දේවගැති ජෙරමා එළැඹෙන 13 වැනිදා දක්වා රිමාන්ඩ්

දේවගැති ජෙරමා එළැඹෙන 13 වැනිදා දක්වා රිමාන්ඩ්


දේවගැති ජෙරමා එළැඹෙන 13 වැනිදා දක්වා රිමාන්ඩ්

(01.12.2023 – 12:14 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් දේවගැති ජෙරොම් ප්‍රනාන්දු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රකාශයක් ලබාදීම සඳහා දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද (01) යළිත් වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ දී මෙසේ ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය අප්‍රේල් මාසයේ පැවති දේව මෙහෙයකදී ආගමික අසමගිය ඇතිකිරීමේ චෝදනා යටතේ ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට අධිකරණය මොහුට නියෝග කරනු ලැබුවා.

බුදුදහමට අපහාස වන අන්දමින් ප්‍රකාශයක් සිදුකර පසුව සිංගප්පූරුව වෙත ගොස් සිටි දේවගැති ජෙරම් ප්‍රනාන්දු පෙරේදා දිවයිනට පැමිණියා.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පාර්ශව රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබුණා.

අනතුරුව දේවගැතිවරයා ඉදිරිපත් කළ පෙත්සමකට අනුව අභියාචනාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණේ ඔහු මෙරටට පැමිණෙන අවස්ථාවේ ගුවන්තොටුපලේදී අත්අඩංගුවට නොගන්නා ලෙසටයි ෴

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් දේවගැති ජෙරොම් ප්‍රනාන්දු එළැඹෙන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා ෴

+


මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ටයින් ගැන අනාවරණයක්

(01.12.2023 – 11:36 +0530 – hirunews.lk/sinhala)

2022 අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත මෙවර සිසුන් දෙලක්ෂ නවදාස් හත්සිය හැට එකක් (2,09,761) උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

එනම් 72.07% ක් සුදුසුකම් ලබා ඇති බවයි සඳහන්.

මේ බව සඳහන් කළේ අද (01) පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත විසින්.

මෙවර සමාන්‍ය පෙළ විභාගයෙන් A9 සාමාර්ථ ලබා ගත් සිසුන් 13,588 සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

2022 (2023) සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ‘සමාධි අනුරාධා රණවක’ ලබා ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා.

2 වන ස්ථානය යාපනය වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලයේ ‘ආක්ෂෙයා ආනන්දසයනන්’, 3 හා 4 වන ස්ථාන පිළිවෙලින් කොළඹ රාජකීය විද්‍යාලයේ ‘අරිත මින්සඳු අලහකෝන්’ හා ‘සඳයුරු සනහස් ආරියසිංහ’ හිමි කර ගෙන තිබෙනවා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අපේක්ෂකයින් 472,553 ක් පෙනි සිට තිබෙනවා.

+


අක්‍රිය ගූගල් විද්‍යුත් තැපෑල් ගිණුම් මකා දැමීම අද (01) ඇරඹේ

(01.12.2023 – 11:18 +0530 – hirunews.lk/sinhala)

වසර දෙකක (2) සිට අක්‍රියව පවතින විද්‍යුත් තැපැල් ගිණුම් මකා දැමීම අද (01) ආරම්භ කරන බව ගූගල් සමාගම පවසනවා.

ඒ අනුව, මිලියන ගණනක් පරිශීලකයින්ගේ ක්‍රියාකාරි නොවන විද්‍යුත් තැපැල් ගිණුම් මකා දැමීම මෙහිදී සිදුවනු ඇති.

එසේම, මකා දැමීමට පෙර ඒවායේ හිමිකරුවන්ට දැනුම්දීමේ පණිවුඩ කිහිපයක් යොමුකර තිබෙනවා.

ඒවා යළි සක්‍රිය කර ගැනීමට සමාගම විසින් කාලයක් ද ලබාදීමට සැලසුම් කර ඇති බව සඳහන්.

වංචාකරුවන්ගෙන් පරිශිලකයින් ආරක්ෂා කර ගැනීම මෙහි අරමුණ බව ගූගල් සමාගම සඳහන් කළා ෴


උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව

(01.12.2023 – 17:34 +0530 – hirunews.lk/sinhala)

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව පසුගිය වසරේදී මෙන්ම මෙම වසරේදීත්, අ.පො.ස උසස් පෙළ හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහන ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව, ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ මගපෙන්වීම යටතේ මෙම ශිෂ්‍යත්ව වැඩසටහන අද (01) දින සිට ආරම්භ කෙරෙනු ඇතී.

දිවයිනේ අධ්‍යාපන කලාප 100 ම ආවරණය වන පරිදි එක් කලාපයකින් සිසුන් 50 ක් බැගින් තෝරාගෙන, සිසුන් 5000 ක් සඳහා මසකට රුපියල් 6000 බැගින් වන ශිෂ්‍යත්ව ලබාදීමට මේ අනුව කටයුතු කරන බවයි වාර්තා වෙන්නේ,

පසුගිය වසරේද ළමුන් 3000 ක් වෙනුවෙන් මාස 24 ක කාලයක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට ජනාධිපති අරමුදල මගින් කටයුතු කර තිබෙනවා.

2022 (2023) වර්ෂයේ දී අ.පො.ස (සා.පෙළ) විභාගයට පළමුවරට පෙනී සිට, විභාගය සමත්ව උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබා තිබීම, රජයේ පාසලක හෝ ගාස්තු අය නොකරන පෞද්ගලික පාසලක ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු / ශිෂ්‍යාවක වීම, ඉල්ලුම්කරුගේ පවුලේ මාසික ආදායම රුපියල් 100,000 ක් නොඉක්මවීම මෙම ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් කිරීමට මූලික සුදුසුකම් ලෙස සැලකනු ලබනවා.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා වන අයදුම්පත්‍රය සහ ඊට අදාළ විස්තර,
ජනාධිපති ලේකම් කාර්යාලයේ
https://www.presidentsoffice.gov.lk/
ජනාධිපති අරමුදලේ
https://www.presidentsfund.gov.lk/ සහ
ජනාධිපති මාධ්‍ය අංශයේ
https://pmd.gov.lk/
වෙබ් අඩවිවලට පිවිසීමෙන් බාගත කර ගැනීමේ අවස්ථාව සලසා දී ඇති බව සඳහන්.

එම අයදුම්පත් නිසි පරිදි සම්පූර්ණ කිරීමෙන් අනතුරුව අදාළ සිසුන් විසින් ඔවුන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පාසලේ විදුහල්පතිවරයා වෙත එම අයදුම්පත් භාරදීමට කටයුතු කළ යුතු‍යි ෴

(ඉහත වෙබ් අඩවි 3 න් ක්‍රියාත්මක වන්නේ pmd.gov.lk පමණයි. එහි ද බාගත කර ගැනීමට අයදුම්පත්‍රයක් නැත ! – අමරසර)


අනතුරකින් මිතුරන් දෙදෙනා (2) අවසන් ගමන් යයි – තව දෙදෙනෙකුට (2) මාරාන්තික තුවාල

(01.12.2023 – 16:30 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ කලුන්දෙයි ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් (2) එකිනෙක ගැටීමෙන් වෛද්‍යවරයකු සහ තවත් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

මෙම අනතුරින් තවත් පුද්ගලයන් දෙදෙනෙකු (2) බරපතල තුවාල ලබා ඇති අතර ඔවුන් මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

අදාළ වෛද්‍යවරයා තවත් පුද්ගලයෙකු සමඟ යාපනය නගරය දෙසට යමින් සිටියදී කලුන්දෙයි ප්‍රදේශයේ සිට පැමිණි යතුරු පැදියක් වෛද්‍යවරයාගේ යතුරු පැදියේ මුහුණට මුහුණ ගැටී තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ වෛද්‍යවරයා හා ඔහුගේ මිතුරා සිද්ධිය වූ ස්ථානයේම මිය ගොස් ඇති අතර අනෙක් යතුරුපැදියේ සිටි දෙදෙනාම (2) මාරාන්තික තුවාල ලබා ඇති බවයි ෴


විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණු නිකුත් කෙරේ

(01.12.2023 – 15:30 +0530 – hirunews.lk/sinhala)

2022 උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අනුව විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා කඩඉම් ලකුණු අද (01) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලැබුවා.

ඒ සඳහා නිකුත් කරනු ලැබූ කඩයිම් ලකුණු ඇතුල‍ත් ලේඛනය පහතින් බාගත කර ගැනීමට හැකියාවක් පවතිනවා.

2022 උසස් පෙළ විභාග ප්‍රතිඵල පසුගිය සැප්තැම්බර් මස 04 වැනිදා නිකුත් කරනු ලැබුවා ඊට අනුකූලවයි මෙම කඩඉම් ලකුණු ප්‍රමාණයන් නිකුත් කරනු ලැබුවේ.

අයදුම්කරුවන් 263,933 ක් අතරින් 166,938 (63.3%) ක සිසුන් ප්‍රමාණයක් අවම විශ්වවිද්‍යාල සුදුසුකම් ලබා ගැනීමට එහිදී සමත් වුණා.

යම් ගැටළුවක් පවතින්නේ නම් වැඩිදුර විස්තර සඳහා : 011 269 5301 / 011 269 5302 / 011 269 2357 / 011 267 5857 යන අංකයන් ඇමතීමට ඔබට හැකියාව පවතින අතර, මේ වනවිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ පාඨමාලාවන්ගේ කඩයිම් ලකුණු ලබා ගැනීමේ හැකියාවද පවතිනවා.

[කඩඉම් ලකුණු ඇතුලත් ලේඛනය මෙතැනින් බාගත කර ගන්න]

+

2022 උසස් පෙළ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා තේරී පත් වූ සිසුන්ට ඔවුන්ගේ විශ්වවිද්‍යාලය සහ පාඨමාලාව පිළිබඳව අද (01) දිනයේ කෙටි පණිවුඩයක් මඟින් දැනුම් දෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රකාශ කළා.

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත සරසවිවලට සිසුන් බඳවාගැනීමේ කඩඉම් ලකුණු අද නිකුත් කෙරුණු අතර ඒ සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද මාධ්‍ය හමුවක් පැවැත්වුණා ෴


ලොරි රථයක් පෙරළිමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

(01.12.2023 – 14:41 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ පොලිසිය අසල දී ලොරි රථයක් අද(01) උදෑසන අනතුරට ලක්වීමෙන් පුද්ගලයෙකු (1) මියගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මොරටුව ප්‍රදේශයේ ඉදිකිරීමක් සඳහා පැමිණි මෙම පිරිස රැගත් ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්‍රීට් කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

ලොරි රථයේ තිබූ කොන්ක්‍රිට් මිශ්‍රණ යන්ත්‍රයට යටවීමෙන් එහි සිටි 43 හැවිරිදි කම්කරුවෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්වුණා.

පොලිසිය සඳහන් කළේ රියදුරුට නින්දයාමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට සැක කරන බවයි ෴


පෞද්ගලික රූපවාහිනි නාලිකාවක කැමරා ශිල්පියෙකු ඝාතනය කරයි

(01.12.2023 – 20:40 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික රූපවාහිනි නාලිකාවක කැමරා ශිල්පියෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදි ඝාතනය කර තිබෙනවා.

ඔහු ඊයේ (30) රාත්‍රියේදි වේයන්ගොඩ කටුවස්ගොඩ ප්‍රදේශයේ පිහිටි හෝටලයක් සහ කොණ්ඩා කපන ස්ථානයක් පවත්වාගෙන යන නිවසකට ගොස් තිබු අතර, එහිදි මෙම ඝාතනය සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරන්නේ.

පොලිසිය පැවසුවේ එම ස්ථානයේදි ඇති වු බහින්බස්වීමක් හේතුවෙන් මෙම පහරදීම සිදුවන්නට ඇති බවයි.

තියුණු ආයුධයකින් කළ එම පහරදීමෙන් බරපතල තුවාල ලැබු ඔහු එම ආයතන පවත්වාගෙන යන අඹු සැමි යුවල විසින්ම වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබුණා.

ඒ ඔහු තුවාල සහිතව තම ආයතනයට පැමිණි බව පවසමින්.

කෙසේ වෙතත් පසුව ඔහු මියගොස් තිබෙනවා.

එලෙස මියගියේ අත්තනගල්ල වල්පොල ප්‍රදේශයේ පදිංචිව සිටි ‘මහේෂ් ගුණසිංහ’ නමැති දෙදරු පියෙක්.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අදාළ ව්‍යාපාරික ස්ථානය පවත්වාගෙන යන අඹු සැමි යුවල පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණ අත්තනගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් අද පස්වරුවේ සිදුකළ අතර සැකපිට අත්අඩංගුවට ගත් අඹුසැමි යුවලද එම ස්ථානයට රැගෙනවිත් තිබුණා.

++++++

(පෞද්ගලික රූපවාහිනි නාලිකාව = ස්වර්ණවාහිනි)


පැය 24 පුරා විවෘත වන තැපැල් කාර්යාල

(01.12.2023 – 20:17 +0530 – hirunews.lk/sinhala)

රථ වාහන වැරදි සම්බන්ධයෙන් පොලිසිය මඟින් නිකුත් කරනු ලබන දඩ පත්‍රිකා ගෙවීම සහ අනෙකුත් තැපැල් කටයුතු සඳහා බස්නාහිර පලාතට අයත් තැපැල් කාර්යාල කිහිපයක් පැය 24 පුරා විවෘතව තබන බව නියෝජ්‍ය තැපැල්පති පවසනවා.

ඒ අනුව මෙම තැපැල් කාර්යාල පැය 24 පුරා ක්‍රියාත්මක වෙනවා :

බොරැල්ල, වැල්ලවත්ත හැව්ලොක් ටුවන්, දෙහිවල, මොරටුව, පානදුර, කළුතර, කොටහේන, කොම්පඤ්ඤවීදිය, බත්තරමුල්ල, ගල්කිස්ස, නුගේගොඩ, සීතාවකපුර ෴


හිරු විදුලිය රජ ගමනක.. 2023 ජනවාරි සිට සැප්තැම්බර් 30 දක්වා විදුලි ඒකක මිලියන 483 ක් ජාතික පද්ධතියට

(01.12.2023 – 12:00 +0530 – lankacnews.com)

ලංවිම විදුලි පාරිභෝගිකයන් සඳහා ක්‍රියාත්මක කරන ලද පියැසි මත සූර්ය පැනල සවිකිරීමේ ක්‍රමවේදය (Rooftop Solar Scheme) යටතේ 2023 ජනවාරි සිට සැප්තැම්බර් 30 දක්වා (2023 Quarter 3) විදුලි ඒකක මිලියන 483 ක් (483 million units) ජාතික පද්ධතියට එක් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් වෙයි.

ඒ අනුව, රට පුරා විසිරී සිටින අපගේ පාරිභෝගික භවතුන් විසින් මෙම සුවිශේෂී ජාතික කාර්ය සඳහා ඔවුන්ගේ සහයෝගය ලබා දී ඇත.

මෙහිදී සාම්ප්‍රදායික විදුලිය පාවිච්චි කිරීමේ ක්‍රමයෙන් බැහැර ව නවතාක්ෂණික අත්දැකීමක් ලබාගනිමින් ජාතික පද්ධතියට විදුලිය විකිණීමට පාරිභෝගිකයින් යොමුවී තිබීම අගය කල යුතුය. (change from Consumer to Pro-sumer / පරිභෝජනයෙන් විදුලි ජනනයට යොමුවීම).

මෙහි දී විවිධ ඉංජිනේරුමය සහ තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් ලබාදෙමින් හැකි උපරිම ආකාරයෙන් සූර්ය පැනල පද්ධති ජාතික පද්ධතියට එකතු කිරීමට කටයුතු කරන, වි‌ශේෂයෙන් බෙදාහැරීම් අංශවල අපගේ කාර්ය මණ්ඩල‌යේ මෙහෙවර ද අගය කල යුතුය.

අපගේ පාරිභෝගික භවතුන් ලංවිම සමග එක්ව සිදුකරන මෙම පරිසරහිතකාමී ව්‍යාපෘති මගින් රටේ පුනර්ජනනීය බලශක්ති භාවිතය ප්‍රවර්ධනය වන අතර මෙවැනි ධනාත්මක තොරතුරු මහජනතාව වෙත ලබා දීම සඳහා ඔබ මාධ්‍ය ආයතනයන්හි සහයෝගීතාවයද බලාපොරොත්තු වෙයි.

තවද මේ සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිලි කිරීම් අවශ්‍ය නම් 071 415 0641 දුරකතන අංකය ඔස්සේ මා සම්බන්ධකර ගතහැකි බව වැඩිදුරටත් දන්වා සිටියි.

ලංකා විදුලිබල මණ්ඩලය

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *