විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම්පත් කැඳවයි
(22.12.2023 – 09:13 +0530 – hirunews.lk/sinhala)
2022 වසරට අදාළව මෙම වසරේ පැවති උසස් විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ අයදුම්පත් කැඳවීම අද (22) සිට ආරම්භ වෙනවා.
ඒ අනුව අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත් කැඳවීම ලබන 29 වනදා දක්වා සිදුකෙරෙන බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියා සිටියේ.
අයදුම්පත් යොමුකිරීම සම්බන්ධව වැඩිදුර විස්තර සහ කොන්දේසි විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ නිල වෙබ් අඩවිය වන https://www.ugc.ac.lk/ වෙත පිවිසීමෙන් ලබාගත හැකියි ෴
ශ්‍රී ලාංකිකයින් කැනඩාවට යවන මිනිස් ජාවාරමක් පිළිබඳ හෙළිදරව්වක්
(22.12.2023 – 18:38 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලාංකිකයන් මිනිස් ජාවාරමේ යෙදවූ සිද්ධීන් දෙකක් (2) සම්බන්ධයෙන් ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය (NIA) විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඔවුන් ‘දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය’ට සම්බන්ධ බවට සැකකෙරෙන බවයි සඳහන් වන්නේ.
පසුගිය මාසයේදී ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් කොල්ලම් නැගෙනහිර සහ පල්ලිතෝට්ටම් යන පොලිස් ස්ථානවල ලියාපදිංචි වී ඇති නඩු පිළිබඳ විමර්ශනයන් ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය වෙත පවරා ගන්නා ලෙස නියෝග කර තිබෙනවා.
ධීවර යාත්‍රා ක්‍රියාකරුවන් කිහිපදෙනකු සම්බන්ධ කර ගනිමින් ශ්‍රී ලාංකිකයන් කැනඩාවට රැගෙන යෑමට සැලසුම් කර තිබූ බවයි එහිදී අනාවරණය වී ඇත්තේ.
එහිදී පුද්ගලයින් 24 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කොල්ලම් වෙත පැමිණ ඇත්තේ නාගපට්ටිනම්, වෙල්ලෝර්, චෙන්නායි, තිරුවෙන්ල්වේලි, ත්රිචිරපල්ලි සහ ඩින්ඩිගුල් යන සරණාගත කඳවුරුවල සිට බවයි වාර්තා වන්නේ.
කේරළ මහාධිකරණය විසින් මෙම පිරිසට ඇප ලබා දී ඇති අතර ඉන් කිහිපදෙනෙක් කේරළයේ පුනරුත්ථාපන මධ්‍යස්ථානවල රැඳී සිටිනවා.
තවත් පිරිසක් නැවත තමිල්නාඩුවේ සරණාගත කඳවුරු වෙත යවා ඇති බවද සඳහන්.
කෙසේ වෙතත් අදාළ සිදුවීමත් සමඟ NIA විසින් තමිල්නාඩුවේ සහ කර්නාටක ප්‍රාන්තවල මිනිස් ජාවාරම් කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
එමෙන්ම කර්නාටක සහ තමිල්නාඩු ප්‍රාන්තවල හිටපු LTTE සාමාජිකයන් සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයන් කිහිපදෙනකු ද NIA විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ ෴
මේවා පාවිච්චි කළොත් හමේ ආසාදන නම් ‘ෂුවර්’
(21.12.2023 – 21:42 +0530 – hirunews.lk/sinhala)
කල් ඉකුත්වූ මුහුණු ආලේපන සහ සුවඳ විළවුන් රුපියල් 100 ක මුදලකට අලෙවි කරන පිටකොටුවේ ජාවාරමක් කොටුකර ගැනීමට පාරිභෝගික අධිකාරියේ කොළඹ වැටලීම් ඒකකය සමත් වුණා.
එහිදී පදික වෙළෙඳුන් අනාවරණ කළේ, කල් ඉකුත්වීම නිසා සමාගම්වලින් විනාශ කිරිමට යොමුකෙරෙන මෙම නිෂ්පාදන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පුද්ගලයකු විසින් ලබා ගෙන පදික වෙළෙඳාම සඳහා යොමුකරවන බවයි.
පිටකොටුව පළමු සහ දෙවන හරස් වීදිවල පදික වේදීකාවේ කල් ඉකුත් වූ සුවඳ විළවුන් සහ ආලේපන අලෙවි කරන බවට පාරිභෝගික අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් වැටලීම් ඒකකයට ලද තොරතුරක් අනුව ඒ පිළිබඳව සොයා බැලීමට නිලධාරීන් කණ්ඩායමක් පොලිසියද සමගින් පිටත් වුණා.
මුහුණු ආලේපන වලට අමතරව කල් ඉකුත්වූ සුවඳ විළවුන් ද අලෙවි කරන අයුරු මෙහිදී දැක ගත හැකි වුණා.
සමාගම්වලින් විනාශ කිරිමට යොමුකෙරෙන මෙම නිෂ්පාදන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් ලබා ගෙන අනතුරුව ඒවා මෙලෙස විවිධ පුද්ගලයන් ලවා පදික වේදිකාවල අලෙවි කරන බවට මුලික විමර්ශනයේදී අනාවරණ වුණා.
ඒ අනුව අදාළ භාණ්ඩ සිය භාරයට ගත් වැටලීම් කළ නිලධාරින් පැවසුවේ මෙම පදික වෙළෙදුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවයි.
+
ආගම්වලට අපහාස වන තොරතුරු Facebook දැමූ මෘදුකාංග ඉංජිනේරු සිසුවා
(22.12.2023 – 20:21 +0530 – sinhala.adaderana.lk)
ආගම්වලට අපහාස වන ආකාරයේ තොරතුරු සමාජ මාධ්‍යවල පළකළ තරුණයෙක් ලබන ජනවාරි 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ, ආගම්වලට අපහාස කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පරිගණක අපරාධ කොට්ඨාසයේ ස්ථාපිත කෙරුණු නව ඒකකය මඟිනි.
සමාජ මාධ්‍ය භාවිත කරමින් ආගම්වලට අපහාස කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පරිගණක අපරාධ කොට්ඨාසයේ වෙනම ඒකකයක් ස්ථාපිත කෙරුණේ පසුගිය 13 වැනිදාය.
මේ දක්වා එම ඒකකයට පැමිණිලි 4 ක් ලැබී ඇති අතර ඉන් පැමිණිලි 3 ක්ම ලැබී තිබුණේ එක් පුද්ගලයෙක් පිළිබඳය.
ඔහු ෆේස්බුක් ඔස්සේ බුද්ධ දර්ශනයට සහ කතෝලික දහමට අපහාස වන ආකාරයේ තොරතුරු පළ කර තිබිණි.
පසුගිය ඔක්තෝබර් මාසයේ මුල සිට ඔහු මෙම ක්‍රියා සිදුකර තිබේ.
ඒ අනුව, පරිගණක අපරාධ කොට්ඨාසයේ ස්ථාපිත ඒකකය විසින් සැකකරු ඊයේ (21) රාත්‍රියේ අත්අඩංගුවට ගැනුණි.
ඔහු මෘදුකාංග ඉංජිනේරුවෙකු වීමේ අරමුණින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක දෙවැනි වසරේ ඉගෙනුම ලබන 23 හැවිරිදි තරුණයෙකි.
ආගම්වලට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය තුළ තොරතුරු පළකිරීමෙන් සැකකාර තරුණයා මුදල් උපයා ඇත්දැයි සොයා විමර්ශන ක්‍රියාත්මක වේ.
සැකකරු අලුත්කඩේ අංක 6 අධිකරණයට අද (22) පස්වරුවේ ඉදිරිපත් කෙරුණි.
එහිදී කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා නියෝග කළේ සැකකාර තරුණයා එළඹෙන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටය.
මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ බෞද්ධ දර්ශනයට අපහාස වන ආකාරයේ තොරතුරු පළ කරන තවත් පිරිසක් සම්බන්ධයෙන් ‘ශාක්‍යපුත්‍රයෝ ජාතික සංවිධානය’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (22) පැමිණිල්ලක් සිදුකළේය.
+
බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් (2) පොලිස් අත්අඩංගුවට
(22.12.2023 – 21:37 +0530 – sinhala.adaderana.lk)
පොලීසිය හා යුද හමුදා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් සිදුකරන ලද හදිසි සෝදිසි මෙහෙයුමක දී බන්ධනාගාර නියාමකවරයෙක් හා බන්ධනාගාර වෘත්තීය උපදේශකවරයෙකු අත්අඩංගුවට පත්ව තිබේ.
අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගයේ දී එම නිලධාරීන්ව අත්අඩංගුවට පත්ව ඇත.
මෙම නිලධාරීන් දෙදෙනා (2) ඉදිරි නීතිමය කටයුතු සිදුකිරීම සඳහා අඟුණුකොළපැලැස්ස පොලීස් ස්ථානාධිපති මඟින් අඟුණුකොළපැලැස්ස මහෙස්ත්‍රාත් උසාවිය වෙත ඉදිරිපත් කර ඇත.
එහිදී ඔවුන්ව 2024 ජනවාරි මස 02 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
දෙපාර්තමේන්තුව විසින් ද මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති අතර නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇති බව බන්ධනාගාර බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක,ගාමිණී බී දිසානායක මහතා පවසයි ෴
රජයේ ඉඩම් ලබාදිය හැකි බව පවසමින් ජනතාවගේ මුදල් ගැරූ හොර නඩේ මාට්ටු
(22.12.2023 – 21:50 +0530 – sinhala.adaderana.lk)
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රජයේ ඉඩම් ලබා දිය හැකි බව පවසමින් කුරුණෑගල රිදීගම සහ දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ ජනතාව රවටා මුදල් ලබා ගැනීමේ වංචනික ක්‍රියාවක නිරතවූ පුද්ගලයින් කණ්ඩායමක් අද (22) පස්වරුවේදී සැකපිට අත්අඩංගුවට ගත් බව රිදීගම පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පස්දෙනා (5) මාතලේ සහ කුරුණෑගල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.
මොවුන් අතර තරුණ කාන්තාවක්ද සිටින බව පොලීසිය සඳහන් කළේය.
‘ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව’ යනුවෙන් සඳහන් ස්ටිකර් මෙන්ම නාම පුවරුද ප්‍රදර්ශනය කෙරෙන වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී සැක සිතුනු ප්‍රදේශවාසීන් පිරිසක් මොවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී වංචනික ක්‍රියාව පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ.
පසුව මේ පිළිබඳව ඔවුන් ඉඩම් අමාත්‍යාංශ ලේකම් බුවනෙක හේරත් මහතාට දැනුම්දී ඇත.
අනතුරුව ඒ පිළිබඳව තොරතුරු සොයා බැලූ අමාත්‍යාංශ ලේකම්වරයා මෙම පිරිස ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නමින් පෙනී සිටින වංචනිකයින් පිරිසක් බව හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස රිදීගම පොලීසියට දන්වා තිබේ.
සැකකරුවන් පිරිස ඉඩම් දෙපාර්තමේන්තුව බව සඳහන් ටී ෂර්ට්වලින්ද සැරසී සිට ඇති බවද කියයි.
අත්අඩංගුවට ගෙන සිටින එක් පුද්ගලයෙකු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ කාර්යාලයක සේවය කරන රජයේ නිලධාරියෙකු බවටද හඳුනාගෙන ඇත.
වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති සුදත් වෙදමුල්ල මහත්වරුන්ගේ උපදෙස් අනුව කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ රිදීගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුබසිංහ මහතා වැඩිදුර විමර්ශන සිකරයි ෴
ශ්‍රී ලංකන් ගුවන් සේවයට එක් වූ නව යානයේ මංගල ගමන 29 වැනිදා
(22.12.2023 – 13:19 +0530 – sinhala.adaderana.lk)
කල් බදු පදනම යටතේ ගත් ‘එයාර් බස් ඒ 320’ වර්ගයේ ගුවන් යානයක් ශ්‍රී ලංකා ගුවන් සේවයේ යානා සමූහයට එක් කර තිබෙනවා.
ගුවන් යානා ප්‍රතිෂ්ඨාපනය කිරීමේ වැඩසටහන යටතේ මෙම යානාව මිලදී ගෙන ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු මුලු ගුවන් යානා සංඛ්‍යාව 22 දක්වා ඉහළ යනු ඇති.
එම යානාව ඊයේ (21) පස්වරුවේ මලයාසියාවේ සිට කටුනායක ගුවන්තොටුපලට ළගා වූ අතර, එහි මංගල ගුවන් ගමන ලබන 29 වනදා කටුනායක සිට මාලදිවයින දක්වා සිදුකිරීමට නියමිතයි.
වසර හයක (6) කාලයක් සදහා ලබාගෙන ඇති මෙම යානයෙන් ව්‍යාපාරික පන්තියේ ආසන 12 ක් සහ පිරිමැසුම්දායක පන්තියේ ආසන 138 කින් සමන්විත වනවා ෴
+
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴