ කළේ මොවුන් මුදා ගැනීම සඳහා බලධාරින්ගේ අවධානය යොමු කරමින් ෴


බිළිඳු කලලය නිවසේදීම ගබ්සා කරගෙන වළදැමූ මව රිමාන්ඩ්

(23.12.2023 – 22:40 +0530 – sinhala.adaderana.lk)

මාස 6 ක පමණ වයසැති බිළිඳු කලලයක් වළ දැමූ බව කියන සිද්ධියක් තේක්කවත්ත ප්‍රදේශයෙන් වාර්තා විය.

තඹුත්තේගම තේක්කවත්ත ප්‍රදේශයේ දරු දෙදෙනෙකුගේ (2) මවක් විසින් මෙසේ බිළිඳු කලලය වළදමා තිබේ.

කලලයට මාස 6 ක කාලයක් ගතවෙනවාත් සමගම දරුවා ගබ්සා කිරීම සඳහා යම්කිසි පෙති වර්ගයක් පානය කළ බවද සැකකාර කාන්තාව පොලීසියට පවසා තිබේ.

තම සැමියාගෙන් වෙන්වී දරුවන් සමග හුදකලාවී ජීවත්වූ ඇය ගාලදිවුල්වැව, ප්‍රදේශයේ 44 හැවිරිදි එක්දරු පියෙකු සමග අනියම් සම්බන්ධතාවයක් ඇති කරගෙන තිබූ බව මූලික පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස ඇය ගැබ්ගෙන ඇති අතර එම බිළිඳු කලලය මෙලෙස ගබ්සාවීමෙන් පසු වළදමා තිබූ බවද හෙළිවී ඇත.

සැකකාරිය තඹුත්තේගම, තෙක්කවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක දෙදරු මවකි.

ගැබ්ගත් කාන්තාව දරුවෙකු ප්‍රසූත කර ඇති නමුත් ඇයගේ දරුවා නොමැති බවට නිර්නාමික දුරකථන ඇමතුමක් තඹුත්තේගම පොලීසිය වෙත ලැබීමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණි.

එම තොරතුරු මත සිදුකරන ලද විමර්ශනවලදී අදාළ බිළිඳු කලලය වළදමා තිබූ ස්ථානය තඹුත්තේගම පොලීසියට සොයාගැනීමට හැකි විය.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර කාන්තාව සහ ඇයගේ අනියම් සැමියා අත්අඩංගුවට ගෙන තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

එහිදී සැකකරු සහ සැකකාරිය ජනවාරි 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ ෴


මත්ද්‍රව්‍ය ජාලයේ තෝරු මෝරුත් සොයා එනවා – පොලීසිය

(23.12.2023 – 21:10 +0530 – sinhala.adaderana.lk)

‘යුක්තිය’ පොලිස් මෙහෙයුම ළඟදීම මත්ද්‍රව්‍ය ජාලයේ සිටින තෝරු මෝරු සොයා එන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

ඔහු සඳහන් කළේ එවිට සමාජයේ දැන් මතුවී තිබෙන චෝදනාවලට ද පිළිතුරු ලැබෙනු ඇති බවය.

“දැන් සමාජයේ තියෙන කතාවක් තමයි කුඩු ජාවාරම්කාරයෝ අල්ලනවා කිව්වට හාල්මැස්සෝ තමයි අල්ලන්නේ කියලා. ඒ කතාවේ ඇත්තක් තියෙනවා. කුඩු අල්ලන්න පොලීසිය පාරට බැස්සාම පාරේ ඉන්නවා කුඩු ගහන්න ලෑස්තිවෙලා ඉන්න මිනිස්සු කුඩුත් අතේ තියාගෙන. ඉතින් ඒ මිනිස්සු දැක්කාම අහක බලන් යන්න බැහැ පොලීසියට.”

“අනික අපි අල්ලපු 293 දෙනා කියන්නේ හාල්මැස්සෝ නෙමෙයි. හාල්මැස්සයි තෝරා – මෝරයි අතර එකෙක් ඉන්න පුළුවන්. මැද ඉන්න මාළු ටික අල්ලගත්තාට පස්සේ අපිට හොයාගන්න පුළුවන් කවුද තෝරු මෝරු කියලා.. මේ රටට කුඩු ගේන. එතනටත් අපි අත තියන දවස වැඩි ඈතක නැහැ.”

+++++++++

මදූෂ්, වෙලේ සුදා සහ කුඩු සළිඳුගේ වත්කම් සොයා පොලිස් මෙහෙයුම්

(23.12.2023 – 21:00 +0530 – sinhala.adaderana.lk)

ගනේමුල්ල කැන්දලියද්දපාළුව මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘මානගේ සුමුදු දුෂ්මන්ත’ නොහොත් ‘රංග’ නමැත්තා ‘හෑෂ්’ මත්ද්‍රව්‍ය සමග කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන සුඛෝපභෝගී ජීප් රථයක් සහ යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන ඇත.

එමෙන්ම සැකකරු නිවාස 2 ක් ඔහුගේ බිරිඳගේ නමින් සහ තවත් නිවාස 2 ක් බිරිඳගේ පියාගේ නමින් මිලදීගෙන ඇති අතර ඒවා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මිලදීගත් බවට විමර්ශනවලදී අනාවරණයවී තිබේ.

සැකකරු 2006 සහ 2015 වසර දක්වා ‘දෙමටගොඩ චමින්ද’ සහ ‘SF සරත්’ යන අය සමග මත්ද්‍රව්‍ය ජවාරම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබුණි.

මේ අතර ‘මාකඳුරේ මදූෂ්’ නැමැත්තාගේ අනියම් බිරිඳට අයත් බවට සැලකෙන සුඛෝපබෝගී ජීප් රථයක්, රුපියල් ලක්ෂ 32 කට අධික මුදලක් සහ වටිනාකම තහවුරු නොකළ මැණික් කැට 91 ඇතුළු භාණ්ඩ කිහිපයක් සමග නුවරඑළිය ප්‍රදේශයේ ලැඟුම්හල් හිමිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකාර කාන්තාව එම ලැඟුම්හලේ නවාතැන්ගෙන සිටින බවට ලද තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂාවකදී ඇය පළාගොස් ඇති අතර ඇය නවාතැන් ගෙන සිටි කාමරය තුළ තිබී අදාළ භාණ්ඩ සොයාගෙන තිබුණි.

තවත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘වෙලේ සුදා’ නමැත්තාට අයත් යැයි සැකකරන කැප්පෙටිපොල හක්ගල පන්සල අසල පිහිටි දෙමහල් නිවාඩු නිකේතනයක් වැටලීමට පොලීසිය කටයුතු කර තිබේ.

ඒ අනුව ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර අදාළ දේපොළ රාජසන්තක කිරීමටද මෙහිදී පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මේ අතර වරකාපොල නගරාසන්නයේ පිහිටි රුපියල් ලක්ෂ සියයක් (100) පමණ වටිනා ඉඩමක් මත්ද්‍රව්‍ය ජවාරම්කාර ‘කුඩු සළිඳු’ නමැත්තා රුපියල් ලක්ෂ 20 ක වටිනාකමක් සඳහන් කරමින් මිලදීගෙන එම ඉඩම ඔහුගේ ඥාතී පුත්‍රයෙකුගේ නමට පවරාදීමට කටයුතු කිරීමක් සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන කාර්යාංශය විමර්ශන ආරම්භ කර තිබේ.

මේ අතර අද (23) දහවල් යුක්තිය මෙහෙයුම යටතේ මැල්සිරිපුර ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී එම ප්‍රදේශය අවට මහපරිමාණ හෙරොයින් ජාවාරමේ නිරත වූ අඹුසැමි යුවලක් මැල්සිරිපුර පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

+++++++++

‘යුක්තිය’ මෙහෙයුම් තාවකාලිකව නතර කිරීමට යයි

(23.12.2023 – 18:19 +0530 – sinhala.adaderana.lk)

රට පුරා ක්‍රියාත්මක ‘යුක්තිය’ පොලිස් මෙහෙයුම හෙට (24) අනිද්දා (25) සහ 26 යන තෙදින තුළ තවකාලිකව නතර කිරීමට සිදුවී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා ඒ බව පැවසීය.

එසේ ‘යුක්තිය’ මෙහෙයුම නතර කරුණු ලබන්නේ නත්තල් දිනය (25) සහ 26 වනදා යෙදී ඇති පොහොය දිනය හේතුවෙන් පොලිස් නිලධාරීන් යම් යම් විශේෂ රාජකාරී සඳහා යෙවීමට ඇති බැවින් බව නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.

ඉන් පසුව යුක්තිය මෙහෙයුම යළිත් ආරම්භ කිරීමට නියමිතය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා :

“රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම 17 වන දින සිට 23 වනදා දක්වා මුල් සතිය එනම්, දින 7 ක කාලසීමාවක් අපි ක්‍රියාත්මක කළා. මෙය නතර කිරීමේ අදහසක් නැහැ. 25 නත්තල් දිනය – විශේෂයෙන් 24, 25 සහ 26 පොහොය දිනයත් එකට එළඹීමත් සමගම පොලිස් නිලධාරීන් යම් යම් රාජකාරීවල යෙදීමට අපට සිදුවෙනවා. යම් ආකාරයකට දින කිහිපයකට මෙම මෙහෙයුම් නතර කිරීමට සිදුවුවත් ඉදිරියේදී මෙහෙයුම් නොකඩවා සිදුකිරීමට කටයුතු කරනවා.”


රාජ්‍ය සේවයේ නිවාඩු අඩුකිරීමට සැරසෙයි

(23.12.2023 – 19:52 +0530 – sinhala.adaderana.lk)

රජයේ නිලධාරීන්ට දැනට වසරකට හිමිවී ඇති දින 45 ක් වන නිවාඩු සංඛ්‍යාව 25 දක්වා අඩු කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ඒ සඳහා ආයතන සංග්‍රහයේ විධිවිධාන සංශෝධනය කරන ලෙස විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් විසින් විවෘත හා වගකිව යුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යෝජනා කර ඇත.

එහිදී අනියම් නිවාඩු දින 10 ක් සහ විවේක නිවාඩු දින 15 ක් ලෙස නිවාඩු සංශෝධනය කරන ලෙස ද යෝජනා ඉදිරිපත්වී තිබේ.

ඒ අනුව, විශ්‍රාම වැටුප් වියදම රාජ්‍ය වියදම මෙන් 11.4% ක් බව පෙන්වා දෙන විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා එම වියදම් කළමනාකරණය කරගැනීම සඳහා සමස්ත රාජ්‍ය අංශයම දායකවිය යුතු බවට ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවේ පවසා ඇති බව සඳහන්ය.

ඒ සඳහා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් යෝජනා 45 ක් ඉදිරිපත් කර ඇති බව විවෘත හා වගකිව යුතු රජයක් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහන් කළේය.

මෙහිදී විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් විසින් විශ්‍රාමික ප්‍රජාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් අපේක්ෂිත සහනයන් පිළිබඳව ද යෝජනා ඉදිරිපත් කර තිබේ.

පොලීසිය සහ යුද හමුදා රණවිරු සංගමය ඇතුළු කාරක සභාවේ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත්කරන යෝජනා සම්බන්ධයෙන් ද විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී. ඩයස් මහතා ආංශික අධීක්ෂණ පිළිබඳ කාරක සභාවට දැනුම්දී ඇති බව සඳහන්ය ෴


පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ (3) වැඩ තහනම්

(23.12.2023 – 19:42 +0530 – sinhala.adaderana.lk)

මාලිගාවත්ත පොලිස් ස්ථානයේ රාජකාරී කළ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ (3) වැඩ තහනම් කර තිබේ.

ඒ රථවාහන රාජකාරියේ නිරතවී සිටියදී මාර්ග නීති කඩ කිරීමක් සම්බන්ධයෙන් නැවැත්වූ පුද්ගලයෙකුගේ දුරකථන උපාංග බලහත්කාරයෙන් ලබාගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි ෴


මුල්ලේරියාව නව නගරයේ කැලණිමුල්ල සැළලිහිණි මාවතේ නිවසක් ගිනිගනී

(23.12.2023 – 16:48 +0530 – sinhala.adaderana.lk)

මුල්ලේරියාව නව නගරයේ කැලණිමුල්ල සැළලිහිණි මාවතේ නිවසක හදිසියේ ඇතිවූ ගින්නකින් එම නිවස මුළුමනින්ම විනාශවී තිබේ.

අදාළ නිවසේ වැඩිහිටි කිසිවෙකුත් නොසිටි අවස්ථාවකදී මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් ගින්න හටගන්නා අවස්ථාවේදී එම නිවසේ කුඩා දරුවෙකු නිදාගෙන සිට තිබුණි.

ඒ බව දැනගත් ප්‍රදේශවාසින් ඵක්වී එම දරුවාව එම ස්ථානයෙන් ඉවත් කරගැනීමට සමත්විය.

අප වාර්තාකරු සඳහන් කළේ ගින්නෙන් ජීවිත හානි වාර්තා වී නොමැති අතර දේපොළ හානි සිදුවී ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලීසිය පරීක්ෂණ පවත්වයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *