කහවත්තේ දී මවගේ ඝාතනයට දියණිය අත්අඩංගුවට

කහවත්තේ දී මවගේ ඝාතනයට දියණිය අත්අඩංගුවට


කහවත්තේ දී මවගේ ඝාතනයට දියණිය අත්අඩංගුවට

(16.12.2023 – 09:41 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර – කහවත්ත ප්‍රදේශයේ නිවසක දී තියුණු ආයුධයකින් පහර දී සිය මව ඝාතනය කිරීමේ සිද්ධියට දියණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ 38 හැවිරිදි දියණිය අද (16) අලුයම කහවත්ත පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවයි.

පසුගිය 13 වනදා තියුණු ආයුධයකින් පහර දී 71 හැවිරිදි කාන්තාව ඝාතනය කර තිබුණා.

ඇය පොලිසියට ප්‍රකාශ කර තිබුණේ ඇය රැකියාව සඳහා ගොස් නැවත නිවසට පැමිණි අවස්ථාවේ දී සිය මව නිවස පිටුපස කැපුම් තුවාල සහිතව වැටී සිටිනු අයුරු දුටු බවයි.

ඇය කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක ලෙස සේවය කර තිබෙනවා.

මියගිය කාන්තාවගේ අවසන් කටයුතු සිදු කිරීමෙන් අනතුරුව කහවත්ත පොලිසිය විසින් දරුවන් හා ඥාතීන් පොලිසියට කැඳවා සාක්ෂි සටහන් කරනු ලැබීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් දියණිය තම මව නිවස තුළ දී ගෙල කපා ඝාතනය කර පැය කිහිපයකට පසුව නිවස පිටුපස ගෙන ගොස් දැමූ බවට පොලිසිය සැක කරනවා.

පසුව නිවස තුළ විසිර තිබූ ලේ පැල්ලම් සියල්ල ඉවත්වන සේ සම්පූර්ණයෙන්ම නිවසේ බිම සෝදා පිරිසිදු කර තිබෙනවා.

සැකකාරිය තම මවට කරදරයක් සිදුව ඇති බවට කෑ ගසන විට අසල්වැසියන් කිහිප දෙනෙකු නිවසට පැමිණ ඇති බව සඳහන්.

ඒ අතර කහවත්ත පොලිසිය වෙත ද තම මව මරාදමා ඇති බවට දුරකතන ඇමතුමක් ලබා දී ඇත්තේ ද මෙම සැකකාරිය විසින්.

මියගිය මවගේ දේහයට අඩි කිහිපයක දුරින් සැකකාරියගේ අත්ඔරලෝසුව වැටී තිබී හමු වී ඇති බවත්, රත්නපුර පොලිස් නිළ සුනඛ කොට්ඨාශය කරන ලද ස්ථානීය පරීක්ෂණවලදී ද පොලිස් නිළ සුනඛයා නිවසින් බැහැරට නොගිය බව පොලිසිය පවසනවා ෴

(16.12.2023 – 16:18 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර – කහවත්ත – වැල්ලදුර ප්‍රදේශයේ නිවසකදී තියුණු ආයුධයකින් පහරදී මව ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් දියණිය ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ පැල්මඩුල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඇය 38 හැවිරිදි වියේ පසු වූ අතර අද (16) අලුයම කහවත්ත පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ පොලිස් නිල සුනඛයා යොදවා සිදු කළ විමර්ශනවලදී හදුනාගත් අත් ඔරලෝසුවක් සැකකාර දියණියගේ බවට අනාවරණ වීමෙන් අනතුරුවයි.

මෙලෙස 71 හැවිරිදි මව ඝාතනය කර තිබියදී සොයා ගැනුණේ පසුගිය 13 වනදායි ෴

+++++++

+++++++

ආනන්තරීය පාප කර්ම පහකි. 1) තම මව මැරිම, 2) තම පියා මැරීම, 3) රහත් උතුමෙකු මැරීම, 4) බුදුරජුන්ගේ ශරීරයේ ලේ වෛරී සිතින් සෙළවීම, 5) සංඝ භේදය සිදුකිරීම (කළහැක්කේ උපසම්පදා භික්ෂුවක විසින් පමණි).

ආනන්තරීය පාප කර්ම සිදුකළ තැනැත්තා මියගිය මොහොතේම ඒකාන්තයෙන් ම දරුණු කර්ම විපාකයකට මුහුණදීමට සිදුවේ. එයට අදාළ කර්ම විපාකය නම් මරණින් මතු අවිචී මහා නරකයෙහි ඉපිද දුක් විඳීන්නට සිදුවීමයි. ආනන්තරීය පාප කර්මයේ විපාක අතිශයින්ම ප්‍රබලය ෴

+


වැලිගම දී වෙඩි තැබීමක්

(16.12.2023 – 06:38 +0530 – sinhala.adaderana.lk)

වැලිගම පොලිස් වසමේ නව ගාලුපාර ඉන්ධනහල ඉදිරිපිට පිහිටි මත්ස්‍ය වෙළෙඳසලක් අසල දී ඊයේ (15) වෙඩි තැබීමක් සිදු කර තිබේ.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු (2) විසින් පුද්ගලයන් දෙදෙනෙකු (2) ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති බව සඳහන්ය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා (2) වලාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර රෝහලට මාරු කර යවා තිබේ.

තුවාලකරුවන් වයස අවුරුදු 42 හා 52 යන වයස්වල පසු වන දෙණිපිටිය සහ වැලිපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකු බව සඳහන්ය.

එක් තුවාලකරුවෙකු වෙඩි තැබීම සිදු වූ මත්ස්‍ය වෙළෙඳසලක හිමිකරුවකු වන අතර, අනෙක් පුද්ගලයා එම මත්ස්‍ය වෙළෙඳසලේ සේවකයෙකු බව අනාවරණය වී තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැලිගම පොලීසිය විමර්ශන සිදු කරයි ෴


ශිෂ්‍යත්ව විභාගය ගැන දැනුම්දීමක්

(16.12.2023 – 16:48 +0530 – hirunews.lk/sinhala)

ශිෂ්‍යත්ව විභාගය ලබන වසරේදී සරල කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කරනවා.

ඒ අනුව ශිෂ්‍යත්ව විභාගයේදී සාක්ෂරතා හැකියාව සහ අංකන හැකියාව මැන බැලීමට ප්‍රමුඛත්වය ලබා දෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

ශිෂ්‍යත්ව විභාගයේ පවතින සංකීර්ණබව දරුවන්ගේ මනසට විශාල පීඩාවක් බව අධ්‍යාපනඥයෝ සහ මනෝ වෛද්‍ය විශේෂඥයෝ දීර්ඝ කාලයක් තිස්සේ රජයට පෙන්වා දෙනවා.

අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් යෝජනා ගණනාවක් ලැබී ඇති අතර එම යෝජනා පිළිබඳව මේ වන විට අධ්‍යයනය කරමින් සිටින බවයි.

ශිෂ්‍යත්ව ලකුණු මෙන්ම 4 සහ 5 ශ්‍රේණිවල පන්ති කාමරයේදී ඇගයීම්වලින් 30% ක් ලකුණු ලබාගත යුතු අතර ඒ සඳහා දරුවන් අඛණ්ඩව පාසල් පැමිණීම වැදගත් බවයි අමාත්‍යවරයා පැවසුවේ ෴


පාසල් දරුවන්ගේ උපකරණවල පිළිකාකාරක ඇති බවට අනාවරණයක්

(16.12.2023 – 16:12 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපලේ අලෙවි කිරීමට ඇති ප්ලාස්ටික් වතුර බෝතල්, ප්ලාස්ටික් කෑම පෙට්ටි, පැන්සල්, ඇතුළු පාසල් දරුවන් භාවිතයට ගන්නා ප්ලාස්ටික් ද්‍රව්‍ය බොහොමයක් ප්‍රමිතියෙන් තොර බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

මෙවැනි ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් ද්‍රව්‍යවල පිළිකාකාරක ද අඩංගු බවයි එම වෛද්‍යවරුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ලබන වසරේ ආරම්භවන නව පාසල්වාරය සඳහා දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ මිලදී ගැනීමට මව්පියන් මේ දිනවල දක්වන්නේ දැඩි උනන්දුවක්.

පවතින ආර්ථික අපහසුතා මැද ඔවුන්ගෙන් වැඩිදෙනෙක් අඩු මිලගණන් යටතේ ඇති පාසල් උපකරණ මිලදී ගැනීමට යොමුවන නමුත් මේ දිනවල වෙළඳපලේ අලෙවි කිරීමට ඇති පාසල් උපකරණ බොහොමයක ප්‍රමිතිය පිලිබඳව ගැටළු මතුවන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ තත්ත්ව පාලන අංශයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය මහින්ද වික්‍රමආරච්චි පවසනවා.

ඔහු පවසන්නේ ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් වතුර බෝතල්, ප්ලාස්ටික් කෑම පෙට්ටි, පැන්සල් ඇතුළු ප්ලාස්ටික් ද්‍රව්‍ය දිගු කාලයක් භාවිතයට ගැනීමෙන් දරුවන් පිළිකා රෝගවලට ගොදුරු වීමේ අවදානමක්ද පවතින බවයි.

‘පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය’ ද මේ සම්බන්ධයෙන් කරුණු පෙන්වා දෙනවා.

මේ අතර අධ්‍යාපන බලධාරීන්ගේ අවධානයද කඩිනමින් මේ සදහා යොමුකල යුතු බවයි ‘ලංකා ගුරු සංගමය’ පවසන්නේ.

මේ අතර අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පෙන්වා දෙන්නේ පවතින ආර්ථික තත්ත්වය සමඟ මෙවැනි ප්‍රමිතියෙන් තොර පාසල් උපකරණ වෙළෙඳපොළට පැමිණ ඇති බවයි.

කෙසේ වෙතත් ප්‍රමිතිගත පාසල් උපකරණ මිලදී ගැනීම වැදගත් බවට මව්පියන් දැනුවත් කරන ලෙස අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දී ඇති බවත් අධ්‍යපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *