ගෙදර ගිය ක්‍රිකට් ලේකම්ගෙන් ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහට ඇමතුමක්

ගෙදර ගිය ක්‍රිකට් ලේකම්ගෙන් ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහට ඇමතුමක්


ගෙදර ගිය ක්‍රිකට් ලේකම්ගෙන් ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහට ඇමතුමක්

(25.11.2023 – 21:11 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පසුගියදා ඉල්ලා අස්වූ ලේකම් මොහාන් ද සිල්වා ක්‍රිකට් ආයතනයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් තමාට දුරකථන ඇමතුමක් ලබා දී කරුණු රැසක් හෙළිදරව් කළ බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

මල්වතු මහ නා හිමියන් බැහැදැකීමට මහනුවරට අද (25) පැමිණි අවස්ථාවේදීයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

මේ අතර ක්‍රීඩා සංගම් සඳහා අතුරු කමිටු පත්කිරීමේදී කැබිනට් මණ්ඩලයේ පූර්ව අනුමැතියක් අත්‍යවශ්‍ය බව පැවසීම හරහා කැබිනට් මණ්ඩලය රටේ නීතිය උල්ලංඝණය කර ඇති බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.

ජාතික ක්‍රීඩා සංගම් අත්හිටුවමින් අතුරු කමිටු පත් කරන්නේ නම් මින් ඉදිරියට කැබිනට් අනුමැතිය ලබා ගත යුතු බව සඳහන් කරමින් මාර්ගෝපදේශ කිහිපයක් දන්වා කැබිනට් මණ්ඩලයේ ලේකම් ඩබ්.එම්.ඩී. ප්‍රනාන්දු ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත පසුගිය 22 වනදා ලිඛිතව දැනුම් දී තිබුණා.

ඒ සම්බන්ධයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී විපක්ෂනායකවරයා වාචික පිළිතුරු අපේක්ෂවෙන් ප්‍රශ්නයක් යොමු කළ අතර ඊට සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත ද එක්වුණා.

මේ අතර ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වත්මන් ක්‍රිකට් අර්බුදය ඇතුළු කරුණු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදුටු අතර මාධ්‍යවේදීන් අදාළ කැබිනට් තීරණය සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳ විමර්ශන කටයුතු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර නොමැතිව පවත්වාගෙන යාමට පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ විමර්ශන කටයුතු කෝප් කමිටුවේ වෙනත් සාමාජිකයකුගේ මූලිකත්වයෙන් පැවැත්වීමටයි එහිදී තීරණය වී ඇත්තේ.

+

++++++++

+


‘ගනේමුල්ලේ සංජීව’, ඝාතන සඳහා යොදාගත් තවත් ගිනි අවියක් සොයාගැනේ

(26.11.2023 – 08:20 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘සංජීව කුමාර’ හෙවත් ‘ගනේමුල්ලේ සංජීව’ භාවිතා කළ බවට සැකකෙරෙන පිස්තෝලයක් සහ ඒ සඳහා භාවිතා කරන පතරොම් ගැබක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් රැඳවුම් නියෝග මත ගම්පහ – වීරගුල පොලිස් ස්ථානයේ රදවාගෙන ප්‍රශ්න කරන ‘ගනේමුල්ලේ සංජීව’ ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලින් අනතුරුවයි මෙම පිස්තෝලය මුල්ලේරියාව ප්‍රදේශයේ කැලෑ බද ප්‍රදේශයක සගවා තිබියදී සොයාගෙන ඇත්තේ.

පසුගිය වසරේ අගෝස්තු 06 වනදා උඩුගම්පොළ – කෙහෙල්බද්දර ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක සේවකයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සදහා මෙම පිස්තෝල අවිය යොදාගෙන ඇති බවටයි සිදු කරන ලද මූලික පරීක්ෂණ වලදී අනාවරණ වී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ෴


විරෝධය හමුවේ ගාලු‍ කොටුවේ විදේශීය සංචාරකයන්ගෙන් මුදල් අය කිරීමේ තීරණය නවතී

(26.11.2023 – 08:17 +0530 – hirunews.lk/sinhala)

ගාලු‍ කොටුවට පැමිණෙන විදේශීය සංචාරකයන්ගෙන් මුදල් අය කිරීමට කිසිසේත්ම අවසර ලබා නොදෙන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශකර සිටියේ ගාලු‍ කොටුව සුධර්මාලය විහාරයේ දී පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

ගාලු‍ කොටුවට ඇතුළුවන සංචාරකයන්ගෙන් ඩොලර් 15 ක මුදලක් අයකිරීමට ‘ගාලු‍ උරුමය පදනම’ තීරණය කර ඇති බවට මීට පෙර වාර්තා වුණා.

ඊට විරෝධය පලකරමින් කොටුවේ පදිංචි ප්‍රදේශවාසීන් සහ සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධ ව්‍යාපාරිකයන් විරෝධතා ද පැවැත්වුවා.

ඒ අනුව ඊයේ (25) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ ප්‍රදේශවාසීන්, ව්‍යාපාරිකයන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට අවසර ලබා නොදෙන බවයි ෴


වැල්ලම්පිටියේ මෙහෙයුමකින් සැකකරුවන් 43 දෙනෙකු අත්අඩංගුවට

(26.11.2023 – 10:28 +0530 – hirunews.lk/sinhala)

වැල්ලම්පිටිය – සිංහපුර ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් 43 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර සැකකාරියන් 05 දෙනෙකුද වනවා.

පොලිසිය හා යුද හමුදාව එක් ව ඊයේ (25) රාත්‍රියේ සිදු කළ මෙම මෙහෙයුම සඳහා පොලිස් නිලධාරින් 138 දෙනෙකු සහ යුද හමුදා නිලධාරින් 200 දෙනෙකු එක්ව සිටි බව සඳහන්.

එහිදී එම ප්‍රදේශයේ නිවාස 61 ක් සහ පුද්ගලයන් 196 ක් පරීක්ෂා කර තිබෙනවා.

මෙම මෙහෙයුම අතරතුර මත්ද්‍රව්‍ය, කඩු, මන්නා ඇතුලු තියුණු ආයුධ සහ ජංගම දුරකථන 12 ක් පොලිස් භාරයට ගත් බවයි පොලිසිය සදහන් කළේ.

+


බූස්සේ රැඳවියෙකු සී.සී.ටී.වී. කැමරා 23 ක් කඩා දමයි

(26.11.2023 – 11:19 +0530 – hirunews.lk/sinhala)

රැඳවියෙකු විසින් බුස්ස බන්ධනාගාරයේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා 23 ක් කඩා බිදදැමීම සම්බන්ධයෙන් විමර්ෂනයක් ආරම්භ කර තිබෙනවා.

බන්ධනාගාරයේ විශේෂ අංශයේ අංක 1 වාට්ටුවේ සවිකර තිබු සී.සී.ටී.වී. කැමරා 23 ක් මෙලෙස විනාශ කර ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සදහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ අඟු‍ණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිට බුස්ස බන්ධනාගාරය වෙත පසුගිය දා මාරුකර එවන ලද රැඳවියෙකුටයි.

ඔහුව ව්‍යායාම් කිරිම සඳහා පිටතට ගැනීමට දොරටු විවෘතකල අවස්ථාවේ සිර මැදිරියේ තාප්පයට නැග තිබෙනවා. පසුව පැති වහලේ සවිකර ඇති ආරක්ෂිත කම්බි අතරින් රිංගා අංක 4 සිට 34 දක්වා පැති බිත්තිවල සවිකර තිබු සි.සී.ටි.වී. කැමරා 23 ක් කඩා බිඳ ඇති බවයි වාර්තාවන්නේ.

මෙම රැඳවියාගේ ක්‍රියා කලාපය පාලනය කිරීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් බූස්ස බූස්ස බන්ධනාගාර නිලධාරීන් පස්දෙනෙකු (5) සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය ප්‍රකාශ කළා ෴


ජපානයේදී ගැටුමකින් මියගිය තරුණයාගේ දේහය දිවයිනට

(26.11.2023 – 13:26 +0530 – hirunews.lk/sinhala)

ජපානයේදී ලාංකිකයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් මියගිය තරුණයාගේ දේහය දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පෑවේ මාතර – දෙවිනුවර කපුගම ප්‍රදේශයේ පදිංචිව සිටි ඉසුරු ශාලින්ද නැමැති 26 හැවිරිදි තරුණයෙක්.

ශාලින්ද මීට වසරකට පෙර ජපානයට යන්නේ ජීවිතය ජය ගැනීමේ අරමුණින්.

පවුලේ දෙවැනි දරුවා වූ ශාලින්දගේ පවුලේ අගහිඟකම් රැසක් තිබූ බැවින් ඔහුට විදෙස්ගත වීමට මව්පියන් මුදල් සොයා දෙන්නේ ද ණයට මුදල් ලබාගෙනයි.

ශාලින්ද ජපානයට ගියත්, ඔහුට මුහුණ දීමට සිදු වන්නේ අතිශය ඛේදජනක සිදුවීමකටයි.

පසුගිය ඔක්තෝබර් 15 වැනිදා ජපානයේදී ශ්‍රී ලාංකිකයින් සංවිධාන කර තිබූ ක්‍රිකට් තරගයක් නැරඹීමට ශාලින්ද හා ඔහුගේ මිතුරන් එක් වී තිබෙනවා.

මෙහිදී ලාංකිකකයින් දෙපිරිසක් අතර ගැටුමකට ශාලින්ද ද මැදිහත්ව ඇති අතර, එහිදී ශාලින්ද තුවාල ලබා රෝහල්ගත කර තිබුණා.

බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි ශාලින්ද ඉකුත් නොවැම්බර් 11 වැනිදා අවාසනාවන්ත ලෙස දිවියෙන් සමුගත්තා.

ශාලින්දගේ දේහය ඉකුත් 23 වැනිදා මෙරටට රැගෙනවිත් තිබූ අතර මේ වන විට දේහය දෙවිනුවර කපුගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.

ශාලින්දගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) පස්වරුවේ කපුගම පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

+


තර්ජන හේතුවෙන් බහලුම් ප්‍රවාහන කටයුතුවලට තවරදුටත් බාධා

(26.11.2023 – 13:45 +0530 – hirunews.lk/sinhala)

ආනයන අපනයන බහලු‍ම් ප්‍රවාහන කටයුතුවල නිරත ලොරි රථ රියදුරන්ට ග්‍රෑන්ඩ්පාස් පොලිස් බල ප්‍රදේශය තුළදී තවදුරටත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගෙන් තර්ජන එල්ලවන බව බහලු‍ම් රථ ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සනත් මංජුල හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් කියා සිටියේ මේ සම්බන්ධයෙන් විධිමත් විසදුමක් ලබානොදුනහොත් බහලු‍ම් ප්‍රවාහනයෙන් ඉවත්වීමට සිදුවන බවයි.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදි ග්‍රැන්ඩ්පාස් පොලිසිය සදහන් කළේ පැමිණිලි ලැබෙන්නේ නම් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් බවයි. එමෙන්ම, පොලිස් ජංගම මුර සංචාර අදාල ප්‍රදේශ තුල නිරන්තරව සිදුවන බවද පොලිසිය කියා සිටියා ෴


මධ්‍යම අධිවේගය ඉදි කිරීමේදී ඉඩම් අහිමිවූවන් විරෝධතාවක

(26.11.2023 – 14:09 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල – ගැට්ටුවාන පිවිසුම අවහිර කරමින් එම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ඉඩම් අහිමිවූ පිරිසක් අද (26) පෙරවරුවේ විරෝධතාවක නිරතවුණා. විරෝධතාකරුවන් සඳහන් කළේ අහිමිවූ දේපළ වෙනුවෙන් මෙතෙක් සාධාරණ වන්දි මුදලක් හිමිවී නොමැති බවයි.

මේ හේතුවෙන් කුරුණෑගල – ගැට්ටුවාන පිවිසුමේ ගමනාගමනයට ද බාධා එල්ලවුණා.

කෙසේ වෙතත් විරෝධතාව අතරතුර එම ස්ථානයට පැමිණි කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා එකඟවී ඇත්තේ අදාළ ගැටලුව සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමග දින තුනක් (3) ඇතුළත සාකච්ඡාවක් ලබා දෙන බවටයි.

ඒ අනුව විරෝධතාකරුවන් විසිර ගිය බව එහි සිටින ‘හිරු වාර්තාකරු’ ප්‍රකාශ කළා ෴


ජීවිත පහකට (5) පණ දී අවසන් ගමන් ගිය ඉෂංක

(26.11.2023 – 14:20 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය අනතුරකින් මොළය මියගිය සිය පුතුගේ අවයව දන් දී තවත් ජීවිත 5 කට එළිය දුන් මව්පිය යුවළක් ගැන වේයන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා.

දරු දුක වෙනුවෙන් හිතේ කකියන මහා වේදනාවක් යම් තරමකට හෝ ඒ තුළින් තුනී කරගත හැකි වූ බව මේ මව්පියන් පවසනවා.

වේයන්ගොඩ – මාලිගාතැන්න ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි ඉසංක සහෝදරයින් දෙදෙනෙකු (2) ගෙන් යුත් පවුලේ බාලයායි.

කොළඹ විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ විෂය හදාරමින් සිටි ඉසංක පසුගිය 13 වැනිදා කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පොල්ගහවෙල බලා පිටත්ව යන දුම්රියට ගොඩවන්නේ වේයන්ගොඩ සිය ගමනාන්තය ලෙස සිතේ තබාගනිමින්.

කෙසේ නමුත් ඉසංක දෙමටගොඩ සහ කැලණිය දුම්රිය ස්ථාන අසලදී ධාවනය වෙමින් තිබූ දුම්රියෙන් ඇදවැටෙනවා.

අනතුරට පත්වූ සිය පුතු බැලීමට හැඬූ කඳුලින් ඔවුන් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට පැමිණෙන විටත් වෛද්‍යවරු සිය උපරිමයෙන් ඉසංකගේ ජීවිතය මෙලොව රඳවා ගැනීමට උත්සාහ දරමින් සිටියා.

නමුත් ඉසංක රැගෙනවිත් තිබූ ආයුෂ ඒ වනවිටත් අවසන් වෙමින් තිබුණා.

වෛද්‍යවරුන් නිර්දේශ කළ ආකාරයට පසුගිය 15 වැනිදා ඉසංකගේ ශරීර කොටස් පටක බැංකුව වෙත ලබාදුන් අතර ඉන් 5 දෙනෙකුට ජීවිතය ලැබීමද, දෙදෙනෙකුට (2) මෙලොව එළිය දැකීමට ද වාසනාව හිමි වුණා.

ජීවිත 5 ක් මෙලොව තවදුරටත් රඳවා සිය ජීවිතයට සමුදුන් ඉසංක මව්පියන්, ඥාතීන් ඇතුළු යහලු යෙහෙලියන් හඬවමින් පසුගිය 19 වැනිදා මෙලොවින් සමුගත්තා.

අවයව දන්දීමට අවස්ථාවක් ලැබීම ඉතා දුර්ලභ පුණ්‍යකර්මයක් ලෙසයි හැඳින්වෙන්නේ.

දරු දුක වෙනුවෙන් හිතේ කකියන මහා වේදනාවක් යම් තරමකට හෝ ඒ තුළින් තුනී කරගත හැකි වූ බව ඉසංකගේ මව්පියන් පවසනවා.

+


කොළඹ නගරයේ වායු සමීකරණවල පිටත කොටස් ගැලවූ ජාවාරමක තොරතුරු හෙළි වේ

(26.11.2023 – 16:47 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරයේ ස්ථාන රැසක වායු සමීකරණවල පිටත සවි කරන ලද කොටස් ගැලවීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඒ ඊට අදාලව සැකකරුවන් 03 දෙනෙක් මාලිගාවත්ත පොලිසිය විසින් අද (26) අත්අඩංගුවට ගැනීමත් සමගයි.

කොළඹ නගරයේ ස්ථාන රැසක වායු සමීකරණවල පිටත සවි කරන ලද කොටස් ගලවා ගෙන ගොස් ඇති බවට පැමිණිලි ලැබී තිබෙනවා.

ඒ අනුවයි පොලිසිය සිදු කරන ලද විමර්ශනවලින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ෴


පස් ව්‍යාපාරිකයෙකුට සිදුවූ සීදුවේ වෙඩි තැබීමේ තවත් තොරතුරු ‍රැසක්

(26.11.2023 – 18:32 +0530 – hirunews.lk/sinhala)

සීදුව ප්‍රදේශයේ අද (26) උදෑසන යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයකු පිටුපසින් යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු (2) වෙඩි තබා පලාගොස් තිබුණා.

එහිදී සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ කොටුගොඩ පුබුදුමාවත ප්‍රදේශයේ පදිංචි පස් ව්‍යාපාරිකයෙක්.

37 හැවිරිදි වියේ පසුවන එම ව්‍යාපාරිකයා සිය මව සමග ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් ගමන්කරමින් සිටියදී මෙලෙස වෙඩිප්‍රහාරයට ලක්වූ අතර, වෙඩිතැබීමෙන් බරපතළ තුවාල සිදුවූ ඔහුව ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එම වෙඩිතැබීමෙන් යතුරුපැදියේ පිටුපස ගමන්ගත් ඔහුගේ මවට කිසිඳු හානියක් සිදුව නැති බවයි පොලිසිය පවසන්නේ.

එමෙන්ම මෙම වෙඩි ප්‍රහාරයට ලක්වූ ව්‍යාපාරිකයා මිනුවන්ගොඩ ප්‍රදේශයේ මස් වෙළෙඳසැලක් පවත්වාගෙන යන අතර, වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනන බවත් අප කල විමසීමකදී පොලිසිය සඳහන් කළා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු (2) විසින් ටී 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි වාර්තාවන්නේ.

කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි දිනේෂ් ප්‍රියසාද් නැමති 36 හැවිරිදි මෙම පුද්ගලයා සිය මව සමග යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ.

වෙඩි වැදුණු පුද්ගලයාගේ බාල සොහොයුරා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී දැනට රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවනවා.

පොලිසිය සඳහන් කළේ බාල සොහොයුරා සමග පවතින ආරවුලකට මෙම වෙඩි තැබීම සිදු කරාද යන්න පිළිබඳව සැකයක් බවතින බවයි.

+


සිසුන් 2,367 ක් ජනප්‍රිය පාසල්වලට හොරෙන් ඇතුලත් කරලා

(26.11.2023 – 18:55 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාපන අමාත්‍යාංශය විධිමත් ක්‍රමවේදවලට පරිබාහිරව දරුවන් 2,367 ක් ජනප්‍රිය පාසල්වලට වසර 03 කට ආසන්න කාලයක් තිස්සේ ඇතුළත් කර ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පසුගිය ඔක්තෝබර් මස නිකුත් කළ වාර්තාවකින් හෙළි වී ඇති බව ‘ලංකා ගුරු සංගමයේ’ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ ගුරුමැදුරේදී අද (26) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී ඔහු සඳහන් කළේ 2020 ජනවාරි 01 වැනිදා සිට 2022 මැයි 31 දින දක්වා කාලය තුළදී විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ විශේෂ විගණන වාර්තාවෙන් එම කරුණු එළිවන බවත්, විධිමත් ක්‍රමවේදයෙන් බැහැරව අධ්‍යාපන ලේකම්වරයා දරුවන් ඇතුළත් කිරීම සඳහා ලිපි 3,308 නිකුත් කර ඇති බවයි.

එම ලිපිවලින් 72% ක් අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති කාර්යාලය ඇතුළු නිලධාරීන් කළ ඉල්ලීම් මත ලිපි නිකුත් කර ඇති බව කී ඔහු, ඇතැම් ලිපි විධිමත් අයදුම් පත්‍රයක් නොමැතිව ඉදිරිපත් කර ඇති බවත්, ළමුන් ඇතුළත් කිරීමේ ලිපිය නිකුත් කර ඇත්තේ දෙමාපියන්ට නොව ඉල්ලුම්කරුට ද බවට හෙතෙම එහිදී සඳහන් කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *