‘යුක්තිය’ට කොටුවන ලොකු ලොකු තෝරු මොරු මෙන්න

‘යුක්තිය’ට කොටුවන ලොකු ලොකු තෝරු මොරු මෙන්න


‘යුක්තිය’ට කොටුවන ලොකු ලොකු තෝරු මොරු මෙන්න

(21.12.2023 – 21:46 +0530 – sinhala.adaderana.lk)

මොරගහහේන ප්‍රදේශයේ නිවසක රැඳී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කළ 24 හැවිරිදි ‘චමෝද් ධනංජය’ නැමැත්තාව වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අද (21) හෙරොයින්ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුගේ රුපියල් කෝටි 10 කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී තෙමහල් නිවස සහ රුපියල් කෝටි දෙකක (2) පමණ වටිනාකමකින් යුත් මෝටර්රථය සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය යටතේ විමර්ශන සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.

මේ අතර වැල්ලම්පිටිය ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවෙකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ද වන ‘හනීෆා ලාෆීර්’ නොහොත් ‘ලාෆීර්’ නැමැත්තාවත් ආදුරුප්පුවීදිය ප්‍රදේශයේදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 3 ක්, රුපියල් ලක්ෂ 120 ක් වටිනා මෝටර් රථයක් සමග සිය භාරයට ගත්බව පොලීසිය සඳහන් කළේය.

මේ අතර දීර්ඝ කාලයක සිට අංගොඩ කැලණිමුල්ල ‘හරක් දෙවට’ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන බවට ලද බුද්ධි තොරතුරකට අනුව ‘අංගොඩ අතුරුසිංහගේ දිල්හානි’ නොහොත් ‘කුඩු ආශා’ නැමැති කාන්තාවගේ නිවස ඊයේ (20) පරීක්ෂාවට ලක් කෙරුණි.

එහිදී කිසිදු අනන්‍යතාවයක් තහවුරු කරගත නොහැකි පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී නීත්‍යානුකූල ලියකියවිලි නොමැති ත්‍රී රෝද රථ දෙකක් (2) සහ නිවසට යන මාර්ගයේ නවතා තිබූ බස් රථයක් ද පොලිස් භාරයට ගත් අතර එම වාහන තම මවට අයත් ඒවායැයි ‘කුඩු ආශා’ගේ පුත්‍රයා පිළිගත් බව පොලීසිය සඳහන් කළේය.

ඇයට හිමි බැංකු ගිණුම් දෙකක් (2) පරීක්ෂා කිරීමේදී දින තුනෙන් (3) තුනට (3) පමණ රුපියල් ලක්ෂ දෙක (2) බැගින් මුදල් එම ගිණුම්වල සංසරණය වී ඇතැයිද හෙළි වී තිබේ.

මේ අතර මත්කුඩු සහ පාතාල අපරාධ මර්දනය සඳහා දියත් කළ ‘යුක්තිය’ මෙහෙයුමේ මුල් දින හතර (4) තුළ සැකකරුවන් අටදහස් පන්සියයකට (8500) අධික පිරිසක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

+


පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු (2) ගේ අමුතු සෙල්ලම

(21.12.2023 – 21:55 +0530 – sinhala.adaderana.lk)

නීතිවිරෝධී ලෙස වේදනානාශක වර්ග අලෙවි කිරීම සඳහා ළඟ තබාගෙන සිටි නාවල ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාල දෙකක (2) සිසුන් දෙදෙනෙකු (2) ආමර්වීදිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23 හා 24 යන වයස්වල පසුවන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙකි.

දිවයින පුරා ක්‍රියාත්මක වන යුක්තිය මෙහෙයුම අතරතුරදී මෙම පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් දෙදෙනා කුරුණෑගල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුගේ නමින් ව්‍යාජ මුද්‍රාවක් හා සායන මගින් රෝගීන් සඳහා නිකුත් කරන පොතක් සකස් කර, වේදනා නාශක බෙහෙත් වර්ග වෛද්‍යවරයා සටහන් කරන ආකාරයට සටහන් කර ඔසුසැල්වලින් ලබා ගෙන පසුව ඒවා අලෙවි කළ බව අනාවරණය වී තිබේ.

+


සජබයේ සංවිධායකවරයෙක් මත්ද්‍රව්‍ය සමග හසුවෙයි

(21.12.2023 – 22:01 +0530 – sinhala.adaderana.lk)

‘සමගි ජන බලවේගයේ’ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස කටයුතු කරන ‘අමිත බණ්ඩාර’ගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

ඒ, මත්ද්‍රව්‍ය වැටලීමකදී ඔහු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් වාර්තාවීමත් සමගය.

සිද්ධිය පිළිබඳ අවධානය යොමු කළ සමගි ජන බලවේගය ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමටත් දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමටත් තීරණය කර ඇත.

පක්ෂ මහලේකම් ‘රංජිත් මද්දුම බණ්ඩාර’ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ 22 වනදා පැවැත්වෙන පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට මෙම තීරණ ඉදිරිපත් කොට අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවය ෴


‘යුක්තිය’ මෙහෙයුමේදී තවත් 1865 දෙනෙකු අත්අඩංගුවට

(22.12.2023 – 09:39 +0530 – sinhala.adaderana.lk)

රට පුරා ක්‍රියාත්මක ‘යුක්තිය’ පොලිස් මෙහෙයුම යටතේ පසුගිය 21 වනදා සිට අද (22) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 1,865 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් සැකකරුවන් 145 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය පවසයි.

එසේම, සැකකරුවන් 40 දෙනෙකු සම්බන්ධයෙන් නීතිවිරෝධි වත්කම් විමර්ශන ආරම්භ කරනු ලබන අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් 134 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ බළකාය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 154 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම විශේෂ මෙහෙයුමේදී පහත දැක්වෙන මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.

  • හෙරොයින් මත්ද්‍රව්‍ය 613 g
  • අයිස් මත්ද්‍රව්‍ය 746 g
  • ගංජා මත්ද්‍රව්‍ය 16.5 kg
  • ගංජා පැළ 272,041 ක්
  • හෂීෂ් 263 g
  • මාවා 49.4 kg
  • හෑෂ් 16 g
  • තූල් 852 g
  • මදනමෝධක 479 g
  • මත්පෙති 3,142 ක්

‘මිනී ඔළුවා’ අත්අඩංගුවට

(22.12.2023 – 13:42 +0530 – sinhala.adaderana.lk)

‘අංගොඩ ලොක්කා’ගේ ප්‍රබල ගෝලයෙකු වන ‘තිළිණ මදුරංග’ නොහොත් ‘මිනී ඔළුවා’ නමැති පුද්ගලයා යුක්තිය මෙහෙයුමෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

ගොතටුව පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව සඳහන්ය.

ගොතටුව පොලිස් වසමේ පාසල් අවට මත්ද්‍රව්‍ය සොයා මෙහෙයුම් අද (22) පෙරවරුවේ සිට සිදු කර ඇති අතර, ඒ සඳහා පොලිස් නිල සුනඛයන් ද යොදවා තිබුණු බව වාර්තා වේ.

සැකකරු සමඟ තවත් තිදෙනෙකු (3), මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නියුතු තවත් පස් දෙනෙකු (5) සහ මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් 18 දෙනෙකු ද ගොතටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සැකකරුවන්ගෙන් 04 දෙනෙකු වෙනුවෙන් රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බව ද ගොතටුව පොලීසිය අවධාරණය කරයි ෴


‘බලන්ගොඩ දේවා’ අපරාධයක තොරතුරු වමාරයි

(22.12.2023 – 15:06 +0530 – sinhala.adaderana.lk)

වැල්ලම්පිටියේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී අපරාධ සඳහා භාවිත කිරීමට සඟවා තිබූ කඩු දෙකක් (2) සොයාගෙන තිබේ.

වැල්ලම්පිටිය ‘සංහිඳ මහල් නිවාස සංකීර්ණයේ’දී හෙරොයින් මත්ද්‍රව්‍ය සමග ‘බලන්ගොඩ දේවා’ නමැත්තෙකු මෙලෙම අත්අඩංගුවට ගෙන තිබුණි.

බස්නාහිර පළාත් දකුණ දිසාව අපරාධ කොට්ඨාසය මෙම වැටලීම සිදුකර තිබේ.

එම සැකකරු සමග හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30 යි මිලිගෑම් 28 ක් පොලිස් භාරයට ගැනුණි.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී, ඩුබායිහි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘පෙතියාගොඩ සංඛ’ නමැත්තාගේ උපදෙස් මත බලන්ගොඩ සිට කොළඹට පැමිණි බවත් හෙළිවී ඇත.

සැකකරුගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත දින 07 ක් රැඳවූම් නියෝග ලබාගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී තවත් තොරතුරු රැසක් හෙළිවී ඇත.

ඒ අනුව ඔහු ‘පෙතියාගොඩ සංඛ’ නැමැත්තාට අයත් අංගොඩ ප්‍රදේශයේ වසාදමා තිබෙන ගල් වැඩපොළක කාමරයක නවාතැන් ගෙන සිටින බවට අනාවරණය වී තිබේ.

එහි සඟවා තිබීයදී කඩු දෙක (2) සොයාගෙන ඇත.

පෙතියාගොඩ සංඛ නමැත්තා මෙම ආයුධ දෙක ලබාදී ඉදිරියේදී ලබාදෙන උපදෙස් අනුව කටයුතු කරන ලෙස දැනුම්දුන් බවද පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු වැඩිදුරටත් හෙළිකර තිබේ.

29 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය ෴


තවත් අපරාධකරුවෙකුගේ කෝටි ගණනක දේපොළ පොලීසිය භාරයට

(22.12.2023 – 15:07 +0530 – sinhala.adaderana.lk)

සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ඩුබායිහි සැඟ ව සිටින ‘මහමෝදර සුරංජිත් විදානපතිරණ’ නමැත්තාට අයත් දෙමහල් ගොඩනැගිල්ලක් අද (22) පොලීසිය භාරයට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, එම පුද්ගලයාට අයත් හික්කඩුව, වෑවල ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය දෙමහල් ගොඩනැගිල්ල, කොළඹ නීතීවිරොධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් විසින් සිය භාරයට ගත් බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා අද (22) දහවල් හික්කඩුව, වෑවල, ගාලු පාරේ පිහිටි එම ගොඩනැගිල්ල නිරීක්ෂණය කර ඇති බව ද වාර්තා වේ ෴


‘යුක්තිය’ මෙහෙයුමෙන් දැවැන්ත යතුරුපැදි ජාවාරමක් හෙළිවෙයි

(22.12.2023 – 16:05 +0530 – sinhala.adaderana.lk)

‘යුක්තිය’ මෙහෙයුම යටතේ තවත් දැවැන්ත ජාවාරමකට නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට හැකි වී තිබේ.

දිවයිනේ විවිධ ප්‍රදේශවල යතුරුපැදි සොරාගෙන, චැසි සහ එන්ජින් අංක වෙනස් කර සමාජ මාධ්‍යය හරහා අලෙවි කළ ජාවාරමක් එලෙස වටලා ඇත.

මෙම සංවිධානාත්මක කණ්ඩායමේ ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනෙකු (3) රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට (1,20,00,000) අධික වටිනාකමකින් යුත් යතුරුපැදි රැසක් සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

එම සැකකරුවන් සමඟ යතුරුපැදි 19 ක්, ලියාපදිංචි අංක තහඩු 14 ක් පොලිස් භාරයට ගෙන ඇත.

කුරුඳුවත්ත සහ බම්බලපිටිය පොලීසිවලට වාර්තා වී තිබූ යතුරුපැදි සොරකම් 02 ක් සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනවල දී මෙම ජාවාරම පිළිබඳ හෙළි වී තිබේ.

ඒ, නුගේගොඩ, තලපත්පිටිය, පන්සල පාර නේවාසිකාගාරයක රැඳී සිටි පුද්ගලයෙකු යතුරුපැදි 03 ක් සහ ලියාපදිංචි අංක තහඩු අටක් (8) සමඟ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී ය.

එම සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ දී ඔහුගේ ගම් ප්‍රදේශය වන ගාල්ල කලහේ නිවස තුළ සඟවා තිබූ සොරකම් කරන ලද තවත් යතුරුපැදියක් (1) සහ ලියාපදිංචි අංක තහඩු 06 ක් සොයාගෙන තිබිණි.

ඒ අනුව මෙම ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයන් දෙදෙනෙකු (2) තඹුත්තේගම හා වෙන්නප්පුව ප්‍රදේශවල දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.

එම සැකකරුවන් හෙළි කළ තොරතුරු මත කුරුඳුවත්ත, බම්බලපිටිය, කොටුව, පිටකොටුව, වැලිකඩ, මහරගම සහ ගාල්ල ප්‍රදේශවලින් සොරාගත් යතුරුපැදි 19 ක් සොයා ගැනීමට හැකි වී ඇත.

තඹුත්තේගම සහ වෙන්නප්පුව ප්‍රදේශවල පුද්ගලයන් දෙදෙනකු (2) ද සම්බන්ධ කරගනිමින් එම යතුරුපැදිවල එන්ජින් සහ චැසි අංක වෙනස් කර කූට ලේඛන සකසා සමාජ මාධ්‍යය හරහා දැන්වීම් පළ කර අලෙවි කර ඇති බව පොලිස් විමර්ශනවල දී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

මෙම සංවිධානාත්මක ජාවාරම සඳහා තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු සම්බන්ධ බවට සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී ඇති අතර, එම පුද්ගලයන්ද අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් පරීක්ෂණ පවත්වන බව පොලීසිය පවසයි ෴


ගාල්ල පීරූ යුක්තිය – රුපියල් කෝටි 3.5 ක වාහනත් පොලිස් භාරයට

(22.12.2023 – 17:33 +0530 – sinhala.adaderana.lk)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු (2) විසින් උපයාගත් දේපළ කිහිපයක් අද (22) දින සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුව නීතිවිරෝධී වත්කම් හා දේපළ විමර්ශන කොට්ඨාසය සිය භාරයට ගෙන තිබේ.

ගාල්ල පොලිස් අධිකාරී කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි, නීතිඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ, එම මෙහෙයුම සඳහා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද පැමිණි බවය.

ඒ අනුව හික්කඩුව ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන තට්ටු දෙකක ගොඩනැගිල්ලක් හා ගාල්ල, මහමෝදර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සංචාරක නිවාස දෙකක් (2) නීතිවිරෝධී වත්කම් හා දේපළ විමර්ශන කොට්ඨාසය සිය භාරයට ගනු ලැබීය.

එමෙන්ම හබරාදූවේ හීනැටිගල ප්‍රදේශයේ නිවසක් හා ගාල්ල වරායේ තිබූ බහුදින යාත්‍රාවක් ද නීතිවිරෝධී වත්කම් හා දේපළ විමර්ශන කොට්ඨාසය සිය භාරයට ගෙන තිබේ.

KDH වෑන් රථයක්, CHR වර්ගයේ මෝටර් රථයක්, වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් ඇතුළුව රුපියල් ලක්ෂ 347 ක වටිනාකමින් යුත් වාහන අද දින නීතිවිරෝධී වත්කම් හා දේපළ විමර්ශන කොට්ඨාසය සිය භාරයට ගත් බව ද නිහාල් තල්දූව මහතා පැවසීය.

එමෙන්ම රුපියල් ලක්ෂ 53 ක රත්‍රං භාණ්ඩ, රුපියල් ලක්ෂ 940 ක දේපළ ද නීතිවිරෝධී වත්කම් හා දේපළ විමර්ශන කොට්ඨාසය සිය භාරයට ගෙන ඇත.

ඒ අනුව අද (22) දිනයේ සිය භාරයට ගත් වත්කම්වල සමස්ත වටිනාකම රුපියල් ලක්ෂ 1,340 කි.

පසුගිය කාලය පුරා නීතිවිරෝධී වත්කම් හා දේපළ විමර්ශන කොට්ඨාසය මඟින් රුපියල් ලක්ෂ 1,427 ක වාහන සිය භාරයට ගෙන තිබේ.

එමෙන්ම ඔවුන් භාරයට ගෙන ඇති දේපළවල වටිනාකම රුපියල් ලක්ෂ 1,511 කි.

අද (22) දින අත්අඩංගුවට ගත් දේපළ විදෙස්ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු (2) ගේ බවත්, ඔවුන් සහෝදරයන් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

විදෙස්ගතව සිටින පුද්ගලයෙකුගේ බිරිඳගේ සහෝදරියක් ද මේ වනවිට අත්අඩංගුවට පත්ව ඇතැයි පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, මෙම වැටලීම් නොකඩවා සිදුකරන බව ද කියා සිටියේය ෴


මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ රුපියල් ලක්ෂ 1340 ක වත්කම් අදත් (22) තහනම්

(22.12.2023 – 17:27 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය සහ අපරාධ මැඩලීම සඳහා ආරම්භ කළ යුක්තිය මෙහෙයුමට සමගාමීව අද (22) දිනයේ රුපියල් ලක්ෂ 1340 කට ආසන්න වටිනාකමක් සහිත දේපල තහනම් කිරිමට නීතිවිරෝධී වත්කම් හෝ දේපල විමර්ශන කොට්ඨාශය කටයුතු කර තිබෙනවා.

විදේශ ගතව සිට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකිරිමෙන් උපයා ගන්නා ලද මුදල් භාවිත කර මෙම දේපල මිලදී ගෙන ඇති බවට විමර්ශන නිලධාරින්ට අනාවරණ වීමෙන් පසුවයි ඒවා මෙලෙස තහනම් කර ඇත්තේ.

තහනම් කරන ලද දේපල අතර මහල් ගොඩනැගිලි හා වාහන ද වනවා.

එමෙන්ම, අඩි 45 ක බහුදින යාත්‍රාවක් ද එලෙස තහනම් කළ දේපල අතර වන බවයි පොලීසිය සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *