භාණ්ඩාගාර නිලධාරීන් කියනවා ලංකාවට ඩොලර් ඇතිලු.. ඩොලර් එවන්න එපා කියා විදේශ ශ්‍රමිකයන්ට කියනවා..

භාණ්ඩාගාර නිලධාරීන් කියනවා ලංකාවට ඩොලර් ඇතිලු.. ඩොලර් එවන්න එපා කියා විදේශ ශ්‍රමිකයන්ට කියනවා..


භාණ්ඩාගාර නිලධාරීන් කියනවා ලංකාවට ඩොලර් ඇතිලු.. ඩොලර් එවන්න එපා කියා විදේශ ශ්‍රමිකයන්ට කියනවා..

(29.11.2023 – 06:16 +0530 – lankacnews.com)

විදේශගත ශ්‍රමිකයින්ට අඩු පොලී නිවාස ණය ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී ඇති නමුත් එය ක්‍රියාත්මක කිරීමට භාණ්ඩාගාරයට සහ බැංකුවලට තවමත් හැකියාව ලැබී නැති බවත්, විදේශගත ශ්‍රමිකයින්ට ලබාදෙන තීරු බදු සහනය ඉහළ දැමීමට ජනාධිපතිවරයා ගැසට්නිවේදනයක් නිකුත් කර තිබියදීත් එය ක්‍රියාත්මක කිරීමට රේගු දෙපාර්තමේන්තුවට හැකියාව ලැබී නැති බවත් ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් විදේශගත ශ්‍රමකයින්ට ලබාදීම නියමිත සහන ලබාදීමට නොහැකි වී ඇති බවත් කම්කරු හා විදෙශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

රජයක් වශයෙන් ගෙනයන සාධණීය වැඩසටහන් සඳහා ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ සහය නොලැබීම ඉතා කණගාටුවට කාරණයක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ විදේශගත ශ්‍රමකියන්ගේ දරුවන් හට ශ්‍රී ලංකා විදේශ නියුක්තා කාර්යාංශය හරහා ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනට එක් වූ අවස්ථාවේදීය.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය :

අම්මා හෝ තාත්තා විදේශගත වුන නිසා ඒ උණුසුම නොලබන, අම්මාට තාත්තාට රට ඉඳලා රැකියාව කරන එකේ දුක නැති කරමින් දක්ෂයින් විදිහට ඉදිරියට ඇවිත් පහේ ශිෂ්‍යත්වය, සාමන්‍ය පෙළ, උසස් පෙළ සමත්වෙලා ඒ දෙමාපියන්ට ගෞරවයක් එකතු කරපු පිරිසක් තමයි මේ ඉන්නේ.

ළමුන්ට අම්මා තාත්තා දෙන්නාම අවශ්‍යයි ඒත් ඔබට ඒ අවස්ථාව ලැබිලා නැහැ. ඔබේ ආර්ථීකය, ඔබට පහසුකම් දෙන්න ඔවුන් තම ජීවිතය කැපකළා. දෙමාපියන්ට තමන්ගේ දරුවන්ගෙන් වෙන්වෙලා කටයුතු කරන එක ඉතාම අපහසු දෙයක්. ඒ නිසාමයි අපි ගුවන්තොටුපොලේදී කඳුළු සලනවා දකින්නේ.

ඒ නිසාමයි ඔබේ දෙමාපියන් කරන දේට ගරුත්වය දක්වන්නත් ඔබව ශක්තිමත් කරන්නත් මේ දේවල් කරන්නේ. විදේශ ගත ශ්‍රමකියන් අපිට ඉතාම වැදගත්. රටක් විදිහට විදේශගත ශ්‍රමිකයින්ගේ වටිනාකම වැඩියෙන්ම දැනුණේ මේ අවස්තාවේදියි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේච්චර කාලයක් විදේශගත ශ්‍රමකයින්ට වටිනාකම දුන්නා. ඒත් රටේ බොහෝ අයට විදේශගත ශ්‍රමකියන්ගේ වටිනාකම තේරුනේ නැහැ. ඒ වටිනාකමට ප්‍රතිඋපකාර කරන්න විවිධ යෝජනා ක්‍රියාත්මක කරන්න යද්දි අපිට සහයෝගය වෙනුවට ලැබුනේ බාධා කිරීම් විතරමයි.

ඒත් මේ අවුරුදු එකහාමාර (1½) ඇතුලත ඔබේ අම්මලා තාත්තලා පෙන්නුවා ඔවුන් තමයි මේ රට මේ වෙලාවේ ගොඩ නගපු විරුවන් කියන කාරණය.

ඒ වගේම මීට අවුරුදු එකහාමාරකට (1½) ඉස්සෙල්ලා අපේ රටට තෙල්, ගෑස්, විදුලිය, බෙහෙත් නැති වුනා. පොලිම් වල ජනතාව මැරුණා, වාහන වල තෙල් තියෙන කෙනාට පාරවල් වලදී ගැහුවා. ඇත්තටම අපේ මනුස්සකම් නැතිවෙන තැනට රට පත්වුනා.

පහුගිය කාලයේදී බෙහෙත් නැතිව රෝහල්වල මරුණ සංඛ්‍යාව කවුරුවත් දන්නේ නැහැ. අපි රටක් විදිහට ආර්ථිකව වැටුනා. ගත්ත තීන්දු, කරපු වැරදි වැඩ සියල්ලම මේකට හේතු වුනා. ඡන්දය වෙනුවෙන් ආදායම් උත්පාදනය කරන්න තිබුණ බදු කප්පාදු කරලා දැම්මා.

දෙන්න බැරි දේවල් දෙනවා කියලා යෝජනා කළා. මේ දේවල් එක ආණ්ඩුවක් විතරක් නෙමෙයි හැමදාම බිහිවුණ ආණ්ඩුක්ම මිනිස්සුන්ට මොනවා හරි දීලා ඡන්දය ගන්න බලාපොරොත්තුවෙන්ම කටයුතු කළා. එහෙම කරලා සහනාධාර ක්‍රමයකට රට පුරුදු කළා අපි රටක් විදිහට වැටුනා. ඒ වගේම අනිත් පැත්තෙන් අපි අර්බුද ගණනාවකට මුහුණ දුන්නා.

71 කැරැල්ල, 88/89 කැරැල්ල, ඒවගේම 1956 ඉදන්ම ජතාවාදී කෝලහාල වලට මේ රට මුහුණ දුන්නා. මේ හැමදෙයක්ම අපි රටක් විදිහට ආපස්සට ගෙන ගියා. හැමතැනකදිම මේවා දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් පාවිච්චි කළා.

1956 දී සිංහල රාජ්‍ය භාෂාව කරන්නේ ඡන්දය වෙනුවෙනුයි. ඡන්දය ගන්නයි අපිව ජාතීන් විදිහට බෙදුවේ. මේවායින් වුනේ රටේ ආර්ථිකය විනාශ වුන එකයි රටේ හිටිය උගත් පිරිස රට අතහැර යාමයි.

පස්සේ පිටරවලින් ණය අරගෙන කරන්න ඕනේ නැති ව්‍යාපෘති කරලා ණය ගෙවීමේ බර ජනතාවට දීලා හැම මනුස්සයාම අමාරුවේ වැටෙන තැනට පත්වුනා. කොරෝනා පැමිණිමත් එක්ක තත්ත්වය දරුණු වුනා. පස්සේ මේ සියල්ලම නිසා අපි දරුණු ආර්ථික කඩා වැටීමකට පත්වුනා.

අපේ ඩොලර් සංචිත ඩොලර් මිලියන 100 ටත් වඩා අඩු වුනා. ඒ නිසා රටට තෙල් නැවක්වත් ගේන්න බැරි වුනා. තෙල් නැවකට ඩොලර් මිලියන 50 ක් ගෙවා ගන්න බැරිව තෙල් නැව් වරාය අසල තිබ්බා.

මේ වෙලාවේ රට ගොඩ නගන්න එන්න කියලා හැමෝටම කිව්වා. ඒත් කවුරුවත් මේ වගකීම භාරගන්න කැමති වුනනේ නැහැ. ඒත් අවසානයේද අපිට මේ වැඩපිළිවෙල හදාගන්න හැකියාව ලැබුනා. ඒ සඳහා අපිට වැඩිම ශක්තිය ලැබුනේ විදේශගත ශ්‍රමිකයන් ගෙන්.

අපි රාජ්‍ය මුදල් වියදම් කරන්නේ නැතිව, ස්වෙච්ඡාවෙන් දැන්වීම් හදලා බෙහෙත් ටික ගේන්න, තෙල් ටික ගෙන්න, ලයිට් එක දාන්න සල්ලි එවන්න කියලා ආයාචනා කළා. ඒකට අපි පුද්ගලික මුදලුයි වැය කළේ. ඒ වගේම අපි ඔබේ දෙමාපියන්ගෙන් ඉල්ලුවා දේශපාලනික ඔබව රටවට්ටන්න උත්සහකරන අය සල්ලි එවන්න එපා කිව්වාට ඔබ සල්ලි එවන්න කියලා. අපි ඔවුන්ට කිව්වා අපේ රටේ අම්මලාට තාත්තලාට බෙහෙත් ටික ගන්න ඔවුන්ගේ මුදල් අවශ්‍යයයි කියලා.

ඒ ඉල්ලීමට ඇහුම්කන් දුන්න ඔබේ අම්මලා තාත්තලා හොර පාරෙන් උණ්ඩියල් ක්‍රමයට සල්ලි එවපු එක නතර කරලා නැවතත් හරි පාරෙන් සල්ලි එවන්න කටයුතු කළා. ඒ අනුව අද වෙනකොට ඩොලර් බිලියන 7.5 ක මුදලක් ඔබේ අම්මලා තාත්තලා එවලා තියෙනවා.

ඒ සල්ලි එව්වාම ඒවාත් රාජපක්ෂලා හොරකම් කරයි කියලා කිව්වා. අපි ඒවා පැහැදිලි කරන්න සෑහෙන්න මහන්සි වුනා. ඒ එවපු මුදල් සියල්ලම අපි ඉතාම පරිස්සමට පාවිච්චි කළා.

කිසිම වෙලාවක ඒ මුදල් රටේ සහනාධාර දේනනවත් කිසිම අනවශ්‍ය දෙයකට යොදා ගත්තේ නැහැ. රටට අත්‍යාවශ්‍ය වුන තෙල් ටික, ගෑස් ටික ගේනන විතරක් අපි ඒ මුදල් යොදාගත්තා. ඔබේ දෙමාපියන්ට අදාල ඒ විශ්වාසය දුන්නා. ඔබේ දෙමාපියන් එවපු සල්ලි වෙලින් තමයි බෙහෙත් ටික ගෑස් තෙල් ගේන්න හැකියාව ලැබිලා තියෙන්නේ.

විදේශගත ශ්‍රමකයින් තමයි වැඩියෙන්ම විදේශ විනිමය එවන්නේ. ඒ වගේම ඒ සල්ලි අයෙත් පිටට යන්නේ නැහැ. ඇගළුම් වලදී විදේශ විනිමය ආවාට අමුද්‍රව්‍ය ගෙන එන්න විදේශ විනිමය වැය වෙනවා. සංචාරක ක්ෂේත්‍රයටත් අවශ්‍ය උපකරණ ගේන්න අපිට විදේශ විනිමය වැයවෙනවා. ඒ නිසා ඔබේ දෙමාපියන් තමයි මේ රටට මේ තැනට ගෙන එන්න, රට යලි නැගී සිටින තත්ත්වයට ගෙන එන්න මූලික හයිය දුන්නේ.

ඇත්තමට අපි සමහර නිලධාරින් එක්ක රණ්ඩු කරගනිමින් විදේශගත ශ්‍රමිකයින්ට සහන සලසවන්න කටයුතු කළා. නිවාස ණය ලබාගන්න අවශ්‍ය කරන අයට ඒ සඳහා ණය යෝජනා ක්‍රමයකට අපි කටයුතු සූදානම් කරලා තියෙනවා. හැබැයි තවමත් ඒක ක්‍රියාත්මක කරගන්න බැරිවුනා.

මේ නිවාස ණය දෙන එක අපි බැංකු වලට යෝජනා කරලා මහ බැංකුව එක්ක සාකච්ඡා කරලා, කැබිනට් මණ්ඩලයේ අනුමැති අරගෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බිලියන පහකුත් (5) යොදගෙන අඩු පොලියට ණය ලබා දෙන්න අපි කටයුතු ලෑස්ති කළා.

ඒත් තාමත් මහා භාණ්ඩාගාරයටයි, මහ බැංකුවටයි, බැංකු ටිකටයි, අපේ ශ්‍රමිකයින්ට අඩු පොලියට ණය දෙන්න බැරි වුනා. හැබැයි මේ ශ්‍රමිකයන්ගේ සල්ලි ටික දාගන්න නම් හැම බැංකුවක්ම උනන්දුවෙනවා. ඒත් ශ්‍රමිකයින්ට ණය දෙන්න කිසිම උනන්දුවක් නැහැ. මම මේ තීරණය අරගෙන ඒකට කැබිනට් අනුමැති ලැබිලා අවුරුද්දකට වැඩි කාලයක් ගතවෙලා තියෙනවා.

ඒ වගේම විදේශගත ශ්‍රමිකයින් එව්ව සල්ලි ගානට ඔවුන් ගුවන්තොටුපොලෙන් එනකොට ඔවුන්ට වැඩි තීරුබදු සහනයක් ලබා දෙන්නටත් අපි කටයුතු කළා. ඒකට කැබිනට් මණ්ඩලය ඔස්සේ ජනාධිපතිතුමා අනුමැතියත් ලබාදුන්නා.

මේ අනුමැති ලැබිලා අවුරුද්දකටත් වැඩි කාලයක් ගතවෙලා තියෙනවා. හැබැයි රේගුවේ කට්ටියට තාමත් බැරිවුනා ලංකාවට එව්ව සල්ලි ටික හරියට බලලා, ඒ වැඩි තීරු බදු සහනය බලා දෙන්න. මේ බදු සහය ලබා දීමට අදාලව ජනාධිපතිතුමා ගැසට් එකකුත් නිකුත් කරලයි තියෙන්නේ.

අපි දේශපාලඥයින් විදිහට කැබිනට් මණ්ඩලය තීන්දු අරගෙන, අපේ අමාත්‍යංශ නිලධාරීන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් ඊට අවශ්‍ය සියලුම කටයුතු කරලා ඉවරයි. අපිට පුළුවන් දේවල් සියල්ලම අපි කළා.

අපි ගුවන් තොටුපොලේ ‘හෝප් ගේට්’ එක ආරම්භ කලා. අද විදේශගත වෙන ශ්‍රමිකයින්ට අවශ්‍ය සහන සලසන්න වෙනම කණ්ඩායමක් එහි ඉන්නවා.

අපි ඒ අයට නිසි ගෞරවය ලබාදෙන්න කටයුතු කරලා තියෙනවා. විදේශගත වෙනකොට ඒ අයට මූලික වශයෙන් මුදල් නැහැ. ඒ නිසාම විශේෂයෙන්ම ගෘහ සේවයට, ගෘහ පාලිකාවන් විදිහට විදේශගත වන අයට වවුචරයක් ලබාදෙන්න ගිය සතියේ සිට ආරම්භ කළා.

මේ අය යලිත් රටට ආවාම ජීවත් වෙන්න හැකිවෙන විදිහේ ස්ව්‍යං රැකියා ඇති කරන්නත් අපි කටයුතු කළා. ඒ වගේ තවත් වැඩ රාශියක් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සුබසාධන වැඩකටයුතු රැසක් කළා. ශ්‍රමිකයන්ගේ දෙමාපියන්ටත් වෛද්‍ය සායන පත්වන්නත් අපි පියවර ගත්තා.

ඒත් රජයක් විදිහට අපි කණගාටුවෙනවා අපි කරන මේ වැඩසටහන් කරන්න අපිට ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගෙන් සහයක් නොලැබීම ගැන.

ඒ වගේම විදේශ ගත ශ්‍රමිකයින්ට ඔවුන් ඩොලර් එව්ව ප්‍රමාණයට වාහන ආනයනය කරන්න බලපත්‍ර ක්‍රමයක් හදුන්වා දුන්නා. බලපත්‍රයක් විතරයි දුන්නේ. කිසිම ආකාරයක තීරුබදු සහනයක් දුන්නේ නැහැ. ඒක එවපු සල්ලි වලට වාහනයක් ආනයන කරන්න දුන්න චාන්ස් එක්ක විතරයි.

ඒක ක්‍රියාත්මක කිරීම නිසා විතරක් ඩොලර් මිලියන 100 ක් පමණ මුදල් ලැබිලා තියෙනවා කියලා අපි ගණන් බලලා තියෙනවා. ආපු වාහන 129 කින් රුපියල් බිලියන 1.1 ක් බදු අයකරලා තියෙනවා. හැබැයි අපේ භාණ්ඩාගාරයේ සමහර මහත්වරුන්ට ලංකාවට මේච්චර ඩොලර් එවන ව්‍යාපෘති පේන්න බැහැ. ඒවා ක්‍රියාත්මක කරන්න බොහොම කම්මැලි යි.

ඒ අය කියනවා දැන් ලංකාවට ඩොලර් ඇතිලු. එහෙනම් ඉතින් හෙට – අනිද්දා ඉදලා මේ විදේශ ගත ශ්‍රමිකයන්ට ඩොලර් ආයේ එවන්න එපා කියලා කිව්වා නම් හරි. මොකද ඔය කියන විදිහට භාණ්ඩාගාරයට ඩොලර් ඇතිලුනේ. හැබැයි මට කියන්න තියෙන්නේ මේ අය කියන කතා අහන්න එපා.

මේ අයත් අර ඩොලර් එවන්න එපා කියලා කියපු මේ රට නැවතත් විශම චක්‍රයට දාන්න අර අදින අයගේ පිල්ලියි. ඒ නිසයි තැන තැන ඇවිත් ඒ වගේ කතා කියන්නේ. අපි කොයිම ආකාරයකින්වත් මේ වැඩපිළිවෙල නතර කරන්නේ නැහැ.

අපිට ඩොලර් අවශ්‍යයි. ඩොලර් තියෙනවා නම් අපිට ණය ගෙවන්න පුළුවන් නේ. ඩොලර් තියෙනවා නම් ආනයන සීමා සියල්ල ඉවත් කරන්න පුළුවන්නේ. ඒවා නොතේරෙන අය තමයි මහා භාණ්ඩාගාරය ඇතුලෙත් ඉන්නේ කියන කාරණය අපි මතක් කරන්න කැමතියි.

ජනාධිපතිතුමාත් මේ ආණ්ඩුවත් විදේශගත ශ්‍රමිකයින්ව ශක්තිමත් කරන්න උපරිමයෙන් කැපවී කටයුතු කරනවා.

සමහරුන්ට මේ ඩොලර් එවීම ගැනවත් මේ කිසිම දෙයක් ගැනවත් ගාණක් නෑ. මොකද ඒ අයට දෙපාර්තමේන්තුවෙන් වැටුප ලැබෙනවා. ඒ වගේම ඒ අයගේ වාහනය තියෙනවා. ඒ නිසා ජනතාව කොච්චර දුක් වින්දත් මේ අයට ගාණක් නැහැ ෴


සංචාරක පිරිසක් රැගත් බස් රථයක් දුම්රියේ ගැටෙයි

(29.11.2023 – 07:01 +0530 – hirunews.lk/sinhala)

බස්රථයක් අද (29) අළුයම වස්කඩුවේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් කිරීමේදී දුම්රියේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපළ දක්වා සංචාරක පිරිසක් රැගත් බස් රථයක් මෙම අනතුරට මුණට පා ඇති අතර ඉන් දෙදෙනෙකු (2) පමණක් සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වෙන්නේ.

චෙක් රාජ්‍ය බලා පිටත්වීමට සූදානමින් සිටි සංචාරකයින් පිරිසක් මෙම අනතුරට මුහුණ දී ඇති අතර ඔවුන් අද (29) උදෑසන 09:00 ට කටුනායක ගුවන්තොටුපලින් පිටත්ව යෑමට නියමිතව තිබුණා.

අනතුරෙන් බස් රථයට දැඩි හානි සිදුව ඇති අතර, දුම්රියටද දැඩි හානි සිදුව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴

+

+


හිටපු ක්‍රීඩා ඇමති රොෂාන්ට පෙත්සමක්

(29.11.2023 – 16:35 +0530 – hirunews.lk/sinhala)

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට එරෙහිව සුදුසු දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා.

නීතිඥ ‘දිමිත්‍රි ශිරාස් ඔගස්ටස් පිට්‍රාංජලී’ විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා.

එහි වගඋත්තරකරු ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ නම් කර තිබෙනවා.

පෙත්සම්කාර පාර්ශවය කියා සිටින්නේ ඉකුත් (08) වනදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකළ එවක ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් අභියාචනාධිකරණය සභාපති විනිසුරු වරයාට අපහාසයක් වන ආකාරයෙන් කරුණු ඉදිරිපත් කර ඇති බවයි.

එම ප්‍රකාශය තුළින් හිටපු අමාත්‍යවරයා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයාගේ චරිතයට සහ ඔහුගේ වෘත්තීය ජීවිතයට දැඩි අගතියක් මෙන්ම හානියක් සිදුකර ඇති බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) ව්‍යවස්ථාව ප්‍රකාරව අමාත්‍යවරයා විසින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

ඒ අනුව මෙම කරුණු සම්බන්ධයෙන් වග උත්තරකාර අමාත්‍යවරයා වෙත අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු විමසා නොතීසි නිකුත් කරන ලෙසත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව සුදුසු දඬුවම් පමුණුවන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා ෴


‘මුල්තැන ජාතික ආරක්ෂාවට’ – වැඩ පොලිස්පතිගෙන් ප්‍රකාශයක්

(29.11.2023 – 14:58 +0530 – hirunews.lk/sinhala)

ජාතික ආරක්ෂාවට මුල්තැන දෙමින්, මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මර්දනයට කටයුතු කරන බව, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

ජනාධිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීමෙන් අනතුරුව කොළඹ හුණුපිටිය ගංගාරම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව ඔහු මේ බව සඳහන් කළා.

1998 වසරේදී සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස පොලිස් සේවයට එක්වූ දේශබන්දු තෙන්නකොන් ඔහු වැඩබලන පොලිස්පති ධුරයට පත්වීමට පෙර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවා ෴


සිර මැදිරිය තුළදීම අවසන් ගමන් ගිය රැදවියා

(29.11.2023 – 14:29 +0530 – hirunews.lk/sinhala)

ලිංගික අපයෝජන චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන අතුරුගිරිය පොලිසියේ සිර මැදිරියක රඳවා සිටි 54 හැවිරිදි සැකකරුවෙක් සිර මැදිරිය තුළදීම ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඔහු සිය කලිසමේ පටියක් ආධාරයෙන් මෙලෙස ගෙල වැළලාගෙන මියගොස් තිබූ බවයි.

හෝමාගම – පනාගොඩ – රොමියෙල් මාවතේ පදිංචිකරුවකු වන 54 හැවිරිදි දෙදරු පියෙක් අතුරුගිරිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ, ලිංගික අපයෝජන චෝදනාවක් මතයි.

එම පැමිණිල්ල සිදුකර තිබුණේ හෝමාගම – පනාගොඩ – මාදෙනියවත්ත ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියක් විසින්.

චෝදනාවට ලක් වූ පුද්ගලයා වත්තක මුරකරුවෙකු ලෙස සේවය කරන අතරතුර විවිධ යාග හෝම සහ යාතුකර්මයන්ද සිදු කරගෙන ගොස් තිබෙනවා.

ඒ අනුව අපයෝජනයට ලක් වූ බව කියන තරුණියට මතුවූ අසනීප තත්ත්වයක් සඳහා යාතුකර්මයක් සිදු කිරීම වෙනුවෙන් ඇයව, අදාළ පුද්ගලයාගේ නිවසට කැඳවාගෙන විත් තිබුණා.

ඉතා කුඩා නිවසක් වූ එම නිවසේ තමා සහ එම පුද්ගලයා, ඔහුගේ බිරිඳ හා දරුවන් සමඟ එකම කාමරයක නිදාගෙන සිටියදී ඔහු විසින් ලිංගික අපයෝජනයට ලක් කළ බවටයි එම තරුණිය පැමිණිලි කර ඇත්තේ.

එම පැමිණිල්ල මත අත්අඩංගුවට ගත් 54 හැවිරිදි අදාළ පුද්ගලයා අතුරුගිරිය පොලිසියේ සිර මැදිරියක තවත් සැකකරුවන් දෙදෙනෙකු (2) සමඟ රඳවා සිට තිබෙනවා.

ඊයේ (28) පස්වරුවේ ඔහු කලිසමේ පටියක් සිර මැදිරියේ දොරෙහි ඇති හරස් යකඩ පටියකට දමා ගෙල වැළලාගෙන තිබුණා.

සැකකරු එම අවස්ථාවේදීම හෝමාගම මූලික රෝහලට ඇතුලත් කළ ද ඒ වන විටත් මියගොස් සිටි බවයි අතුරුගිරිය පොලීසියේ උසස් නිලධාරියකු ප්‍රකාශ කළේ.

කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර සිදුවීම සම්බන්දයෙන් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළා.

සැකකරුගේ සිරුර මේ වන විට හෝමාගම මූලික රෝහලේ ඇති අතර පැමිණිල්ල සිදුකළ තරුණිය ද හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *