2022 (2023) අධ්‍යයන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

2022 (2023) අධ්‍යයන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි


2022 (2023) අධ්‍යයන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

(01.12.2023 – 06:14 +0530 – hirunews.lk/sinhala)

2022 (2023) අධ්‍යයන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර නිවේදනය කළේ,
https://www.doenets.lk/
http://www.results.exams.gov.lk/
යන වෙබ් අඩවිවලට පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි.

2022 වසරට අදාළව පසුගිය මැයි 29 වනදා ආරම්භ වූ සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්කරුවන් 472,553 දෙනෙකු පෙනී සිටියා.

ඒ, පාසල් අයදුම්කරුවන් 394,450 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 78,103 ක් වශයෙන්.

සියලුම විදුහල්පතිවරුන් වෙත සිය පාසලේ විභාග ප්‍රතිඵල ලේඛනය අන්තර්ජාලය ඔස්සේ බාගත කරගත හැකි අතර, එහි මුද්‍රිත පිටපතක් ලබාගැනීමටද පහසුකම් සළසා තිබෙනවා.

ඒ සඳහා දැනටමත් අදාළ විදුහල්පතිවරුන් වෙත ලබාදී ඇති පරිශීලක නාමය සහ මුරපදය භාවිත කළ හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ.

එසේම නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම ලබන 04 වනදා ආරම්භ වන අතර, 18 වනදා දක්වා අයදුම්පත් යොමුකළ හැකියි.

එමෙන්ම ප්‍රතිඵල සම්බන්ධයෙන් ගැටලු පවතින්නේ නම් 1911 හෝ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව ඇමතිය හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර කියා සිටියේ.

ඔබගේ ප්‍රතිඵල දැන ගැනීමට මෙතනින් පිවිසෙන්න :
https://www.doenets.lk/examresults

+


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

(01.12.2023 – 07:18 +0530 – hirunews.lk/sinhala)

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

දියතලාව සහ හපුතලේ අතර දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් මෙසේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ ෴


වවුනියාව – චෙට්ටිකුලමේදී යුවළක් කපා කොටා ඝාතනය කරයි

(30.11.2023 – 13:24 +0530 – hirunews.lk/sinhala)

වවුනියාව – චෙට්ටිකුලම ප්‍රදේශයේ දී අද (30) අලුයම අඹුසැමි යුවළක් කපා කොටා ඝාතනය කර තිබෙනවා.

එම යුවළගේ පුත්‍රයා චෙට්ටිකුලම ප්‍රධාන මාර්ගයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර එම යුවළ එහි පිටුපස නවාතැනේ පදිංචිව සිටි බවයි වාර්තා වන්නේ.

සුපුරුදු පරිදි ඊයේ (29) රාත්‍රියේ ඔවුන්ගේ පුත්‍රයා ව්‍යාපාරය වසා දමා අසල පිහිටි ඔහුගේ නිවසට ගොස් ඇති අතර අද (30) පෙරවරුවේ ව්‍යාපාරය විවෘත කරන අවස්ථාවේ තම දෙමාපියන් මෙසේ මියගොස් සිටින ආකාරය දැක තිබෙනවා.

සිද්ධියෙන් මියගියේ චෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචි පසුපති වර්ණකුලසිංහම් වන 72 හැවිරිදි පුද්ගලයෙක් සහ ඔහුගේ බිරිඳයි.

ඔවුන්ගේ සිරුරු අසල පිහි තුනක් (3) තිබී ඇති අතර, ඔවුන් කපා කොටා ඝාතනය කර ඇති බවයි පොලිසිය සැක පළ කරන්නේ.

අප වාර්තාකරු සඳහන් කර සිටියේ පවුම් 5 ක රන් ආභරණ ද අතුරුදන්ව ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවයි.

කෙසේ වෙතත් චෙට්ටිකුලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා ෴


ඕමානයේදී ශ්‍රී ලාංකික කතක් අවසන් ගමන් යයි

(30.11.2023 – 13:14 +0530 – hirunews.lk/sinhala)

ඕමානයේ ගෘහ සේවයට ගිය 39 හැවිරිදි අවිවාහක කාන්තාවක් ගොඩනැගිල්ලකින් පැන දිවි නසා ගත් බව පවසා ඇගේ මෘත දේහය මෙරටට එවා තිබෙනවා.

ඥාතීන් චෝදනා කළේ නිකවැරටිය කොටහෙර ප්‍රදේශයේ පුද්ගලයෙකු හා හලාවත ප්‍රදේශයේ පුද්ගලයෙකු එක්ව ව්‍යාජ විදේශ රැකියා ආයතනයකින් සංචාරක වීසා ලබා දී ඇයව ඕමානයට පිටත් කර තිබූ බවයි.

ආනමඩුව කුමාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි අවිවාහක කාන්තාවක් වූ ජේ.ඒ. ශිරෝමි ජයකොඩි වසර 18 ක කාලයක් කුවේට් හා සෞදි අරාබිය ඇතුළු රටවල ගෘහ සේවිකාවක ලෙස සේවය කර තිබුණා.

ඇය පසුගිය කොවිඩ් 19 වසංගත සමයේ ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව මේ වසරේ ජුලි 20 වැනිදා ඕමානයට පිටව යන්නේ ද නව රැකියා අවස්ථාවක් සඳහායි.

ඇය එරටදී පස් මහල් ගොඩනැගිල්ලකින් පැන දිවි නසා ගත් බව පවසමින් ඇගේ මෘත දේහය මෙරටට එවීමට පසුගියදා කටයුතු කර තිබෙනවා.

එමෙන්ම ඥාතීන් පවසන්නේ ගොඩනැගිල්ලකින් පැන දිවි නසා ගැනිමට තරම් ගැටලුකාරී තත්ත්වයක් ද ඇයට නොතිබූ බවයි.

+


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ භෞත චිකිත්සක සහ ප්‍රධාන ශාරිරික කාර්‍ය සාධන කළමනාකරු ඉවත් වෙයි

(30.11.2023 – 13:05 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ භෞත චිකිත්සක ක්‍රිස් ක්ලාක් සහ ප්‍රධාන ශාරිරික කාර්‍ය සාධන කළමනාකරු ලෙස කටයුතු කළ ග්‍රාන්ට් ලුඩන් සිය තනතුරෙන් ඉල්ලා අස් වී ඇති බවට වාර්තා වනවා.

ඒ ඔවුන් විසින් ගිවිසුම්ගත වූ අදාළ කොන්ත්‍රාත් කාලය අවසන් වීමටත් පෙරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වාගෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ භෞත චිකිත්සකවරයා මෙන්ම අමතරව අභ්‍යාසකවරයා ද කොන්ත්‍රාත් කාලයට පෙර ඉවත්ව ගොස් ඇති බවයි.

ලෝක කුසලානයෙන් ලද පරාජයෙන් පසුව කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවති හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහය පුහුණු කාර්ය මණ්ඩලයේ පුහුණුකරුවන් අතර බහින් බස් වීමක් වාර්තා සිදු වූ බවටද තොරතුරු වාර්තා වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවත ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලට මුහුණ දෙන්නේ ලබන වසරේ ජනවාරි මාසයේදියි.

ඒ, සිම්බාබ්වේ කණ්ඩායම සමඟ මෙරට දී පැවැත්වීමට නියමිත තරගාවලියේදීයි ෴


දියනෑමට ගිය තරුණයා කිඹුලාට බිලි

(30.11.2023 – 12:36 +0530 – hirunews.lk/sinhala)

දියනෑමට ගිය තරුණයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබෙනවා.

සාම්පූර්, තොඩුවන්කුලම් වැවේ දියනෑමට ගිය තරුණයෙකු මෙම අවාසනාවන්ත අත්දැකීමට මුහුණ පා තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ තෝපූර් පාටලිපුරම් ප්‍රදේශයේ පදිංචි ව සිටි 20 හැවිරිදි තරුණයෙක්.

ඊයේ (29) දහවල් මෙම තරුණයා වැවේ දියනෑමට ගිය අවස්ථාවේ මෙම අනතුර සිදු ව ඇති බවයි වාර්තා වෙන්නේ.

ප්‍රදේශවාසීන් එක් ව අදාළ තරුණයා කිඹුලා ගෙන් මුදාගෙන ඇති අතර, ඒ වන විටත් ඔහු මියගොස් තිබෙනවා ෴


යතුරු පැදි දෙකක් ගැටීමෙන් 20 හැවිරිදි තරුණයෙක් මරුට

(30.11.2023 – 12:23 +0530 – hirunews.lk/sinhala)

කිළිනොච්චියේ පුලෝපලෙයි ප්‍රදේශයේදී යතුරු පැදි දෙකක් (2) එකිනෙක මුහුණට මුහුණ ගැටීමෙන් එක් තරුණයෙකු සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් තවත් දෙදෙනෙකු (2) බරපතල තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ පලෙයි ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි ගුණම් ගනේෂන් නමැති තරුණයෙක්.

පලෙයි නගරයේ සිට තරුණයෙකු අධික වේගයෙන් පදවා ගෙන ගිය යතුරු පැදියක් පුලෝපලෙයි ගම්මානයේ සිට පැමිණි යතුරු පැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් යතුරු පැදි දෙකටම (2) ආලාභ හානි සිදුව ඇති අතර එක් (1) යතුරු පැදියක් ගිනි ගැනීමකට ද ලක් ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ අනතුරින් බරපතල තුවාල ලැබූ දෙදෙනා (2) පලෙයි රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලිනොච්චි මහ රෝහලට මාරුකර යවා ඇති බවයි.

පලෙයි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා ෴


මාංශ භක්ෂක ගොළුබෙල්ලෙකු හමුවෙයි

(30.11.2023 – 11:27 +0530 – hirunews.lk/sinhala)

මාංශ භක්ෂක ගොළුබෙල්ලෙකු පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

ඒ ගන්නෝරුව වනාන්තරය ආශ්‍රිත ගෙවත්තකින්.

කෙන්යාව නිජබිම කරගත් Gonxis Kibwezienis නැමති එම ගොළුබෙලි විශේෂය ශ්‍රී ලංකාවෙන් හමු වූයේ වසර 73 කට පමණ පසු වීම විශේෂත්වයක්.

කෘෂිකර්මාන්තයට හානි කරන ගොළුබෙල්ලන් පාලනය කිරීම සඳහා 1950 වසරේදී එම මාංශ භක්ෂක ගොලුබෙලි විශේෂය පේරාදෙණි උද්භිද උද්‍යානයට හඳුන්වා දී තිබෙනවා ෴


රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම්දීමක්

(30.11.2023 – 10:46 +0530 – hirunews.lk/sinhala)

මුද්‍රණ යන්ත්‍ර නොමැති වීමෙන් නිකුත් කිරීමට නොහැකිව ගොඩගැසී ඇති ලක්ෂ 9 කට ආසන්න රියදුරු බලපත්‍ර ප්‍රමාණයක් ඉදිරි මාස 6 තුළදී නිකුත් කිරීමට හැකිවනු ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරනවා.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ පැවසුවේ පසුගිය සඳුදා (27) දිනයේ දී රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමට අවශ්‍ය මුද්‍රණ යන්ත්‍ර තුනක් (3) තමා වෙත ලැබුණු බවයි.

මෙසේ ඉතිරිව ඇති රියදුරු බලපත්‍ර මාස 6 ක් ඇතුළත ලබා දීමට කටයුතු කරන බවයි එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම මුදල් ලබා ගනිමින් රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ ෴


බස් රථයක් පෙරළී 30 ක් රෝහලේ

(30.11.2023 – 09:40 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික සහල් මෝලක සේවකයන් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් අද (30) උදෑසන අනතුරට ලක්ව තිබෙනවා.

වැලිකන්ද මුතුවැල්ල ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන බෑවුමකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

රියැදුරුට අධික වේගය පාලනය කර ගැනීමට නොහැකි වී මෙම අනතුර සිදුව ඇති බවයි අප කළ විමසීමකදී වැලිකන්ද පොලීසිය සඳහන් කර සිටියේ.

බස් රථයේ රියැදුරු මේවන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිදූ වු අනතු‍රකින් තිස්දෙනෙකු (30) පමණ තුවාල ලබා රෝහල්ගත කළ බවයි වාර්තා වෙන්නේ.

ඉන් කිහිපදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට මාරුකර යවා ඇති බවද සඳහන්.

බස් රථය ගමන් ගන්නා විට එහි සේවකයින් අසූවකට (80) ආසන්න සංඛ්‍යාවක් සිට ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

+


ජෙරම් ප්‍රනාන්දු CIDයට

(30.11.2023 – 09:30 +0530 – hirunews.lk/sinhala)

අද (30) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි දේවගැති ජෙරොම් ප්‍රනාන්දුගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සදහන් කළා.

අධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණේ.

පසුගිය අප්‍රේල් මාසයේ පැවති දේව මෙහෙයකදී ආගමික අසමගිය ඇතිකිරීමේ චෝදනා යටතේ ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට අධිකරණය මොහුට නියෝග කරනු ලැබුවා.

බුදුදහමට අපහාස වන අන්දමින් ප්‍රකාශයක් සිදුකර පසුව සිංගප්පූරුව වෙත ගොස් සිටි දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ඊයේ (29) දිවයිනට පැමිණියා.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පාර්ශව රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබුණා.

අනතුරුව දේවගැතිවරයා ඉදිරිපත් කළ පෙත්සමකට අනුව අභියාචනාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණේ ඔහු මෙරටට පැමිණෙන අවස්ථාවේ ගුවන්තොටුපලේදී අත්අඩංගුවට නොගන්නා ලෙසටයි.

කෙසේ වෙතත් පැය 48 ක් තුල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශයේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදිය යුතු බවට අභියාචනාධිකරණය දේවගැතිවරයාට නියෝග කර තිබුණා.

පැය 8 ක පමණ ප්‍රකාශයක් ලබාදීමෙන් පසු දේවගැති ජෙරොම් ප්‍රනාන්දු CIDයෙන් පිටව ගියා.

වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීම සඳහා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු හෙට (01) පෙ:ව: 09:00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යළි කැඳවන බවයි වාර්තා වන්නේ ෴


ඉන්දියාවට රැගෙන ගිය රන් කිලෝ 8 ක් අල්ලයි

(30.11.2023 – 09:29 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ සිට බෝට්ටු මගින් දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් දක්වා රැගෙන ගිය කිලෝ 8 ක් බර රන් බිස්කට් තොගයක් දකුණු ඉන්දීය වෙළරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දියාව බලා යාත්‍රා කරමින් තිබූ මෙම බෝට්ටුව නවතන ලෙස දැනුම් දී තිබුණත් එය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් වෙරළ ආරක්ෂක නිලධාරීන් ඊට වෙඩි තබා තිබෙනවා.

එහි දී බෝට්ටුවේ සිටි පුදගලයින් පළා ගොස් ඇති අතර පසුව සිදු කළ පරික්ෂා කිරීමේදී මෙම රන් බිස්කට් තොගය හමු වී ඇති අබවයි වාර්තා වන්නේ ෴


තවත් රටවල් තුනක (3) ඇති කෞතුක භාණ්ඩ යළි ගෙන්වා ගැනීමට සාකච්ඡා

(30.11.2023 – 09:27 +0530 – hirunews.lk/sinhala)

එංගලන්තය, ස්විස්ටර්ලන්තය සහ ජර්මනිය වැනි රටවල පවතින මෙරට කෞතුක භාණ්ඩද යලි ගෙන්වා ගැනීමට සාකච්ඡා සිදු කරන බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

ඔහු කියා සිටියේ මෙරටින් රැගෙන ගිය පුස්කොළ පොත්වල ඩිජිටල් පිටපත්ද යලි ගෙන්වා ගැනීමට සාකච්ඡා කරමින් සිටින බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *