මුදල් අමාත්‍යාංශයෙන් පැහැදිළි කිරීමක්

මුදල් අමාත්‍යාංශයෙන් පැහැදිළි කිරීමක්


මුදල් අමාත්‍යාංශයෙන් පැහැදිළි කිරීමක්

(30.11.2023 – 07:55 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ ලේඛන සකස් කර, ප්‍රමිතියෙන් තොර ‘ඉමියුනෝග්ලොබියුලින්’ ප්‍රතිදේහ එන්නත් මෙරටට ගෙන්වූ සිද්ධියේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයෙකු හා රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරියක් මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශයේ කිසිදු නිලධාරියෙකු කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමක් සිදු කර නොමැති බවයි එම අමාත්‍යාංශය නිවේදන කළේ.

ඖෂධ ගෙන්වීමේදී පිළිපැදිය යුතු මාර්ගෝපදේශ සම්බන්ධයෙන් සහ ඒ සඳහා යොදවා ගෙන ඇති ප්‍රතිපාදන පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පූර්ණ සහයෝගය ලබා දී තිබෙනවා.

එමෙන්ම එම ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාලව මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව හා සෞඛ්‍ය අමාත්‍යාංශය අතර හුවමාරු වූ ලේඛනයන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කර ඇති බවයි මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ සඳහන් කළේ.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගවලට අනුව පසුගිය 27 වනදා සහ 28 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් මහා භාණ්ඩාගාරය වෙත පැමිණ ඊට අදාල තොරතුරු ලබා ගෙන තිබෙනවා.

මේ අතර ප්‍රමිතියෙන් තොර ‘ඉමියුනෝග්ලොබියුලින්’ එන්නත් කුප්පි මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂවරයා ඇතුලු හතරදෙනා (4) දෙසැම්බර් මස 13 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, ඊට අදාල නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (29) කැඳවූ අවස්ථාවේදීයි ෴


UGCයටත් හොරු පනී

(30.11.2023 – 07:41 +0530 – hirunews.lk/sinhala)

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අයත් ලැප්ටොප් පරිගණකයක් සහ ප්‍රොජෙක්ටර් යන්ත්‍රයක් සොරකම් කර ඇති බව කුරුඳුවත්ත පොලිසිය පවසා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පොලිසිය පවසන්නේ සොරකම සිදු වූ ගොඩනැගිල්ලේ ඉහළ මහලේ නාන කාමරයේ ජනේලයක් බිඳ සොරා ඇතුළු වන්නට ඇති බවයි.

මෙම ගොඩනැගිල්ල පිහිටි ප්‍රදේශයේ සී.සී.ටී.වී. කැමරාද ක්‍රියාත්මක වී නැති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අදාළ පුද්ගලයා අතුරු මාර්ගයක ඇති කුඩා ගේට්ටුවකින් ඇතුළු වී ඇති අතර අතුරු මාර්ගයේ ආරක්ෂක කැමරාවක සැකකටයුතු පුද්ගලයෙකු සටහන් වී ඇති බවයි සඳහන් වන්නේ ෴


උසස් පෙළ විභාගය සඳහා උත්තර පත්‍ර ඇගැයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීම ඇරඹෙයි

(30.11.2023 – 07:10 +0530 – hirunews.lk/sinhala)

2023 (2024) වර්ෂය සඳහා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා උත්තර පත්‍ර ඇගැයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීම ආරම්භකර තිබෙනවා.

ඒ අනුව නොවැම්බර් (28) සිට මෙම අයදුම්පත් කැඳවීම ආරම්භ කළ බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන්කර සිටියේ.

මෙම අයදුම්පත් කැඳවීම දෙසැම්බර් 19 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමය මඟින් සිදු කිරීමට නියමිතයි.

https://onlineexams.gov.lk/eic සබැඳිය ඔස්සේ උත්තර පත්‍ර ඇගැයීම් කටයුතු සඳහා පරීක්ෂකවරුන්ට අයදුම් කිරීමට හැකියාව පවතිනවා.

උසස් පෙළ විභාගය 2024 ජනවාරි මස 04 වැනිදා පැවැත්වීමට නියමිතයි ෴


ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ජපානයෙන් රැකියා අවස්ථා

(01.12.2023 – 10:56 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ජපන් භාෂා ප්‍රවීණතාවයට යටත්ව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශේෂ නිපුණතා සේවක වීසා කාණ්ඩය යටතේ ජපානයට ඇතුළුවීමට අද (01) සිට අවසර හිමිව තිබෙනවා.

මේ බව සඳහන් කරන්නේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් ෴

+++++++

+


මාර්ග අනතුරකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට

(01.12.2023 – 10:31 +0530 – hirunews.lk/sinhala)

වේයන්ගොඩ කලගෙඩිහේන මාර්ගයේ ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබු ගසක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

පොලිසිය පැවසුවේ අනතුරින් තුවාල ලැබු යතුරුපැදිකරු වතුපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බවයි.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 16 ක වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක් බවයි සඳහන් වන්නේ.

පොලිසිය පැවසුවේ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බවයි ෴


සිරමැදිරියේ ගුටිකෙලියෙන් අයෙක් මරුට

(01.12.2023 – 10:15 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන එහි සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවෙකු එහි රඳවා සිටි සෙසු රැඳවියන්ගේ පහරකෑමට ලක්ව මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

සැකකරු මඩකළපුව බන්ධනාගාරයේ රඳවා සිටියදී රෝගාතුරවී රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බවයි පොලිසිය පවසන්නේ.

මෙම මරණය සම්බන්ධයෙන් ඊයේ (30) පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ හිසට මොට ආයුධ වලින් පහර දීමෙන් සිදු වූ මරණයක් බවටයි.

මෙම සැකකරු පසුගිය 27 වැනි දින මඩකලපුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරියේ රඳවා සිටියදී, එම සිරමැදිරියේ රඳවා සිටි තවත් රැඳවියන් පිරිසක් සමඟ ගැටුමක් ඇති කරගෙන ඇති බව පොලිසිය පවසනවා ෴


සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවයි

(01.12.2023 – 09:50 +0530 – hirunews.lk/sinhala)

2022 (2023) අධ්‍යයන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් මස 04 වන දින සිට දෙසැම්බර් මස 18 වන දින දක්වා සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක නිකුත් කරමින් සඳහන් කරනවා.

එමෙන්ම දේශීය සහ විදේශීය භාවිතය සඳහා සාමාන්‍ය පෙළ විභාගයේ සහතික පත්‍ර අද (01) දින සිට Online ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව සලසා ඇති බවයි වාර්තා වන්නේ.

විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ සියලුම පාසල් අයදුම්කරුවන්ගේ මුද්‍රිත කේවල ප්‍රතිඵල ලේඛන අදාළ විදුහල්පතිවරුන් වෙතත්, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ලේඛන එම අයදුම්කරුවන් වෙතත් ප්‍රතිඵල නැවත සමීක්ෂණයෙන් පසු නිකුත් කරනු ලබන බවයි ෴


බණ්ඩාරගම ATM යන්ත්‍රය කොල්ල කෑ ‘පූස්කොටා’ අත්අඩංගුවට

(01.12.2023 – 09:12 +0530 – hirunews.lk/sinhala)

කළුතර ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී මන්නා පිහි දෙකක් (2) රැගෙන කොල්ලකෑම් කිහිපයක් සිදුකර පළාගිය ‘දොඩංගොඩ පූස්කොටා’ සහ ගෝලයා අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව කළුතර දකුණ පොලීසිය පවසනවා.

පැයක පමණ කාලයක් තුළ මෙම සැකකරුවන් විසින් පානදුර නගරයේදී සිම්පත් අලෙවි නියෝජිතයෙකුගේ පාදයකට මන්නයකින් පහරදී රුපියල් 150,000 කට අධික වටිනාකමකින් යුත් සිම්පත්, ජංගම දුරකථන සහ මුදල් කොල්ලකෑම, බණ්ඩාරගම පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රය අසලට කඩාවැදී පුද්ගලයකුට මන්නා පහරවල් 05 ක් එල්ලකර රුපියල් 150,000 ක් කොල්ලකෑම සහ ගෝනදූව ඉන්ධන පිරවුම්හලේ පොම්පකරුවෙකු බියවැද්දීම සිදුකර පලාගොස් තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි ‘දොඩංගොඩ පූස්කොටා’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයකු සහ 18 හැවිරිදි ඔහුගේ ගෝලයා බව ද පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු යුද හමුදා ගජබා රෙජිමේන්තුවේ හිටපු සෙබළෙකු බව හෙළිවී තිබෙනවා ෴

++++++

+


2022 උසස් පෙළට අනුව විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු අද (01) නිකුත් කෙරේ

(01.12.2023 – 08:38 +0530 – hirunews.lk/sinhala)

2022 උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අනුව විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු අද (01) නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

2022 උසස් පෙළ විභාග ප්‍රතිඵල පසුගිය සැප්තැම්බර් මස 04 වැනිදා නිකුත් කරනු ලැබුවා.

අයදුම්කරුවන් 263,933 ක් අතරින් 166,938 (63.3%) ක සිසුන් ප්‍රමාණයක් අවම විශ්වවිද්‍යාල සුදුසුකම් ලබා ගැනීමට එහිදී සමත් වුණා ෴


ඇඟළුම් කර්මාන්තශාලා පහක් (5) වැසේ

(01.12.2023 – 08:27 +0530 – hirunews.lk/sinhala)

ඇණවුම් අඩුවීම සහ නිෂ්පාදන වියදම ඉහළ යාම හේතුවෙන් ප්‍රධාන පෙළේ ඇගලුම් කර්මාන්තශාලා 5 ක් වසා දමා ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම අනාවරණ කළා.

ඒ හේතුවෙන් සේවක සේවිකාවන් 8,000 කට අධික සංඛ්‍යාවකට බලපෑම් එල්ල වී ඇති බව ඔහු ඊයේ (30) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ෴


සීගිරියේ ඉර සේවයෙන් දිනකට ඇමෙරිකානු ඩොලර් තුන්දහසක (3000) ආදායමක්

(01.12.2023 – 08:19 +0530 – hirunews.lk/sinhala)

සීගිරියේ සිට ඉර සේවය නැරඹීමට විදෙස් සංචාරකයින්ට අවස්ථාව ලබාදීමෙන් දිනකට ඇමෙරිකානු ඩොලර් තුන්දහසකට (3000) අධික ආදායමක් මධ්‍යම සංස්කෘතික අරමුදලට ලැබෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ පවසනවා.

අද වන විට අරමුදලේ ආදායම සියයට 614 කින් වර්ධනය කර ගැනීමට හැකි වී ඇති බවයි ඔහු කියා සිටියේ.

වසර දෙකකට (2) පෙර ණය බරින් පෙළුණු මධ්‍යම සංස්කෘතික අරමුදලේ ඩොලර් ඉපයීම සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙලෙස හෙළි කළේ ආගමික කටයුතු සහ සහජීවනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

එහිදී කරුණු දක්වමින් ඔහු කියා සිටියේ සීගිරිය ආශ්‍රිතව සංචාරක ආකර්ෂණය ලබාගත හැකි අංශ තවදුරටත් හඳුනාගනිමින් පවතින අතර ඒ සඳහා ‘කොයිකා’ ආයතනය ඇමරිකානු ඩොලර් මිලියන 8 ක ආධාරයක් ලබාදීමට එකඟතාව පළ කර ඇති බවයි.

මේ අතර සංචාරක කලාපවල අවිධිමත් ලෙස සංචාරකයින්ට ප්‍රවාහන පහසුකම් සපයන ඇතැම් ත්‍රිරෝද රථ රියදුරන් අධික මිල ගණන් අයකරන බව කාරක සභාවේදී අනාවරණ වුණා.

ඒ අනුව එම ප්‍රදේශවල ත්‍රිරෝද රථ සඳහා මීටර සවිකිරීම අනිවාර්ය කළයුතු බවයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් අවධාරණය කළේ ෴


සුවසැරිය තුළ බිළිඳුන් 684 ක් උපදියි

(01.12.2023 – 08:02 +0530 – hirunews.lk/sinhala)

සුවසැරිය හදිසි ගිලන් රථ තුළ බිළිඳුන් 684 දෙනෙකු බිහිවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළා.

ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂ විවාදයට පාර්ලිමේන්තුවේදී ඊයේ (30) එක් වෙමින්.

කර්මාන්ත සහ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශවලට අදාළ් වැය ශීර්ෂයන් අද (01) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි ෴


අවුකන සිවුරු පූජාවට සමාව ඉල්ලයි

(01.12.2023 – 13:52 +0530 – hirunews.lk/sinhala)

අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් පෙරවීම සම්බන්ධයෙන් සමාව අයැද සිටින බව එම ක්‍රියාවට මුල් වූ ‘ලියෝ අමරානන්ද’ පවසනවා. මෙහිදී තමන් අතින් වරදක් සිදුවූ බවයි හිරු ප්‍රවෘත්ති සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ලියෝ අමරානන්ද සඳහන් කළේ.

මොහු ඇතුළු පිරිසක් ඓතිහාසික අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් පොරවා තිබුණේ පසුගිය ඉල්පුර පසළොස්වක පොහොයදායි.

කෙසේ වෙතත් එම සිද්ධියට පුරාවිද්‍යා විද්වතුන් ඇතුළු පාර්ශව රැසකගේ විරෝධය පළ වූ අතර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක්ද සිදු කෙරුණා ෴

+++++++

30-11-2023

+++++++


තවත් ක්‍රිකට් වංචාවක් ගැන විපක්ෂ නායකගෙන් හෙළිදරව්වක්

(01.12.2023 – 13:29 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩාංගන 03 කට අදාළව LED ස්ක්‍රීන් 03 ක් මිලදීගැනීමට ටෙන්ඩර් කැඳවා එය විවෘත කිරීමට පෙර ඇමෙරිකානු ඩොලර් 29,000 ක් ලබාදී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (01) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා.

මෙම LED ස්ක්‍රීන් 03 මෙරටට රැගෙන ඒමේදී බදු වශයෙන් ගෙවා ඇත්තේ රු. ලක්ෂ 65 ක් පමණක් බවත් එය නියමිත බදු මුදලට වඩා අඩු බවත් විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළා.

+


ඩයනා,සුජිත් හා රෝහණට මාසයක් පාර්ලිමේන්තුව අත්හිටුව‍යි

(01.12.2023 – 13:05 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සහ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර හා සුජිත් සංජය පෙරේරාට මාසයක කාලයක් සඳහා පාර්ලිමේන්තු තහනමක් පැනවීමට පාර්ලිමේන්තු ආචාරධර්ම සහ වරප්‍රසාද කාරක සභාව නිර්දේශ කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වන පළමු වාර්තාව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ විසින් අද (01) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

කෙසේ වෙතත්, එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවේ වාර්තාව සහ මෙම වාර්තාව අතර පරස්පරතාවයක් පවතින බවයි.

නියෝජ්‍ය කතානායකවරයාගේ කමිටුව විසින් ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියට මාස 3 ක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කරන ලෙස නිර්දේශ කර තිබූ නමුත්, ආචාරධර්ම සහ වරප්‍රසාද කාරක සභාව එය මසක කාලයක් දක්වා අඩුකර ඇති බවයි සිද්ධියට මැදිවූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර චෝදනා කළේ.

මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායකවරයාගෙන් ප්‍රශ්න කිරිමේදී විවාදාත්මක තත්ත්වයක් ද හට ගත්තා.

පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන, සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විපක්ෂ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර අතර සංවාදයක් ඇතිවුණා.

මේ අතර, ක්‍රිකට් ක්‍රීඩාංගන 3 ක එල්.ඊ.ඩී තිර සවි කිරීමට යාමේදී සිදු වු යැයි කියන වංචනික ක්‍රියාවක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී කරුණු අනාවරණය කළ අතර ඊට මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ද මැදිහත් වුණා.

+


ලතා වල්පොල දේවියගේ ගේ ගීත ගයන අප්‍රිකානු මුතු ඇටය. ටැන්සානියාවෙන් ආපු ක්‍රීස්ටිනා (01.12.2023)

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *