දේශබන්දු ගේ පත්කිරීමට කතෝලික සභාවේ විරෝධය

දේශබන්දු ගේ පත්කිරීමට කතෝලික සභාවේ විරෝධය


දේශබන්දු ගේ පත්කිරීමට කතෝලික සභාවේ විරෝධය

(29.11.2023 – 19:42 +0530 – sinhala.adaderana.lk)

වැඩ බලන පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කිරීම කාදිනල් හිමිපාණන් පිළිකුලෙන් යුතු ව හෙළා දකින බව කතෝලික සභාව අවධාරණය කරයි.

උන්වහන්සේ ගේ ප්‍රකාශයක් මාධ්‍යය වෙත ඉදිරිපත් කරමින් කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණි පියතුමන් මේ බව සඳහන් කර ඇත.

වැඩබලන පොලිස්පති ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කිරීම පිළිකුලෙන් යුතු ව හෙළා දකින බවත් එම පත්කිරීම දැඩිලෙස ප්‍රතික්ෂේප කරන බවත් උන්වහනසේ අවධාරණය කරයි.

එසේම මෙම පත්කිරීම පාස්කු වින්දිතයන්ට කළ විශාලම අවමානය ලෙස ද උන්වහන්සේ හඳුන්වයි.

++++++

+++++++++++

+


භාවිතයට තියා රසායනාගාර පරීක්ෂණයකට වත් නුසුදුසු හියුමන් ‘ඉමියුනොග්ලොබියුලින්’

(29.11.2023 – 19:20 +0530 – sinhala.adaderana.lk)

මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදාහැරීමට මිල දී ගන්නා ලද ප්‍රශ්නගත, ප්‍රමිතියෙන් තොර ‘හියුමන් ඉමියුනොග්ලොබියුලින්’ ඖෂධ තොගය භාවිතයට නොව රසායනාගාර පරීක්ෂණයකට වත් නුසුදුසු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයා අද (29) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

ප්‍රමිතියෙන් තොර ‘හියුමන් ඉමියුනොග්ලොබියුලින්’ එන්නත් මාත්‍රා මිල දී ගැනීම සහ මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදාහැරීම සම්බන්ධයෙන් වූ නීති කෘත්‍යය අද (29) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවනු ලැබිණි.

එහි දී රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින ප්‍රශ්නගත ඖෂධය සැපයූ සමාගමේ හිමිකරු සහ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් සිව්දෙනා (4) බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

එහි දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවල ප්‍රගතිය ගැන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණයට කරුණු දැක්වීය.

“ස්වාමීනි ප්‍රශ්නගත ‘හියුමන් ඉමියුනොග්ලොබියුලින්’ එන්නත් මාත්‍රාවන්හි ප්‍රමිතිය ගැන ජාතික ඖෂධ නියාමන අධිකාරිය දුන් තත්ත්ව වාර්තාවෙන් පැහැදිලි වෙනවා, මෙම එන්නත් මාත්‍රා භාවිතයට නොව පරික්ෂණවලටවත් සුදුසු නැහැ කියලා. එසේම එය භාවිත කිරීමෙන් සංකූලතා වැඩි විය හැකි බව ද එහි සඳහන් වනවා.”

එම සැපයුම්කරු විසින්ම සපයන ලද තවත් ප්‍රමිතියෙන් තොර ඖෂධයක් පිළිබඳ මෙහි දී අනාවරණ වී තිබේ.

“ස්වාමීනි ‘රිටොක්සිමැප්’ කියන්නේ, පිළිකා රෝගින්ගේ ප්‍රතිදේහ වර්ධක ඖෂධයක්. මෙයත් මෙරට දී නිෂ්පාදනය කළ නොහැකි ඖෂධයක්. නමුත් එම ඖෂධයත් ආනයනය කර නැහැ. ඖෂධ නියාමන අධිකාරිය කියන්නේ, තම ආයතනයෙන් ඖෂධ ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතිකයක් නිකුත් කරේ නැහැ කියලා. ස්වාමීනි ‘හියුමන් ඉමියුනෝග්ලොබියුලින්’ එන්නත් මාත්‍රා 7,500 ක් අවශ්‍යව තිබූ වටපිටාවක එන්නත් මාත්‍රා 22,500 ක් සපයන්න ටෙන්ඩර් අනුමැතිය දී තිබුණා. ‘රිටොක්සිමැප්’ නැමැති මෙම ඖෂධය මාත්‍රා 750 ක් අවශ්‍යව තිබිය දී 2,250 ක් සපයන්න අවසර දී තිබෙනවා.”

මෙහි දී අදාළ ඖෂධ සැපයීම්වලට මුදල් ගෙවීම සම්බන්ධයෙන් සිදුව ඇති ප්‍රශ්නගත ක්‍රියාදාමයන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයේ අවධානයට යොමු කළාය.

“ස්වාමීනි ‘හියුමන් ඉමියුනොග්ලොබියුලින්’ ඖෂධ සඳහා රුපියල් මිලියන 107 කුත්, ‘රිටොක්සිමැප්’ ඖෂධ සඳහා රුපියල් මිලියන 36 කුත් වෛද්‍ය සැපයුම් අංශයෙන් ගෙවා තිබෙනවා. ‘රිටොක්සිමැප්’ ඖෂධ සඳහා මුදල් ගෙවීමේ දී මුල් අවස්ථාවේ දී යම් ප්‍රමාදයක් වෙලා තියෙනවා. එහි දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා තමන්ගේම අත්අකුරින් ලියූ ලිපි 03 ක් අවස්ථා 03 ක දී යොමුකර තිබෙනවා ඉක්මනින් මුදල් ගෙවන්න කියලා. අපිට දැනගන්න ඕනේ ඇයි එහෙම කළේ කියලා. එබැවින් ඔහුට නියෝගයක් කරන්න අත්අකුරු පරීක්ෂාවකට සහ ප්‍රකාශයක් ගන්න හෙට (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එන්න කියලා.”

එමෙන්ම මෙම ප්‍රමිතියෙන් තොර ඖෂධ මිල දී ගැනීමේ දී අනුගමනය කළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය.

“ස්වාමීනි මෙම ඖෂධ ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලබාගන්න නිසයි, හදිස්සි මිල දී ගැනීම්වලට කැබිනට් අනුමැතිය ලැබිලා තියෙන්නේ, එම ක්‍රමයෙන් ඖෂධ ගන්නවා නම් එම ඖෂධ ඉන්දියාවෙන් ආනයනය කළ යුතු වෙනවා. එවිට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පරික්ෂා කරනවා අදාළ ඖෂධය ඉන්දියාවේ ආනයනකරුවෙකු ගෙන් ගන්නවා ද කියලා. නමුත් මෙම ඖෂධ දෙකම ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ගෙන්වීමට අවසර හිමි ව නැහැ. නමුත්, ඉන්දීය ණය යෝජනා ක්‍රමය නම් වූ ලේබලය යටතේ මිල දී ගත් මෙම ඖෂධ සඳහා මුදල් ගෙවලා තියෙන්නේ වෛද්‍ය සැපයුම් ඒකකයේ තියෙන ජනතා මුදලින්. ස්වාමීනි මෙය රාජකාරිමය නොසැලකිල්ලට එහා ගිය අපරාධ මනසකින් කළ ක්‍රියාවක්. මේ සිව්දෙනාට (4) වැඩි පිරිසක් මේ ‘ගේම්’ එක ඇතුළේ ඉන්නවා.”

ඉන් පසු ව පළමු (1) සැකකරු වන ඖෂධ සැපයුම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංඝ ඉන්දතිස්ස මහතා අධිකරණයේ දී විමසා සිටියේ, ප්‍රමිතියෙන් තොර ඖෂධ ගැන විමර්ශන සිදුවෙද්දී අද (29) අසනීප තත්ත්වකයකට රෝහල්ගත ව සිටින්නේ කවුරුන්ද යන්නයි.

ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා මේ වනවිට රෝහල්ගත ව සිටින බව දැනගන්නට ලැබුණේ යැයි අධිකරණය හමුවේ සඳහන් කළාය.

අනතුරු ව ඖෂධ සමාගමේ සැපයුම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥවරයා මෙලෙස කරුණු දැක්වීය.

“ස්වාමීනි, ක්‍රමවේදයේ ප්‍රශ්න පවතින අවස්ථාවන්හි ඒක සාපරාධි අපරාධයක් වෙන්නේ නැහැ. මේ ක්‍රමවේදයට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. එසේ නම්, ටෙන්ඩර් කමිටුවෙත් නැති මගේ සේවාදායකයා වරදකරුවෙකු වෙන්නේ කෙසේ ද?”

අනතුරු ව වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා සහ අනෙකුත් විත්තිකරුවන් තිදෙනා (3) වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෝ මෙම නඩුවේ චෝදනා පොදු දේපළ පනත යටතට නොවැටෙන බැවින් සිය සේවාදායකයින් ඇප මත මුදාහරින්නැයි ඉල්ලා සිටියහ.

එහි දී සැකකාර වෛද්‍ය සැපයුම් අංශයේ ගබඩා පාලකවරයා වෙනුවෙන් නීතිඥ අශෝක සේරසිංහ මහතා මෙලෙස කරුණු දැක්වීය.

“ස්වාමීනි, ප්‍රමාද වෙලා ආපු ‘රිටොක්සිමැප්’ කියන ඖෂධ තොගය භාරගැනීම මගේ සේවාදායකයා ප්‍රතික්ෂේප කර තිබෙනවා. නමුත් වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා දන්වා තිබෙනවා ‘කමක් නැහැ භාරගන්න’ කියලා. එසේ නම් කෙසේද මගේ සේවාදායකයා වරදකරු වෙන්නේ.”

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය කියා සිටියේ, මෙම සිද්ධියේ දී ජනතා මුදල් අවභාවිතයට ලක්වීම පොදු දේපළ පනත යටතට වැටෙන බැවින් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරන බවයි.

එමෙන්ම විමර්ශනවලට සහාය පළ නොකිරීම සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියාට වරෙන්තු නිකුත් කිරීමට ද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

අනතුරු ව සැකකරුවන් ලබන දෙසැම්බර් මත 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

+


ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියෙන් සේවා රැසක් නිවසේදීම සිදු කරගැනීමට අවස්ථාව

(29.11.2023 – 19:19 +0530 – sinhala.adaderana.lk)

විදේශ රැකියා ක්ෂේත්‍රය කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශ්වයන් වෙත ක්ෂණිකව තොරතුරු ලබාදීම හා සේවාවන් කඩිනමින් ලබාදීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය http://www.slbfe.lk/ යාවත්කාලීන කර තිබේ.

මාර්ගගත ක්‍රමය ඔස්සේ කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීම හා ලියාපදිංචිය අලුත් කිරීම, රැකියා බැංකුවේ ලියාපදිංචි කිරීම, නව විදේශ රැකියා අවස්ථා හඳුනාගැනීම හා විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කිරීම ඇතුළු විදේශ රැකියාවට යාමට පෙර හා විදෙස් රැකියාව අවසන් කර මෙරටට පැමිණීමෙන් අනතුරුව විගමණික ප්‍රජාව වෙත සැලසෙන සේවාවන් සම්බන්ධව තොරතුරු ලබාදීම හා අවශ්‍ය ලියාපදිංචි කිරීම් සිදුකිරීමට නවතම යාවත්කාලීන කළ වෙබ් අඩවිය මගින් පහසුකම් සලසා තිබේ.

සිංහල, ඉංග්‍රීසි සහ දමිළ යන භාෂා ත්‍රිත්වයෙන්ම තොරතුරු ලබාගැනීමට හැකිය.

වැඩි වැඩියෙන් විදේශ රැකියා අවස්ථාවන් ශ්‍රී ලංකාවට විවෘත වී ඇති පසුබිමක වාර්ෂිකව විදේශ රැකියාවලට පිටත් වන ප්‍රමාණය හා ඔවුන් විසින් මෙරටට එවන ප්‍රේෂණ ප්‍රමාණය දිනෙන් දින ඉහළ යමින් ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි ෴


කැබිනට් ඇමතිට වඩා මේ රටේ හොරු බලවත්. ඒකයි මාව ඇමති කමෙන් එළියට දැම්මේ – හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ (29.11.2023)

+


ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය සිසුන්ට දැනුම්දීමක්

(29.11.2023 – 23:05 +0530 – hirunews.lk/sinhala)

තාවකාලිකව අත්හිටුවා තිබූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය ලබන මස 4 වැනිදා යළි විවෘත කිරීමට නියමිතයි.

එම විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පද්මලාල් මානකේ මේ බව අද නිවේදනය කර තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය උපකුලපතිවරයාගේ නිල කාර්යාලය ඉදිරිපිට සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් 20 වැනිදා සිට එම පීඨය තාවකාලිකව වසා දැමුණා.

කෙසේ වෙතත් අදාළ සිදුවීම හේතුවෙන් සිසුන් 6 දෙනෙකුගේ පන්ති තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ ෴


වනඅලි උවඳුර නිසා තවත් ජීවිතයක් අහිමි වෙයි

(29.11.2023 – 20:16 +0530 – hirunews.lk/sinhala)

සීගිරිය කිබිස්ස ප්‍රදේශයේ නිවසක නිදා සිටි අවුරුදු 19 ක තරුණයෙකු එම නිවසේ බිත්තිය වනඅලියෙකු විසින් පෙරළා දැමීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම ප්‍රදේශයේම පදිංචිව සිටි අවින්ත ඉෂාන් සමරනායක නැමති මෙම තරුණයා සීගිරිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක හෝටල් පාඨමාලාවක් හදාරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු සිය මිතුරන් පිරිසක් සමඟ නිවස ආසන්නයේ වූ මිතුරෙකුගේ නිවසේ රාත්‍රිය ගත කිරීමට ගොස් තිබුණේ නිවසට ද නොදන්වායි.

මිතුරාගේ නිවස පිටුපස ගෝනි කිහිපයක තිබූ වී ආහාරයට ගැනීමට වන අලියෙකු පැමිණ ඇති අතර අලියා තරුණයින් නිදා සිටි කාමරයේ බිත්තියට පහරදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම අවස්ථාවේ නිදා සිටි තරුණයින් මතට බිත්තිය කඩා වැටී ඇති අතර එහිදී අවින්ත බරපතළ තුවාල ලබා තිබුනා.

ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව ඔහුව සීගිරිය ග්‍රාමිය රෝහලට රැගෙන ගිය ද ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකි වී නැහැ.

මේ අතර වසර ගණනාවක සිට වන අලින්ගෙන් බැට කන ගලෙන්බිදුනුවැව ග්‍රාම නිලධාරී කොට්ඨාස කිහිපයක ජනතාව අලී මිනිස් ගැටුමට ස්ථිර විසඳුමක් ඉල්ලා යකල්ල රෝහල ඉදිරිපිට උද්ඝෝෂණක නිරත වුණා.

පොලිසිය තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කිරීමේදී උණුසුම් තත්ත්වයක් ද ඇති වු අතර පැය දෙකකට (2) ආසන්න කාලයක් පැවති උද්ඝෝෂණය හේතුවෙන් ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල වුණා ෴


මැරතන් රාජා කපා කොටා ඝාතනය කෙරේ

(29.11.2023 – 19:47 +0530 – hirunews.lk/sinhala)

වනවාසල දුම්රිය පාලම අසල දී ‘රණසිංහ රාජා’ නොහොත් ‘මැරතන් රාජා’ නැමැති පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබෙනවා.

කලක් පුරා පැවති ආරවුලක් ඊට හේතු වී ඇති අතර ඝාතනය සදහා පුද්ගලයන් දෙදෙනෙකු (2) පැමිණ ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

පහරදීමෙන් බරපතල තුවාල ලැබූ 59 හැවිරිදි ඔහු ඊයේ (28) රාත්‍රියේ කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබුණා.

පොලිසිය පැවසුවේ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බවයි.

මේ පිළිබඳව ප්‍රදේශවාසීන් දැක්වුයේ මෙවන් අදහසක් :

“එළියට ඇවිල්ලා බලනකොට මෙයා වැටිලා හිටියේ. රේල් පාරේ කුඩු විකුණන ගෑනියෙක් ඉන්නවා ‘සුදු නෝනා’ කියලා. ඒ ගෑණි හින්දා තමයි – කුඩු දීලා තමයි – මේ ප්‍රහාරය මේ මනුස්සයාට කරේ. මත්ද්‍රව්‍ය දිලා තමයි ඔක්කොම උන්ව පෙළඹෙව්වේ. ගම විනාශ කරන්න ඔක්කොම කරපු මේ ‘සුදු නෝනා’ කියන මේ ගෑණි තමයි මේ අහිංසක මනුස්සයෙක්ට අද මේ දේ කළේ.”

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *