කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් ජනවාරි 01 දා සිට පොලිසියෙන් ක්ෂණික දුරකථන අංකයක්

කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් ජනවාරි 01 දා සිට පොලිසියෙන් ක්ෂණික දුරකථන අංකයක්


කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් ජනවාරි 01 දා සිට පොලිසියෙන් ක්ෂණික දුරකථන අංකයක්

(19.12.2023 – 15:15 +0530 – hirunews.lk/sinhala)

කාන්තාවන් හා ළමයින් මුහුණදෙන හිරිහැර සහ පීඩාවන් සම්බන්ධව ක්ෂණිකව ක්‍රියාත්මක වීම සඳහා පොලිසිය ක්ෂණික දුරකථන අංකයක් ජනවාරි 01 වනදා සිට හඳුන්වා දීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

විෂය භාර අමාත්‍ය ටිරාන් අලස්ගේ විශේෂ උපදෙස් හා මග පෙන්වීම පරිදි, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ අධීක්ෂණය යටතේ මෙය ක්‍රියාත්මකයි.

පොලිස් කාන්තා නිලධාරිනියන් මගින් පැය 24 පුරාම ක්‍රියාත්මක කරන මෙම ඇමතුම් මධ්‍යස්ථානය හරහා කාන්තාවන්ට හා ළමයින්ට වඩාත් විශ්වාසනීය ලෙස සහ පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි අවශ්‍ය සේවාවන් ලබාදීම මෙහි අරමුණ වනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ මෙම ක්ෂණික දුරකථන අංකය මගින් දිවයිනේ ඕනෑම ස්ථානයක සිට ඕනෑම භාෂාවකින් තමන් මුහුණ දෙන ගැටලු‍ පිළිබඳ දැනුම් දීමේ හැකියාව පවතින බවයි ෴


දේශබන්දුගේ විශේෂ මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් වාහන අත්අඩංගුවට

(19.12.2023 – 12:51 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 68 ක් වටිනා වාහන ඊයේ (18) දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුමේදී වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් යොදවා මිලදී ගත් රුපියල් මිලියන 68 ක් වටිනා වාහන කිහිපයක් බවයි වාර්තා වන්නේ ෴

+++++++++

පැය 24 ක් තුළ පුද්ගලයින් 2,166 ක් අත්අඩංගුවට

(19.12.2023 – 08:55 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුමේ දී පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 2,166 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එහිදී අත්අඩංගුවට ගත් පිරිසෙන් 66 දෙනෙකුට එරෙහිව රැඳවුම් නියෝග ලබා ගෙන ඇති අතර, සැකකරුවන් 14 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත්, තවත් 226 දෙනෙකු පුනරුත්ථාපනයට යොමුකර ඇති බවත් එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම අදාළ මෙහෙයුමේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 370 ක්, අයිස් ග්‍රෑම් 556 ක්, ගංජා කිලෝග්‍රෑම් 7 යි ග්‍රෑම් 800 ක්, මාවා කිලෝග්‍රෑම් 3 යි ග්‍රෑම් 500 ක් සහ මත්පෙති 1,075 ක් ද සොයා ගැනීමට සමත් වී තිබෙනවා ෴

++++++++

+


නගරාශ්‍රිතව යාචකයන් සංඛ්‍යාව ඉහළට

(19.12.2023 – 08:03 +0530 – hirunews.lk/sinhala)

සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් කරන ලද සමීක්ෂණයකට අනුව මෙරට යාචකයින් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

නගර සභා සහ මහ නගර සභා 65 ක් කේන්ද්‍ර කර ගනිමින් මෙම සමීක්ෂණය සිදු කර ඇති අතර, ඒ අනුව වාර්තා වූ යාචකයින් සංඛ්‍යාව 3,700 කට ආසන්න වන බවයි වාර්තා වන්නේ.

බස්නාහිර පළාතේ පමණක් යාචකයින් 1600 ක් සිටින බව එම දෙපාර්තමේන්තුව සදහන් කළා.

කොළඹ නගරයට පමණක් මෑතකදී යාචකයින් 1,000 කට වැඩි පිරිසක් සංක්‍රමණය වී තිබෙනවා.

ආර්ථික අර්බුද සමග ඇතැම් ආයතන වැසී යාම හේතුවෙන් එහි සේවය කළ ඇතැම් පිරිස් යාචකයන් බවට පත්වී ඇති බවයි අදාළ සමීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ.

කෙසේ වෙතත් යාචකයන් පුනරුත්ථාපනය කිරීම සඳහා පිහිටුවා ඇති රිදීගම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඉඩ කඩද මේ වනවිට ඉක්මවා ගොස් ඇති බව වාර්තා වනවා ෴


ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයෝ හිතාගෙන ඉන්නෙ දේශපාලනය කල යුත්තේ ඔවුන්ගේ අය විතරයි කියලා (19.12.2023)

+


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

(19.12.2023 – 07:47 +0530 – hirunews.lk/sinhala)

වර්ෂාවත් සමග පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ, අද (19) අලුයම දියතලාව හා හපුතලේ අතර කිලෝමීටර 155 කණුව ආසන්නයේ දී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටී ඇති බවයි.

මේ හේතුවෙන් කොළඹ සිටි බදුල්ල බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේ නතර කර තිබෙනවා.

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ නැගෙනහිර යන පළාත්වලට අද (19) මිලිමීටර 75 ට වැඩි වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා ෴


හැඳුනුම්පත් සඳහා ඡායාරූප ගාස්තුව ඉහළ නංවමින් ගැසට්ටුවක්

(19.12.2023 – 07:45 +0530 – hirunews.lk/sinhala)

හැඳුනුම්පතක් හෝ හැඳුනුම්පතක අනුපිටපතක් ලබා ගැනීමට ඉල්ලු‍ම් කරන පුද්ගලයෙකුගේ ඩිජිටල් ඡායාරූප පිටපත් ලබාගැනීම සඳහා ඡායාරූප ශිල්පියෙකු විසින් අයකළ යුතු උපරිම ගාස්තුව රුපියල් 400 දක්වා ඉහළ නංවා තිබෙනවා.

මෙතෙක් එම ගාස්තුව පැවතියේ රුපියල් 150 ක් ලෙසයි.

ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින්.

ඒ අනුව 2016 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි වනු ඇති.

මේ අතර විදුලිබල සැපයුම සම්බන්ධ සියලුම සේවාවන් සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම තවදුරටත් අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා ෴


අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රවේශ පත්‍රය සංශෝධනය කල හැකි කාලය දීර්ඝ කෙරේ

(19.12.2023 – 19:09 +0530 – hirunews.lk/sinhala)

අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට විභාග ප්‍රවේශ පත්‍රයේ විෂය, මාධ්‍ය, උපන් දිනය සහ නම මාර්ගගතව සංශෝධනය කර ගැනීමට දුන් කාලය දීර්ඝ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මෙලෙස දෙසැම්බර් 22 මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කර ඇති බවයි වාර්තා වන්නේ ෴


සයිබර් අවකාශයේ ළමා අපයෝජන වැළැක්වීමට දත්ත පද්ධතියක්

(19.12.2023 – 18:00 +0530 – hirunews.lk/sinhala)

2023 වර්ෂයේදී මේ දක්වා සයිබර් අවකාශය ඔස්සේ ළමුන් අපයෝජයට ලක්වන සිද්ධි 98,000 ක් ලැබී ඇති බව නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර පවසනවා.

එමෙන්ම 2022 වර්ෂයේ සයිබර් අවකාශය ඔස්සේ ළමුන් අපයෝජයට ලක්වන සිද්ධි පිළිබඳ පැමිණිලි 146,000 ක් ලැබි ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ :

“සියලුම සමාජ මාධ්‍යවල හෝ සයිබර් අවකාශයට ළමයෙකුගේ නිරුවත් ඡායාරූපය, වීඩියෝ දර්ශන යම් පුද්ගලයෙකු විසින් මුදාහරිනවා නම් ඒවා මේ සාමාජ මාධ්‍ය තුළ බේදාහරිනවා නම්, නැතිනම් මෙවැනි වීඩියෝ නිතර නිතර නරඹනවා නම් එම තොරතුරු මේ අදාළ සමාජ මාධ්‍ය තුළින් සහ සයිබර් අවකාශයේ අනෙකුත් සේවා සපයන ආයතන විසින් මේ දත්ත පද්ධතිය සමග ඒ තොරතුරු හුවමාරු කරගන්නවා මේ දත්ත පද්ධතිය විසින් අදාළ අපරාධකරුවන් සහ වින්දිත දරුවන් සිටින රටවල්වලට මේ තොරුතුරු යොමු කරනවා. ඒ රටවල්වලට දැනුම්දෙනවා. ඔබගේ රටේ මෙවැනි අපරාධ අන්තර්ජාලය හරහා විවිධ අපයෝජන සිදුවෙනවා කියා. මේ ආකාරයට ශ්‍රී ලංකාවටත් මේ සම්බන්ධතාවය ලැබිලා තිබෙනවා.”


13 හැවිරිදි සිසුවියක් අපයෝජනය කළ හමුදා සෙබළෙක් බන්ධනාගාරගත කෙරෙයි

(19.12.2023 – 20:22 +0530 – hirunews.lk/sinhala)

13 හැවිරිදි සිසුවියක් මව්පියන්ට නොදන්වා සිය නිවසට රැගෙන ගිය බවට චෝදනා එල්ල වූ කුරුවිට යුධ හමුදා කඳවුරේ 19 හැවිරිදි සෙබළෙකු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

සිසුවිය අපයෝජනයකට ලක්ව තිබේද යන්න තහවුරු කරගැනීම සඳහා අධිකරණ වෛද්‍යවරයෙක් හමුවට ඉදිරිපත් කරන ලෙසට ද අධිකරණය නියෝග කළා.

‍ආණමඩුව ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 13 හැවිරිදි සිසුවියක් කුරුවිට යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ 19 හැවිරිදි හමුදා සෙබළෙකු සමඟ පෙම් සබඳතාවයක් පවත්වාගෙන ගොස් තිබුණා.

දුරකථනය ඔස්සේ ඔවුන් අදහස් හුවමාරු කරගෙන තිබු අතර පසුව එම සෙබළා ඇයව රැගෙන රුවන්වැල්ලේ පිහිටි ඔහුගේ නිවසට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පසුව සිසුවිය මේ සම්බන්ධයෙන් මව්පියන් දැනුවත් කළ අතර මව්පියන් විසින් මේ සම්බන්ධයෙන් නවගත්තේගම පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලකට අනුව සෙබළා අත්අඩංගුවට ගැනීමට නවගත්තේගම පොලිසිය කටයුතු කළා.

අනතුරුව සැකකාර සෙබළා ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා.

සිසුවිය අපයෝජනයකට ලක්ව තිබේද යන්න තහවුරු කරගැනීම සඳහා අධිකරණ වෛද්‍යවරයෙක් හමුවට ඉදිරිපත් කරන ලෙසට ද ආණමඩුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා ෴


+


ශ්‍රවණාබාධයකින් පෙළෙන දැරියක් අපයෝජනයකට ලක් කළ වල්කපුවාට වසර 20 ක සිරදඬුවම් – වල්කපුවාගෙන් දැරියට රුපියල් ලක්ෂ 10 ක වන්දියක්

(19.12.2023 – 21:11 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්)

මේ අතර ශ්‍රවණාබාධයකින් පෙළෙන මහනුවර ප්‍රදේශයේ දැරියක් ප්‍රතිකාරයක් සඳහා දේවාලයකට ගිය අවස්ථාවේ එම දේවාලයේ වල්කපුවා ඇයව ලිංගික අපයෝජනයකට ලක්කර තිබෙනවා.

ඒ පිළිබඳව දැරියගේ මව්පියන් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව වල්කපුවා අත්අඩංගුවට ගෙන මහනුවර මහාධිකරණයේ නඩු විභාගය ආරම්භ කෙරුණා.

එම නඩුවේ තීන්දුව ඊයේ (18) ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී අධිකරණය වල්කපුවාට වසර 20 ක සිරදඬුවම් නියම කළා.

එමෙන්ම අදාළ දැරියට රුපියල් ලක්ෂ 10 ක වන්දියක් ලබා දෙන ලෙසට අධිකරණය නියෝග කළ අතර එම මුදල ගෙවීම පැහැර හරින්නේ නම් තවත් මාස 6 ක සිරදඬුවමකට යටත් කරන බව ද අධිකරණය ප්‍රකාශ කළා ෴


+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *